Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්ලාස්ටික් බෝතලෙන් තනන අපූරු නිවෙස්

වර්තමානයේ ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ සෑම රටක් ම පාහේ මුහුණ දෙන ගැටලුවක් තමයි, ප්ලාස්ටික භාවිතය දිනෙන් දින ම ඉහළ යාම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සඳහා ප්‍රමාණවත් ක්‍රමවේද භාවිතා නොකිරීම. නමුත් නයිජීරියානු ජාතිකයන් මේ සඳහා අපූරු විසඳුමක් සොයා ගෙන තිබෙනවා. ඒ නිසා කාලයක් තිස්සේ හැමෝටම කරදරයක් වූ ප්ලාස්ටික්, අද වන විට සොඳුරු නිවෙස් ගොඩ නැංවීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම නිසා සම්පත් නාස්තියත් අවම වී ඇති බවට නම් සැකයක් නැහැ.

© The Social Innovation Academy

දැනට වසර කිහිපයකට පෙර ලෝකයට හඳුන්වා දුන් ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් තනන නිවෙස්, වෙඩි නොවදින ලෙස සකසා ඇති අතර භූමි කම්පාවලට ඔරොත්තු දීමට සමත් වෙනවා. එසේම ප්ලාස්ටික් බෝතල් නිවෙස් තුළ නිරන්තරයෙන් ම 18ºC පමණ සෞම්‍ය උෂ්ණත්වයක් පවතින බව සඳහන්. මේ ලිපියේ අරමුණ ප්ලාස්ටික් බෝතල් නිවෙස් ගැන ඔබ ව දැනුවත් කිරීම යි.

ලොවට ම කරදරයක් වූ ප්ලාස්ටික් බෝතල්

වසරයක් තුළ ලොව පුරා එකතු වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ගණනය කිරීම සිදු කළ යුත්තේ බිලියන යොදා ගනිමින් බව පැවසීම වරදක් නෙවෙයි. බොහෝ විට සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්ලාස්ටික් බෝතල් බැහැර කිරීම සඳහා මුහුද භාවිතා කරන අතර ඇතැම් රටවල ප්ලාස්ටික් කඳු පවා දැක ගැනීමට හැකි යි. නමුත් සංවර්ධිත රටවල තත්ත්වය මෙයට තරමක් වෙනස්. ඔවුන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය සිදු කරන අතර ඇතැම් විටෙක තත්ත්වයෙන් උසස් ප්ලාස්ටික් නැවත පරිභෝජනය සඳහා ද යොදා ගනු ලබනවා.

© Andy Webb

සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට 2016 වසර තුළ දී ප්ලාස්ටික් බෝතල් බිලියන 500 කට ආසන්න ප්‍රමාණයක් නිපදවා ඇති අතර දළ වශයෙන් තත්පරයක දී නිපදවා ඇති ප්ලාස්ටික් බෝතල් ගණන 20,000 ක් පමණ වෙනවා. නමුත් මෙයින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කර ඇත්තේ 7% ක ප්‍රමාණයක් පමණ යි. එසේ ම 2012 වර්ෂය වන විට ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය 20% කින් පමණ ඉහළ යනු ඇති බවට ද අනාවැකි පළ වී තිබෙනවා.

ඉදි කිරීම් ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළ ප්ලාස්ටික් බෝතල්

මෙයට පිළියමක් ලෙස මෙන් ම අඩු මිලට ඉදි කිරීම් ද්‍රව්‍ය සපයා ගැනීමේ උපක්‍රමයක් ලෙස නයිජීරියාවේ යෙල්වා නගරයෙන් ඇරඹි ප්ලාස්ටික් බෝතල් නිවෙස් සාම්ප්‍රදාය, වර්තමානයේ දී අප්‍රිකානු මහද්වීපයේ පමණක් නොව මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ සහ යුරෝපයේ පවා ප්‍රචලිත වී හමාර යි. එසේ ම සාමාන්‍ය නයිජීරියානු වැසියන් පමණක් නොව රාජ්‍ය ආයතන ද  ප්ලාස්ටික් බෝතල් ගොඩනැගිලි නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අද වන විට නයිජීරියාව තුළ වසරකට භාවිතා කරන මිලියන 500 ක් පමණ වූ ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් භාවිතා කරනු ලබන්නේ නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා යි.

© Critical Cactus

ප්ලාස්ටික් බෝතල් නිවෙසක් ගොඩ නැගීමේ පළමු පියවර ලෙස ප්ලාස්ටික් බෝතල් තෝරා වෙන් කර ගැනීම සිදු කළ යුතු යි. නිදන කාමර දෙකක් සහිත නිවෙසක් සඳහා එක ම ප්‍රමාණයේ බෝතල් 14,000 ක් පමණ අවැසි වෙනවා. බොහෝ විට මේ සඳහා අවශ්‍ය ප්ලාස්ටික් බෝතල් සැපයීම සිදු කරන්නේ හෝටල්, ආපන ශාලා සහ තානාපති කාර්යාල යි. ඊට අමතර ව කසල කඳු මත ගොඩ ගැසෙන ප්ලාස්ටික් බෝතල් ද වෙන ම ම එක්රැස් කිරීම සිදු වෙනවා.

අවශ්‍ය තරම් ප්ලාස්ටික් බෝතල් රැස් කර ගැනීමෙන් පසු ව සපයා ගත යුතු අමුද්‍රව්‍ය වන්නේ වැලි යි. ගල් කැබලි සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් වන ලෙස හලා ගන්නා වැලි, තදින් ඇසුරුම් වන ලෙස සමාන ප්‍රමාණවලින් ප්ලාස්ටික් බෝතල් තුළට පිරවීම සිදු කරනු ලබනවා. මෙසේ සකසා ගන්නා ලද ‘බෝතල් ගඩොල් කැට’ සාමාන්‍ය ගඩොල් කැටයකට වඩා 20 ගුණයක් පමණ ශක්තියෙන් වැඩි අතර ශක්තිමත් ව්‍යුහයන් සැකසීම සඳහා කදිම යි.

අඩු මිලකින් තැනෙන සොඳුරු නිවෙස්

© Critical Cactus

නිවෙසක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය තරම් ‘බෝතල් ගඩොල් කැට’ ප්‍රමාණයක් සපයා ගැනීමෙන් අනතුරු ව සිමෙන්ති වෙනුවට මැටි යොදා ගනිමින් නිවෙස් තැනීම සිදු කරනු ලබනවා. මේ සඳහා වැය වන පිරිවැය, සාමාන්‍ය නිවෙසක් තැනීමට වැය වන පිරිවැයෙන් තුනෙන් එකක් (⅓) පමණ වන බව පැවසෙනවා. නිවෙස වඩාත් ස්ථාවර කිරීම සඳහා සාමාන්‍ය ඉදි කිරීමක දී මෙන් සිමෙන්ති පාදමක් යෙදීම සිදු කරනවා.

ප්ලාස්ටික් බෝතල් නිවෙස් තැනීම සිදු කරන්නේ සාමාන්‍ය පෙදරේරුවන් විසින්. මේ වන විට නයිජීරියාව තුළ මහා පරිමාණයෙන් ප්ලාස්ටික් බෝතල් නිවෙස් තනන අතර ප්ලාස්ටික් බෝතල් නිවාස සංකීර්ණ ද දක්නට ලැබෙනවා. නිවාස සංකීර්ණයක නිවෙස් 25 ක් පමණ දක්නට ලැබෙන අතර නිදන කාමරයකින්, නාන කාමරයකින්, විසිත්ත කාමරයකින් සහ මුළුතැන්ගෙයකින් යුතු එක් නිවෙසක් තැනීම සඳහා ප්ලාස්ටික් බෝතල් 7,800 ක් පමණ යොදාගෙන තිබෙනවා.

© GoodPowWow

මෙවැනි නිවෙසක වහලය සෙවිලි කිරීම සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ ටකරම්. සම්පූර්ණයෙන් ම ගොඩ නංවා අවසන් කරන ලද නිවෙස් සඳහා සූර්ය කෝෂ සවි කරන අතර සාමාන්‍ය ජල සැපයීමක් වෙනුවට ජල පවිත්‍රීකරණය සඳහා වන ටැංකි දක්නට ලැබෙනවා. මේ නිසා ප්ලාස්ටික් බෝතල් නිවෙස් මුළුමනින් ම පරිසර හිතකාරී නිවෙස් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.

බොහෝ විට ප්ලාස්ටික් බෝතල් නිවෙස් තැනීම සිදු කරන්නේ සිලින්ඩරයක හැඩය ලැබෙන පරිදි යි. නමුත් දකුණු ඇමෙරිකාවේ දී සාම්ප්‍රදායික ගොවි නිවෙස්වල පෙනුම ඇති ප්ලාස්ටික් බෝතල් නිවෙස් දැක ගැනීමට ලැබෙනවා. ශීඝ්‍රයෙන් සංවර්ධනය වන රටවල ජනප්‍රිය වූ ප්ලාස්ටික් බෝතල් තාක්ෂණය මේ වන විට පාසල්, ජල ටැංකි සහ පොදු බංකු ආදිය නිර්මාණය සඳහා ද යොදා ගනු ලබන අතර ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් දෙමහල් සහ තෙමහල් නිවාස ගොඩ නැංවීම කෙරෙහි ද ඉංජිනේරුවන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

කවරයේ පින්තූරය : (© The Social Innovation Academy)

Related Articles