Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොනවද මේ ස්වභාවික වායු?

දැන් ටික කාලෙක ඉඳන් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති එක්ක සෑම විටම ඇහෙන වචන කිහිපයක් තමා LNG, Natural Gas (ස්වභාවික වායු) කියන වචන. 20 අවුරුදු ජාතික විදුලි බල සැලැස්මේ තිබුණු ගල් අඟුරු බලාගාර ඉවත් කොට ස්වභාවික වායු බලාගාර මෙගාවොට් 4800 එකතු කිරීමෙන් ඇති වූ ආන්දෝලනයත්  සමග මේ වචන කිහිපය නැවතත් කරලියට ඇවිත්.

අද අප උත්සාහ කරන්නේ මේ ස්වභාවික වායු ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.

මොනවද මේ ස්වභාවික වායු?

ස්වභාවික වායු පොලොව අභ්‍යන්තරයේ ඇති ස්වාභාවිකවම පවතින වායුවක්. මෙහි ප්‍රධාන සංඝටකය වන්නේ මීතේන් (CH4) ය.

ජපානයට ගෙන්වූ ස්වභාවික වායු වල ඇති සංඝටක ප්‍රතිශතයක් ලෙස (මූලාශ්‍රය – abc.net)

ස්වභාවික වායු යනු ගඳක් සුවඳක් වර්ණයක් නැති වායුවක්. නමුත් මේවා වාණිජව භාවිතා කරන විට වායුව කාන්දු වූ විට දැනගැනීමට ගඳක් සහිත රසායනිකයක් මෙයට එකතු කරනවා. එවිට මේ වායුව කුණු බිත්තර ගඳක් සහිත වෙනවා.

ස්වභාවික වායු භාවිතයේ ඉතිහාසය

ලංකාවේ මිනිස්සු දැනට අවුරුදු කීපයක ඉඳන් මේ වචනේ ඇහුවට මිනිසා ස්වභාවික වායු භාවිතයට ගත් අවස්ථාව අවුරුදු දහස් ගණනක් අතීතයට දිව යන්නක්. ප්‍රථමයෙන්ම මේ ගැන සාක්ෂියක් ලැබෙන්නේ පුරාණ ග්‍රීසියෙන්. ක්‍රිස්තු පූර්ව 1000 ආසන්න කාලයකදී හෙවත් දැනට අවුරුදු  තුන්දාහකට ප්‍රථම ග්‍රීක ගොපල්ලෙක් පාර්නසස් (Mount Parnassus) කියන කන්දේදී පොළොවෙන් මතුවන ගිනි බුබුලක් දැක තිබෙනවා. මෙය දෙවියන්ගේ හාස්කමක් ලෙස සැළකු ග්‍රීක පූජකයින් මෙහි දෙවොලක් තනා ග්‍රීක දෙවිවරුන්ට පූජා පැවැත්වීමටත් අනාවැකි කීමටත් පටන් ගත්තා. මෙම ස්ථානය ඩෙල්ෆි නමැති නමින් හඳුන්වනවා.

ඩෙල්ෆි හි ඇති දේවස්ථානය අද දිස්වෙන ආකාරය (මූලාශ්‍රය – visitgreece)

පුරාණ ග්‍රීසියේ තිබු අනාවැකි කියන ස්ථාන හෙවත් ඔරෙකල් (oracle) වලින් ඉතාමත් ප්‍රසිද්ධියට සහ ප්‍රමුඛත්වයට පත් වුවේ මෙම ඩෙල්ෆිහි අනාවැකි කියන දේවාලයයි. මෙහි සිටින ප්‍රධාන පූජකවරිය ඇපොලෝ දෙවියා සමග සන්නිවේදනය කොට ලබා දුන් තීරණ පුරාණ ග්‍රීකයන්ගේ ආගම, යුද්ධය, දේශපාලනය, කොලනි වශයෙන් ප්‍රදේශ යටපත්කරගැනීම ආදී කරුණු දක්වා ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. ග්‍රීකයන් මෙම ඩෙල්ෆි නමැති ස්ථානය පෘතුවියේ මැද  (මාධ්‍ය ලක්ෂය) ලෙසත් කාලයක් තිස්සේ සළකනු ලැබුවා. මෙම දේවස්ථානය සහ එහි ඉතිහාසය ගැන ලියන්න ගියොත් ඒක වෙනම ලිපියක් වෙනවා.

ඇත්තටම මෙහි සිදුවී තිබුනේ පෘතුවිය අභ්‍යන්තරයේ සිට පොලොව මතුපිටට කාන්දු වූ ස්වභාවික වායු ධාරාවක් අකුණු ගසන අවස්ථාවක ගිනි ගැනීමට පටන් ගෙන එලෙසම කාලයක් තිස්සේ පැවතීම.

ඛනිජ තෙල් ආශ්‍රිත බලශක්තිය මිනිස් ඉතිහාසය වෙනස් කළේ අද ඊයේ නෙවෙයි කියන එකට මීට වඩා සාක්ෂි අවශ්‍යද? මේ පිළබඳව අපි Roar සිංහල වෙනත් ලිපියකින් මීට පෙර දීර්ඝව සාකච්ඡා කලා

මෙසේ ග්‍රීකයන් විසින් නොදැනුවත්වම ස්වභාවික වායු (බලශක්තියක් වශයෙන් නොව) ප්‍රයෝජනයට ගත්තත් ක්‍රිස්තුපූර්ව 500 කාලයේදී චීන ජාතිකයින් විසින් මෙම ස්වභාවික වායු බලශක්තියක් ලෙස භාවිතයට ගන්නා තෙක් කිසිවෙක් මෙහි සැබෑ ප්‍රයෝජනය ලබාගත්තේ නැහැ.

දැනට වසර 2500 කට ප්‍රථම ක්‍රිස්තුපූර්ව 500 චීන ජාතිකයින් උණ බම්බු ආධාරයෙන් ස්වභාවික වායු පෘථිවි අභ්‍යන්තරයෙන් ඉවතට රැගෙන ඒවා දහනය කොට ලැබෙන තාපයෙන්  මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ලුණු සැදීම කරනු ලැබූ බව සඳහන් වෙනවා. ඔවුන් කාලයක සිටම ලුණු ලබාගැනීමට ළිං කැපීමට පුරුදු වී සිටි අතර ඒ අතරේ මොවුන් මෙම ස්වභාවික වායු භාවිතා කිරීමේ තාක්ෂනය දියුණු කරගන්නට ඇතැයි සැලකිය හැකියි.

ස්වභාවික වායු උණ බට වලින් බෙදාහැරෙන අයුරු දැක්වෙන සිතුවමක් (මූලාශ්‍රය – http://csegrecorder.com/articles/view/ancient-chinese-drilling)

1700 ගණන්වල බ්‍රිතාන්‍ය ජාතිකයින් වාණිජ වශයෙන් වීදි ලාම්පු සහ නිවෙස්වල භාවිතයට ස්වභාවික වායු භාවිතා කිරීමට පටන් ගත්තා.

ස්වභාවික වායු පුනර්ජනනීයද?

ආපෝ නැහැ! හැබැයි “ස්වභාවික” කියන වචනේ තියෙන නිසා ගොඩක් අය හිතන් ඉන්නේ මේවා පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියල. නමුත් ඇත්ත කාරණේ නම් ඛනිජ තෙල්, ගල් අඟුරු වගේ ස්වභාවික වායු කියන්නෙත් තවත් පොසිල ඉන්ධනයක්.  අනෙකුත් පොසිල ඉන්ධන වගේම මේවත් සැදී ඇත්තේ අවුරුදු මිලියන ගණනක් මියගිය සත්ව සහ ශාක කොටස්  පොලොව යටදී දැඩි තත්ව යටතේ විවිධ ක්‍රියාවලි වලට භාජනය වීමෙන්.

ඛනිජ තෙල් මෙන් ස්වාභාවික වායුද​ මිනිත්තු කිහිපයකදී භාවිතා කල හැකි වුවත් නැවත ජනනය වීමට ඉතා දිගු කාලයක් යන බැවින් මේවා පුනර්ජනනීය බලශක්තිය ලෙස සැලකෙන්නේ නැහැ. (පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන්නේ අප භාවිතා කරන සීඝ්‍රතාවයෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් නැවතත් පුනර්ජනනය වෙන බලශක්ති ප්‍රභාවයන්ය උදා. සූර්ය, සුළං හා දැව (භාවිතා කරන ප්‍රමාණයම නැවත වගා කළහොත් පමණක්)

ස්වභාවික වායු ලබාගැනීම හා භාවිතය

ස්වභාවික වායු ස්වභාවයෙන්ම පවතින්නේ වායුවක් ලෙස. එය පොළොවෙන් ඉවතට ලබාගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. එය විස්තර කරනවට වඩා ඔබ පහත වීඩියෝව නැරඹීම සුදුසු යැයි සිතනවා.

ඉතින් මෙම වායුව තිබෙන ආකාරයටම (වායු තත්වයෙන්) ප්‍රවාහනය කිරීම හෝ ගබඩා කිරීම කළහොත් ඉතාමත් වියදම් අධික කටයුත්තක්. මොකද වායුවක් ලෙස තිබෙන විට මෙහි පරිමාව වැඩියි. එසේ කළහොත් එකක ශක්තියක් ලබාගැනීමට විශාල පරිමාණයක  ඉඩක් අවශ්‍ය වෙනවා.

මෙයට විසඳුමක් ලෙස මෙම වායුව පොළොවෙන් ඉවතට ගෙන සෙන්ටිග්‍රේඩ් සෘණ 162 කට (මේ වායුවේ ද්‍රවාංකයට අඩු උෂ්ණත්වයකට) ශීත කරනවා. එවිට මේ ස්වභාවික වායුව (Natural Gas එක) ද්‍රව බවට පත් වෙනවා – ද්‍රවමය ස්වභාවික වායු (Liquefied Natural Gas) ලෙස එහෙමත් නැතිනම් ජනප්‍රිය කෙටි යෙදුම වන LNG  ලෙස හඳුන්වන්නේ මෙසේ ද්‍රවමය බවට පත් කල වායුවයි . මෙම ක්‍රියාවලියේදී මෙහි පරිමාව 600න් එකකට අඩු වෙනවා. එය ප්‍රවාහනයත් ගබඩා කිරීමත් භාවිතයත්  පහසු කරවනවා වගේම වියදමත් අඩු කරනවා. වාණිජ වශයෙන් සිදුවන්නේ මෙයයි.

නමුත් මෙම වායුව ද්‍රව කිරීම ශක්ති වැය වන (energy intensive) කටයුත්තක්. දළ වශයෙන් මෙම වායුව මෙය ශීත කිරීමටත් ප්‍රවාහනය කිරීමටත් ස්වභාවික වායුවේ ප්‍රයෝජනයට ගත හැකි ශක්තියෙන් 15% කට සමාන ප්‍රමාණයක් වැය වෙනවා.

ස්වභාවික වායුවේ පරිසර හිතකාමීත්වය

ලංකාවේ මෙන්ම ලෝකය පුරා පරිසරවේදීන් ගල් අඟුරු වෙනුවට ආදේශකයක් ලෙස ස්වභාවික වායු (LNG) භාවිතා කරන මෙන් හඬ නගනවා.මෙයට හේතුව දහනයේදී ස්වභාවික වායු මගින් විමෝචනය වන වායු සාපේක්ෂව පරිසර හානිය අඩු වීමයි.

මූලාශ්‍රය – ජපානයේ කරන ලද සමීක්ෂණයක්

ඉහත ගණනය කිරීම සඳහා එම එක් එක් ඉන්ධනයේ ආයු කාලය (Life cycle) තුල විමෝචනය වූ, එනම් ඉන්ධනය පොළොවෙන් ලබාගැනීම, සකස් කිරීම, ප්‍රවාහනය (අන්තර්ජාතිකව සහ රට ඇතුලතදී), ගබඩා කිරීම, භාවිතය යන සියලුම අවස්ථා වල සිදුවන විමෝචනයන් සැලකිල්ලට ගෙන තිබෙනවා. තවද විමෝචනය වන වෙනත් හරිතාගාර ආචරණ වායු වන මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ (N2O හා NOx) වලට ආදාල ගෝලීය උණුසුම් සාධකය (GWP -global warming potential) සාපේක්ෂව​ අඩුයි. (GWP අගයෙන් කියවෙන්නෙ  කාබන් ඩයොක්සයිඩ් 1kg ක් මෙන් කී ගුණයක් ගෝලීය උණුසුමට දායක වන්නේද යන්න. උ.දා – මීතේන් 1kg ක් පරිසරයට පිට වීම කාබන් ඩයොක්සයිඩ් කිලෝ 21 පිටවීමට සමානයි).

ඉහත වගුවේ දක්වා ඇත්තේ විදුලිය නිපදවීමේදී ජපානයේ ඇති තාක්ෂනය සමග විමෝචනය වල ප්‍රමාණයන් ය. භාවිතා කරන තාක්ෂනය මෙන්ම භාවිතා කරන ඉන්ධන වල ගුණාත්මකභාවය අනුව ඉහත අගයන් වෙනස් විය හැකියි.

ගල් අඟුරු සහ ඛනිජ තෙල් දහනය කල විට එම ඉන්ධනවල ඇති නොයෙකුත් අපද්‍රව්‍ය (සල්ෆර් (ගෙන්දගම්), නයිට්‍රජන් , රසදිය, විකිරණශීලී ද්‍රව්‍ය ආදී මෙකි නොකී විෂ ද්‍රව්‍ය) විමෝචනය වුවත් එවැනි උවදුරක් ස්වභාවික වායු දහනයෙන් සිදුවන්නේ නැහැ. පිරිසිදු ස්වභාවික වායු දහනයෙන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පමණයි.

හැබැයි ඉතින් මේ වායුව කැනීමේදී වගේම මේ වායුව කාන්දු වීමක් වුනොත් සිදුවන පරිසර විනාශය නම් සුළු පටු නැහැ. 2015 ඔක්තෝබර් මාසයේ 23 වැනි දින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සිදුවූ අනතුර මීට හොඳම උදාහරණයක්. මෙම කාන්දුව නතර කිරීමට දින 112 ගතවූ අතර ඒ අතරතුර පිටවූ වායු ප්‍රමාණය ටොන් 97,100. මෙය සමාන කල හැක්කේ කාර් ලක්ෂ 6 අවුරුද්දක් පුරා සිදු කරන පරිසර දූෂණයටයි. මේ අනතුර නිසා අවට සිටි පවුල් 5700 ඉවත් කිරීමටත් සිදු වුණා .

LNG සම්බන්ධ වෙනත් කාරණා

LNG  දහනයෙන් පිටවෙන තාපයෙන් විදුලිය නිපදවීම හැරෙන්නට කෙලින්ම රසායනික ප්‍රතික්‍රියාවක් තුලින් විදුලිය නිපදවිය හැකි තාක්ෂණයක් තිබෙනවා. එය නම් කර තිබෙන්නේ Fuel Cells යනුවෙන් මෙය​ දැනට දියුණු වෙමින් පවතින වාණිජව සුළු පරිමාණයෙන් කෙරෙන තාක්ෂණයක්.

fuel cell එකක ක්‍රියාකාරිත්ව සැලැස්මක් – මූලාශ්‍රය

General Electric සමාගමේ fuel cell එකක් (මූලාශ්‍රය – GE.com)

ලංකාවේ LNG භාවිතය

ලංකාවේ නම් මේ වනතුරු LNG ආනයනය කොට භාවිතා කර නැහැ.. හැබැයි ලංකාවේ ස්වභාවික වායු බලාගාරයක් හැදුවේ අද ඊයේ නෙවෙයි. සුප්‍රසිද්ධ කෙරවලපිටිය විදුලි බලාගාරය (එහෙමත් නැත්නම් වාර්ථාවල තියෙන West Coast power plant) අන්න එහෙම එකක්. හැබැයි දශකයකට ලං වෙන කාලයක් ආවත් මෙය තවමත් ක්‍රියාත්මක වන්නේ ඩීසල් මගින් (හරියටම කිව්වොත් ඩිසල් සහ දැවී තෙල් Furnace oil මගින්). සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාරයක මෙන් 3-4 ගුණයක මුදලක් වැය වෙනවා මෙසේ ස්වභාවික වායු බලාගාරයේ විදුලි ඒකකයක් සැදීමට (මූලාශ්‍රය – මහජන උපයෝගීතා කොමිසම් 2016 වාර්තාව).

ඉතින් ඊළඟට ඕනම අයෙක් අහන ප්‍රශ්නේ තමා “ඇයි ඉතින් ඕක LNG දාල දුවන්නේ නැත්තේ?” කියන එක​ ඊට​ හේතුව තමා LNG භාවිතයට අවශ්‍ය යටිතල පහසුකම් ලංකාවේ නැති වීම.

මේ පහු ගිය කාලේ මේ LNG terminal එකක් සෑදීමට​ ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලෙන් ගත් යෝජනාවලට අනුව මෙගාවොට් 2128 ක ව්‍යාපෘතියකට ඇස්තමේන්තු කළ වියදම​ ඩොලර් බිලියන 3.75ක්. තවත් විදියකින් කිව්වොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 4.6% ක ප්‍රමාණයක්. තවත් විදියකට කිව්වොත්, මේ දවස්වල භාවිතා වෙන වචන වලින් කියනවා නම් හම්බන්තොට වරාය චීනෙට 99 අවුරුද්දකට බදු දුන්න මුදල මෙන් 3 ගුණයකටත් වැඩි ගාණක්!

LNG ගොඩබෑමේ පර්යන්තයක් – මූලාශ්‍රය

LNG ගොඩබෑම – මූලාශ්‍රය

LNG රටට ගෙන ඒමේදී ගොඩබෑමේ පර්යන්තයක් විතරක් නෙවෙයි රට තුල ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ද​ ගොඩනැගිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් රටක් LNG භාවිතයට යන්නේ විදුලි බලය නිපදවීමට සමගාමීව අනෙකුත් ක්ෂේත්‍රත් ඒ හා සමාන්තරව LNG භාවිතයට සුදුසු ලෙස වැඩි දියුණු කිරීමේ දීර්ඝ කාලීන සැලසුමක් සහිතවයි. උදා. – දකුණු කොරියාවේ බස් රථ වලින් 86% ධාවනය වන්නේ LNG වලිනි

දකුණු කොරියාවේ ස්වභාවික වායු භාවිතයෙන් ධාවනය වන බස් රථ සහ පිරවුම් හල් (මූලාශ්‍රය)

මේ ලිපියෙන් පාඨක ඔබ සැම මේ ස්වභාවික වායු විෂය පිළිබඳව අදහසක් ලබාගන්නට ඇතැයි සිතනවා!

මූලාශ්‍ර – බ්‍රිටැනිකා විශ්වකෝෂය

National geographic

naturalgas.org/

Cover Image: Student Energy

Related Articles