විශේෂාංග

විනාඩි 3 ක කියවීමක්

ලෝකප්‍රකට සිතුවම් තුළ සැඟව ඇති ප්‍රහේලිකා

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

මධ්‍යතන යුගයේදී පල්ලියේ ඉගැන්වීම මත පදනම් වූ කලාව පුනරුද සමයෙන් පසුව වෙනස්ම මගකට යොමු වුණේ පැබ්ලෝ පිකාසෝ, වින්සන්ට් වෑන් ගෝ, ජේ. එම්. ඩබ්ලිව්. ටර්නර් වැනි අග්‍රගණ්‍ය සිතුවම් ශිල්පීන් නිර්මාණය කරමිනි. මොවුන් බොහෝමයක් දෙනා අතින් නිමවූ සිතුවම් ඒවායේ සැඟවී ඇතැයි කියන ප්‍රහේලිකා හේතුවෙන් වර්තමානයේදී ලෝකයාගේ කතාබහට ලක්ව තිබෙනවා.

මෙම ලිපියේ අරමුණ වන්නේ එවැනි සිතුවම් කිහිපයක තතු ඔබ වෙත රැගෙන ඒමයි.

නිල් කාමරය (The Blue Room)

පිකාසෝගේ ‘නිල් කාමරය’ සහ එහි සැඟ වී ඇති සිතුවම (drewhwolfe.com)

ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝ විසින් 1901 දී කැන්වසයක් මත ‘නිල් කාමරය’ නම් සිතුවම අඳින ලද්දේ තෙල් සායම් භාවිතා කරමින්. එහි නිදන කාමරයක තැන්පත් කර ඇති බඳුනකින් දිය ස්නානය කරන නග්න කාන්තා රුවක් පෙන්නුම් කරනවා. නමුත් 2008 වසරේ දී ඇමෙරිකානු කලා විශාරදයන් පිරිසක් විසින් අදාළ සිතුවම එක්ස්-රේ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු මෙම සිතුවමට යටින් ඇති තවත් සිතුවමක් අනාවරණය කරගෙන තිබෙනවා.

එයින් පෙන්නුම් කරන්නේ උඩු කබායකින් සහ පීත්ත පටියකින් සැරසී ඇඟිලිවල මුදු තුනක් පැලඳ සිටින තම අත මත හිස තබා ගත් මුහුණ පුරා රැවුළ වැවූ වයස්ගත පුද්ගලයෙකුගේ රුවක්. මෙම සැඟවුණු සිතුවම පිළිබඳව විවිධ මත පළවී ඇති අතර ඇතැමුන්ගේ මතය වන්නේ පැබ්ලෝ පිකාසෝට සිතුවම් ඇඳීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රමණවත් තරම් මුදල් නොතිබූ නිසා ඔහු එක් සිතුවමක් මත අනෙක් සිතුවම අඳින්නට ඇති බවයි.

ආදම්ව මැවීම (The Creation of Adam)

‘ආදම් ව මැවීම’ (history.com)

රෝමයේ සිස්ටීන් දේවස්ථානයේ වහලයේ මයිකල්ඇන්ජෙලෝ විසින් සිතුවම් කර ඇති මෙම සිතුවම 1512 දී පමණ අඳින ලද්දක්. එයින් උත්පත්ති කථාවේ දැක්වෙන ආකාරයට දෙවියන් වහන්සේ විසින් ප්‍රථම මිනිසා වූ ආදම්ට ජීවය ලබා දෙන ආකාරය නිරූපණය වෙනවා.

මේ සම්බන්ධයෙන් මෑත කාලීනව පළව ඇති අදහසක් වන්නේ මෙම සිතුවම මගින් මිනිස් සිරුරේ ව්‍යුහයන් පෙන්නුම් කරන බවයි. දෙවියන් වහන්සේට පිටුපසින් සිටින මිනිස් රූප මගින් ව්‍යුහාත්මකව ඉතාමත් නිවැරදි මොළයේ රුවක් පෙන්නුම් කරන අතර මස්තිෂ්කය, පිටියුටරි ග්‍රන්ථිය, මූලක පටලය වැනි කොටස් වෙන් කර හඳුනා ගැනීමටද පුළුවන්.

එයට අමතරව රතු පැහැයෙන් දක්වා ඇති කොටස මිනිස් ගර්භාෂයකද, කොළ පැහැයෙන් දක්වා ඇති කෙටස මගින් අලුතෙන් කපා වෙන් කළ පෙකණි වැලක ස්වරූපයද පෙන්නුම් කරනවා. මේ අර්ථ නිරූපණය මගින් ගැහැනියකගේ කුසෙන් බිහි නොවූ ලොව ප්‍රථම මිනිසාට පෙකණියක් හිමි වූයේ කෙසේද යන්න පැහැදිලි වන බවයි  කලා විශාරදයන්ගේ මතය වන්නේ.

හිමෙන් වැසුණු බ්‍රෙටන් ගම්මානය (Breton Village in the Snow)

‘හිමෙන් වැසුණු බ්‍රෙටන් ගම්මානය’ (blog.daum.net)

ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙක් වූ ඉයුජීන් ‍හෙන්රි පෝල් ගෝගෑන් ඔහුගේ ජීවිත කාලය තුළදී නිසි ලෙස ඇගයීමට ලක් නොවුණත් මරණයෙන් පසුව පරීක්ෂණාත්මක වර්ණ භාවිතය සහ ධාරණවාදී (එනම් කෙටි සහ සිහින් පින්සල් පහරවල් භාවිතා කරමින් සාමාන්‍ය සිදුවීමක් අසාමාන්‍ය කෝණයකින් සිතුවමට නැගීම) චිත්‍ර නිර්මාණය පිළිබඳව ප්‍රශංසාවට ලක්වුණා. ගෝගෑන්ගේ සිතුවම් කලාව පසු කාලීනව බිහිවූ පැබ්ලෝ පිකාසෝ සහ හෙන්රි මැටීස් වැනි චිත්‍ර ශිල්පීන්ට බලපෑම් එල්ල කර තිබෙනවා.

1894දී ඔහු විසින් සිතුවමට නැගූ ‘හිමෙන් වැසුණු බ්‍රෙටන් ගම්මානය’ නම් සිතුවම ඔහුගේ මරණයෙන් කෙටි කලෙකට පසුව අලෙවි වූයේ ෆ්‍රෑන්ක් හතක් වැනි සුළු මුදලකටයි. එය අලෙවි වූ ප්‍රසිද්ධ වෙන්දේසියේ දී අදාළ සිතුවම ‘නයගරා දිය ඇල්ල’ ලෙස නම් කර තිබුණා. එයට හේතු වූයේ වෙන්දේසිකරුවා විසින් එම සිතුවම උඩු යටිකුරු කර ප්‍රදර්ශනයට තබා තිබීම යි. එසේම  සිතුවමේ කිසිදු මනුෂ්‍ය හෝ සත්ත්ව රූපයක් දක්නට නොලැබීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්.

නමුත් පසු කාලීනව අදාළ සිතුවමේ සත්‍ය නාමය අනාවරණය කර ගැනීමෙන් පසුව සිදුකළ එක්ස්-රේ පරීක්ෂාවකින් අනතුරුව ඉයුජීන් ‍හෙන්රි පෝල් ගෝගෑන් විසින් සිතුවමේ වම් කොටසේ අඳින ලද සත්ත්ව රූපයක් සහ දකුණු කොටසේ අඳින ලද මිනිස් රුවක් පසුව ඔහු විසින්ම සංස්කරණය කරන ලද බව සොයාගෙන තිබෙනවා.

වර්ෂාව, හුමාලය සහ වේගය (Rain, Steam and Speed)

1844 දී ‘වර්ෂාව, හුමාලය සහ වේගය’ නම් චිත්‍රය අඳින ලද්දේ භූ දර්ශනය සිතුවමට නැගීම සම්බන්ධයෙන් එවකට ප්‍රසිද්ධියට පත්ව සිටි ඉංග්‍රීසි ජාතික ජෝසෆ් මැලඩ් විලියම් ටර්නර් විසින්. කැන්වසයක් මත වේගයෙන් ඇදී යන දුම්රියක් සිතුවම් කිරීම සඳහා ඔහු තෙල් සායම් යොදා ගෙන තිබුණා. මෙම සිතුවම දැනට ලන්ඩනයේ ජාතික චිත්‍ර ප්‍රදර්ශන ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

දැනට පිළිගන්නා ආකාරයට මේ සිතුවමේ දැක්වෙන්නේ මේඩන්හෙඩ් දුම්රිය පාලමයි. එසේම සිතුවමේ දකුණුපස පහළ කෙළවරේ දුම්රියට සමගාමීව දිව යන හාවෙකුගේ රුවක් දක්නට ලැබෙනවා. එයින් අදහස් කරන දේ නොපැහැදිලි වුණත් බහුතර මතය වන්නේ ඒ මගින් ඇදී යන දුම්රියේ වේගය සංකේතවත් වන බවයි.

ඇතැමුන්ගේ අදහසට අනුව එයින් තාක්ෂණයට ඇති සීමා කිරීම් පෙන්වා දෙනවා. තවත් පිරිසකගේ අදහස වන්නේ දුම්රියට බියෙන් පැන යන හාවා රුවෙන් ස්වභාව ධර්මය ඉක්මවා යාමට උත්සාහ කරන මිනිසාගේ නව තාක්ෂණයේ ඇති බිහිසුණු බව සංකේතවත් කරන බවයි.

රාත්‍රියේ දී ටෙරස් අවන්හල (Café Terrace at Night)

‘රාත්‍රියේ දී ටෙරස් අවන්හල’ (blistar.net)

ලන්දේසි ජාතික සිතුවම් ශිල්පියෙකු වූ වින්සන්ට් වෑන් ගෝ විසින් ‘රාත්‍රියේ දී ටෙරස් අවන්හල’ නම් වූ තෙල් සායම් සිතුවම ඇඳ අවසන් කරන ලද්දේ 1888 වසරේ දීයි. සිතුවම මත චිත්‍ර ශිල්පියාගේ අත්සන දක්නට නොලැබුණද ඔහු විසින් ලියන ලද ලිපි තුනෙක ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙය දැනට තැන්පත් කර ඇත්තේ නෙදර්ලන්තයේ Kröller-Müller කෞතුකාගාරයේයි.

2014 දී යුරෝපීය කලා සහ මානව ශාස්ත්‍ර සමුළුවේ දී ඉදිරිපත් වූ අදහසකින් මෙම සිතුවම තුළින් ලියනාඩෝ ඩා වින්චිගේ ‘අවසන් භෝජන සංග්‍රහය’ සිතුවම නිරූපණය වන බව ප්‍රකාශ වුණා. අවන්හලේ මැද සිටින සුදු ඇඳුමෙන් සැරසුණු පුද්ගලයා මගින් ජේසුතුමන්ද, ඔහු වටා සිටින පුද්ගලයින් දොළොස් දෙනා මගින් දූත පිරිසද පෙන්නුම් කරනවා. එසේම පිටුපසින් දැක්වෙන කුරුසයක හැඩය දරණ ජනේලයද එම මතයට රුකුලක් සපයනවා. දැනට විවාදයට බඳුන් වී ඇති මෙම මතය පිළිබඳ ව තවත් නිශ්චිත නිගමනයක් පළ වී නැහැ.

ඕලන්ද ආප්තෝපදේශ (Netherlandish Proverbs)

පීටර් බ්‍රෙයිගල් විසින් 1559 වසරේ දී ‘ඕලන්ද ආප්තෝපදේශ’ නම් තෙල් සිතුවම නිර්මාණය කර ඇත්තේ ඕක දැවයෙන් නිමවූ කැටයම් ලෑල්ලක් මතයි. මිනිසාගේ අඥාන බව පෙන්නුම් කරන මෙම සිතුවම දැනට බර්ලින් නුවර Gemäldegalerie කලා කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබෙනවා. සිතුවම නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන තිබෙන්නේ එවකට ව්‍යවහාරයේ පැවති ප්‍රකට ඕලන්ද වාක් සාම්ප්‍රදායන් සහ ආප්තෝපදේශයි.

දැනට මෙම සිතුවමේ ඇතුළත් ආප්තෝපදේශයන් එකසිය දොළහක් පමණ හඳුනාගෙන ඇති අතර තවත් ආප්තෝපදේශ එහි අන්තර් ගත විය හැකි බවට කලා විශාරදයන් මත පළ කර තිබෙනවා. මේ අතරින් ‘ඌරන්ට මොන අච්චාරුද?’ (කිසිවක් අගය නොකළ හැකි අයට වටිනා යමක් ලබා දීම), ‘යකාට පන්දම් අල්ලනවා’ (වැරදි ක්‍රියාවක් කිරීමට උපකාර කරනවා), අනුන්ගේ පහනෙන් එළිය බලනවා වගේ (වෙනකෙකුගේ ක්‍රියාවක් මගින් වාසි ලබා ගැනීම) වැනි ආප්තෝපදේශයන් ඕලන්ද භාෂාවේ පමණක් නොව සිංහල භාෂාවේද යොදා ගන්නවා.

ඔබත් මෙවැනි ආන්දෝලනාත්මක මෙන්ම සංවාදයට තුඩුදුන් සිතුවම් ගැන දන්නවාද? එහෙනම් ඔබේ දැනුම අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: කලාව යනු ඔබට පෙනෙනා දෙය නොව ඔබ අන් අයට පෙනීමට සලස්වන දෙය යි (paper4pc.com)

මූලාශ්‍ර : en.wikipedia.org, brightside.me, bbc.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්