Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්ෂක ක්ෂීරපායි සත්වයා – හිම වලසා

සීත දේශගුණය දරා ගැනීම, හිම මත ඇවිදීම, පිහිනීම ආදියට සරිලන පරිදි දේහය ස්වාභාවිකවම සැකසී තිබෙන හිම වලසා ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්ෂකයා වෙනවා. වලස් පවුලෙන් පැවත එන මොවුන් උත්තර ධ්‍රැවය ආශ්‍රිතව ජීවත් වන සත්ව විශේෂයක්.

හිම වලසුන්ගේ ව්‍යාප්ත වීම හා නිජබිම්, මොවුන්ගේ වාසභූමි, දැක ගත හැකි භෞතික ලක්ෂණ, දඩයම් හා ආහාර රටා මෙන්ම මෙම සත්ව විශේෂයට තිබෙන තර්ජන ආදිය සම්බන්ධයෙන් මෙහි දී මෙම ලිපිය මඟින් දැන කියා ගැනීමට හැකි වනවා.

හිම වලසුන්ගේ ව්‍යාප්ත වීම හා නිජබිම්

ලෝකයේ හිම වලස් ව්‍යාප්තිය (researchgate.net)

කොන්ස්ටන්ටයින් ජෝන් ෆිප්ස් (Constantine John Phipps) විසින් Ursus maritimus යන විද්‍යාත්මක නාමයෙන් හිම වලසුන්ව හඳුන්වනු ලැබ තියනවා. මෙම සත්ව විශේෂය ආක්ටික් වෘත්තය මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල විසිරී ජීවත් වෙනවා. නමුත් මෙම ප්‍රදේශවල තිබෙන දේශගුණික රටාවත් සමඟ ජන්ම භුමි ආදිය පරික්ෂා කිරීම තරමක් භාරදූර කටයුත්තක්. මෙහි ප්‍රතිඵලය වන්නේ කොපමණ හිම වලසුන් ප්‍රමාණයක් සිටීද යන්න ඇස්තමේන්තු කිරීමට අපහසු වීමයි.

කොහොම නමුත් ජීව විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට 20,000- 25,000 පමණ හිම වලසුන් වර්තමානයේ ජිවත් වනවා. ඒ වගේම හිම වලසුන්ගේ නිජ බිම් ලෙස මූලිකවම වාර්තා වන්නේ ඩෙන්මාර්කය, නොර්වේ, රුසියාව, ඇමරිකා එකසත් ජනපදය හා කැනඩාව ආදී රටවලුයි. ඒ වගේම හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා කිට්ටු සබඳතාවයක් තිබෙනවා. මේ අතරින් හිම වලසාගේ  දේහය සීතලට ඔරොත්තු දිය හැකි පරිදි සැකසී තිබෙනවා.

වාසභූමි

ආක්ටික් ජෛව වළල්ල ලෙසින් හැඳින්වෙන ආක්ටික්හි අයිස් මිඳුණු මහද්වීපික තටාක හා කුඩා දුපත් මොවුන්ගේ වාසභූමි වනවා. අයිස් තට්ටු හා මුහුදු ජලය සමඟ ගැටෙන ස්ථානවල මොවුන් බොහෝ විට දැක ගත හැකියි. සීල් මත්ස්‍යයින් බහුලව එම ස්ථානවල ගැවසීම ඊට හේතුව වනවා.

දැක ගත හැකි භෞතික ලක්ෂණ

ජලයේ පිහිනන හිම වලසෙක් (stlzoo.org)

සයිබීරියානු ව්‍යාඝ්‍රයාට වඩා දෙගුණයක් පමණ විශාල මෙම මාංශ භක්ෂක ක්ෂීරපායි සත්වයාගේ බර හා දිග ගැන අවධානය යොමු කිරීමේදී වැඩුණු පිරිමි වලසෙකුගේ බර කිලෝග්‍රෑම් 350- 700 අතර අගයක් වනවා. එමෙන්ම දිග අඩි 8 – 10 ත් අතර අගයක් ගන්නවා. මීට අමතරව වැඩුණු වැලහින්නියකගේ බර ලෙස දැක්වෙන්නේ කිලෝග්‍රෑම් 150- 250 අතරයි, එසේම දිග අඩි 6-8 ත් අතර අගයක් ගන්නවා.

හිම වලසෙකුට විශාල පාද තිබෙනවා. එමඟින් ලැබෙන ප්‍රයෝජනය වන්නේ හිම හා තුනී අයිස් තට්ටු මත ඇවිදීමට මෙන්ම පිහිනීමේදී ඉදිරියට තල්ලු වීමයි. ඒ වගේම මෙම පාදවල කුඩා ගැටිති දැක ගත හැකි වෙනවා. එමඟින් හිම වලසුන්ට හිම මත පහසුවෙන් ඇවිද යාමට හැකි වෙනවා.

දත් 42 ක් පමණ හිම වලසාට තිබෙනවා. ඒ වගේම ඝන මේද තට්ටුවක්, සමක් හා ලෝම ස්තරයක්ද හිමි වනවා. මෙමඟින් ශරීරය උණුසුම් කිරීම සිදු වෙනවා. එමෙන්ම මැයි සිට අගෝස්තු යන කාල පරාසය තුළදී හිම වලසුන්ගේ ලෝම හැලීම සිදු වන බව දැක්වෙනවා.

මොවුන්ට තිබෙන හැකියාවන් අතරින් කිහිපයක් වන්නේ ගඳ සුවඳ හඳුනා ගැනීමේ හැකියාව, මිනිසාට සමාන ශ්‍රවණ සංවේදනයක්, පැයට කිලෝමීටර් 10ක වේගයෙන් පිහිනීම, පැයට කිලෝමීටර් 5.6 වේගයෙන් ඇවිදීම මෙන්ම පැයට කිලෝමීටර් 40ක වේගයෙන් දිවිමයි.

දඩයම් හා ආහාර රටා

සීල් මත්ස්‍යයෙකු අල්ලාගෙන සිටින අයුරු (dailymail.co.uk)

මෙම මාංශ භක්ෂක ක්ෂීරපායි සත්වයාගේ කැමතිම ආහාරය වන්නේ සීල් මත්ස්‍යයිනුයි. අයිස් මත විවේක ගැනීමට මෙන්ම ගොඩබිමට පැමිණෙන සීල් මතස්‍යයින් හිම වලසුන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. මොවුන්ට මෙම මතස්‍යයින් සිටින ස්ථාන හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් තිබෙනවා.

කුඩා වලසුන් වඩාත් රුචි වන්නේ ප්‍රෝටීනවලින් ඉහළ රතු පැහැති මස් කෑමටයි. සීල් මතස්‍යයින්ට අමතරව හිම වලසුන් මසුන්, කුරුළු පැටවුන්, කුරුළු බිත්තර, පිනි මුවන් හා කකුළුවන් ද ආහාරයට ගනු ලබනවා. බෙරි වර්ග, මුල් වර්ග හා මුහුදු පැළෑටි ආදියද සුළු වශයෙන් ආහාරයට ගනු ලබනවා. මෙසේ ඔවුන් මාංශ භක්ෂක වීමට හේතුවක් ලෙස දැක්වෙන්නේ ප්‍රමාණවත් කැලරි ශාක ද්‍රව්‍ය තුලින් ලබා ගැනීමට නොහැකි වීම නිසයි.

මවගෙන් වෙන් වීමෙන් අනතුරුව යොවුන් හිම වලසුන්ට තනිව දඩයම් කිරීමට අපහසු වනවා. මේ හේතුවෙන් අනෙකුත් හිම වලසුන් විසින් ආහාරයට ගැනීමෙන් අනතුරුව අතහැර දමනු ලබන මළකුණුවල කොටස් ආහාරයට ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල මොවුන්ට දඩයම් කිරීමට හැකි වුවද වැඩුණු හිම වලසුන්ගෙන් දඩයම් බේරා ගැනීමට නොහැකි වනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් ආහාර ගෙන ඉවර කරන තුරු බලා සිටීමට සිදු වනවා. ඒ වගේම මෙසේ ආහාර ගැනීමෙන් අනතුරුව හිම හෝ ජලය මඟින් ශරීරය පිරිසිදු කර ගනු ලැබීමද මොවුන්ගේ එක් හුරු පුරුදු ක්‍රියාවක්.

හැසිරීම හා තර්ජන

හිම වල්සෙකුගේ ලොම් සහිත සම කොටස (Ibtimes.co.uk)

හිම වලසුන් රණ්ඩු කිරීමට මැලි කමක් දක්වනවා. ඒ වගේම වැඩුණු හිම වලසුන් හුදකලා ජිවිතයකට කැමැත්තක් දක්වනවා.  සෙල්ලම් කිරීම් ආදියද මොවුන් තුළින් දක්නට ලැබෙන හැසිරීම් රටාවක්.

මොවුන්ගේ ජිවිතවලට අද වන විට විශාල තර්ජන එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම ආක්ටික් ප්‍රදේශවල වාසය කරන ස්වදේශීය ජනතාව හිම වලසුන් දඩයම් කිරීම සිදු කරනවා.  මෙම ජනතාව හිම වලසුන්ගේ මස් ආහාරයට ගැනීම සිදු කරනවා මෙන්ම ඔවුන්ගේ ලොම් උපයෝගී කර ගෙන ඇඳුම් පැළඳුම් හා සපත්තු ආදියද නිෂ්පාදනය කරනවා. මොවුන්ගේ තෙල් ආහාර පිසීමටත්, පිත්තාශය හා හෘදය අව්වේ වේලා ඔසුවක් ලෙසත්, දත් ආරක්ෂක සුරයක් ලෙසත් භාවිත කරනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල සිදුවන තෙල් කාන්දු වීම්ද හිම වලසුන්ගේ ජිවිතවලට තර්ජනයක්.

හිම වලසුන්ගේ ලෝම වෙළඳාම රුසියාවේ ආරම්භ වී තිබෙන්නේ 14 වන සියවසයේදීයි. ඒ වගේම 16 හා 17 වන සියවස්වල ගිනි අවි පරිභෝජනය හා වෙළඳාම දියුණු වූ නිසා හිම වලසුන් දඩයමද වර්ධනය වීමක් සිදු වී තිබෙනවා. 20 වන ශතවර්ෂයේ මුල් කාලයේදී මෙසේ දඩයම් කිරීම වාර්ෂිකව 1300-500 දක්වා ඉහළ යාමක් සිදු වුණේ හිම මත පදවන වාහන හා අයිස් කඩන නෞකා බිහිවීමත් සමඟයි. කාලගුණික විපර්යාසත් සමඟ හිම වලසුන්ගේ ප්‍රතිශතය පහළ යාමක් සිදු වෙනු ඇතැයිද ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබද ජාත්‍යන්තර සංගමය 2006 වසරේදී ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තුරය: polarbearsinternational.org

Related Articles