Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යකුසා හෙවත් ජපන් මහත්මාවරුන්ගේ මාෆියාව

ආරම්භය

යකුසා එහෙමත් නැත්නම් ජපන් මාෆියාව ආරම්භ වෙන්නේ ක්‍රි. ව. 1600 වැනි ඉතා ඈත අතීතයේදි. සමාජයේ පහළ ස්ථරයේ සිටි ටෙකියාවරු, හමුදාව හැරගිය සොල්දාදුවන්, ස්වාමියා මියගිය හෝ හැරගිය සමුරායිවරුන් (රෝනින්වරු), විප්ලවකාරී අදහස් දැරූ තරුණයන් එක්වී ආරම්භ කළ යකුසාව දැන් ජපාන සමාජය පුරා පැතිරගොස් තියෙනවා.යකුසා වැඩිපුරම පැතිර යන්නේ ඔවුන් සමග සුදූකරුවන් එක්වීම සමගයි. ජපානයේ සියලුම ව්‍යාපාරවල කොටස්කරුවන් වන යකුසාව ජපාන දේශපාලනයට පවා බලපෑම් කරනවා. ඒ වගේම තවත් රසවත් කරුණක් තමයි යකුසා හෙවත් ජපන් මාෆියාව ජපානය තුල අර්ධ නීතිගත සංවිධානයක් වීම.

උත්සවයකට සහභාගී වන යකුසාවරු (highsnobiety.com)

යකුසා හි ඇතුලාන්තය

යකුසා කියන්නෙ ජපන් මාෆියා කල්ලි 21කට කියන තනි නාමයක්. වාර්ථා වෙන විදිහට ජපන් මාෆියාවට සම්බන්ධ සාමාජිකයන් 100000කට අධික ප්‍රමාණයක් සිටිනවා. යකූසාහි ප්‍රධාන කල්ලි වන ‍Yamaguchi-gumi, Sumiyoshi-kai, Inagawa-kai සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් සිටින කල්ලි වෙනවා. මේ කල්ලි වලට ඔවුන්ටම සුවිශේෂ ලාංඡනයක් වගේම ප්‍රධාන කාර්‍යාලයක් සහ සමහර කල්ලි වලට නිල ඇඳුමක් පවා තියෙනවා.

යකුසා පවුලක් (pinterest.com)

යකුසා සාමාජිකයන් ගෞරවය පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වනවා. ඔවුන් සලකන්නේ යකුසා කණ්ඩායම ඔවුන්ගේ පවුල වගේ. කණ්ඩායමේ නායකයා “ඔයබුන්” නමින් හදුන්වනවා. යකූසා කණ්ඩායමක ශක්‍තිය තමයි සාමාජියන් අතර බැඳීම. පිය පුතු සබඳතාවක් පෙන්නුම් කෙරෙන “ඔයබුන්-කොබුන්” සබඳතාවය නිසා සාමාජිකයන් අතර ඉතා විශාල බැදීමක් වගේම ගරුත්වයක් පවතිනවා.මේ ඔයබුන-කොබුන් බැදීම සෑම සාමාජිකයෙක්ටම තියෙනවා. සාමාජිකයෙක් ඔහුගේ ඉහළ සාමාජිකයන්ට කොබුන් ලෙසත් පහළ සාමාජිකයන්ට ඔයුබන් ලෙසත් ක්‍රියාකරනවා. විශාලම යකුසා සංවිධානය වන ‍යමගුචි-ගුමි සංවිධානය මේ වගේ ස්ථර පහකින් යුක්ත සැකැස්මකින් යුක්තයි. ඔවුන් යටතේ කුඩා කල්ලි 500ක් පමණ පාලනය වන බව තමයි පැවසෙන්නෙ. විශාල වශයෙන් යකුසා සංවිධානය ක්‍රියාත්මක වෙන්නෙ කොබේ සහ ටෝකියෝ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනයි.

පච්ච කෙටීම

යකුසාවේ දකින්න ලැබෙන අපූර්වතම දෙයක් වන්නේ ඔවුන්ගේ ශරීරය පුරාම දකින්න ලැබෙන වර්ණවත් පච්ච කෙටීමයි. මොවුන් පච්ච කෙටීමට භාවිත කරන්නේ ඉපැරණි ක්‍රමයක්. උණ බම්බු වලින් සෑදූ කූරකින් තීන්ත හමට කාවැද්දවීමෙන් මෙම පච්ච කෙටීම කරනු ලබනවා. ඉතාමත් වේදනාකාරී මෙන්ම කල් ගතවන ක්‍රමයක් වන මේ ක්‍රමය යකුසා සාමාජිකයන්ගේ වේදනාව දරාගැනීම හා ඉවසීම පිළිබඳ කෙරෙන පරීක්ෂණයක් ලෙසත් හැඳින්වෙනවා. මේ සෑම පච්ච රටාවක්ම අර්ථවත්. මෑත ඉතිහාසයේ මකරුන් වැනි යකුසාවට උරුම පච්ච රටාවන් ජපානයේ මෙන්ම ලෝකයේ ඉතාමත් ජනප්‍රිය රටා වෙලා තිබෙනවා. ඒ වගේම යකුසා සාමාජිකයන් ප්‍රසිද්ධියේ මේ පච්චා පෙන්වන්නේ බොහොම කලාතුරකින්. ඒ පෙන්වන්නේත් සුවිශේෂ උත්සව අවස්ථාවල පමණයි. ඔවුන් අත් දිග කමිස වලින් මේ පච්ච ආවරණය කරගන්නවා.

පච්ච කෙටූ යකුසා සාමාජිකයන් (japanesevideocast.com)

වරදට දඩුවම් – යුබිට්සුමෙ

යකුසා සාමාජිකයෙක් ඔවුන්ට නුසුදුසු ක්‍රියාවක් සිදු කළොත් ඉතාමත් දරුණු දඬුවමකට යටත් වෙන්නට සිදුවෙනවා. වැරදිකරුගේ ඇඟිල්ලේ කොටසක් ඔහුටම කපා ඉවත්කරන්නට සිදුවෙනවා. පළමු වැරැද්දේදි කුඩාම ඇඟිල්ලේ කොටසක් කපා දමනවා. ඉන්පසු වැරැද්දක් සිදුකළොත් ඉතිරි ඇඟිලිත් පිළිවෙලින් කපාදමනවා. මේ දඬුවම ඔයබුන් හෙවත් නායකයාටත් වලංගුයි. මේ කපා දැමූ ඇඟිලි වෙනුවට සමහර සාමාජිකයන් කෘත්‍රීම ඇඟිලි පළදිනවා.

වරදට දඩුවම් – යුබිට්සුමෙ (animalnewyork.com)

ජපාන දේශපාලනය සහ යකුසා

ජපාන දේශපාලනය තුළ යකුසා ලොකු භූමිකාවක් රගපානවා. ඔවුන්ට හිතවත් දේශපාලන පක්ෂවල ඡන්ද ව්‍යාපාර කටයුතුවල වගේම දේශපාලන නායකයන්ගේ ආරක්ෂක අංශය විදිහටත් යකුසා ක්‍රියාකර තිබෙනවා. ජපාන අගමැතිවරුන් පස්දෙනෙක් යකුසා සමඟ ඉතා සමීපයෙන් ගනුදෙනු කර ඇති බවට සාක්ෂි ඇතිව ඔප්පු වෙලා තිබෙනවා. ඒ වගේම යකුසා සංවිධානයට විරුද්ධ වන දේශපාලකයන් තනතුරු වලින් ඉවත් කිරීමට පවා යකුසා සංවිධානය අතීතයේ ක්‍රියා කර තිබෙනවා.

ව්‍යාපාර හා අපරාධ

යකුසාවට ජපානයේ තිබෙන සියලුම ව්‍යාපාරවල කොටස් තිබෙන බව කියවෙනවා. ජපාන කොටස් වෙළෙඳපොළේ යකුසා ක්‍රියාකාරීත්වය ඉතා ඉහළයි. ඒ වගේම ඔවුන් ගණිකා ජාවාරම, අවි ආයුධ ප්‍රවාහනය වැනි නීති විරෝධී ක්‍රියා වලත් නිරතවෙනවා. ‍යමගුචි-ගුමි කල්ලිය මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ලෙස විරුද්ධ කල්ලියක් වුනත් සමහර යකුසා කල්ලි මත්ද්‍රව්‍ය ජාවාරමටත් සම්බන්ධයි. ඒ වගේම මොවුන් විසින්ම තමයි ජපාන නිල් චිත්‍රපට කර්මාන්තය පාලනය කරන්නේ.

ව්‍යාපාර හමුවකට සහභාගී වන යකුසාව (thedailybeast.com)

මොවුන්ගේ තවත් උපක්‍රමශීලී ආදායම් මාර්ගයක් තමයි කප්පම් ගැනීම එහෙම නැත්නම් “සොකියා” කියන්නෙ. ඔවුන් ප්‍රථමයෙන් සමාගමක කොටස් මිලදී ගන්නවා. ඉන්පසුව ඔවුන් සමාගමේ අයිතිකරුවන්ගේ වැරදි කෙසේ හෝ  සොයාගෙන කොටස්කරුවන්ගේ හමුවීම්වල ඒ වැරදි හෙළි කරන බවට තර්ජනය කරනවා. එසේ නොකිරීමට නම් ඔවුන්ට කප්පම් ගෙවීමට සිදුවෙනවා. මේ කප්පම් එකතු කරගන්නා විදිහත් හරි අපූරුයි. යකුසා විසින් සංවිධානය කරන යම් කිසි උත්සවයක හෝ තරගයක ටිකට් පත් ඉතා ඉහළ මිලට විකිණීම, ඔවුන්ගේ කුලියට දෙන නිවසක් ඉහළ මිලට කුලියට දීම වැනි දේවල් වලින් මෙම කප්පම් අය කරගන්නවා. විද්වතුන් කියන්නෙ මේ කප්පම් ගැනීමේ ක්‍රමය ජපානයේ තිබෙන ආචාරශීලී සමාජ රටාවත් එක්ක බද්ධ වෙලා තියෙනව කියලයි. මිට්සුබිෂි සමාගම පවා මෙම කප්පම් වල ගොදුරක් වුණ බව තමයි වාර්ථා වෙන්නෙ.

සමාජ සත්කාර

ජපානයට සුනාමි උවදුරක් හෝ භූමිකම්පාවක් ඇතිවූ විට මුලින්ම සහන සපයන්න ඉදිරිපත් වෙන්නෙ යකුසා සංවිධානය. ගොඩනැගිලි වලට යටවූ පුද්ගලයන් බේරාගැනීම වගේම අවතැන් වූ අයට උදව් කිරීමට හෙලිකොප්ටර් පවා යකුසා සංවිධානය විසින් යොදාගෙන තිබෙනවා.

ජපන් රජයට වඩා වේගයෙන් වියළි ආහාර, පානීය ජලය, ඇඳුම් පැළඳුම් අවතැන් වූවන්ට ලබා දීමට යකුසා සමත්වී තිබෙනවා.

ඒ වගේම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට පවා යකුසා සංවිධානය විශාල ලෙස උදව් කර තිබෙනවා. මේ මගින් ජපාන ජනතාවගේ හිත් දිනා ගැනීමටත් යකුසා සමත් වෙනවා.

ඒ වගේම සමාජ සත්කාර සදහා මුදල් එකතු කිරීමට සුමෝ තරග පැවැත්වීමත් මොවුන් සිදුකරනවා.

යකුසා පිළිබඳ තවත් රසවත් කරුණු

යකුසා සංවිධානය තුල සංවිධානය වෙනුවෙන් මරණයට පත්වීම සැලකෙන්නේ ඉතාමත් කාව්‍යමය හා ගෞරවනීය දෙයක් විදිහට.

සාමාජිකයෙකුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි යකුසා නායකයෙක් (japantimes.co.jp)

මෑතකදී සිට යකුසා සංවිධානය ඔවුන් පිළිබඳ සඟරාවක් එලිදක්වා තිබෙනවා.

2009 වර්ෂයේදී ‍යමගුචි-ගුමි යකුසා කල්ලිය ඔවුන්ගේ සාමාජිකයන්ට විභාගයක් පවත්වා තිබෙනවා. සාමාජිකයන්ගේ නීතිය හා ආර්ථිකය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම තමයි මේ විභාගයේ අරමුණ වෙලා තිබුණේ. තම සාමාජිකයන්ට නීතිය පිළිබඳ හොඳ දැනුමක් ලබා දීමට මෙම කල්ලිය කටයුතු කරනවා.

යකුසා සාමාජිකයෙක් බඳවා ගැනීම සමරන්නේ නායකයා සමග සකේ නම් මත්පැන් කෝප්පයක් පානය කිරීමෙන්. මෙය දෙවියන් හා මිනිසුන් අතර බැඳීම සංකේතවත් කරනවා වගේම නායකයා සහ සාමාජිකයන් අතර බැඳීමත් සංකේතවත් කරනවා. (ඔයබුන්- කොබුන් බැදීම )

යකුසා සංවිධානය ජපානයෙන් පිටත වැඩිවශයෙන් කොරියාව, බ්‍රසීලය හා ඇමරිකාව තුළ පවා ක්‍රියාත්මකයි.

ඒ වගේම මෙම සංවිධානය ලෝක ප්‍රකට අපරාධ කණ්ඩායමක් වන නිසා මෙම සංවිධානය පිළිබඳව නිපදවුනු චිත්‍රපට, වාර්තාමය වැඩසටහන් සහ ටෙලි නාට්‍ය බොහොමයක් තිබෙනවා.

කවරයේ පින්තූරය – independent.co.uk

මූලාශ්‍ර – howstuffworks.com, listverse.com, edition.cnn.com, thoughtcatalog.com, economist.com, japantimes.co.jp, theguardian.com

Related Articles