Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්දිව කෞතුකාගාර : තෙවැනි දිගහැරුම

“ඉතිහාසය යනු අතීතය ඒකාලෝක කරන පහන් එළියක් මෙන් ම අනාගතය සඳහා දොරටුව විවර කරන යතුරක් ද වෙනවා.” මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඉතිහාසාඥයෙකු වන ආචාර්ය රුනෝකෝ රෂීඩි. මෙසේ අනාගතය සඳහා දොරටුව විවර කිරීමට යතුර සොයාගෙන යන ගමනේ දී අනිවාර්යයෙන් ම නතර විය යුතු ස්ථානයක් තමයි රටක ඓතිහාසික, සංස්කෘතික සහ ජෛව උරුමයේ කැඩපතක් සේ සැලකෙන කෞතුකාගාරය.

ශ්‍රී ලංකාවේ නන් දෙස පිහිටා ඇති එවැනි කෞතුකාගාර කිහිපයක් ගැන ම අපි ලක්දිව කෞතුකාගාර : පළමු සහ දෙවැනි දිගහැරම ඔස්සේ ඔබ ව දැනුවත් කළා. මේ ලක්දිව ඉතිහාසය සහ උරුමය සොයා යන්නෙකු නැරඹිය යුතු තවත් එවැනි ම කෞතුකාගාර කිහිපයක් ගැන යි.

මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය (කොග්ගල)

visitruhuna.sp.gov.lk

හෙළයේ මහා ගත්කරු විසින් රචනා කරන ලද ‘අපේ ගම’ නොකියවූ අයෙක් සිටිනවා නම් ඒ ඉතාමත් කලාතුරකින්. එතුමන් හැදී වැඩුණු කොග්ගල ගැමි පරිසරය ගැන ලියැවුණු ‘අපේ ගම’ පොතේ සඳහන් වන එතුමන් උපන් නිවස, 1981 දී ජන කෞතුකාගාරයක් බවට පත් කර ඇත්තේ මාටින් වික්‍රමසිංහ භාරය මගින්. දකුණු පළාතේ බොහෝමයක් පැරණි නිවෙස් මෙන් ම ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නංවා ඇති සියවස් දෙකක් පැරණි නිවහන දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී  රාජකීය ගුවන් හමුදාව මගින් අත්පත් කරගෙන ඇති අතර නිවසේ ඇති සුන්දරත්වය නිසා ම ගුවන් හමුදා නිලධාරිණියක් එය ඇගේ නිල නිවස ලෙස භාවිත කර තිබෙනවා.

© Chulie De Silva

කෞතුකාගාරයට දකුණු පසින් ඇති ගොඩැල්ලේ මාටින් වික්‍රමසිංහ මහතාගේ සහ එතුමන්ගේ ආදරණීය බිරිඳගේ අළු තැන්පත් කර ඇති අතර නිවස ඇතුළත සම්පූර්ණයෙන් ම වෙන් කර ඇත්තේ මාටින් වික්‍රමසිංහ මහතාගේ ජීවන ගමනේ විවිධ සන්ධිස්ථානයක් සනිටුහන් කරන සිහිවටන, තිළිණයන් සහ සේයා රූ වෙනුවෙන්. එයට අමතර ව දකුණු පළාතට ආවේණික කෘෂි උපකරණ, ධීවර සහ කුඹල් කර්මාන්තයට අවැසි උපකරණ, ජන නැටුම් (විශේෂයෙන් ම කෝලම් වෙස් මුහුණු සහ රූකඩ) සහ ආගමික උත්සව සදහා යොදා ගනු ලබන විවිධ දේවල් ද මෙහි දී දක්නට ලැබෙනවා. එයට අමතර ව කෞතුකාගාරයට පිටුපසින් ඇති කොටස වෙන් කර ඇත්තේ පැරණි යාන වාහන එකතුවක් සඳහා යි. ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතිය හදාරන්නෙකුට කරුණු උකහා ගත හැකි තෝතැන්නක් ලෙස හඳුන්වා දිය හැකි මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි.

ජාතික කෞතුකාගාරය (රත්නපුර)

timeout.com

1946 වර්ෂයේ දී කොළඹ ජාතික කෞතුකාගාරයේ ශාඛාවක් ලෙස රත්නපුර ජාතික කෞතුකාගාරය ආරම්භ කර ඇත්තේ රත්නපුර නගරය ආසන්නයේ පිහිටා පෞද්ගලික නිවෙස් ද්විත්වයක යි. නමුත් පසු කාලීන ව එය සෙංකඩගල රාජධානි සමයේ දී රත්නපුර දිසාවේ ලෙස කටයුතු කළ ඇහැළේපොළ නිලමේගේ නිල නිවෙස වූ ඇහැළේපොළ වලව්ව වෙත ගෙන ගොස් 1988 මැයි 13 වැනි දින මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

රත්නපුර ජාතික කෞතුකාගාරයේ දී වැඩි වශයෙන් ම දැක ගැනීමට ලැබෙන්නේ රබහ, ඉන්ද්‍රනීල මාණික්‍ය, පද්මරාග, පුෂ්පරාග සහ අඹතේස්ත වැනි මිණි කැටවලින් සමන්විත ස්වභාවික මැණික් සහ ඛනිජ ද්‍රව්‍ය එකතුවක්. එයට අමතර ව මැණික් ගැරීමේ කටයුතු සඳහා යොදා ගනු ලබන මෙවලම්, මැණික් ගැරීමේ විවිධ අවස්ථා නිරූපණය කරන ආදර්ශකයක් සහ මැණික් ගැරීමේ හා සබැඳි සේයා රූ එකතුවක් ද මෙහි දී දැක ගැනීමට හැකි යි.

mapio.net

ඉපැරණි සබරගමු වාසීන් විසින් භාවිත කරන ලද සාම්ප්‍රදායක මෙවලම්, සංගීත භාණ්ඩ, ආභරණ, ඇඳුම් පැලඳුම් සහ ගමන් බිමන් යාමට භාවිත කරන ලද දෝලා ද රත්නපුර ජාතික කෞතුකාගාරයේ දී දක්නට ලැබෙනවා. කෞතුක භාණ්ඩ 3,500 ක් පමණ ප්‍රදර්ශනය කරන මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් ලෙස මැණික් පතල්වලින් සොයා ගන්නා ලද සත්ත්ව ෆොසිල හැඳින්විය හැකි යි.

ගුවන් හමුදා කෞතුකාගාරය (රත්මලාන)

රත්මලානේ ගුවන් හමුදා කෞතුකාගාරය හමු වන්නේ ගාලු පාරේ ගුවන් තොටුපොළ දෙසට කිලෝ මීටර් එක හමාරක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව යි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නඩත්තු කරන එය 1976 – 1981 කාලයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාපති තනතුරු දැරූ එයාර් චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතාගේ අදහසකට අනුව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

airforcemuseum.lk

ගුවන් හමුදා කෞතුකාගාරයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව (1972 වර්ෂයට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාව හඳුන්වා ඇත්තේ මේ නමින්) සතුව පැවති ගුවන් යානා සහ අනෙකුත් උපකරණ රැසක් දැක ගැනීමට හැකි යි. ඒ අතරින් ගුවන් හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාෂල් ඊ. ආර්. අමරසේකර මහතාගේ අසිපත සහ පදක්කම් සුවිශේෂි වෙනවා. එසේ ම දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී ශ්‍රී ලංකාවට කඩා වැටුණු ජපන් ගුවන් යානා කොටස්වල සුන්බුන් සහ එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයන්හි දී කොළඹට කඩා වැටුණු ගුවන් යානා කොටස් ද ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. මෙහි දී දැක ගැනීමට ලැබෙන තවත් සුවිශේෂී අංගයන් ලෙස ගුවන් හමුදාව විසින් භාවිත කර ඇති ඔස්ටින් ගිනි නිවන රථය සහ ෂෝලන්ඩ් සන්නද්ධ රථය සැලකිය හැකි යි.

© Jurgen Meinen

සඳුදා සහ ප්‍රසිද්ධ නිවාඩු දිනවල දී හැර අනෙකුත් සෑම දිනෙක ම පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන් හමුදා කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි. ඒ සඳහා දේශීය වැඩිහිටියන් රු. 100/- ක සහ දේශීය ළමුන් රු. 25/- ක ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු වෙනවා.

ජාතික තැපැල් කෞතුකාගාරය (කොළඹ 10)

2010 ජූලි 6 වැනි දින මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද ජාතික තැපැල් කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඇති තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ යි. සියවස් දෙකකට අධික ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන්නෙකු යා යුතු ම ස්ථානයක් ලෙස මෙය සැලකිය හැකි යි.

yamu.lk

මෙහි දී මූලික වශයෙන් ම ලන්දේසි පාලන සමයේ දී තැපැල් කාර්යාල පිහිටු වීම, අතිශය දුර්ලභ මුද්දර, ලිපිවල බර මැනීම සඳහා යොදා ගන්නා ලද තරාදිවල විකාශනය, මුල් කාලීන තැපැල් පෙට්ටි, අතීතයේ දී ලිපි බෙදා හැරීම සඳහා යොදා ගන්නා ලද රික්ෂෝ රථ, පාර්සල් බෙදා හැරීම සඳහා යොදා ගත් රෝද තුනේ බයිසිකල්, නැව් මගින් විදේශීය ලිපි බෙදා හැරීම සඳහා යොදා ගන්නා ලද ක්‍රමවේදයන් ආදිය දැක ගැනීමට ලැබෙනවා. එසේ ම මෙහි දී දැක ගැනීමට ලැබෙන තවත් සුවිශේෂී ප්‍රදර්ශන භාණ්ඩ පෙළක් ලෙස පැරණි ශ්‍රී ලංකාවේ සන්නිවේදන කටයුතු සඳහා යොදා ගත් මෝස් ක්‍රමවේදයන් සහ පැරණි දුරකථන පෙළ හැඳින්විය හැකි යි.

roystonellis.com

එයට අමතර ව මුද්දර එකතු කරන්නන් වෙනුවෙන් සකසන ලද ශ්‍රී ලංකාවේ පැරණි මුද්දර එකතුවක් ද ජාතික තැපැල් කෞතුකාගාරයේ දී දැක ගැනීමට හැකි යි. පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා විවෘත ව පවතින ජාතික තැපැල් කෞතුකාගාරය නැරඹීම සඳහා වැඩිහිටියන්ගෙන් රු. 20/- මුදලක් අය කරනු ලබනවා.

ජාතික කෞතුකාගාරය (මහනුවර)

© Ji Elle

කොළඹ ජාතික කෞතුකාගාරයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වෙන මහනුවර ජාතික කෞතුකාගාරය පිහිටා ඇත්තේ ශ්‍රී දළදා මාලිගාවට යාබද ව ඇති මහනුවර මාලිගා සංකීර්ණයේ යි. කෞතුකාගාරයේ ඇති 5,000 ක් පමණ වන කෞතුක භාණ්ඩ අතරින් කොටසක් පල්ලේ වාහල (රජුගේ අන්තඃපුරය සඳහා නවාතැන් පහසුකම් සපයන ලද කොටස) ගොඩනැගිල්ලේ ද තවත් කොටසක් ප්‍රධාන රජ වාසල ගොඩනැගිල්ලේ ද තැන්පත් කර තිබෙනවා. කෞතුකාගාරය නඩත්තු කරනු ලබන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින්.

srilanka.for91days.com

සෙංකඩගල ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නංවන ලද රජ වාසල 1823 වර්ෂයේ දී මහනුවර කලා සංගමය මගින් ඓතිහාසික කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම සඳහා භාවිත කර ඇති අතර එය කෞතුකාගාරයක් ලෙස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ 1942 දී යි. මෙහි දී මූලික වශයෙන් ම දැක ගැනීමට ලැබෙන්නේ මහනුවර යුගයට අයත් අවි ආයුධ, ආභරණ සහ ගෘහ උපකරණ සහ බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් භාණ්ඩ යි. ඒ අතර 1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමේ පිටපතක් ද දක්නට ලැබෙනවා.

කවරයේ පින්තූරය : (museumtrekker.com)

Related Articles