Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු සිදුවීම් (දෙවැනි කොටස)

ක්‍රිකට් පිටියේ සුපුරුදු ආකාරයට සිදු නොවන වෙනස් සිදුවීම් කිහිපයක අපූර්වත්වය ලියා දැක්වූ පෙර ලිපියේ තවත් කොටසක් ලෙස මෙම ලිපිය හදුන්වා දෙන්නට පුළුවන්. තවත් අපූරු සිදුවීම් තියෙනවා නම් comment එකකින් ඒ බව අපට කියන්න.

පැය කිහිපයකින් බිඳ වැටුණු ලෝක වාර්තාව

හර්ෂල් ගිබ්ස් ජයග්‍රහණය සමරමින් (NDTV Sports)

ක්‍රිකට් ඉතිහාසය පුරාවටම මෙතරම් ඉක්මණින් බිඳ වැටුණු වෙනත් ලෝක වාර්තාවක් නෑ. ක්‍රීඩා ලෝලීන් නැරඹූ හොඳම එක්දින තරගය ලෙසත් මෙය නම් කරන්නට පුළුවන්. 2006 මාර්තු 12 වෙනිදා ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති පස්වන එක්දින තරගයේදී පළමුවෙන්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 400 පසු කර යන්නට සමත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලකුණු 400 පසුකළ පළමු අවස්ථාව එයයි.

රිකී පොන්ටින්ගේ වේගවත් ලකුණු රැස් කිරීමත් සමඟම ශ්‍රී ලංකාව විසින් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 398ක ලෝක වාර්තාව බිඳ දමමින් පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 434ක් රැස් කරනවා. එය එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වර්තාගත වෙනවා.

අනතුරුව පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු පිතිකරුවන් ඕස්ට්‍රේලියානු ලෝක වාර්තාව බිඳ දමන්නේ ඕස්ට්‍රේලියානු පිළේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින්. හර්ෂල් ගිබ්ස්ගේ වේගවත් පිතිහරඹයත් සමඟ පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේදී ඕස්ට්‍රේලියානු වාර්තාව බිඳ දමන දකුණු අප්‍රිකානුවන් ලකුණු 438ක් රැස් කර ලෝක වාර්තාව තමන් සතු කරගන්නවා. එම තරගයේ හයිලයිට්ස් මේ වීඩියෝවෙන් නරඹන්නට ඔබට පුළුවන්. මාස කිහිපයකට පසු එම වාර්තාව ශ්‍රී ලංකාව විසින් අළුත්කරන අතර දැන් එම වාර්තාවට හිමිකම් කියන්නේ ලකුණු 444ක් රැස් කළ එංගලන්තයයි.

ක්‍රීඩකයන්ට ප්‍රථමයෙන් වාර්තා තැබූ ක්‍රීඩිකාවෝ

මාර්ක් වෝ හා ස්ට්ව් වෝ පළමු ටෙස්ට් තරගයට පෙර (Getty Images)

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයෙක් විසින් ලකුණු 200 සීමාව පසු කරන්නේ(ද්විත්ව ශතකයක් ලබා ගන්නේ) 2010 පෙබරවාරි මාසයේ 24 වනදා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු තරගයේදී අපි කවුරුත් හොඳින් දන්නා සචින් තෙන්ඩුල්කාර්. නමුත් කාන්තා ක්‍රිකට් හි 200 ඉක්මවා ලකුණු රැස් කරන්නේ 1997 තරම් ඈත අතීතයේයි. ඕස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් නම් පිතිකාරිණිය 1997 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඩෙන්මාර්කයට එරෙහිව ලකුණු 229ක් නොදැවී රැස් කිරීමෙන් එම වාර්තාව පිහිටුවනවා.

මාර්ක් වෝ හා ස්ට්ව් වෝ යනු ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ඕස්ට්‍රේලියානු නිවුන් සහෝදරයන් දෙදෙනෙක්. ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ මුල්ම නිවුන් සහෝදරයන් දෙදෙනා ලෙස ඔවුන් වාර්තා පිහිටුවා තිබෙනවා. නමුත් කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක මෙම වාර්තාව තබන්නේ ඊට වසර ගණනාවකට පෙරයි. ඒ නවසීලන්තයේ රෝස්මෙරි සිග්නල් සහ එලිසබෙත් සිග්නල් යන නිවුන් සොහොයුරියන් දෙදෙනා විසින් නවසීලන්ත හා එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර 1984 ජූලි මාසයේදී හෙඩිංලි හිදී පැවති කාන්තා ටෙස්ට් තරගයකදීයි.

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නමක් ඇසුරින් නිර්මාණය වූ ෂර්ලොක් හෝම්ස්

සර් ආතර් කොනන් ඩොයිල් (The Victorian Web)

අපි කවුරුත් තදින් වැළඳගත් කතා මාලාවක් වන ෂර්ලොක් හෝම්ස් ග්‍රන්ථ පෙළ නිර්මාණය කරන සර් ආතර් කොනන් ඩොයිල්

යනු ප්‍රමුඛ ක්‍රිකට් සමාජයක් වන ලෝඩ්ස් හි මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ දක්ෂ ඉදිරිපෙළ පිතිකරුවෙක්. ඔහු පළමු පෙළ තරග 10කට ක්‍රීඩා කර තිබෙනවා. කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ ග්‍රන්ථයේ ප්‍රධාන චරිතය සඳහා ෂර්ලොක් හෝම්ස් යන නාමය තබන්නේ ඔහු හා ක්‍රීඩා කළ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමක් ඇසුරෙන්. කොනන් ඩොයිල් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය අදටත් ක්‍රිකට් ලොවේ ප්‍රධානතම ක්‍රිකට් සමාජය වෙනවා.

ICC එකේ අසාර්ථක උත්සාහය

සයිමන් ජෝන්ස් වෙනුවට පිතිකරු වික්‍රම් සොලැන්කි ආදේශ වීමෙන් අනතුරුව (Sky Sports)

Football ක්‍රීඩාවේදී මෙන් තරගයේ ඕනෑම අවස්ථාවක එක් ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශනය කළ හැකි වීම (substitution) ICCය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය ඉහළ නංවන්නට 2005 වසරේදී ගෙන ආ අලුත් නීතියක්. Super sub කියන්නේ මේ අළුතෙන් අත්හදා බැලීමට ගෙන ආ නීතියේ නම යි.

Super sub නීතිය පළමුවරට ක්‍රියාත්මක වන්නේ 2005 වසරේ ජූලි 7වනදා ලීඩ්ස් හි පැවැත්වුණු ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරගයේදීයි. ක්‍රිකට් ඉතිහාසයේ සිදුවූ පළමු ක්‍රීඩක ආදේශනය ලෙස එංගලන්ත පිළේ වේග පන්දු යවන ක්‍රීඩක සයිමන් ජෝන්ස් වෙනුවට පිතිකරු වික්‍රම් සොලැන්කි ආදේශ වෙනවා. අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් මේ අවස්ථාව ලබා ගන්නවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් හේඩ්න් වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක බ්‍රැඩ් හොග් ආදේශ වෙනවා. කෙසේ වෙතත් බලාපොරොත්තු වූ සාර්ථකත්වයක් Super sub නීතිය තුළින් ලැබෙන්නේ නෑ. බොහෝ ක්‍රිකට් ලෝලීන් Super sub නීතිය පිළිබඳව නොදන්නේ  අසාර්ථක වූ මෙම අත්හදා බැලීමේ නීතිය ක්‍රියාත්මක කර මාස කිහිපයකින් පසුව ICCය විසින් අවලංගු කර දමන නිසයි.

කලූ Most Famous Ducks ලිස්ට් එකට

කලුවිතාරණ ලකුණු නොලබා දැවී ගිය අවස්ථාව (Quora)

සනා- කලූ සුසංයෝගය හේතුවෙන් පන්දු යවන්නන් ක්‍රිකට් දිවියට ආයුබෝවන් කී ආකාරය පෙර ලිපියෙන් ගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් අද කියන්න යන්නෙත් සනත් ජයසූරිය ගහපු ගැහිල්ලට රොමේෂ් කලුවිතාරණට කිසිවක් කර ගන්නට බැරි වූ තරගයක් පිළිබඳවයි.

1996 වසරේ අප්‍රේල් මාසයේ සිංගප්පුරුවේ පැවැත්වුණු සිංගර් කුසලාන අවසාන තරගයේදී තමයි මේ සිදුවීම වෙන්නේ. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති අවසන් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසෙන්නේ සනත් ජයසූරිය සමඟ රොමේෂ් කලුවිතාරණයි. ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වන සනත් ජයසූරිය පන්දු 17ක් තුළ නව ලෝක වර්තාවක් පිහිටුවමින් වේගවත්ම අර්ධශතකය ලබා ගන්නවා. මෙහි අපූර්වතම සිදුවීම වන්නේ සනත් ජයසූරිය අර්ධශතකයටත් වඩා ලකුණු රැස් කරන විට රොමේෂ් කලුවිතාරණට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් ඔහු ලොව Most Famous Ducks ලිස්ට් එකට ඇතුල් වූ ක්‍රීඩකයෙක් ලෙස නම් කරනවා.

පස්වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී පළමු කඩුල්ල ලෙස රොමේෂ් කලුවිතාරණ ලකුණු නොලබා දැවීයන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 70ක් ලෙස දිස් වෙනවා. සනත් ජයසූරිය යනු කවුරුන්දැයි යන්න වටහා ගැනීමට මේ සිදුවීම හොඳටම ප්‍රමාණවත් බවයි විචාරකයන් පවසන්නේ. වසර 9ක් තිස්සේ නොබිඳී තිබූ සනත්ගේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩි විලියස් විසින් බිඳ දමන්නේ 2015 වසරේදීයි. ජයසූරිය හතර අතට ගහපු ගැහිල්ල මේ වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

මේ විදිහේ තවත් සිදුවීම් ක්‍රිකට් පිටියෙන් සොයා ගන්නට පුළුවන්. ඉතින් ඒ දේවල් පිළිබඳව අපටත් කියන්න.

Related Articles