Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ මුහුණ දුන් මියුනික් ඛේදවාචකය​

අද වන විට මැන්චෙස්ටර් යුනයිටඩ් කිව්වම නොදන්නා කෙනෙක් නැති තරමට එම පාපන්දු කණ්ඩායම ලෝකය පුරාම ජනප්‍රියව සිටිනවා. නමුත් ඔබ දන්නවා ද මැන්චෙස්ටර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනෙකු එක් දිනක ගුවන් අනතුරකින් මිය ගිය බව ? 1958 පෙබරවාරි 6  දා වූ මේ අනතුර මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ශෝකාන්තය ලෙසයි සලකනු ලබන්නේ. මේ වන විට ලොව බලවත්ම හා මිල අධිකම ක්‍රීඩා සමාජය වන මැන්චෙස්ටර් කණ්ඩායමේ ඒ අඳුරු දිනය ගෙන සටහනකුයි මේ.

ජර්මනියේ මියුනික් ගුවන් තොටුපොල අද  – static.progressivemediagroup.com

මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජයේ ඉතිහාසය

1878 මැන්චෙස්ටර් ක්‍රීඩා සමාජය ආරම්භක නාමය වන්නේ  “නිව්ටන් හෙල්ත් එල් & වයිආර් ක්‍රීඩා සමාජය” ( NEWTON HEATH L&YR FOOTBALL CLUB) වන අතර මේ ගෙවෙන්නේ එම ක්‍රීඩා සමාජයේ 139 වන වසරයි. කණ්ඩායම මුලින්ම එංගලන්ත පළමු පෙළ තරඟාවලියට සහභාගී වූ අතර ඉන්පසුව ඔවුන් එංගලන්ත ලීග් තරඟාවලියට සහභාගී වනවා. ඒ 1892 – 1893 තරඟ සමය වෙනුවෙනුයි. 1902 දී ඔවුන් තම කණ්ඩායමේ නම මැන්චෙස්ටර් යුනයිටඩ් ලෙස වෙනස් කරනු ලබන අතර , 1908 දී 20 වන එංගලන්ත ලීග් ශුරතාවය දිනා ගනු ලබනවා. 1910 ඔවුන් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් (Old Trafford) ක්‍රීඩාංගනයට ( මේ වන විට මැන්චෙස්ටර් කණ්ඩායමේ ක්‍රීඩාංගනය ) සිය නිල ක්‍රීඩාංගණය ලෙස භාවිතා කිරීම අරඹා තිබෙනවා.

1940 වන විට ඔවුන් පිටිය තුල තම අණසක​ පැතිරවීම ආරම්භ කරනු ලබනවා. 1948 දී FA කුසලානය දිනාගනු ලැබුවා. 1950 වන විට ඔවුන්ගේ කණ්ඩායමේ කළමනාකරු වූ සර් මැට් බස්බි නායකත්වය මත තවදුරටත් පිටිය තුල සාර්ථකත්වය රඳවා ගත් අතර ඔහු විසින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ජනප්‍රිය හා ප්‍රසිද්ධ කණ්ඩායමක් නිර්මාණය කල අතර එය “Busby Babes” ලෙස අනුවර්තන නාමයකින්ද යුක්ත වුනා.

“Busby Babes” ලෙස හැදින්වූ කණ්ඩායම –  static.sportskeeda.com

ජිවිත උදුරා ගත් යානය

1958 මියුනික් ගුවන් අනතුරට ලක් වූ යානය​ බ්‍රිතාන්‍ය යුරෝපියානු ගුවන් සේවයට අයත්ව තිබුණා. එම යානය නිෂ්පාදනය කර තිබුනේ 1952 වර්ෂයේ වන අතර de Havilland සමාගම විසින් එය නිපදවා තිබුණා. එම දිනය වන විට යානයේ ලියාපදිංචි හා ගුවන් ගමන් සහතිකය නිසිලෙස යාවත්කාලීන කර තිබුණා. යානයේ එන්ජින් දෙකකින් යුක්ත වූ අතර එම එන්ජින් අවසාන නඩත්තුවෙන් පසු පියාසර කර තිබුනේ පැය 379.45 පමණයි. එක් නඩත්තුවකින් පසුව එවැනි එන්ජිමක් පැය 1700 පමණ කාලයක් පියාසර කිරීමේ හැකියාවක් පැවත තිබෙනවා. ගුවන් යානයේ අවරපෙත්ත පුර්ණ ලෙස ස්වංක්‍රියව ක්‍රියා කල CD/85/466/1 වර්ගයේ එකක් වී තිබුණා. එයත් එක් අලුත්වැඩියාවකින් පසු පැය 1800 ක් ධාවනය කල හැකි වුවත් එය ධාවනය කර තිබුනේ පැය 388.19 පමණයි.

අනතුරට පත්වූ යානය – wordpress.com

ගුවන්යානයේ බර (ශුද්ධ) කිලෝග්‍රෑම් 17181 වුනා. අනතුර වන අවස්ථාවේ එහි බර කියවුනේ ඉන්ධන කිලෝග්‍රෑම් 3198 ක් , කාර්ය මණ්ඩලය හා ගබඩාව කිලෝග්‍රෑම් 900 ක් හා මගීන්ගෙන් කිලෝග්‍රෑම් 3422 වශයෙන් මුළු බර කිලෝග්‍රෑම් 24739 කින් යුක්ත වුනා. ගුවන් යානයේ බරත් සමඟම එම යානයට ගෙනයා හැකි බර ලෙස කිලෝග්‍රෑම් 24948 ක් ගණන් බලා තිබුනා. තවද ගුවන් ගමනට පෙර පස්වරු 02.28 සිට 02.38 දක්වා කාලය තුල ඔක්ටේන් 100/130 වර්ගයේ ගුවන් යානා ඉන්ධන  ලීටර් 3300 ක් යානය වෙත පුරවා තිබුණා.

අනතුර සිදුවන අවස්ථාව වනවිට ගුවන් යානයේ ප්‍රධාන නියමුවරයා ලෙස කටයුතු කල ජේම්ස් තලින් පියාසර පැය 7,337 ක අත්දැකීම්  ඔහුගේ සහයකයා වූ කෙනෙත් ගෝඩන්ට ඒ වන විට පියාසර පැය 8,463 ක් පමණ අත්දැකීම් තිබී තිබෙනවා. ඒ අවස්ථාව වන විට මගීන් 38 දෙනෙකු යානයේ සිටි අතර ක්‍රීඩකයන් මෙන්ම  ජනමාධ්‍යවේදීන් ද ඒ අතර සිට තිබෙනවා.

අනතුරේ තොරතුරු

ගුවන් යානය ජර්මනියේ මියුනික් වෙත ළඟා වී තිබුනේ පස්වරු 02.17 ටය. එය තෙවරක් එංගලන්තය වෙත පියාසර කිරීමට උත්සහා කර ඇති අතර තෙවන උත්සාහයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. යුගොස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් සිට​ සිට පැමිණ තිබූ යානය මැන්චෙස්ටර් කරා යන ගමනේදී තෙල් පිරවීම වෙනුවෙන් යානය මෙලෙස මියුනික් වෙත ලඟා වී තිබෙනවා.  පස්වරු 3.03ට​  යානය ගුවන්ගත කිරීමට ගුවන් නියමුවෝ සූදානම් වූ අතර අවාසනාවට, මේ වනවිට හිම වැටී තිබුන හෙයින් ගුවන් තොටුපලෙහි ධාවන පථයෙහි ඈත අන්තයෙහි හිම සහ ජලය රැඳී තිබුණා. ගුවන් යානයේ රෝද ඒ මත ලිස්සා ගොස් යානය පාලනයෙන් ගිලිහී ගුවන්තොටුපල මායිමෙහි වූ වැටද බිඳගෙන අසල වූ නිවසක් දෙසට ගමන් කර තිබෙනවා. යානයේ වම් තටුව නිවසෙහි ගැටී තිබෙනවා.

අනතුරට පත් අය මුදා ගනිමින් – cdn.images.express.co.uk

යානය අනතුරට පත්වී එය ගිනි ගැනීමට පෙර යානයේ ප්‍රධාන නියමුවා වූ සුළු තුවාල ලබා දිවි ගලවා ගත් ජේම්ස් තලින් හා අනතුරෙන් දිවිගලවා ගත් නිලධාරින් එක්ව මැන්චෙස්ටර් කණ්ඩායමේ දැල් රකින්නා වූ තුවාල ලබා සිටි අය යානයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම අනතුරෙන් මියගිය අය අතර එඩී කොල්මන් (21) , ලිආම් වෙලාන් (22) , ඩේවිඩ් පෙග් (22) ,මාර්ක් ජෝන්ස් (24) , ජෙඔෆ් බෙනට් (25) , ටොමි ටේලර් ( 26) හා කණ්ඩායමේ නායක රොජර් බර්න් (28) ද වුවා. ඩේවිඩ් පෙග්, ටොමි ටේලර් හා රොජර් බර්න් යන ක්‍රීඩකයන් එංගලන්ත ජාතික කණ්ඩායමේද සාමාජිකත්වය දැරූ අතර ලියම් වීලන් අයර්ලන්ත කණ්ඩායමේද සාමාජිකයෙකු වී සිටියා.

මේ අතර ජීවිතය හා මරණය අතර දිගු සටනකින් අනතුරුව​ දින 15කට පසුව 21 හැවිරිදි එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කල ඩන්කන් එඩ්වර්ඩ්ස් මිය ගියා.

තවද එම කණ්ඩායමේ ලේඛම්වරයා වූ වෝල්ටර් ක්‍රික්මර් හා පුහුණුකරුවන් ලෙස කටයුතු කල ටොම් කරි හා බර්ට් වැලේ මිය ගිය අය අතර වුනා.

එමෙන්ම මාධ්‍යවේදීන් අට දෙනෙක්, කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු හා මගීන් දෙදෙනෙකුද ඒ අතර වුනා.

අනතුරෙන් මියගිය ක්‍රීඩකයන් අට දෙනා  -www.thebusbybabes.com

මෙම අනතුරෙන් දිවි බේරාගත් ජොනි බේරී හා ජැකී බ්ලන්ච්ෆ්ලවර් නැවත කිසි දිනක පාපන්දු ක්‍රීඩා කල නොකළ අතර කණ්ඩායමේ කලමාණාකරුවා වූ මැට් බස්බි මාස දෙකක් රෝහල් ගතවී ප්‍රතිකාර ලදුව සුවය ලබා තිබුණා.

අනතුරේ වෙනත් කතා

මෙම අනතුරේ ප්‍රධාන සිද්ධිය එසේ සිදු වන  විට එම අනතුරට අදාළ ව ගොඩනැගුනු තවත් සිදුවීම් රාශියක් සිදුවී තිබුණා.

  • 1956 හා 1957 වර්ෂ දෙකේදීම මෙම කණ්ඩායම එංගලන්තයේ ශුරයන් වී තිබුණා. 1958 මෙම අනතුර වන විට මොවුන් දෙවන ස්ථානයේ රැදී සිටියේ වුල්වර්හැම්ප්ටන් වොන්ඩරර්ස් කණ්ඩායමට වඩා ලකුණු 6ක් පසු පසින් හා ක්‍රීඩා කිරීමට තවත් තරඟ 14ක් ඉතිරිව තිබිය දීය.
  • ගුවන් යානයේ දෙවන පියාසැරිය මගහැරුණු පසූ ගුවන් පථයට හිම වැටෙමින් තිබූ අතර තුන්වන පියාසැරිය ආරම්භයට පෙර ඩන්කන් එඩ්වර්ඩ්ස් තම මැන්චෙස්ටර් නුවර ගෙහිමි කතට සියලුම ගුවන් ගමන් නතර වූ බවට ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවා තිබුණා.

එම සිදුවීම එදා පුවත් පතක වාර්තා කර තිබූ අයුරු – cdn.images.express.co.uk

  • ප්‍රථම උත්සහයන් දෙක අසාර්ථක වීම සමඟ ම තෙවන උත්සාහයට පෙර අනතුරක තිබූ සැකය නිසා ටේලර් ,ජෝන්ස් ,කොල්මන් හා එඩ්වර්ඩ්ස් යන ක්‍රීඩකයන් තම ආසන මාරු කරමින් යානයේ පිටුපසට ගොස් තිබුනේ වැඩි ආරක්ෂාව වෙනුවෙනුයි.
  • ගුවන් යානය අවසාන පියාසැරිය ආරම්භයට පෙර බැතිමත් කතෝලිකයෙකු වූ ලියම් විලන් හඩමින් පවසා ඇත්තේ “ මෙය මරණය වෙනුවෙන් යන ගමනක් නම් දැන් තමන් එයට සූදානම් බවයි”
  • මෙම අනතුරෙන් මියගිය “ News of the World” මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් ශිෆ්ට් මැන්චෙස්ටර් කණ්ඩායමේ සිටි දැල් රකින්නෙකු හා එංගලන්ත කණ්ඩායම 19 වතාවක් නියෝජනය කල ක්‍රීඩකයෙක් ද වුණා.

මෙම අනතුරෙන් පසුව මැන්චෙස්ටර් කණ්ඩායම දැඩි පසු බෑමකට ලක්ව සිටියා.මියුනික් අනතුරෙන් පිඩාවට පත්වූවන් වෙනුවෙන් රියල් මැඩ්රිඩ් කණ්ඩායම ප්‍රදර්ශන තරඟයක් පවා සංවිධානය කර​ අරමුදල් රැස් කර තිබෙනවා.නමුත් කෙමින් කෙමින් යුනයිටඩ් කණ්ඩායම යලිත් යුරෝපය තුල තම අනසක පතුරවන්නට ගත්තා. ඔවුන් 1961 වසරේ දෙසැම්බර් මාසයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජයක් ලබා ගන්නවා.මැන්චෙස්ටර් කණ්ඩායම ගුවන් අනතුරෙන් වසර 5 කට පසු නැවත වරක් FA කුසලානයක් දිනා ගනු ලබන අතර ඒ වර්ෂ 1963 දීය.එතැන් පටන් මේ දක්වා නැවතවරක් ලොව ප්‍රබලම​ හා වටිනාකමෙන් ඉහළම කණ්ඩායම ලෙස මැන්චෙස්ටර් කණ්ඩායම පැමිණ තිබෙනවා.

කවරයේ පින්තුරය – නවීකරණය කළ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය 2006 දී (Andre Zahn, Wikimedia Commons)

Related Articles