Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැපෝලියන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට පවරා දුන් හැටි

යටත්විජිත සමයේදි ලංකාව ගැන විවිධ යුරෝපා බලවතුන් උනන්දු වුනා. ලංකාවේ පිහිටීමේ වැදගත්කම , ත්‍රිකුණාමලය වගේ විශාල ස්වාභාවික වරායක් පිහිටා තිබීම විතරක් නෙමෙයි ලංකාවේ ස්වාභාවික සම්පත් තිබීමත් ඒ සඳහා බලපෑ බව ප්‍රකට කරුණක්. ඉතින් මුල්ම කාලෙ පෘතුගීසීන්, ඉන් පස්සෙ ඕලන්ද ජාතිකයන් හෙවත් ලන්දේසීන් සහ පසුව ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතිකයන් මේ විදියට ලංකාව ගැන උනන්දු වුන ජාතීන් අතරෙ ඉන්නවා.

1796 දි බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඕලන්ද ජාතිකයන්ගෙන්, එහෙමත් නැත්නම් ලන්දේසීන්ගෙන් පවරා ගන්නවා. මේ පවරාගැනීම සිද්ධ වෙන්නෙ ඇත්තෙන්ම ඒ රටවල් දෙක අතරෙ යුද්ධයකින් එහෙම පසුව නෙවෙයි. යුරෝපයේ ඇතිවූ තත්ත්වයන් නිසා තාවකාලික පවරා ගැනීමක් හැටියට තමයි මෙය සිද්ධ වෙන්නෙ. කෙසේ නමුත් ලංකාවේ ඕලන්ද ජාතිකයින් සටනක් නැතිවම යටත් වුනා කියන්නත් බැහැ.

ශෝන් ඩු පෙරෝන් විසින් 1789 දී අඳින ලද ලංකාවේ සිතියම (Public Domain)

ශෝන් ඩු පෙරෝන් විසින් 1789 දී අඳින ලද ලංකාවේ සිතියම (Public Domain)

මේ තාවකාලික පවරාගැනීම වුනේ කොහොමද ? ඒ වගේම පවරා ගැනීම පසුව ස්ථිර එකක් බවට පත් වුනේ කොහොමද කියන දේ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නෙ. මේ කතාවට ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට්, ඕලන්දයේ පස්වෙනි විලියම් කුමාරයා සහ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයකු වූ චාර්ල්ස් කෝන්වොලිස් ඇතුලු විවිධ චරිත සම්බන්ධ වෙනවා.

ප්‍රංශ විප්ලවය

කතාව පටන් ගැනෙන්නෙ ප්‍රංශ විප්ලවය සහ විප්ලවවාදී යුද්ධ නමින් හඳුන්වාපු යුද්ධ මාලාවකින්. 1700 ගණන්වල අගභාගය වෙද්දිත් යුරෝපයේ බොහෝ රටවල පැවතුණේ රාජ්‍ය ආණ්ඩු බවත් එයින් බොහොමයක්හි රජවරු සම්පූර්ණ බලතල ඇති ප්‍රබල රජවරුන් වූ බවත් ඔබ අසා ඇති. ප්‍රංශයෙත් මෙවැනි රජෙක් තමයි හිටියෙ. ඒ දහසයවැනි ලුවී රජතුමා. 1789 දී ඔහුගේ රජයට විරුද්ධව පහළ පන්තියේ ජනයාගෙන් මතුවන ජනතා නැගිටීමක් තමයි ප්‍රංශ විප්ලවය බවට පත් වෙන්නෙ.

ඇන්ටොයින් - ෆ්‍රංශුවා කැලේ විසින් අඳින ලද දහසයවන ලුවී රජුගේ සිතුවමක් (Public Domain)

ඇන්ටොයින් – ෆ්‍රංශුවා කැලේ විසින් අඳින ලද දහසයවන ලුවී රජුගේ සිතුවමක් (Public Domain)

ප්‍රංශ විප්ලවය නිසා ඒ රට සමූහාණ්ඩුවක් බවට පත් වෙනවා. මේ ගැන යුරෝපයේ රාජාණ්ඩු කලබල වෙනවා. 1792 අගෝස්තුවෙ තමයි ලුවී රජතුමා නිල වශයෙන් රජකමෙන් ඉවත් කරන්නෙ. නමුත් මේ වෙද්දි යුරෝපයේ රටවල් කීපයක් ප්‍රංශ විප්ලවකාරී හමුදාවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරල ඉවරයි.

ප්‍රංශයට එරෙහිව පළමු සන්ධානය ගොඩ නැගෙන්නෙ 1792 මුල් කාලෙ සිට. 1792 අප්‍රේල් 20 වෙනිදා පළමු සන්ධානයේ යුද්ධය (War of the First Coalition) පටන් ගැනෙනවා. 1793 ජනවාරියේදී දහසයවන ලුවී රජු ගිලටීනයෙන් ගෙල සිඳ මරාදමනු ලැබීමෙන් පසුව මෙම සන්ධානය පුලුල් වෙනවා. මෙයට ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රියාව , ප්‍රශියාව , බ්‍රිතාන්‍යයය , ස්පාඤ්ඤය , පෘතුගාලය , සාර්ඩිනියාව, ඕලන්දය ආදී රටවල් අයත් වෙනවා.

මුලින් යම් යම් පරාජයන්ට ලක් වන ප්‍රංශය පසුව ජයග්‍රහණ කිහිපයක්ම ලබනවා. මේ අතර 1794 දී වර්තමාන බෙල්ජියම අල්ලා ගන්න සමත්වීම විශේෂයි. 1795 ජනවාරියෙදී ප්‍රංශ විප්ලවකාරී හමුදා ඕලන්දයට කඩා වදිනවා.

මේ කාළයේ ඒ රට පාලනය වෙන්නේ සහසන්ධීය සමූහාණ්ඩුවක් වශයෙන්. රජයේ ප්‍රධානියා වෙන්නෙ ස්ටැට්හෝල්ඩර් නමින් හඳුන්වාපු කුමාරයෙක්. මේ වෙද්දි රට පාලනය කරන්නේ පස්වෙනි විලියම් කියන ස්ටැට්හෝල්ඩර් කුමාරයා.

හෙන්රි බෝන් විසින් අඳින ලද ස්ටැට්හෝල්ඩර් පස්වැනි විලියම් කුමාරයාගේ සිතුවම (Public Domain)

හෙන්රි බෝන් විසින් අඳින ලද ස්ටැට්හෝල්ඩර් පස්වැනි විලියම් කුමාරයාගේ සිතුවම (Public Domain)

ප්‍රංශ විප්ලවකාරී හමුදා නෙදර්ලන්තයට කඩා වදිද්දි ඒ රටේ හිටපු ඇතැම් කොටස් එම විප්ලවයට සහය දක්වමින් කැරලි ගසනවා. පස්වෙනි විලියම් එංගලන්තයට පළා යන අතර නෙදර්ලන්තයේ ‘බතාවියානු සමූහාණ්ඩුව’ නම් අලුත් රජයක් බලයට පත් වෙනවා. මේ සිද්ධිය හඳුන්වන්නේ බතාවියානු විප්ලවය යන නමින්.

කිව් ලිපි (Kew Letters)

ස්ටැට්හෝල්ඩර් කුමාරයා එංගලන්තයේ කිව් මාලිගයට ගොස් එහි ‘ඕලන්ද නිවසෙහි’ නවාතැන් ගන්නවා. මෙම ඕලන්ද නිවස අදත් දකින්න පුලුවනි. කුමාරයා එහි ඉඳන් ලිපි මාලාවක් ලියනවා. මෙන්න මේ ලිපි ‘කිව් ලිපි’ නමින් හැඳින්වෙනවා. මේ ලිපිවලින් ඔහු ඕලන්ද යටත් විජිතවල ආණ්ඩුකාරයන්ට කියා සිටිනවා සිය ප්‍රදේශවල ආරක්ෂාව බ්‍රිතාන්‍යයන්ට පවරන්න කියලා. ඔහු එයින් බලාපොරොත්තු වුනේ ප්‍රංශ විප්ලවකාරී හමුදා එම ප්‍රදේශ අල්ලාගැනීම වැළැක්වීමයි.

මේ ලිපි ඕලන්ද යටත් විජිතවලට ළඟාවෙන්න ටිකක් කල් ගතවුනා. මේ වෙද්දි බ්‍රිතාන්‍යය සහ බතාවියානු සමූහාණ්ඩුව අතරෙ යුධමය තත්ත්වයක් ඇතිවෙලා තිබ්බෙ. (නිල වශයෙන් යුධ ප්‍රකාශ නොකළා වුනත්) ඒ වගේම ලන්දේසින් සහ ඉංග්‍රීසීන් අතරෙ එතරම් ප්‍රබල මිත්‍රත්වයක් තිබුණෙත් නැහැ. ඔවුන් ඉතිහාසයේ කීප විටක්ම යුධ වැදී තිබුණ අතර අවසන් යුද්ධය නිම වෙලා තිබ්බෙ 1783 තරම් මෑතකදි.

කිව් ලිපිවල තිබුණ ව්‍යාකූලත්වය හේතුවෙන් තමුන් කුමක් කළ යුතුද යන්න පිළිබඳ ලන්දේසි නිලධාරීන්ට පැහැදිලි වුනේ නැහැ. තම ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට පවරා දිය යුතුද, තම හමුදා බ්‍රිතාන්‍ය නිලධාරීන් යටතට පත් කළ යුතුද කියන එක පැහැදිලි වුනේ නැහැ. එමෙන්ම ස්ටැට්හෝල්ඩර් කුමාරයා තව දුරටත් ඕලන්දයේ පාලකයාද යන ප්‍රශ්නයත් මෙහිදී පැණ නැගුණා. ඇතැම් නිලධාරීන්ගේ අදහස වුනේ ඕලන්දය දැන් පාලනය කරන්නේ බතාවියානු සමූහාණ්ඩුව නිසා තමන් එම රජයේ උපදෙස් අනුව බැඳී සිටින බවයි.

මේ නිසා, ඇතැම් ස්ථානවලදි ලන්දේසීන් සටනක් නැතිවම සිය ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට පවරා දෙද්දි තවත් ස්ථානවල සටන් ඇති වුණා. මලක්කා, අම්බෝනියාව සහ සුමත්‍රාව සටනකින් තොරව සිය ප්‍රදේශ බ්‍රිතාන්‍යයට පවරා දුන්නා. නමුත් ඉන්දියාවේ සහ ලංකාවේ ඕලන්ද ප්‍රදේශවල බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ වීමට ලන්දේසි නිලධාරීන් ක්‍රියා කළා.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ වෙරළබඩ අල්ලා ගැනීම

බ්‍රිතාන්‍යය විසින් මදුරාසියේ ආණ්ඩුකාරයා වෙත දන්වා සිටිනවා ලන්දේසි පාලනයේ පිහිටි ලංකාව අල්ලාගන්නා ලෙස . මේ අනුව ආණ්ඩුකාරයා වූ හෝබාර්ට් සාමි, කර්නල් ජේම්ස් ස්ටුවර්ට් යටතේ වූ හමුදා සේනාංකයට සහ රියර් අද්මිරාල් පීටර් රේනියර් යටතේ වූ නාවික හමුදාවලට එම මෙහෙයුම භාර කරනවා.

ලංකාවේ ලන්දේසි බලකොටු. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දැක්වෙන සිතුවම . ඡායාරූපය: චාමර සුමනපාල

ලංකාවේ ලන්දේසි බලකොටු. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දැක්වෙන සිතුවම . ඡායාරූපය: චාමර සුමනපාල

1795 අගෝස්තු මාසයේ බ්‍රිතාන්‍යයන් ත්‍රිකුණාමලය අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. ත්‍රීකුණාමලය බලකොටුවට එපිටින් හමුදාව ගොඩ බස්වලා බලකොටුව වටලන්න ඔවුන් පටන් ගන්නවා. දවස් කිහිපයකදී ඕලන්ද සේනාංක බ්‍රිතාන්‍ය හමුදාවට යටත් වෙන්නට තීරණය කරනවා.

ඉන් දින කිහිපයකට පසු ඌස්ටන්බර්ග් බලකොටුවත් යටත් වෙනවා. ඉන් පස්සෙ ඕලන්ද බලකොටු එකින් එක බ්‍රිතාන්‍යයන්ට යටත් වෙනවා.

1796 පෙබරවාරියේදි බ්‍රිතාන්‍යයන් කොළඹ අල්ලා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නවා. ඔවුන් මීගමුවෙන් ගොඩ බැහැලා කොළඹ දිහාවට හමුදා මෙහෙයවද්දි ලන්දේසීන් ප්‍රතිරෝධයක් දක්වන්නේ නෑ. අවසානයේදි ඕලන්ද ආණ්ඩුකාර ෆන් එංගල්බීක් සිය පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට පවරා දෙන්න එකඟ වෙනවා.

ඒමියන් ගිවිසුම

1796 න් පස්සෙ කලක් ලංකාව මදුරාසි පාලනය යටතේ තිබිලා පසුව 1798 දි ආණ්ඩුකාරයකු පත්කර එවනවා. ඒ ෆෙඩ්රික් නෝර්ත්. මේ අනුව බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම සහ බ්‍රිතාන්‍ය කිරීටය එක්ව මිශ්‍ර පාලනයක් පවතින්නෙ. පසුව එම පාලන ක්‍රමය අසාර්ථක නිසා බ්‍රිතාන්‍ය කිරීටය යටතටම පාලනය අරගන්නවා.

මේ අතරෙ ප්‍රංශය සම්බන්ධයෙන් කාරණා කීපයක් සිද්ධ වුණා. එකක් තමයි 1798 ඉඳන් වෙච්ච ‘දෙවන සන්ධානයේ යුද්ධය ‘. ඒ කියන්නෙ ප්‍රංශ සමූහාණ්ඩුවට එරෙහිව මතු වෙච්ච දෙවැනි සන්ධානය සමූහාණ්ඩුවට එරෙහිව කළ යුද්ධය . අනෙක තමයි නැපෝලියන් බලයට පත් වීම .

ජෝෂප් ෂැබෝර්ඩ් විසින් ඇඳි නැපෝලියන් බොනපාර්ට්ගේ සිතුවම (Public Domain)

ජෝෂප් ෂැබෝර්ඩ් විසින් ඇඳි නැපෝලියන් බොනපාර්ට්ගේ සිතුවම (Public Domain)

නැපෝලියන් 1799 දි ප්‍රංශයේ පළමු කොන්සල්වරයා බවට පත් වෙනවා. ඒ අවස්ථාවේ ඔහු තමයි නියම නායකයා වෙන්නෙ. ඔහු ඒ කාළයේම බ්‍රිතාන්‍යය සමඟ සාමයක් ස්ථාපිත කරගන්න උත්සාහ කළ බවක් සඳහන්. නමුත් එවක බ්‍රිතාන්‍ය අගමැති විලියම් පිට් ඊට කැමති වෙන්නේ නැහැ.

කෙසේ වෙතත් 1801 දි විලියම් පිට් ඉල්ලා අස්වීමෙන් පසුව අලුතින් අගමැති බවට පත් වූ හෙන්රි ඇඩිංග්ටන් කැමති වෙනවා සාකච්ඡාවලට . මේ අතරේ ස්ටැට්හෝල්ඩර්වරයා ඕලන්ද විජිතවලට තියෙන සිය අයිතිවාසිකම් ඉවත් කරන බවත් ප්‍ර්‍රකාශ කරනවා. මේ අනුව බතාවියානු සමුහාණ්ඩුවට නීතිමය බලය ලැබෙනවා ඒ විජිත ගැන සාකච්ඡා කරන්න .

මේ අනුව 1801 අවසන් කාළෙ ඉන්දියාවේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයකු වූ ජෙනරාල් චාර්ල්ස් කෝන්වොලිස් ප්‍රංශයේ ඒමියන් නගරයට ළඟා වෙන්නෙ මේ සාකච්ඡා සඳහා. ප්‍රංශය නියෝජනය කරන්නෙ නැපෝලියන් බොනපාර්ට්ගෙ සහෝදර ජෝසප් බොනපාර්ට් සහ ප්‍රංශ විදේශ ඇමති ටැලිරන්ඩ්. මේ අතර බතාවියා සමූහාණ්ඩුව වෙනුවෙන් එහි ප්‍රංශයේ තානාපති රුට්ගර් යාන් ෂිමෙල්පෙන්නික් (Rutger Jan Schimmelpennick) සාකච්ඡාවට සහභාගි වෙනවා. ඔහු තමයි කෝර්න්වොලිස් සමඟ පරණ ලන්දේසි යටත් විජිත පිළිබඳ සාකච්ඡා කරන්නෙ.

චාර්ල්ස් හොවාර්ඩ් හොජස් විසින් ඇඳි ෂිමෙල්පෙන්නික්ගේ සිතුවම (Public Domain)

චාර්ල්ස් හොවාර්ඩ් හොජස් විසින් ඇඳි ෂිමෙල්පෙන්නික්ගේ සිතුවම (Public Domain)

මේ සාකච්ඡාවලින් තීරණය වෙන්නෙ ලංකාවේ ඕලන්ද විජිත බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන්නයි. දකුණු අප්‍රිකාවේ කේප් කොලනිය සහ බටහිර ඉන්දීය කොදෙව්වල අල්ලාගත් ලන්දේසි දූපත් ආපහු බතාවියානු සමූහාණ්ඩුවට භාරදෙන්න බ්‍රිතාන්‍යය එකඟ වෙනවා.

ඒමියන් ගිවිසුම අත්සන් කරන්නෙ 1802 මාර්තු 25. ප්‍රංශය , බ්‍රිතාන්‍යය , බතාවියානු සමූහාණ්ඩුව සහ ස්පාඤ්ඤය එහි පාර්ශවකරුවන් වෙනවා. ප්‍රංශය වෙනුවෙන් ඊට අත්සන් තබන්නේ ජෝශප් බොනපාර්ට්. ඒ සිය සහෝදර නැපෝලියන් ගිවිසුම අනුමත කළාට පසුවයි.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වුනේ මෙන්න මේ ඒමියන් ගිවිසුමට පසුවයි.

කවරයේ පින්තූරය : යූල්ස් – ක්ලෝඩ් සීග්ලර් විසින් අඳින ලද ඒමියන් ගිවිසුම අත්සන් කෙරෙන අවස්ථාව දැක්වෙන සිතියම (Public Domain)

Related Articles