Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වභාවික පළිබෝධනාශක වලට හුරුවෙමු

කෘෂි කර්මාන්තය යනු අතීතයේ සිටම ලාංකිකයන්ගේ ජීවිතය හා බැඳී පැවතුන ක්ෂේත්‍රයකි. අතීත මුතුන් මිත්තන් ලංකාව ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත​ කිරීමෙන් පසු අතිරික්තය අපනයනය කිරීමේ පවා යෙදුනේ මෙරට කෘෂි කර්මාන්තයේ තිබු සශ්‍රික බව නිසාවෙනි. වගාවන් සඳහා ඔවුන් යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදියයි. වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්‍රවය වලින් සකසා ගත් විවධ මිශ්‍රණයන්ය.

නමුත් කාලයත් සමඟ තාක්ෂණයේ ඇති වූ දියුණුව නිසා නිෂ්පාදනය වර්ධනය කිරීමේ අරමුණෙන් කෘතීම පොහොර, පළිබෝධනාශක හා වල්නාශක වලට ගොවීන් හුරුවිය. මිනිසාගේ සෞඛ්‍යට අහිතකර මෙම නිෂ්පාදනයන් සහල්, එළවළු, පළතුරු නිෂ්පාදනය කිරීමේදී යොදාගන්නා නිසා නොදැනුවත්වම ඒවා අපගේ ශරීරවලට ඇතුල් වී පිළිකා වැනි භයානක රෝග තත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී. මෙවැනි රෝග තත්වයන්ගෙන් මිදී නිරෝගී දිවියක් සඳහා කෘතීම පළිබෝධනාශක භාවිතය වෙනුවට ස්වභාවික පළිබෝධනාශක භාවිතයට නැවත ගොවීන් හුරුකළ යුතුවේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ කොහොඹ, සුදුඵෑනු, කුරුඳු කොළ, සුරියකාන්ත කොළ, දාස්පතියා, පැපොල් කොළ, ඉඟුරු කොළ වැනි ස්වභාවික ශාක කොටස් හා එදිනෙදා නිවසේ භාවිතයට ගන්නා සබන්, ලුණු වැනි දේ යොදාගෙන නිවසේදී සකසාගත හැකි පරිසර හිතකාමී පළිබෝධනාශක පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

කොහොඹ බීජ​

penny-price.com

කොහොඹ යනු අතීතයේ සිටම භාවිත කරන ලද පළිබෝධනාශකයකි. කොහොඹ ශාකයේ වැඩියෙන්ම භාවිතයට ගන්නේ පත්‍ර හා බීජයි. අගෝස්තු හා ඔක්තෝම්බර් මාස වලදී කොහොඹ ගෙඩි සෑදේ. මෙම ගෙඩි වල මාංසල කොටස සෝදා ඒවා අව්වේ වෙලා ගත් පසු කොහොඹ ඇට වෙන් කර ගත හැක. මෙලෙස වෙන් කරගත් කොහොඹ ඇට ග්රෑම් 40ක් හොදින් කොටා ජලය ලීටරයක් සමඟ මිශ්‍ර කරන්න. ඉන් පසු පැය 12 -24ක් පමණ කාලයක් අඳුරු ස්ථානයක තබා මිශ්‍රණය හොඳින් පෙරාගන්න. අනතුරුව වෙළඳපළේ ඇති සබන් වර්ගයක් මිශ්‍ර කර සවස් කාලයේදී මෙම මිශ්‍රණය බෝග වලට ඉසින්න. මෙමගින් වගාවන්ට හානිකරන බොහෝ කෘමින් මර්ධනය කරගත හැක. එම කෘමින් කීපයක් පහත දැක්වේ

  • බටු වගාවට යෙදීමෙන් පත්‍ර කනින්නා, පත්‍ර කීඩෑවෝ, කරටි හා ගෙඩි විදින දළඹුවන් මර්ධනය කළ හැක.
  • බෝංචි වගාවට යෙදීමෙන් පත්‍ර කීඩෑවෝ, පැල මැක්කන්, බෝංචි මැස්සා, කරල් විදින දළඹුවන් මර්ධනය වේ
  • විසිතුරු මල් වගාවට යෙදීමෙන් පත්‍ර කනින්නන්, පත්‍ර කුඩිත්තන් මර්ධනය වේ.
  • ගෝවා වගාවට යෙදීමෙන් ලුපර් දළඹුවා, ගෙඩි විදින දළඹුවා, දියමන්ති පිට සහිත සලබයා පාලනය කළ හැක.

සුදුළූනු සාරය

bodaciousolive.com

ගෘහණියන්ගේ මුළුතැන්ගේ ආහාර රස කරන කුලුබඩුවක් ලෙසින් ගැනෙන සුදුඵෑනු කෘමි සතුන් මර්ධනය සඳහා යොදාගත හැක. එහි ඇති සැර සුවඳ නිසා එය ඉසීමෙන් කෘමිසතුන් ශාක වල වර්ධනය වීම වලක්වා ගත හැක. මේ සඳහා සුදුඵෑනු ගෙඩි දෙකක් ගෙන ජලය ඉතා ස්වල්පයක් දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. මෙම මිශ්‍රණය රැයක් තිබෙන්නට හැර ජල ගැලුම් කාලක්, එළවලු තෙල් කෝප්ප බාගයක්, ඝන සබන් තේ හැන්දක් මෙයට එකතු කරන්න. පසුව මෙම මිශ්‍රණයෙන් කෝප්පයක් වතුර ගැලුම් කාලක් සමඟ මිශ්‍ර කරමින් වගාවට යොදන්න. මෙමගින් වගාවට හානිකරන කෘමි සතුන් මර්ධනය කළ හැක.

තක්කාලි දඬු

youtube.com

මුළුතැන්ගේ තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන තක්කාලි සලාද හා විවිධ එළවළු ව්‍යාංජන​ රසවත් කිරීමට යොදා ගනී. තත්කාලී ගසේ කඳන් හා පත්‍ර මඟින් කෘමි උවදුරු වලට කදිම බෙහෙතක් සකසා ගත හැක. මෙහිදී ගසේ කඳ හා පත්‍ර සිහින්ව කපා පොඩිකරන්න. එයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර මඳ ගින්නේ රත්කර පෙරා වගාවට ඉසින්න. මෙමගින් වගාවට හානි කරන කෘමි සතුන් මර්ධනය කර ගත හැක.

දුම්කොළ මිශ්‍රණය

wikimedia.org

දුම්කොළ මිනිසාට මෙන්ම සතුන්ටද අහිතකර වේ. මේ නිසා දුම්කොළ වලින් සකසා ගත් මිශ්‍රණයක් වගාවට යෙදීමෙන් වගාවට හානිකරන කෘමින් මර්ධනය කළ හැක. ස්වභාවික දුම්කොළ කෝප්පයකට වතුර ගැලුමක් එකතු කර එම මිශ්‍රණය රැයක් තබන්න. පැය 24කට පසු මෙම මිශ්‍රණය ලාදුඹුරු පැහැයක් ගනී. මෙය තද දුඹුරු පැහැයෙන් යුතු නම් මෙයට තව ජලය එක් කරන්න. බොහෝ බෝග වල සිටින කෘමින් මෙමගින් මර්ධනය වේ.

අරලිය මල්

wikimedia.org

එළවළු වගාව සඳහා හානි කරන කෘමි සතුන් සඳහා අරලිය මල් භාවිත කළ හැක. අරලිය මල් කුඩාවට කපා ඒවා ජලයට එක් කර දිනක් පමණ එම ජලය පල් වීමට ඉඩහරින්න. ඉන්පසු මෙම මිශ්‍රණය එළවළු වගාවට ඉසීමෙන් සියලු හානිකර කෘමින් විනාශ කළ හැක.

බේකින්සෝඩා මිශ්‍රණය

ශාක වලට හානි සිදුවන්නේ කෘමි සතුන්ගෙන් පමනක් නොවේ. විවධ දිලීර වර්ග නිසාද වගාවන් විනාශයට පත්විය හැක. මේ සඳහා බේකින්සෝඩා මේස හැඳි දෙකක් වතුර ගැලුමක් සමඟ මිශ්‍ර කර එය ශාක වලට ඉසිය හැක. මේ දින කිපයකට වරක් දිලීර තත්වය නැතිවෙන තෙක් කළ යුතුය.

අනෝදා ඇට

refresh.lk

අනෝදා ඉතා රසවත් පළතුරකි. අනෝදා ගෙඩියේ ඇට ග්රෑම් 70ක් හොඳින් අඹරාගෙන එය ජලය ලීටරයක දියකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පෙරා වගාවට ඉසින්න. මෙම යුෂ උරාබොන මකුණන්, පැළ කීඩෑවන්, කොළ කීඩෑවන් හා කොළ කන පණුවන් සාර්ථකව මර්ධනය කළ හැක.

කවරයේ පින්තුරය – Gardening Know How

Related Articles