SMART විදියට Social Media පාවිච්චි කරන්න ක්‍රම 8ක්

එදිනෙදා වැඩකටයුතුවලදී අපි බොහෝ දෙනෙක් සමාජ ජාල මාධ්‍ය එහෙමත් නැතිනම් Social Media සමඟ සම්බන්ධ වෙනවා. අපේ රටේ විතරක් නෙමේ, ලෝකයේ ගොඩක් රටවලත් තත්වයත් එහෙමයි. ඔබ දන්නවාද ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.3 ක් වෙද්දි ඒ ජනගහනයෙන් බිලියන 3.41 ක් දිනපතාම අන්තර්ජාලය පරිහරණය කරනවා කියලා? මේ අන්තර්ජාලය පරිහරණය කරන ප්‍රමාණයෙන් බිලියන 2.30ක් සක්‍රීයව Social Media එක්ක සම්බන්ධ වෙන බවටයි සඳහන් වෙන්නේ.

ඒ තමයි ලෝකේ මිනිස්සු Social Media පාවිච්චි කරන විදිය. මේ ලිපිය කියවන ඔබ සියළුදෙනාම සමාජ ජාල එකක හෝ ඊට වැඩි ප්‍රමාණයක සාමාජිකත්වය ලබාගෙන ඇතියි කියලා අපි විශ්වාස කරනවා. SMART විදියට Social Media පාවිච්චි කරන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අද අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.

1. ලිස්ට් එකේ ඉන්න හැමෝම යාළුවොද?

(huffingtonpost.com)

(huffingtonpost.com)

අපේ Social Media එකවුන්ට්වල යාළුවෝ එහෙමත් නැත්නම් Friends ලා ඉතා විශාල ගණනක් ඉන්නවා. ඔන්ලයින් යාළුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න එකේ හොඳ වගේම නරකත් එකවගේ තියෙනවා. අපි හැමතිස්සේම කල්පනා කරන්න ඕනේ මේ friend list එකට අපි එකතු කරගන්න හැමෝම අපේ යාළුවෝද කියන එක.

අපි share කරන හැම දේම (උවමනාවෙන්ම settings වෙනස් කළේ නැතිනම්) අපේ යාළුවොන්ට බලන්න සහ ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන විදියටයි Social Media හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ වැදගත් සිදුවීම්, ෆොටෝ, එක එක වෙලාවට හිතෙන එක එක දේවල් Social Media වල පළකරද්දි අපි හැමතිස්සේම මතක තියාගන්න ඕනේ, මේවා අපේ friend list එකේ ඉන්න දන්න නොදන්න හැමෝටම පේන බව. ඒ නිසා friend list එකට කාවහරි එකතු කරගනිද්දි කල්පනා කරලා ඒ වැඩේ කරන එක තමයි හොඳම දේ. ඒ වගේම කළින් කොච්චර හොඳ දන්න කියන යාළුවෙක් උනත් තමන්ට වදයක්, කරදරයක්, මානසික පීඩාවක් වගේ දැනෙනවනම් බ්ලොක් කරන්න පැකිලෙන්න එපා.

2. Publish කරන්නේ අවශ්‍යම දේවල්ද?

(dopefun.com)

(dopefun.com)

ෆේස්බුක්, ට්විටර්, Google+ වගේ Social Media පරිහරණය කරද්දි අපි බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මිනිස්සු ලෝකෙත් එක්ක බෙදාගන්නේ අවශ්‍යම දේවල්ද කියන එක.

එක දෙයක් පැහැදිලියි. බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ තමන් අනිත් අය සමඟ අන්තර්ජාලයේදී බෙදාගන්න සහ බෙදානොගන්න අවශ්‍ය දේවල් මොනවාද කියන දේ. ඔබ දන්නවාද මෙහි තිබෙන භයානකම දේ කුමක්ද කියලා? අපි අපේ time line එකේ පළකරන ඕනෙම දෙයක් අපේ friend list එකේ ඉන්න වෙනත් කෙනෙකුට පුළුවනි Share/Re-Post කරන්න. නිකමට හිතන්න ඔබ මහත් ආවේගයකින් යුක්තව ඉන්න වෙලාවක ඒ ආවේගය පිටකරගන්න වෛරී සහගත ප්‍රකාශයක් ෆේස්බුක්, ට්විටර් time line එකේ සටහන් කළා කියලා. වෙන කෙනෙක් ඒ status එක share කෙරුවෝතින් ඔබ සිහිනෙකින්වත් හිතන්නේ නැති තරම් දුරකට ඔබගේ ඒ ප්‍රකාශය ගමන් කරන්න පුළුවනි.

ඒ වගේම තවත් වෙලාවකදී අපි දකිනවා මේ සයිබර් අවකාශයේ ස්වභාවය හඳුනා ගන්නේ නැතුව විවිධ පුද්ගලයින් විසින් පළකරන යම් යම් අදහස්. ඒ අදහස් පළකිරීමෙන් ඒ පුද්ගලයන් බලාපොරොත්තුවෙන්නේ සමාජයට යහපතක් කිරීම වෙන්න පුළුවනි. නමුත් ඇත්තටම සිදුවන්නේ ඔවුන්ව සමාජය ඉඳිරියේ විහිළුවක් බවට පත්වීම පමණයි. මේක බොහොම කණගාටුදායක තත්ත්වයක් නමුත් මේ අතත්‍ය ලෝකේ කැරකෙන්නේ ඒ විදියට. ඉතින් ඒ නිසා අවශ්‍යම දේවල් පමණක් ලෝකෙත් එක්ක බෙදාගන්න කියන එකයි අපේ නම් නිර්දේශය.

3. හොඳ Profile එකක් තියාගන්න

(4.bp.blogspot.com)

(4.bp.blogspot.com)

ඔබ දන්නවාද, දැන් බොහෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවාගැනීමේදී ඒ ආයතනය විසින් අදාළ පුද්ගලයන්ගේ සමාජ ජාල ගිණුම් පිළිබඳවත් යම්තාක් සැළකීමක් දක්වන බව? සමහරවිට මේ වනතෙක් ඔබ ඒ ගැන නොදැන සිටියා වෙන්න පුළුවනි. හරි, දැන් තමයි වෙනස් වෙන්න හොඳම වෙලාව. විනාඩි 10ක් අරගෙන ඔබේ Social Media Profilesවල time line හරහා ටික වෙලාවක් ගමන් කරන්න. කල්පනා කරලා බලන්න ඔබ පළකරලා තියෙන status, photos කොච්චර දුරකට ඔබේ ප්‍රතිරූපය නංවන්න හෝ නැතිකරන්න ඉවහල්වෙන දේවල්ද කියන දේ. ඒ වගේම ඔබ Share කරලා තියෙන දේවල් වලින් වෙන කෙනෙක් ඔබව, ඔබගේ පෞරුශය දකින විදිය මොනවගේද කියන එක ගැන ඔබම කල්පනා කරන්න. නිකමට හිතන්න, ඔබගේ Online හැසිරීම ගැන ඔබටම ඇතිවෙන්නේ ආඩම්බරයක්ද, නැතිනම් ලැජ්ජාවක්ද?

අපි සරළ උදාහරණයක් ගමු. ඔබට මතක ඇති පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ සමාජ ජාලවල බොහොම ජනප්‍රිය මාතෘකාවක් වුන අන්තර් පළාත් මත ගැටුම. නිකමට හිතන්න ඔබත් යම් පළාතකට සහයෝගය දක්වමින් අනිත් පළාතේ ජනතාව අපහසුතාවයට පත්වන විදියේ ප්‍රකාශයන් සිදුකළා කියලා. දැන් ඔබ යනවා රටේ ප්‍රසිද්ධම ආයතනයක රැකියා සම්මුඛ පරීක්ෂණයකට. එතන ප්‍රධානියෙක් විදියට ඉන්නේ ඔබ කළින් අපහසුතාවයට පත්කළ පළාත තමන්ගේ ගම් පළාත හෝ දැනට ජීවත්වෙන ප්‍රදේශය කරගත් කෙනෙක්. ඔහු දකිනවා ඔබ සමාජ ජාලතුළදී තමන්ගේ පළාත සමච්චල් කරන්න සිදු කරපු ප්‍රකාශයන්. ඔබ සම්බන්ධයෙන් ඔහුගේ තීරණය මොනවගේ වේවිද? මිනිස් සිත වැඩකරන විදිය ගැන අපි කාටවත් හරි වැටහීමක් නැහැ. ඉතින් ඇයි මේ කිසීම වැදගත්කමක් නැතිදේවල් නිසා අවධානමක් ගන්නේ.

සරළවම කතාව මෙච්චරයි. Profile picture එක, cover picture එකේ ඉඳලා ඔබ පළකරන හැම ඡායාරූපයක්ම, හැම අදහසක්ම ඔබගේ ප්‍රතිරූපය වර්ධනය වෙන ආකාරයට සිදුකරන්න. අද වෙනකොට Social Media Profile කියන්නෙත් පුද්ගලයෙකුගේ පෞරුශය මනින තවත් එක මිණුම් දණ්ඩක් පමණයි කියන දේ පැහැදිලිව හිතේ තියාගෙන වැඩ කරන්න කියලයි අපිට කියන්න තියෙන්නේ.

4. ඇත්ත ලෝකෙත් ජීවත්වෙන්න

(kingofwallpapers.com)

(kingofwallpapers.com)

ඔබ දන්නවාද, සෑම විනාඩි 5කට වරක්ම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් නොබැලුවත් ඔබේ හුස්ම ගැනීම නතර නොවෙන බව. ඒ වගේම ඔබ දන්නවාද, ෆේස්බුක්/ට්විටර්/ඉන්ස්ටග්‍රැම් වල ස්ටේටස්/ෆොටෝස් නොදා ඔබට තරු පංතියේ අවන්හලකින් ප්‍රනීත ආහාරයක් රස විඳීමට කිසිදු බාධාවක් නැති බව?

ඔබ දන්නවා ඇති, නමුත් ඔබට ඒ බව අමතක වෙලා වෙන්න පුළුවන්. ඔබ වෙන කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවක, ආහාර ගන්නා අවස්ථාවකදී ඔබගේ සම්පූර්ණ අවධානයම ඒ කර්යය වෙනුවෙන් යොමු කරන්න. දෙමව්පියන්, හිතවතුන්, යහළුවන් සමඟ ගමනක් සංචාරයක් යද්දි ඒ අය එක්ක කතා කරන්න. අවට පරිසරය විඳින්න. කැමති සිංදුවක් අහන්න. තමන්ගේ වටේ ඉන්න අය එක්ක සතුටෙන් ඉන්න වෙලාව වෙන්කරගන්න. සයිබරයේ වගේම ඇත්ත ලෝකෙත් ජීවත් වෙන්න.

5. ඊළඟ පැයේදී ලෝක විනාසේ වෙන්නේ නැහැ

(theredshtick.com)

(theredshtick.com)

අපි ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නද. ඔබ ඔබේ time line එකට අලුත් status/photo එකක් එකතු කළාට පස්සේ ඒක දකින අනිත් අයගේ ප්‍රතිචාර බලාගන්න දැඩි අවශ්‍යතාවයක් හිතේ ඇති වෙනවා නේද?

ඔබේ පිළිතුර ඔව් නම්, එහෙම වෙන්නේ ඇයි කියන හේතුව ගැන කල්පනා කරන එක වටින වැඩක්. තමන්ගේ status/photo එකට වෙන අය දක්වන ප්‍රතිචාර (Like/Comment/Share) ඒ මොහොතේම බලාගන්න දැවෙන ආසාවක් ඇතිකරන එක Social Media විසින් බොහොම ක්‍රමානුකූලව අපේ මනසේ පැළකරපු ආශාවක්. අපේ status එකට කී දෙනෙක් like කරලා තියෙනවද, Update කරපු Profile picture එකට කී දෙනෙක් comment කරලා තියෙනවද වගේ දේවල් අපි විනාඩි 5න් 5ට ගිහින් බලන්නේ මේ හේතුව නිසාමයි. ඒ වෙලාවට තමන්ට අවශ්‍ය ආකාරයේ ප්‍රතිචාර ලැබුනේ නැතිනම් යම් යම් මානසික ආබාධයන්වලට පවා ඒ පුද්ගලයන් ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවලා තියෙනවා.

ඇත්තම කතාව මේකයි. සමහර විට ඔබ ඒ status/photos update කළේ අනිත් බොහෝ දෙනෙක් ඔන්ලයින් නැති වෙලාවකදී වෙන්න පුළුවනි. එහෙම නැතිනම් ඔබේ status/photo එක අනිත් අයට තාම නොපෙනුනා වෙන්නත් පුළුවනි. වෙන මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා තවම කවුරුවත් ඔබව නොදැක්කා වෙන්න පුළුවනි. ඔය ආකාරයට වෙන්න පුළුවන් දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපේ නිර්දේශය, අපේ status/photos කී දෙනෙක් Like කරලා තියෙනවද, කී දෙනෙක් Comment කරලා තියෙනවද කියන දේ ගැන නිතරම වදවෙන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් නෙමේ.

6. පෞද්ගලික විස්තර තමන් ලඟ විතරක් තියාගන්න

(choice.com.au)

(choice.com.au)

තමන්ගේ නිවස තියෙන තැන, නිවසේ ලිපිනය, දුරකථන අංක, බැංකු ගිණුම් අංක වගේ සංවේදී පෞද්ගලික විස්තර Social Media තුළදී friend list එකේ ඉන්න හැමෝම එක්ක බෙදා ගන්නේ නැතුව ඉන්නවානම් තමයි ගොඩක්ම හොඳ. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් අත්වැරදීම නිසා හෝ නොදන්නාකම නිසා තමන්ගේ දුරකථන අංකය, ඊමේල් ලිපිනය වගේ දේවලුත් Social Media Profile එකේ හැමෝටම පේන විදියට ඉඳිරිපත් කරලා තියෙන ආකාරය ඔබත් දැකලා ඇති. මේ මොහොත වෙද්දීත් ඔබේ දුරකථන අංකය, ඊමේල් ලිපිනය වගේ දේවල් ඕනෙම කෙනෙක්ට පේන විදියටනම් තියෙන්නේ, ඒ තොරතුරු ඔබට පමණක් පෙනෙන ආකාරයට settings වෙනස් කරගන්න එක නුවණට හුරුයි කියන එකයි අපේ නිර්දේශය.

ඒ වගේම ඔබේ profile එකට අදාළ security settings නියම විදියට සකස් කරගන්න. විශේෂයෙන්ම වෙන අයගේ status/photos වලට තමන්ව tag කරන එක සීමා කිරීම, තමන්ගේ time line එකේ වෙන අයට නොයෙකුත් දේවල් පළකරන්න තියෙන ඉඩ ඇහිරීම, නොදන්නා අය message කරන ඒවා spam message විදියට සකස් කරගැනීම වගේ පොඩි පොඩි සැකසීම් කීපයකින් ඔබට මහා පරිමාණ හිසේ අමාරු බොහෝ ප්‍රමාණයක් ඇති කරනොගෙන ඔන්ලයින් ජීවත්වෙන්න හැකියාව ලැබෙනවා.

7. අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න

අපි හැමෝටම පෞද්ගලික ජීවිතයක් තිබෙනවා. ඒ වගේම අපි කවුරුත් කාටවත්ම නොකියන දේවලුත් තිබෙනවා. සමහරවිට වෙන කෙනෙක්ගේ ඒ විදියේ අතිශය පෞද්ගලික විස්තරයක් ඔබ දැනගත්තා වෙන්න පුළුවනි. ඒ විස්තර වෙනත් අය සමඟ Social Media හරහා බෙදාගන්න එකත් ඉතාම නරක වැඩක් විදියටයි අපි දකින්නේ. ඔබේ රැකියා ස්ථානයේ සුහද හමුවකදී ඔබේ සහෝදර සේවකයෙක් ඒ අවස්ථාව වර්ණවත් කරන්න විකට හැසිරීමක් දක්වන අවස්ථාවක් ගැන කල්පනා කරන්න.

ඔබ ඒ අවස්ථාව ඡායාරූප/වීඩියෝ ගතකරනවා. ඒ පුද්ගලයා ඒ ආකාරයේ හැසිරීමක් සිදු කළේ අදාළ අවස්ථාවේ රැස්ව සිටින පිරිස ගැන පූර්ණ විශ්වාසයක් තමන්ට තියෙන නිසයි. නමුත් ඔබ ඒ ඡායාරූප/වීඩියෝ Social Media වල පලකළෝතින් මොනවගේ දෙයක් වෙන්න පුළුවනිද? කිසිම වගකීමකින් තොරව මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවල සිදුවීම් වාර්ථාකරන පුද්ගල කණ්ඩායම් Social Mediaවල පිරී ඉන්න බව ඔබ අපි කවුරුත් දන්න සත්‍යයක්. ඒ වගේ වීඩියෝවක් Social Media හරහා බොහොම සීග්‍රයෙන් පැතිර ගියෝතින් ඒ අදාළ පුද්ගලයා සමාජය ඉඳිරියේ දැඩි අපහසුතාවයට පත්වෙන එක අනිවාර්යයි.

මතක තියාගන්න, අපිට බැහැ මුලු ලෝකෙම හදන්න. නමුත් අපිව නිවැරදි විදියට හදාගන්න වැඩේ කරන්න අපිටම පුළුවනි. තමන්ට වගේම අනිත් අයටත් පෞද්ගලිකත්වයක් තිබෙනවා සහ ඒ පෞද්ගලිකත්වයට අපි ගරු කළයුතුයි කියන දේ නිතරම සිහියේ තබාගෙන කටයුතු කිරීම වැදගත් කියන එකයි අපේ අදහස.

8. අන්දන්න දෙන්න එපා

අරාබි වසන්තයෙන් පසු. (huffingtonpost.com)

අරාබි වසන්තයෙන් පසු. (huffingtonpost.com)

Social Media හරහා විවිධ මතවාදයන් නිර්මාණය කිරීම, පෝෂණය කිරීම, තමන්ට අවශ්‍ය දේ ජනගත කිරීම වගේ බොහෝ දේ බොහොම සාර්ථකව සිදුකරන්න පුළුවනි කියන එක මේ වෙද්දි ලොව පුරා බොහෝ රටවලදී අත්දුටු කාරණයක්. මේ මතවාදයන් දේශපාලන, ආගමික, සංස්කෘතික හෝ වෙන ඕනෑම දෙයක් සඳහා වුවත් අදාළ කරගන්නට පුළුවනි. 2011 වසරේදී මැද පෙරදිග සිසාරා පැතිර ගිය අරාබි වසන්තය, 2014 වසරේදී යුක්රේනයේ සිදුවූ ආණ්ඩුවිරෝධී අරගල සහ කැරලි කෝලාහල වගේ සිදුවීම් Social Media හරහා සමාජයේ ඇති දේශපාලනික මතවාදය වෙනස් කළ අවස්ථාවන් සඳහා හොඳ උදාහරණ. ඒ වගේම 2015 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සඳහාද Social Media මඟින් ඇතිකරන ලද බලපෑම අති විශාල බව ඒ පිළිබඳව අධ්‍යයනය කළ බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියා.

Social Media මතට ගෙනවිත් අතහරින සමහර මතවාදයන් යහපත් ඒවා බවට සැකයක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී දේශපාලනික වශයෙන් හෝ ආගමික, සංස්කෘතික වශයෙන් ජන කණ්ඩායම් අතර ගැටුම් ඇතිකර එයින් වෙන යම් වාසි ලබාගැනීම සඳහාම Social Media භාවිතා කරන ආකාරයත් අපට දැකගන්නට පුළුවනි. අපි බොහොම ප්‍රවේසම් විය යුත්තේ මේ කාරණාවේදීයි.

පුද්ගලයන්ගේ ආගමිකත්වය, ජාතිකත්වය, දේශපාලනික නැඹුරුව වගේ බොහොම සංවේදී ස්ථාන ස්පර්ෂ කරමින් බොර දියේ මාළු බෑම සිදුකරන පුද්ගල කණ්ඩායම් ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කරගන්නේ Social Media තුළිනුයි. සමහර අවස්ථාවකදී ඔබ ඒ ආකාරයේ සමාජ ව්‍යාපාරයක් සඳහා එකතු වෙන්නේ සද්භාවයෙන් වෙන්න පුළුවනි. නමුත් ඒ ව්‍යාපාරය Social Media තුළ රෝපණය කළ පුද්ගලයින් ඒ කටයුත්ත සිදු කළේ අතිශය කූඨ අරමුණක් මුදුන් පත්කරගැනීමට වෙන්නත් පුළුවනි. ඒ නිසා අපේ අදහස නම්, Social Media හරහා සිදුවෙන සමාජ ව්‍යාපාරයන්ට එකතු වීමට පෙර වරක් දෙවරක් නොව කීප වරක්ම ඒ ගැන හොඳින් සොයා බැලීම අතිශය වැදගත් බවයි.

ඊළඟ වතාවේ Social Media පාවිච්චි කරද්දි මේ දේවල් සිහියේ තබාගෙන SMART විදියට Social Media පාවිච්චි කරන්න උත්සාහ කරන්න කියන එකයි අවසාන වශයෙන් අපේ ඉල්ලීම. ඒ වගේම මේ විස්තර ඔබ දන්න කියන අය එක්ක බෙදාගත්තොතින් ඔවුනුත් SMART විදියට Social Media පාවිච්චි කරාවි.

කවරයේ පින්තුරය:  seapointdig.com

 

Related Articles