Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉඩෝරයට මෙන්ම වසන්තයටද හුරු පතොක් මල

නිතර අපට දකින්නට නොලැබුණද පතොක් යනු ඉතාමත් සුන්දරත්වයකින් යුතු මලක්. දුටු පමණින් අප එහි කටු පිළිබඳව පමණක් මැසිවිලි නැගුවද ඒ ගැන වැඩිදුර සොයා බැලුවහොත් පතොක් යනු කොතරම් වටිනාකමක් ඇති ශාකයක්දැයි ඔබට වැටහේවි. තමා තුල ඇති සුන්දරත්වය සඟවාගෙන කටුක බවක් පෙන්වුවද ඒ තුළ ඇති සොඳුරු වටිනාකම ගැන ලෝකයට ඉඟියක් ලබා දීමට මෙන් සොඳුරු පතොක් මලක් පුබුදුවයි.

පතොක් මලක් (lifeinbalance.co.za)

කාන්තාරයට වසන්තයක්

කොතරම් සුන්දර උවද බාහිර රළු බව නිසා බොහෝ විට පතොක් මලට අවධානය යොමු වන්නේ අඩු වශයෙන්. නමුත් කාන්තාරයේ පවතින රළු බව හමුවේ නැගී සිටිමින් ඉඩෝරය තුලින් කාන්තාරයට වසන්තයක් ගෙන එන්නට පතොක් මල සමත් වෙනවා. මෙම පතොක් ශාකය Cactaceae යන ශාක පවුලේ සාමාජිකයෙක්. එසේම මේ වන විට පතොක් විශේෂ 1750 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

පතොක් ශාකයක ජායාරුපයක් (davesgarden.com)

විවිධ ප්‍රමාණවලින් හා හැඩයන්ගෙන් පතොක් ශාකය සමන්විත වෙනවා. ඒ අතර විශාල පඳුරු වශයෙන් වැවෙන පතොක් විශේෂ මෙන්ම කුඩා බඳුනක වගා කළ හැකි කුඩා ප්‍රමාණයේ පතොක් විශේෂද පවතිනවා. එමෙන්ම සැම පතොක් විශේෂයකම කඳෙහි කටු දැකගැනිමට නොලැබෙනවා මෙන්ම සැම විශේෂයකම මල් හටගන්නේද නැහැ.

වැඩි දෙනෙක් නොදන්නා ප්‍රයෝජන රැසක්

පතොක් ශාකය තුලින් බොහෝ ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. එහිදී පතොක් ශාකයේ ඵල ආහාරයට ගත හැකිය. ඉදුණු පතොක් ගෙඩි පළතුරක් ලෙස භාවිත කරන්නට පුළුවන් වෙනවා. එමෙන්ම කටු සහිත කුඩා පතොක් පැළ ආහාරයක් වශයෙන් පිළියෙළ කර මෙන්ම රසකාරකයක් ලෙස භාවිත කරනුද දකින්නට පුළුවන්. වැඩුණු ශාක ආහාරය සදහා සුදුසු නැහැ.

ඉදුණු පතොක් ගෙඩියක් (organicfacts.net)

එමෙන්ම මෙම පතොක් යනු ඖෂධීය ගුණයෙන්ද අනූන ශාකයක්. අපගේ ශරීරයේ විවිධ රෝගවලට ඖෂධයක් ලෙස පතොක් ශාකයේ කොටස් යොදා ගනු ලබනවා. එහි සාරයට අපගේ ශරීරයට හානිකර වන විෂබීජ නැසීමේ සුවිශේෂී හැකියාවක් පවතිනවා. එසේම ශරීරයේ ස්නායු සෛල ආරක්ෂා කිරීමේ හැකියාවක්ද පතොක් ශාකයට පවතිනවා.

ශරීරයේ සංවේදන නොමැති වීම හෝ වේදනා නොදැනීම් මෙසේ ස්නායු සෛල හානි වීම හරහා සිදු විය හැකියි. පතොක් ශාකයට අපගේ ස්නායු සෛල ආරක්ෂා කර එය මගහැරවීමට හැකියාවක් පවතිනවා. එසේම ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද, රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරමින් දියවැඩියා තත්ත්වය පාලනය කිරීමටද, පිලිකා ඇති වීමට බලපෑ හැකි අහිතකර තත්ත්වවලින් ආරක්ෂාවක් ලබා දීමටද පතොක් ශාකය සමත්.

තවද ආහාර ජීර්ණය පහසු කිරීමේ හැකියාවක්ද මෙම ශාකය සතු වෙනවා. එසේම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්ද පතොක් ආහාරයට ගැනීමෙන් පහසු වෙනවා. එනම් පතොක් යනු තන්තුමය බහුල ආහාරයක්. එය ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය පහසු කිරීමට හැකි වෙන්නේ එ් නිසායි. එය ශරීරයේ බර අඩුකර ගැනීමටද උපකාරී කර ගත හැකි වෙනවා. කැල්සියම්වලින් සමන්විත නිසා අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක්ද පතොක් ශාකයට පවතිනවා. තවද ඉක්මනින් තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවක්ද පතොක් ශාකය සතුයි.

පතොක් ශාකයෙන් සංකේතවත් වන දෑ

පතොක් ශාකය තුලින් විවිධ ආකාරයේ අදහස් හා හැඟීම් සංකේතවත් කරනවා. එනම් බාහිර ස්වරූපය දෙස පමණක් නොබලා අභ්‍යන්තර අර්ථය මගින් යමක් රසවිදින්නට හැකි බව මේ හරහා සංකේතවත් විය හැකියි. කොතරම් වේදනාබර උවද ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාවද පතොක් ශාකය තුලින් සංකේතවත් වෙනවා.

විවිධ වර්ණවලින් හා හැඩයන්ගෙන් යුතු මල් හටගන්නා පතොක් ශාක දැක ගැනීමට පුළුවන්. එනම් රතු , සුදු, කහ මෙන්ම රෝස වැනි විවිධ වර්ණවලින් පතොක් මල් දැක ගැනීමට පුළුවන් වෙනවා. එමෙන්ම පතොක් මල තුලින් ද පුද්ගලයන් තුල ඇති විවිධ හැඟීම් සංකේතවත් කරනු දැකගැනීමට පුළුවන්. එනම් කාන්තාරයේ ඓශ්චර්යය හා හුදෙකලා බවද පතොක් මල තුලින් සංකේතවත් වෙනවා. දෙදෙනෙකු අතර පවතින රාගික ආශාවද, දරා ගැනීම මෙන්ම ආරක්ෂාවද, විශේෂයෙන්ම මවකගේ උණුසුම හා ආදරයද සංකේතවත් කිරීම සඳහා පතොක් මල යොදා ගැනෙනවා.

පතොක් මලෙහි වර්ණය අනුවද සංකේතවත් කරන අදහස වෙනස් වෙනවා. එනම් උපන්දින අවස්ථාවක් සඳහා උචිත වන්නේ රතු පැහැයෙන් යුතු මල් වන අතර සුදු හා කහ පැහැති මල්වලින් ශක්තිය හා දරෙ ගැනීම සංකේතවත් වෙනවා. රෝස හා තැඹිලි පැහැති පතොක් මල්වලින් තාරුණ්‍යය නිරූපණය කරනවා.

පතොක් ශාකයෙන් ඔබටත් යමක්

පතොක් යනු කාන්තාර ආශ්‍රිතව වැවෙන ශාකයක් බැවින් බොහෝ දෙනෙකු ඒවා නිවාස ආශ්‍රිතව වගා කරන්නට අකමැත්තක් දැක්වූවද ඔබගේ ගෙවතු අලංකරණය සඳහා ද එය යොදා ගැනීමට පුළුවන්. එනම් ප්‍රමාණයෙන් කුඩා සොඳුරු මල් පුබුදුවන පතොක් ඒ සදහා ඉතාමත් යෝග්‍ය වෙනවා.

මල් බදුනක රෝපණය කළ පතොක් ශාකයක් (pinterest.com)

මෙම පතොක් ශාකය පිළිබඳව සලකා බලන විට සමාජයට ගත හැකි ආදර්ශයන් බොහෝයි. ඉතාමත් රළු, දිය බිදක් උවද නොමැති කාන්තාරයක හට ගන්නා පතොක් ශාකය කාන්තාරයට වසන්තයක් බදු වූ පතොක් මලක් පුබුදුවන්නට සමත් වෙනවා. එසේම ඔබටද කොතරම් බාධක පැමිණියද, ඔබව පහතට ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. අසීරු කාල දරාගනිමින් ඉදිරියට යන්න. ඔබට අවශ්‍ය සෑම දෙයක්ම ඔබ තුලම පවතින අතර අවශ්‍ය වන්නේ ඔබ ඒ ගැන වටහාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමයි.

කවරයේ පින්තුරය: proof.nalionalgeographic.com

මුලාශ්‍ර :

  1. https://www.theodysseyonline.com/the-significance-of-cactus
  2. https://www.healthline.com/health/nopal
  3. http://www.flowermeaning.com/cactus-flower-meaning/

Related Articles