විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

“ඇය මගේ බිරිඳයි” යන්න නිදහසට කරුණක් නොවේ

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Imesha Madubhani

Contributor

ස්ත්‍රී ලිංගික අඩත්තේට්ටම යන්න කිසි විටෙකත් සුළු කොට තැකිය හැකි අපරාධයක් නොවේ. නීතිමය වශයෙන් පමණක් නොව මානුෂීය වශයෙන් ගත් කළ ද එය එසේම ය. බොහෝ අවස්ථාවන් හිදී ලිංගික අඩත්තේට්ටම වැරදි ලෙස අර්ථ නිරූපණය වනු දැකිය හැකිය. එය කණගාටුවට කරුණකි. පුරුෂයෙකු සිය ආධිපත්‍යය පෙන්වීමේ ආයුධයක් ලෙසත්, ඇතැම් විට සිය ප්‍රේමය දැක්වීමේ ක්‍රමයක් ලෙසත් ලිංගික අඩත්තේට්ටම අර්ථ නිරූපණය කෙරුණු අවස්ථා මෙරට මෙන්ම වෙනත් රටවල ද දුලබ නොවේ. පුරුෂාධිපත්‍යයේ තවත් වේශයක් ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන ලිංගික අඩත්තේට්ටම වෛවාහකයින් අතර ද පවතින්නකි. එය නීතිය තුල හැඳින්වෙනුයේ වෛවාහක ලිංගික අඩත්තේට්ටම හෙවත් Marital Rape නමිනි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සහ ලිංගික අපයෝජනයන්ගේ කොටසක් ලෙස ද හැඳින්වෙන වෛවාහක ලිංගික අඩත්තේට්ටම අපරාධය සරලවම හඳුන්වනු ලබන්නේ සැමියා විසින් සිය බිරිඳගේ කැමැත්තෙන් තොරව ඇය මත බලහත්කාරයෙන් සිදු කරනු ලබන ලිංගික ක්‍රියා යනුවෙනි. මුල් කාලීනව වෛවාහක ලිංගික අඩත්තේට්ටම අපරාධ ගණයෙහි ලා සැළකීමට නීති විශාරදයින් පවා මැලි වූයේ වෛවාහක කුටුම්බය තුළ සිදු වන ක්‍රියාකාරකම් වෙත බලපෑම් කිරීමට නීතියට හැකියාවක් නොමැති බව පවසමිනි. කෙසේ වෙතත්, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් හි නැග ඒමත් සමග වෛවාහක ලිංගික අඩත්තේට්ටම මනුෂ්‍ය ශරීරයට එරෙහිව සහ ආත්ම ගෞරවයට එරෙහි අපරාධ හෙවත් A Crima against Human body and Dignity ලෙස සළකනු ලැබීමට ලොව රටවල් විශාල සංඛ්‍යාවක් පෙළඹී සිටී.

http://indianexpress.com/

නීතිය පමණක් නොව, මුළු මහත් සමාජයම මේ කෙරෙහි දක්වන්නේ ඉතා ඍණාත්මක ආකල්පයකි. අඹු සැමි යුවලක් අතර සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කිරීම යනු සමාජය තුළ තවමත් තහනම් මාතෘකාවකි. නමුත් වෛවාහක ලිංගික අඩත්තේට්ටම යනු ඔවුන්ගේ කැමැත්තෙන් සිදු වන ක්‍රියාවක් නොවන අතර, එම නිසාම එය අනෙකුත් ලිංගික අඩත්තේට්ටම් වලට වඩා කිසිදු වෙනසක් නොදක්වන දරුණු ගණයේ අපරාධයක් බවට පත්වන බව අප විසින් වටහාගත යුතුය.

අපරාධ නීතිමය තත්වය

1883 අංක 02 දරණ ආඥා පනත හෙවත් මෙරට දණ්ඩ නීති සංග්‍රහය යනු මෙරට බල පැවැත්වෙන ප්‍රධානතම හරයාත්මක අපරාධ නීති සංග්‍රහයයි. අපරාධයන් අර්ථ නිරූපණය කිරීම සහ ඒවාට හිමි නිසි දඬුවම් දක්වා ඇත්තේ ද දණ්ඩ නීති සංග්‍රහය තුල ය. දණ්ඩ නීති සංග්‍රහයේ 364 වන වගන්තිය මගින් ලිංගික අඩත්තේට්ටමක් සිදු කළ තැනැත්තෙකු හට විඳීමට සිදු වන දඬුවම් පිළිබඳව සඳහන් වේ. යම් තැනැත්තෙකු විසින් ලිංගික අඩත්තේට්ටමක් සිදු කළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරනු ලැබුවහොත් ඔහුට වසර හතකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඬුවමක් විඳීමට සිදු වන අතර දඩ මුදලක් ගෙවීමට යටත් වීමට ද සිදු වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වත්මන් නීති තත්වය අනුව අඹු සැමි යුවලක් අධිකරණ නියෝගයක් මත නීතිමය වශයෙන් වෙන්ව සිටින අවස්ථාවක දී හැර (එනම්, දික්කසාද වීමට පෙර, මෙය නීතියෙන් වෙන් වීම (Judicial Separataion/ Spousal Separation) නමින් හැඳින්වේ) අන් අවස්ථාවකදී සැමියා සිය බිරිඳගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් ඇය සමග ලිංගික ක්‍රියාකාරකම් හි නිරත වුවහොත් එය වෛවාහක ලිංගික අඩත්තේට්ටමක් ලෙසින් නොසැළකේ. නමුත් මෙහිදී පැන නගින ගැටළුව වන්නේ නීති පොත් තුළ අධිකරණමය නියෝග මත වෙන්වීමට ඇති හැකියාව දක්වා තිබුණ ද මෙරට තුළ එසේ සිදුවන අවස්ථාවන් විරල වීමයි. බොහෝ කාන්තාවන් සිය සැමියාගේ අපයෝජනයන්ගෙන් දුරස් වීම සඳහා සිය දෙමව්පියන් වෙත ගොස් දිවි ගෙවීමට පෙළඹෙන අතර, දික්කසාදයක් අවැසි අවස්ථාවන්හි දි පමණක් නීතියේ පිහිට පැතීමට ඉදිරිපත් වීම සාමාන්‍ය සිරිතයි.

https://newsclick.in

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත මගින් සිය සැමියාගේ අපයෝජනයන්ට ලක් වන කාන්තාවන් වෙත ආරක්ෂාව සැපයීමට මෙන්ම යම් යම් සහන ලබා දීමට ද කටයුතු යොදා ඇත. ඒ අනුව අපයෝජනයට සහ හිංසනයට ලක් වූ කාන්තාවකට මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමට හැකියාව පවතින අතර ඒ හරහා සිය සැමියා සමග වාසය කිරීමෙන් හෝ ඔහුගේ හිංසනයන්ගෙන් වැළකී සිටීමේ හැකියාව කාන්තාවන් වෙත උදා කර දී තිබේ. නමුත් එහි ඇති ගැටළුව වන්නේ සැමියා සිය බිරිඳ ලිංගික අඩත්තේට්ටමට ලක් කිරීම පවා “හිංසනය”ක් ලෙස අර්ථ නිරූපණය වීම හරහා දුෂක සැමියා වෙත වෙනත් කිසිදු දඬුවමක් පනවනු නොලැබීමයි.

මෙවැනි සිද්ධි බොහෝමයක් සමථ මණ්ඩල වෙත යොමු කිරීම හරහා සමථකරණයට ලක් කෙරුණද නීති සම්පාදකයින්ට පවා මග හැරී ඇති සෝචනීය යථාර්තය වන්නේ සිය සැමියා අතින් ලිංගික අඩත්තේට්ටමට ලක් වීමේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන කාන්තාවන් හට ඒ සඳහා කිසිදු නීතිමය සහනයක් හෝ මානසික සහනයක් නොලැබී යාමයි.

http://indianexpress.com

සැඟවුනු සත්‍යය

ලිංගිකත්වය වැනි මාතෘකා පිළිබඳව ඍජුව සංවාදයක නියැලෙන්නට පැකිලෙන බහුතරයක් දෙනා වාසය කරන ශ්‍රී ලංකාව වැනි රටක වෛවාහක ලිංගික අඩත්තේට්ටම වැනි මාතෘකාවක් සංවාදයට ගැනීම ඉතා අසීරු කරුණකි. ලිංගික අඩත්තේට්ටමට ලක් වුණු කාන්තාවක් පවා නඩු මගට බට හොත් ඇයට පොලිස් ස්ථානයන්හිදී මෙන්ම උසාවියේ සාක්ෂි දීමේ ක්‍රියාවලිය තුළදී පුන පුනා ව්විධ අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව අප කවුරුත් හොඳින් දන්නා තිත්ත ඇත්තකි. එවැනි සිදුවීම්වලට මුහුණ දී නැවත නැවතත් දූෂණය වනවාට වඩා සමාජයෙන් සැඟවී සිටීම යෙහෙකැයි සිතනා කාන්තාවන් ද අප අතර නැත්තේ නොවේ.

තම අයිතීන් පිළිබඳව නොබියව කථා කිරීමට තරම් පරිසරයක් තවමත් අප රට තුළ කාන්තාවන් හට උදා වී නොමැත. එවන් සමාජයක කිසි විටෙකත් තමා තම සැමියා අතින්ම ලිංගික අඩත්තේට්ටමට ලක් වූ බවට පැමිණිලි කිරීමට අප කාන්තාවන් හට හැකියාවක් නොමැති වීම සැබවින්ම දුක්ඛදායක කරුණකි. එවැනි සිද්ධියක් පැමිණිලි කිරීමට පොලිස් ස්ථානයකට පැමිණෙන කාන්තාවකට මුහුණ දෙන්නට සිදු වන අත්දැකීම් කුමක් වනු ඇත්දැයි සිතාගත හැකිය. නීතියේ පිහිට පැතීමට ගොස් නීතිය සුරකින්නන්ගෙන් හා යුක්තිය පසිඳලන්නන්ගෙන් ගැරහුම්වලට ලක් වන්නට සිදු වන්නේ ද කාන්තාවටමය. ලොව රටවල් රැසක් මේ වන විට මෙම අපරාධයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නට පෙළඹී තිබුණ ද තවමත් අප රට තුළ එවැනි කතිකාවතක් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.

තම බිරිඳ යනු තමා සතු තවත් එක් දේපලක් නොවන බවත්, ඇයද තවත් එක් මනුෂ්‍යයකු බවත්, තමා රිසි සියල්ලක්ම ඇයගේ කැමැත්ත ඇති ව හෝ නැතිව සිදු කිරීමට තරම් අනන්‍ය බලයක් කිසිදු විටෙක කිසිදු පුරුෂයකු සතුව නොමැති බවත් අප සමාජයේ බොහෝ දෙනා විසින් තවමත් පසක් කොටගෙන නොමැති සත්‍යයක් බවත් එකහෙළාම පැවසිය යුතුය.

කවරයේ ඡායාරූපය : (https://ebela.in)

තොරතුරු උපුටා ගැනීම –

  1. 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත
  2. 1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්