Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු සිදුවීම්

ක්‍රිකට් ඉතිහාසය තුළ සැඟවී තියන හරි අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපි අදහස් කළා. පැරණි එක්දින හා ටෙස්ට් තරගවලින් සොයා ගත් වෙනස් විධියේ අසාමාන්‍ය අවස්ථා කිහිපයක් මේ ලිපියේ අන්තර්ගතයි. මේවගේ තවත් අපූරු අවස්ථා තියෙනවා නම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

අත් ආවරණ හා පා ආවරණ නොමැතිව කඩුලු රැකීම

ඉයන් බොතම් (The Cricket Monthly)

එංගලන්තයෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මෙන්ම කලක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සර් ඉයම් බොතම් ගැන අපි කවුරුත් හොඳින් දන්නවා. ඉයම් බොතම් 1993 ජූලි 19 වැනිදා ඩරම් ප්‍රාන්ත කණ්ඩායම හා සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරගයේදී අවසන් ඕවරයේදී කඩුලු රැක තිබෙන්නේ කිසිම අත් හෝ පා ආවරණයක් පැළඳ නොගනිමින්. මේ ක්‍රියාව දුටු ප්‍රේක්ෂකයන් විමතියට පත් වූ බව සදහන් වෙනවා.

වම් අත කැඩුණු පසු දකුණු අතින්

මැල්කම් මාර්ෂල් තනි අතින් පිත්ත හසුරවමින් (The Cricket Monthly)

මේ කතාවනම් ටෙස්ට් ක්‍රිකට් පිටියේ අමතක නොවන අවස්ථාවක් ලෙස සදහන් කරන්න පුළුවන්. සුපිරි බටහිර කොදෙව් වේග පන්දු යවන්නෙකු වූ මැල්කම් මාර්ෂල් පිළිබඳව ඔබ සමහර විට අසා ඇති. ඔහු තමයි මේ සිදුවීමට මූලික වන්නේ.

1984 ජූලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර එංගලන්තයේ පැවැත්වුණු ටෙස්ට් තරගයේදී පළමු දිනයේ පන්දු රකිමින් සිටියදී වම් අතේ සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන් දින 10ක් යනතුරු විවේක ගන්නා ලෙස වෛද්‍යවරයා විසින් මාර්ෂල්ට උපදෙස් දෙනවා. තරගයේ තුන්වන දිනයේ  අවාසනාවන්ත ලෙස නව වන විකට්ටුව බිඳ වැටෙන්නේ ලැරී ගෝමස් නම් බටහිර ඉන්දීය පිතිකරුවා ලකුණු 96ක් රැස්කරගෙන සිටින අවස්ථාවේ යි. වම් අතට වෙළුම් පටියක් දමාගෙන ලැරී ගොමස්ගේ ශතකය සම්පුර්ණ කරන්නට සහායවීම සඳහා ක්‍රීඩාගාරයේ සිට දිව එන මාර්ෂල් දැකීමෙන් ප්‍රේක්ෂකයන් අත්පොලසන් නගනවා.

පසුව මාෂල්ගේ මෙම ක්‍රියාව සියලු දෙනාම පාහේ අගය කරන්නට වුණා. තනි අතින් පන්දුවට පහරදෙමින් සිනහමුසු මුහුණින් යුතුව මාර්ෂල් ක්‍රීඩා කරන වීඩියෝව නරඹන්නට ඔබට පුළුවන්.

සර් විව් රිචර්ඩ්ස්ගේ විවේචනයට පිළිතුරු

දිනේෂ් රාම්දීන් තමන් ලියු කඩදාසිය පෙන්වමින්. (The Indian Express)

2012 මැයි මාසයේ ආරම්භ වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරය සඳහා තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙනවා. පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට සත්කාරක එංගලන්තය සමත්වෙනවා. දෙවන තරගයත් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජය ගන්නේ කඩුලු නවයක් අතැතිවයි.

තරගාවලියේ තරග 2ක් පිටපිට පරාජය වී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තෙවන තරගයට සුදානම් වන විට ඔවුන්ව විවේචනය කරන හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායයෙක් වන සර් විව් රිචර්ඩ්ස් “ බටහිර ඉන්දියානු ක්‍රීඩකයන් මේ තරගාවලිය පරාජය වන්නේ හරියට පාපන්දු තරගයක ගෝල සටහන් කරන ආකාරයට ඒ කියන්නේ 5-0 යි.” එයින් නොනවතින සර් විව් කණ්ඩායමේ කඩුලු රකින්නා වන දිනේෂ් රාම්දීන් පසුගිය ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වීම හේතුවෙන් ඔහුගේ පිතිකරණය පිළිබඳව විවේචනය කරනවා.

Edgbaston, Birmingham හි පැවති තෙවන ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 107ක් රැස් කරන රාම්දීන් අනතුරුව තම කලිසම් සාක්කුවෙන් කඩදාසි කොළයක් ගෙන ප්‍රේක්ෂකාගාරය දෙසට හරවනවා. එහි සටහන්ව තිබුනේ ඔහුව හා කණ්ඩායම විවේචනය කළ සර් විව් රිචර්ඩ්ස් සඳහා ප්‍රතිචාරයක්. කඩදාසියේ මෙසේ ලියැවී තිබුණා “Yeah Viv, Talk Nah”.

ආත්මාර්ථකාමීත්වයට දඬුවමක්

ඉන්දියාවට එරෙහිව මන්දගාමීව ලකුණු රැස් කරන බෝයිකොට් (CricketCountry.com)

යම් කණ්ඩායමක පිතිකරුවෙක් පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගෙන ඒ හේතුව නිසාම ඊළඟ ටෙස්ට් තරගයට සුදුසුකම් නොලැබීම පිළිබඳව ඔබ කවදා හෝ අසා තිබෙනවාද?

1967 ජුනි මාසයේදී Headingley, Leeds හි පැවැත්වුණු ඉන්දියාවට එරෙහි එංගලන්ත තරගයේදී එංගලන්ත ක්‍රීඩක ජෙෆ්‍රි බෝයිකොට් නොදැවී ලකුණු 246 රැස් කළා. ඒ ඔහුගේ ටෙස්ට් දිවියේ ඔහු රැස් කළ හොඳම ලකුණු ප්‍රමාණයයි. පැය 10 කට ආසන්න කාලයක් තුළ පන්දු 555ක් වැය කළ බෝයිකොට්ගේ මෙම ඉනිම නිසා ඔහුව ඊළඟ තරගයෙන් ඉවත් කරන්නට එංගලන්ත තේරීම් කමිටුව ක්‍රියා කරනවා. ඒ ආත්මාර්ථකාමී ලෙස කාලය වැය කරමින් හුදෙක් තමන්ගේ පෞද්ගලික ලකුණු ප්‍රමාණය ඉහළ දමා ගැනීමට පමණක් කටයුතු කළ බැවින්.

පළමු ටෙස්ට් තරගයේ බෝයිකොට් පන්දුවට පහරදුන් ආකාරය මේ වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

ඊශ්‍රායලයට පැරදුණු ශ්‍රී ලංකාව

1979 දී ඊශ්‍රායල් ක්‍රිකට් කණ්ඩායම (Maccabi USA)

මේකනම් වෙලා නැති දෙයක් ලෙස සමහරවිට ඔබ තර්ක කරන්නට පුළුවන්. ඊශ්‍රායල් ක්‍රිකට් කණ්ඩායමක් තිබුණු බවක්වත් අපට මතක නෑ නේද? හැබැයි ඊශ්‍රායල් කණ්ඩායමක් ඉදලා තියෙනවා. ඒ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් පරාජය වෙලත් තියනවා.

1970 දශකයේ අග සමයේ ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය රජයන් අතර හොඳ හිත පළුදු වී තිබුණා. 1979 කුසලානය වෙනුවෙන් පැවති මූලික වටයේ තරගයකදී එම රාජ්‍ය තාන්ත්‍රික හේතූන් මත ශ්‍රී ලංකා කණ්ඩායම ඊශ්‍රායලය සමග තරග කිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස ඊශ්‍රායල් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 4ක් හිමි වෙනවා.

–අම්පයර් තරහාවෙලා, විනිසුරුවරයා ලෙස ක්‍රීඩකයෙක්

මේකටනම් ටිකක් හිනා යනවා. 1885 මාර්තු මාසයේදී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හිදී  පැවැත්වුණු ටෙස්ට් තරගයේදී දිගින් දිගටම විනිසුරු George Hodges විසින් ලබාදුන් මත භේදාත්මක තීරණ කිහිපයකට විරුද්ධව එංගලන්ත ක්‍රීඩකයන් තම විරෝධය පෑම හේතුවෙන් තේ පානයෙන් පසුව විනිසුරුවරයා තරගය විනිශ්චය කිරීම ප්‍රතික්ෂේප කරනවා.

විනිසුරුවරයෙක් නොමැති බැවින් තේ පානයෙන් අනතුරුව තරගයේ විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නට සිදු වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Tom Garrett හටයි. ඒ විතරක් නෙවෙයි සංචාරක එංගලන්ත පිළේ අතිරේක පන්දු රකින්නෙකු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්නටත් මේ තරගයේදී සිදු වීම විශේෂ කරුණක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.

සනා-කලූ සුසංයෝගයට බියවී ක්‍රීඩාවෙන් සමුගත් ඉන්දියානුවා

මනෝජ් ප්‍රභාකර් (News18.com)

96 ලෝක කුසලානයෙදී අනෙක් රටවල පන්දු යවන්නන් බියෙන් සලිත කළ සනා- කලූ සුසංයෝගය ගැන අප කවුරුත් හොදින් දන්නවා. ඉතින් දැන් කියන්න යන්නේ මේ  දෙදෙනාගේ නොනවතින පිති හරඹය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට සිදු වූ අසල්වැසි ඉන්දියානු ක්‍රීඩකයෙක් පිළිබඳවයි.

1996 මාර්තු මාසයේ දෙවනදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ලෝක කුසලානයේ මූලික තරගයක් පැවැත්වුනේ දිල්ලියේයි. ඉන්දියාව රැස් කළ ලකුණු 271 හඹා යෑමට පිටියට පිවිසි සනත් ජයසූරිය හා රොමේෂ් කලුවිතාරණ ඉන්දියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්නට පටන් ගන්නවා. ඉන්දියානු මඳ වේග පන්දු යවන්නෙක් වන මනෝජ් ප්‍රභාකර්ගේ මුල් පන්දුවාර 2කට ලකුණු 33ක් රැස් කරන්නට මෙම පිතිකරුවන් දෙදෙනා සමත් වෙනවා.

මෙම ප්‍රහාර හේතුවෙන් ප්‍රභාකර් කෙතරම් බියට හා පීඩනයට පත්වුණා ද කියනවනම් ඔහු ඉතිරි පන්දු වාර දෙකේ ම යවන්නේ දඟ පන්දුයි. කෙසේ හෝ ඔහුගේ පන්දුවාර හතර අවසානයේදී ලකුණු 47ක් රැස් කරන්නට සනාට හා කලූට හැකිවෙනවා. මේ හේතුවෙන් ඊළඟ තරගයෙන්  ප්‍රභාකර්ව ඉවත් කරන්නට ඉන්දියානු තේරීම් කමිටුව තීරණය කරනවා. දිල්ලියෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ප්‍රභාකර්ට දිල්ලියේ තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ මෙවැනි අවමානයකට ලක්වීමට හේතුවෙන්  දින කිහිපයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නට තීරණය කරනවා.

සනාගෙත් කලූගෙත් පිතිහරඹය මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

මෙවැනි ආකාරයේ තවත් සිදුවීම් ක්‍රිකට් ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්. ඉතින් ක්‍රිකට් තරග වල සාමාන්‍ය බවින් ඔබ්බට ගිය තවත් අපූරු සිදුවීම් පෙළක් දෙවන ලිපියෙන් ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.

Related Articles