විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

ජපානයට පරමාණු බෝම්බ හෙලීම අත්‍යාවශ්‍ය වූයේද​?

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

එදින 1945 අගෝස්තු 6 වනදා ය​. උදෑසන 8 ට පමණ හිරෝෂිමා නගරය දෙසට පැමිණෙන ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ජපන් ආරක්ෂක අංශ වෙත නිරීක්ෂණය වුණා. එහෙත් කුඩා ගුවන් යානා කණ්ඩායමකට පහර දීම සඳහා ජපන් ගුවන් යානා ගුවන් ගත කෙරුණේ නැහැ. ඉන්ධන හිඟය හේතුවෙන් ජපන් හමුදා විශාල ප්‍රහාරයකදී මිසක සිය ගුවන් යානා ගුවන්ගත නොකිරීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ එම ගුවන් යානා අතර එක් ගුවන් යානයක තිබුණේ එතෙක් මිනිසා යුද්ධයකදී භාවිතා නොකළ ආකාරයේ ව්‍යසනකාරී අවියක්.

ජපන් වේලාවෙන් 1945 අගෝස්තු 6 වනදා උදෑසන 8.15 ට පමණ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙලනු ලැබුණා. ඉතා සුලු මොහොතකින් නගරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් වුණා. මින් දින තුනකට පසු නාගසාකි නගරයට ද පරමාණු බෝම්බයක් එල්ල වුණා.

පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවූ වළාවන්. වමේ හිරෝෂිමාව​, දකුණේ නාගසාකිය (Wikimedia Commons)

මේ ආකාරයෙන් පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කිරීම අද දක්වාම විවාදාත්මක මාතෘකාවක් වනවා. මෙහිදී ඊට පක්ෂ පිරිස් දිගින් දිගටම ඉදිරිපත් කරන කරුණ වන්නේ එම ප්‍රහාරය විසින් ඇමරිකානු ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්ෂා කළ බවත්, දෙවන ලෝක යුද්ධය අවසන් වීම ඉක්මන් කළ බවත්. ඉවෝ ජිමා සහ ඔකිනාවා ඇතුලු සටන්වලදී ජපන් හමුදා අවසානය දක්වාම සටන් කළ ආකාරය හේතුවෙන්, ජපානයේ ප්‍රධාන දූපත් ආක්‍රමණය කිරීමට සිදු වූයේ නම් ඇමරිකානුවන් විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වීමට ඉඩ තිබූ බව​ සිතීමට පරමාණු බෝම්බ හෙළීමට පක්ෂ අය පෙළඹුණා. ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මිලියනයක පමණ ඇමරිකන් ජීවිත එවන් ආක්‍රමණයකදී අහිමි වීමට ඉඩ තිබූ බවයි.

හමුදා ප්‍රධානීන්ගේ මතය​

කෙසේ නමුත්, එවකට ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් හි ප්‍රධාන සෙන්පතීන් කිහිප දෙනකුම පරමාණු බෝම්බ හෙළීමට විපක්ෂ බවක් පෙන්නුම් කළා. මෙයින් ප්‍රධානම අයකු වූයේ පසුව ඇමරිකාවේ ජනාධිපති ලෙස ද පත් වූ ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර්. යුරෝපයේ මිත්‍ර පාක්ෂික හමුදාවන් හි අණදෙන නිලධාරියා ලෙස ජර්මනිය පරාජය කිරීමේ මිත්‍ර පාක්ෂික මෙහෙයුම්වල ප්‍රධාන අණ දෙන්නා වූ ඔහු යුද්ධයේ අවසන් සතිවලදී ඇමරිකානු යුධ කටයුතු ලේකම් ස්ටිම්සන් සමඟ පරමාණු බෝම්බ හෙළීම කෙරෙහි සිය අප්‍රසාදය පළ කළ බව සඳහන් වනවා. ඇමරිකානු ජීවිත බේරාගැනීම සඳහා බෝම්බය භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් නොවන අවස්ථාවක, එම බෝම්බය හෙළීමෙන් ලෝක ජනමතය ප්‍රකම්පනය කිරීමේ අවශ්‍යතාවක් නොවන බව අයිසන්හවර් පවසා තිබෙනවා. යුද්ධයෙන් පසු කලෙක ද සිය මතය ප්‍රසිද්ධියේ පළ කරමින් ඔහු කියා සිටියේ එම විනාශකාරී අවියෙන් ජපානයට පහර දීම කිසිසේත් අවශ්‍ය දෙයක් නොවූ බවයි.

අයිසන්හවර් 1959 දී (Public Domain)

එවකට ඇමරිකානු ජනාධිපති හැරී එස්. ටෲමන්ගේ කාර්යයමණ්ඩල ප්‍රධානියා වූ අද්මිරාල් විලියම් ලීහි ද අයිසන්හවර්ගේ අදහස අනුමත කළා. ඔහුගේ අදහස වූයේ පරමාණු බෝම්බය ජපානයට එරෙහි යුද්ධයේදී කිසිදු විශේෂ උපකාරයක් නොවූ බවයි. එයට හේතුව ලෙස ඔහු කියා සිටියේ ඒ වනවිට ද ජපානය යටත් වීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබීමයි.

මේ අතර එක්සත් ජනපද උපක්‍රමික ගුවන් හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් ස්පාට්ස්, එක්සත් ජනපද යුධ හමුදාවේ ගුවන් සේනාංකය භාර අණ දෙන නිලධාරී ජෙනරාල් ආර්නෝල්ඩ්, සහ නාවික හමුදාවේ අද්මිරාල් කින්ග් ද පරමාණු බෝම්බය අත්‍යාවශ්‍ය නොවූ අවියක්ය යන අදහස හා එකඟත්වය පළ කර තිබුණා.

සාමය සඳහා අත වැනීම​

1945 වසරේ මුල් භාගය ගෙවෙමින් පවතිද්දී තමන් පරාජය වෙමින් පවතින යුද්ධයක නියැලී සිටින බව අන්ත යුධකාමීන් හැරුණ කළ අන් ජපන් දේශපාලන නායකයින් තේරුම් ගෙන තිබුණා. මේ හේතුව නිසාම ඔවුන් මිත්‍ර පාක්ෂිකයන් හා සටන් විරාමයකට පැමිණීමේ හැකියාව සොයා බලමින් සිටි බව සඳහන්. මෙහිදී ඔවුන් මිත්‍ර රටවල් හා සම්බන්ධීකරණය පවත්වාගැනීමට උත්සාහ කළේ සෝවියට් දේශය හරහායි.

හිරෝෂිමා සහ නාගසාකි පිහිටීම් (Wikimedia Commons)

1941 දී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කළ ද ජපානය සෝවියට් දේශයට එරෙහිව යුධ වැදීමට ක්‍රියා කළේ නැහැ. ජපානයේ අවධානය යොමුව පැවතුණේ පැසිෆික් (ශාන්තිකර​) සාගරය දෙසටයි. මේ අතර සෝවියට් දේශය ද ජර්මනිය සමඟ යුධ වැදී සිටියෙන් එම යුද්ධය අවසන් වනතුරු ජපානය සමඟ යුද්ධ කිරීමේ හැකියාවක් එරටට තිබුණේ ද නැහැ. මේ හේතුව නිසා ජපානය සහ සෝවියට් දේශය අතර තානාපති සබඳතා දිගටම පැවතුණා.

මිත්‍ර රටවල්වලට යටත් වීමට පක්ෂව ජපානය තුළ මතුවූ කණ්ඩායමට ද එක් ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. එනම් අධිරාජයාගේ තනතුර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයි. ඇමරිකානු ප්‍රහාර හමුවේ ජපන් සෙබලුන් හා නිලධාරීන් මරණය තෙක්ම සටන් කළේ අධිරාජයා වෙනුවෙන්. අධිරාජයාගේ තනතුර ආරක්ෂා කරන ප්‍රතිඥාව මත මිත්‍ර රටවලට යටත් වීම කෙරෙහි ජපන් නායකත්වයේ ඇතමුන් අවධානය යොමු කළා.

මේ අතර​, වාර්තාවන අන්දමට ඇමරිකානු ජනාධිපතිවරයා ද මෙම අදහස ප්‍රතික්ෂේප කළේ නැහැ. අප දන්නා පරිදි අවසානයේදී සිදු වූයේද එයයි. එදා මෙන් බලයක් නොමැති වුවද​, අදටත් ජපානයේ අධිරාජයා එම තනතුර දරනවා.

මෙවන් තත්ත්වයක් යටතේ දෙපක්ෂය අතර යම් එකඟතාවයකින් පසු යුද්ධය නිමා කිරීමේ හැකියාව නොතිබුණා කිව නොහැකියි. මිත්‍ර රටවල් කළ යුතුව තිබුණේ අධිරාජයාට අත නොතැබීමේ කොන්දේසිය පමණක් මත යටත් වන ලෙස ජපානයට බල කිරීමයි.

සෝවියට් දේශය නැවැත්වීම​

කළින් ඇතිකරගත් එකඟතාවයක් අනුව යුරෝපයේ යුද්ධය අවසන්ව මාස තුනකට පසු, එනම් 1945 අගෝස්තු 8 වනදා, සෝවියට් දේශය ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කළා. සෝවියට් හමුදා ජපන් රූකඩ රාජ්‍යයක් වූ මැන්චුකුවෝ ප්‍රදේශයට (වර්තමාන චීනයේ පිහිටි මැන්චූරියාව​) කඩා වැදුණා. මෙසේ සෝවියට් දේශය යුද්ධයට අවතීර්ණ වන බව කළින් පටන් මිත්‍ර රටවල් දැන සිටියා.

මේ අවස්ථාවේ දුර්වලව සිටි ජපන් හමුදා පරාජය කරමින් සෝවියට් හමුදා වේගයෙන් මැන්චූරියාව සහ කොරියාව අල්ලාගනු ඇතැයි මිත්‍ර රටවල් අනුමාන කළා. මේ අවස්ථාවේ ඇමරිකානුවන්ට අවශ්‍ය වූයේ සෝවියට් දේශයේ බලපෑම හැකිතාක් සීමා කර තබා ගැනීමයි.

හිරෝෂිමා සාම ස්මාරකය (Wikimedia Commons)

සෝවියට් හමුදා මෙසේ විශාල ප්‍රදේශයක් අල්ලාගැනීම වැළැක්වීමට අවශ්‍ය වූ බවත් එහෙයින් යුද්ධය ඉක්මණින් නිම කිරීමට ඇමරිකාවට අවශ්‍ය වූ බවත් මතයක් තිබෙනවා. එම මතය අනුව පරමාණු බෝම්බ හෙළීමේ අරමුණ වූයේ ජපානය ඉක්මණින් යටත් කරගෙන සෝවියට් බලපෑම සීමා කිරීමයි.

දෙවන ලෝක යුද්ධය අවසානයේ සිදු වූ එක් ප්‍රතිඵලයක් නම් උතුරු කොරියාව සෝවියට් හමුදා අතට පත් වෙද්දී ඇමරිකානු හමුදා පාලනයකට දකුණු කොරියාව පත් වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ අනෙකුත් බෙදීම් මේ වනවිට නිරාකරණය වී ඇතත් මෙම බෙදීම තවමත් නිරාකරණය වී නැහැ.

අනෙක් අතට යම් හෙයකින් ජපානය යටත් වීම තවත් කල් ගතවී නම් සමස්ථ කොරියානු අර්ධද්වීපයම සෝවියට් පාලනය යටතට පත්වීමේ ඉඩක් තිබුණ බවට ද පැවසිය හැකියි. එසේ වී නම් ඇතැම්විට සමස්ථ කොරියාවම මේ වනවිට කිම් ජොන්ග්-අන් විසින් පාලනය කිරීමට ද ඉඩ තිබුණා.

මූලාශ්‍ර​

Alperovitz, Gar, The Use of the Atomic Bomb, in The Origins of the Cold War, 2nd Edition (ed. Paterson, Thomas G.) D. C. Heath and Company (1974)

Ulam, Adam B., The Diplomatic Impotence of the Bomb, in The Origins of the Cold War, 2nd Edition (ed. Paterson, Thomas G.) D. C. Heath and Company (1974)

Lewis, Chris H., Debating the American Decision to Drop the Atomic Bomb, University of Colorado, Boulder. (2002)

Cover Image: හිරෝෂිමා ව්‍යසනය (AP)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්