Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැපෝලියන් අධිරාජ්‍යයා සිරකොට තැබූ ශාන්ත හෙලේනා දූව

ලෝකයේ සමහර රටවල් හෝ දූපත් ලෝක ඉතිහාස පොතට ඉතා වැදගත් පරිච්ඡේද එක් කොට ඇත්තේ ඒවායේ කුඩා භූමි වපසරියත් පරයමිනුයි. ලෝක සිතියමක තිතක් තරම් කුඩා වතිකානුව ලොව පුරා කතෝලිකයන්ගේ අති පූජනීය ස්ථානයක් වෙද්දී භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා මාලදිවයින, කැනරි දූපත් හා හවායි දූපත් සැළකිය යුතු කාලයක පටන් නන් දෙසින් පැමිණෙන සංචාරකයින් ගෙන් ගහන වූ දූපත් සමූහයන් බවට පත්ව තිබෙනවා. වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වුණත් ඊට වඩා ඉතා කෙටි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ඕස්ට්‍රිලියාවේ භූමි ප්‍රමාණයට සාපෙක්ෂව ඉතා කුඩා රටක්.

අත්ලාන්තික් සාගරයේ දකුණු ඇමෙරිකා මහාද්වීපය හා අප්‍රිකාණු මහාද්වීපය මධ්‍යයට වන්නට හුදෙකලාව පිහිටා ඇති ශාන්ත හෙලේනා දූපතත් සාමාන්‍ය මට්ටමක ලෝක සිතියමක දැක්වෙන්නේ කුඩා තිතක් වශයෙනු යි. එහෙත් ලෝක ඉතිහාසය සවිස්තාරාත්මකව ලියන්නෙකුට මේ ගැන සඳහනක් නොකර සිටිය නොහැකි තරමේ ඓතිහාසික වැදගත්කමක් මේ දූව දරනවා. ලෝක ඉතිහාසය කණපිට පෙරළූ අධිරාජ්‍යයෙකු වන ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් සිරකරුවෙක් වශයෙන් වසර ගණනාවක් පිටුවහල් කොට රඳවා තබා තිබුණේ මේ දූපතේ යි.

නැපෝලියන් බොනපාට්-epicrapbattlesofhistory.wikia.com

ශාන්ත හෙලේනා දූපතේ පිහිටීම

තවමත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පවතින ශාන්ත හෙලේනා දූපත දකුණු අත්ලාන්තික් සයුරේ, අප්‍රිකාවේ බටහිර වෙරළට කිලෝමීටර 1,950 ක් පමණ බටහිරට වන්න්නට පිහිටා තිබෙනවා. මෙහි උපරිම දිග කිලෝමීටර 17ක් වන අතර උපරිම පළල කිලෝමීටර 10 ක් වෙනවා. මෙම දූව වර්ග කිලෝමීටර 122 ක භූමි වපසරියකට හිමිකම් කියන අතර 4500කට වඩා ජනතාවක් වාසය කරනවා. ශාන්ත හෙලේනා හි ප්‍රධාන නගරය වන්නේ ජේම්ස්ටවුන් නුවරයි. එයම ප්‍රධාන වරායත් වනවා.

ශාන්ත හෙලේනාවේ පිහිටීම-franbryson.com

ශාන්ත හෙලේනා දූපතට අයත් ආසන්නම දූපත් වන්නේ කිලෝමීටර 2,100 ක් දකුණු දිගින් පිහිටි ට්‍රිස්ටන් ඩෙ කුන්යා දූව හා කිලෝමීටර 700ක් වයඹ දිගින් පිහිටි ඇසෙන්ෂන් දූපත යි. මේ ද්විත්වයත් බ්‍රිතාන්‍ය කිරීටයට අයත් වෙනවා.

ජේම්ස්ටවුන්-Gillian Moore/Alamy

ශාන්ත හෙලේනාවේ ඉතිහාසය

ශාන්ත හෙලේනා දූපත මුලින්ම ගවේෂණය කල යුරෝපියයා වන්නේ පෘතුගාලයේ සේවය කළ ස්පාඤ්ඤ ජාතික නාවුකයෙකු වන ජුවා ඩෙ නෝවායි. ඒ ක්‍රි.ව 1502 මැයි මස 21 වනදා යි. මෙය ක්‍රි.ව 1588 වන තුරුම පෘතුගීසීන් විසින් පමණක් දැන හඳුනාගෙන සිටි අතර එම වසරේදී ඉංග්‍රීසි ජාතික නාවිකයෙකු වන තෝමස් කැවෙන්ඩිෂ්ට නිරීක්ෂණය වෙනවා. වැඩිකල් යන්නට මත්තෙන් ශාන්ත හෙලේනාව ඉතා කාර්යය බහුල වරායක් බවට පත් වෙනවා.

ශාන්ත හෙලේනාවේ ඉපැරණි සිතුවමක් (1794)-commons.wikimedia.org

ක්‍රි.ව 1645 සිට 1651 දක්වා කෙටි කාලයකට ශාන්ත හෙලේනාව ලංදේසීන්ට යටත් වී තිබුණා. ඒ කෙසේ නමුත් ඉතා ඉක්මණින්ම ඉංග්‍රීසීන් විසින් මේ දූපතේ ආධිපත්‍යය තහවුරු කරගත් අතර ඔවුන් විසින් ක්‍රි.ව 1815 සිට 1821 මිය යන තුරුම පිටුවහල් කර තබනු ලැබුවා. පසු කලෙක සූවස් ඇල විවෘත වී ලෝක නාවික ගමන් මාර්ග වෙනස් වන තුරු ශාන්ත හෙලේනාව දීර්ඝ මුහුදු ගමන් වල යෙදුණු නැව් බහුතරයක් නැංගුරම් ලන වරායක් ලෙස යුරෝපය පුරාම ප්‍රසිද්ධ වී තිබුණා.

ශාන්ත හෙලේනාවේ භූ විෂමතාවය කා කාලගුණය

ශාන්ත හෙලේනා දූපත හුදෙක් ගල් කඳු වලින් ගහන ගිණිකඳු ප්‍රභවයකින් සෑදුණු එකක්. ඉතාම තියුණු බෑවුම් සහිත ගල් කඳු හා නිම්න වලින් මෙහි බහුතරයක් භූමිය වැසී තිබෙනවා. ශාන්ත හෙලේනාවෙ තැනිතලා බිම් ඇත්තේ අල්පයක් වන අතර  වැලි සහිත වෙරළ තීරද ඉතා අවමයි.

ශාන්ත හෙලේනාවේ උසින් වැඩිම ස්ථානය ඩයනා ගේ කඳු මුදුන හෙවත් Diana’s Peak යන ස්ථානයයි. මේ දිවයිනේ උසින් වැඩි ප්‍රදේශ වල උපනිවර්තන ලක්ෂණ සහිත තෘණ භූමි පවතින අතර  මීටර 500න් පහළ ප්‍රදේශ නිසරු ලක්ෂණ පෙන්වනවා. මෙහි ඇති කුඩා දිය පහරවල් බොහොමයක් ද ග්‍රීෂ්මයේ දී සිඳී යනවා.

ශාන්ත හෙලේනාවේ පහත්බිම් -beaufort-sc.com

ශාන්ත හෙලේනා දූපතේ කාලගුණය ඉතා කෙටි කාලයක් තුළ සැළකිය යුතු වෙනස් වීම් වලට භාජනය වනවා. එසේම දූපතේ විවිධ ස්ථාන වල දේශගුණයේත් සැළකිය යුතු වෙනස්කම් තිබෙනවා. උදාහරණ වශයෙන් සමුද්‍රාසන්නව ඇති ජේම්ස්ටවුන්හි සාමාන්‍යයෙන් වියලි හා දීප්තිමත් දේශගුණයක් දැකිය හැකි අතර උන්නතාශයෙන් වැඩි මධ්‍යම කලාපයේ ස්ථාන මීදුමෙන් ගැවසීගත්, තෙතමනය අධික, ශීතල ස්ථාන වනවා. විශේෂයෙන් ශිශිරයේ දී සමුද්‍රාසන්න ප්‍රදේශ වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-26 අතර පරාසයක දෝලනය වෙද්දී කඳුකර ප්‍රදේශ වල එය සෙල්සියස් අංශක 5-6 දකිවා පහත වැටිය හැකියි.

සංචාරයට සුදුසු සුන්දර ස්ථාන

කුඩා දූපතක් වුණත් ශාන්ත හෙලේනා දූපතේ සංචාරකයින්ට නැරඹීමට සුදුසු ස්ථාන කිහිපයක්ම තිබෙනවා. ඒවා ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ඓතිහාසික වටිනාකම් වලින් ද යුක්ත වෙනවා.

ප්‍රංශ අධිරාජ්‍යයා වන නැපෝලියන් ඉංග්‍රීසි ග්‍රහණයට පත් වූ පසුව රඳවා තබා තිබුණු Longwood house නම් ස්ථානය ශාන්ත හෙලේනාවට එන සංචාරකයින් කිසිලෙසකින් වත් නැරඹීමට අමතක නොකළ යුතු තැනක්. මීට අමතරව ප්‍රංශයට රැගෙන යාමට පෙර නැපෝලියන්ගේ දේහය කෙටි කාලීනව තැන්පත් කර තිබුණු ස්ථානයත් ඔවුනට දැකගන්නට පුළුවන්.

Longwood house-pinterest.com/gigir68

නැපෝලියන් දේහය තැන්පත් කර තිබූ ස්ථානය-parsseh.com/Violet Alex

දෙවන ලෝක යුධ විරුවන්ගේ ස්මාරකය හා අර්.එෆ්.ඒ ඩාක්ඩේල් නම් නෞකා අනතුරෙන් මියගිය අයගේ සිහිවටන ඵලකයත් ශාන්ත හෙලේනාවට එන අයෙක් නැරඹිය යුතු ස්ථානයන් වෙනවා. කාසල් ගාඩ්න්ස් නම් ස්ථානය නැරඹීමට යාමෙන් ශාන්ත හෙලේනාවට ආවේණික විවිධ ශාක වර්ග ගැනත් ඔවුනට දැනගන්නට පුළුවන්. මීට අමතර 1829 වසරේදී ඉදි කරන ලද ජේකබ්ගේ ඉණිමඟ නැමති අඩි 600 ක උසකින් යුතු හා පඩි 699ක් සහිත පිය හැට පෙළ නැඟීමත් අපූර්ව අත්දැකීමක් වෙනවා.

ජේකබ්ගේ ඉණිමඟ-pinterest.com/animiramu

ශාන්ත හෙලේනාව සොයාගෙන වසර 500ක් පිරීම නිමිත්තෙන් 2002 වසරේ විවෘත කෙරුණු ශාන්ත හෙලේනා කෞතුකාගාරය 18 වන සි ගොඩනැඟිල්ලක් පාදක කරගෙන පවත්වාගෙන යන අතර එය නැරඹීමට යාමෙන් ශාන්ත හෙලේනාවේ ඉතිහාසය පිළිඹිබු කරන බොහෝ සිහිවටන දැකගන්නට හැකියි. මීට අමතරව ජේම්ස් නිම්නයේ ඉහළ කොණක පිහිටා ඇති හෘද හැඩැති දියඇල්ලත් මනස්කාන්ත දසුන් මවනවා.

හෘද හැඩැති දියඇල්ල-sainthelenaisland.info

ඉතාම ප්‍රණීත රම් හා ජින් සාදන ශාන්ත හෙලේනා ඉස්කාගාරයත්, 1851 වසරේ ඉදි කර ඇති ශාන්ත පාවුළු දේවස්ථානය හා සුසාන භූමියත් ඉතා විශේෂ මතකයන් රන්දන ස්ථාන වනවා. The Castell collection නම් ශාන්ත හෙලේනාවට සම්බන්ධ ඉපැරණි චිත්‍ර එකතුවත් ඉතා සුන්දර එකක්.

ඩයනා කඳු මුදුන-sainthelenaisland.info

ඩයනා කඳු මුදුන ජාතික උද්‍යානය දිවයිනේ උස්ම කඳු මුදුන වන Diana’s peak කේන්ද්‍ර කරගෙන පැතිරුණු එකක්. මෙහි විවිධ ආවේණික සත්ත්ව හා ශාක විශේෂ වාසය කරනවා. මීට අමතරව මිලේනියම් වනෝද්‍යානය, බෝයර් සුසාන භූමිය, The Sandy Bay beach ඇතුළු තවත් විශේෂ සංචාරක ස්ථාන කිහිපයක්ම ශාන්ත හෙලේනාවට අන්තර්ගතයි. සංචාරකයෙක් සිය ජීවිත කාලයේ යම් දිනයක ශාන්ත හෙලේනාවට ගොඩබටහොත් ඔහු නැවත ඉන් පිට වන්නේ බොහෝ සුන්දර අත්දැකීම් හා මතකයන් රාශියක් කැටි කොටගෙනයි.

කවරයේ පින්තූරය –  sthelenatourism.com

Related Articles