Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රස්තවාදයට එරෙහිව අන්තර්ජාතික නීතියක් නැත්ද?

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ජනතා ඉල්ලීම් දිනා ගැනීම ලොව පිළිගත් ක්‍රමවේදයයි. එහෙත් ජාතිය, ආගම, දේශපාලන මතය හෝ වර්ගය මුල් කරගනිමින් තම අවශ්‍යතාවන්, ඉල්ලීම් දිනා ගැනීම සඳහා සමහර ජන කණ්ඩායම් ත්‍රස්තවාදය වැනි ප්‍රචණ්ඩ ක්‍රමවේදයන් කරා ද යොමු වේ. 2017 වර්ෂයේ පළමු මාස 5 ඇතුලත ලෝකයේ විවිධ රටවල සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා 630 ක් පමණ වාර්තා වී ඇති අතර දහස් සංඛ්‍යාවක් මිනිසුන් මරණයට පත් වී ඇත. ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම, එක්සත් රාජධානිය යන රටවල ප්‍රධාන නගර එල්ල කරගෙන ද පසු ගිය වකවානුවේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් විය.

අයි එස් අයි එස්, බොකෝ හරාම්, තලේබාන් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදී කණ්ඩායම් අතරින් කිහිපයක් වන අතර සමහර ජන කණ්ඩායම් සිය දේශය තුල පමණක් බලය සදහා අරගල කරමින් ත්‍රස්තවාදී ක්‍රියානවන් හි නිරතවනු දැකිය හැක. කොලොම්බියාවේ National Liberation Army, ඉන්දියාවේ Naxalite එවැනි ත්‍රස්තවාදී සංවිධාන සදහා උදාහරණ වේ.

අපරාධයකට දඩුවම් තීරණය කිරීම සදහා එය නිර්වචනය කිරීම එසේත් නැතිනම් අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍ය වේ. ත්‍රස්තවාදය නිර්වචනය කිරීම අසීරු කාර්යයක් ලෙස සැලෙකන්නේ එම ක්‍රියාවලිය තුළ පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙනි.එක් පුද්ගලෙයකුට ත්‍රස්තවාදියකු වන අයකු තවත් අයකුගේ වීරයකු හෝ විමුක්ති අරගල කරුවකු ‍වේ. ත්‍රස්තවාදී ක්‍රියාවන් වර්තමානයේ නව අවි අායුධ භාවිතා කරමින්, නව ක්‍රම උපායන් භාවිතා කරමින් අන්තර්ජාලය පවා යොදා ගනිමින් ක්‍රියාත්මක වේ. මෙහි තවත් සැලකිය යුතු කරුණ වන්නේ සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් රාජ්‍ය අනුග්‍රහය මත ද ක්‍රියාත්මක වීමය.

ත්‍රස්තවාදයේ ඉතිහාසය 1වන සියවස තරම් ඈත අතීතයට දිව ගියද නූතන ත්‍රස්තවාදයේ ආරම්භය සනිටුහන් වන්නේ ප්‍රංශ විප්ලවයත් සමගය. ඉන් අනතුරුව 19 වන සියවසේදී වඩා බලවත්, ස්ථාවර, වඩාත් සංවිධානාත්මක සංවිධාන බිහි වන්නට විය. මහා බ්‍රිතාන්‍යයට එරෙහිව විමුක්ති අරගලයක යෙදුණු අයර්ලන්ත ත්‍රස්ත සංවිධානය ඒ අතරින් කැපී පෙනෙන්නට විය. 1840 දී මහා බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති දී අයර්ලන්තය විශාල සාගතයකට මුහුණ දුන් අතර අති විශාල ජනසංඛ්‍යාවක් ලෙඩරෝග වැලදීම හා ආහාර නොමැති කම හේතුවෙන් මරණයට පත් විය. අයර්ලන්තෙය් ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සෝදාපාළුවක් මේ වකවානුව තුළ සිදු විය. අයර්ලන්තයේ ස්වද්ශිකයින් විසින් මහා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීන වීම සඳහා ආරම්භ කළ අරගලය ත්‍රස්තවාදයක් බවට පරිවර්තනය වූ අතර වර්තමානයේද එම සංවිධානයේ ක්‍රියාකාරිත්වය දැකිය හැකි වේ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිනිස් ජීවිත වලට හා දේපළ වලට සිදුවන හානි පිළිබද සලකා බලමින් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති දේශීය වශෙයන් ක්‍රියාත්මකකරයි. 1978 වර්ෂයේදී පනවන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ පොලීසියට සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ සැකකරුවන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් බලතල ලබා දී ඇත. එක්සත් රාජධානියේ  පාර්ලිමේන්තුව විසින් 1978 සිට වරින් වර විවිධ අවස්ථාවල ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් පනත් සම්මත කොටගෙන තිබේ. ‍

වර්ග ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 1951 දී  Convention on the Prevention and Punishment of the Crime of Genocide සම්මත කර ගන්නා ලදී.  එමෙන්ම 1984 දී කෘෘර හා අමානුෂික වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය විසින් Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment සම්මත කර ගන්නා ලදී. 1998 දී සම්මත කරගනු ලැබ 2002 වර්ෂෙය් සිට ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් වර්ග ඝාතනය, යුද්ධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. එහෙත් ත්‍රස්තවාදය වෙනම වරදක් වශයෙන් වෙන්කොට නීතිය ක්‍රියාත්මක කිරීම අන්තර්ජාතික වශයෙන් මෙතෙක් සිදු වී නොමැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වත්මන් මුලස්ථානය වන නෙදර්ලන්තයේ හේග් නුවර ඇති ගොඩනැඟිල්ල. (www.pbs.org)

1934 සිට 1937 දක්වා කාලය තුළ ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් ත්‍රස්තවාදය සම්බන්ධව දඬුවම් පැමිණවීම සඳහා සම්මුතියක් ඇති කිරීමට කමිටුවක් පත් කර 1937 දී ත්‍රස්තවාදය සඳහා නිර්වචනයක් ද ඇතුලත් කරමින් සම්මුතියක් රාජ්‍යයන්හි අපරානුමැතිය සදහා යොමු කළ ද රාජ්‍යයන් විසින්ඒ සදහා අනුමැතිය ලබා දීමට මැලි වීමෙන් එම ප්‍රයත්නය අසාර්ථක විය. 1972 ජර්මනියේ මූනිච් හි දී පලස්තීන ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඊශ්‍රායල් මලල ක්‍රීඩකයින් 11 දෙනෙකු මරා දැමීමේ සිදුවීම ලෝකයම භීතියට පත් කළ ත්‍රස්ත ක්‍රියාවක් වූ අතර, ඉන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය විසින් එම වර්ෂයේ  පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය වෙත ත්‍රස්තවාදය වැලැක්වීම හා දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් සකස්කරන ලද සම්මුතියක් ඉදිරිපත් කරන ලදී. එහෙත්  රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධාන ක්‍රියාකාරකම් එහි දී අදාලකර නොගෙන තිබූ නිසාවෙන් ඒ සඳහා අනුමැතිය නොලැබුණි. එමෙන්ම එම සම්මුතිය අන්තර්ජාතික ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා පමණක් සිමා වී තිබූ අතර ස්වයං නිර්ණ අයිතිය සදහා ක්‍රියාත්මක වන ස්වදේශික සංවිධාන සඳහා අදාල කරගෙන නොතිබුණි.

මුනික් සමූල ඝාතනයේ අවස්ථාවක් . බටහිර ජර්මානු පොලිස් භටයන් දෙදෙනෙකු “කළු සැප්තැම්බර්” යන පලස්තීන ත්‍රස්තවාදී කණ්ඩායමට පහර දීමට සැරසෙමින්. (AP)

1996 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලදී. එමගින් 2000 වර්ෂයේදී  ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සම්මුතියක් කෙටුම්පත් කරන ලදී. මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වූයේ රාජ්‍ය බලය යොදා ගනිමින් සිදු කරන ත්‍රස්තක්‍රියා සඳහා කොතරම් දුරට මෙම සම්මුතිය අදාල කර ගන්නේද යන්නයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ස්ථාවරය වී තිබුනේ සන්නද්ධ කණ්ඩායම් යන්නට රාජ්‍ය පාර්ශවයන් හා සංවිධානාත්මක කණ්ඩායම් යන කාණ්ඩ දෙකම අදාල කර ගත යුතු බවය. කෙසේ වුව ද තවත් මත ගැටුම් කිහිපයක් ම වූ අතර සමහර රාජ්‍යයන් සම්මුතියෙහි වු එකදු වගන්තියකටවත් කැමැත්ත පළ කළේ නැත.

2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වන දින ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අන්තර්ජාතික ප්‍රජාව අතර ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. කෙසේ වුවද මේ වන තුරු ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අපරාධමය නීති ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර ක්‍රමවේදයක් සම්මත වී නොමැත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි හය වන කමිටුව සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුවට සමගාමීව සැප්තැම්බර් මස සිට නොවැම්බර් දක්වා පැවැත්වේ. එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනුයේ පවතින ත්‍රස්තවාදී ක්‍රියාවන්, ඒ සම්බන්ධව අන්තර්ජාතික ප්‍රජාවට ගතහැකි නෛතික ක්‍රියා මාර්ග පිළිබදවය.

ලෝකයේ අතීතයේ ක්‍රියාත්මක වූ හා වර්තමානයේ ක්‍රියාත්මක වන බොහොමයක් ත්‍රස්ත කණ්ඩායම්වල ඉල්ලීම වනුයේ ස්වයං නිර්ණය(Self-Determination) අයිතියයි.මෙහි ඇති ගැටළුව වන්නේ ඔවුන් එම ඉල්ලීම දිනා ගැනීම සදහා අනුගමනය කරන ක්‍රමවේදයෙහි පවතින වැරදි සහගතභාවයයි. එහෙත් එම ඉල්ලීම දිනා ගැනීම සදහා වෙනත් විකල්ප මාර්ගයක් නොමැති අවස්ථානකදී අනුගමනය කරනුයේ

ත්‍රස්තවාදය නම් එය අපරාධයක් ලෙස සැලකීම කෙතරම් යුක්ති සහගතද යන ගැටළුවට නිසි පිළිතුරක් නොමැත. කෙසේ වුවද සිය ඉල්ලීම් දිනා ගනු වස් ම්ලේච්ඡ හා ප්‍රචණ්ඩ ක්‍රම අනුගමනය කරමින් මිනිස් ජීවිත හා දේපළ අනවශ්‍ය ආකාරයට විනාශ කරන සංවිධාන සම්බන්ධව අන්තර්ජාතික වශයෙන් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව දිනෙන් දින වැඩි වෙමින් පවතී.

කවරයේ ඡායාරූපය: 2007 වසරේ මාර්තු 15 දින ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිදුවූ කාර් බෝම්බයකින් තුවාල වූ ජනතාව. (Reuters/Namir Noor Eldeen)

මූලාශ්‍ර:

  1. Wikipedia
  2. ජිනීවා ICRC වාර්තාව
  3. BBC

Related Articles