Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මග තොට දී ගිමන් නිවූ අම්බලමේ කතාව

වසර කිහිපයකට කලින් ගොඩ නැං වූ දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා වර්තමානයේ දී කොළඹ සිට මාතරට ළඟා වීමට ගත වන්නේ පැය දෙකකටත් අඩු කාලයක්. නමුත් ගමන් බිමන් සඳහා යාන වාහන පමණක් නොව නිසි ලෙස සකස් කරන ලද මංපෙත් පවා නොතිබුණු කාලයේ දී ඒ සඳහා දින කිහිපයක් ගත වුණා. බොහෝ විට මෙවැනි දීර්ඝ ගමන් සඳහා යොදා ගන්නා අඩි පාරවල් සහ ගුරු පාරවල් යෙදී තිබුණේ දරුණු සතුන් ගහන වනාන්තර මැදින්. මේ නිසා ම නෑ හිත මිතුරන් මුණ ගැසීමට යන හෝ වන්දනා ගමනක යෙදෙන බොහෝමයක් දෙනාට නැවත පැමිණීම ගැන එතරම් විශ්වාසයක් නොතිබීම නිසා අදාල ගමන ආරම්භ කිරීමට පෙර තම ඉඩකඩම් සහ අනෙකුත් වටිනා දේපළ උරුමකරුවන් වෙත පවරා යාමට පුරුදු වුණා.

පනාවිටිය අම්බලම (serendib.btoptions.lk)

පයින් හෝ කරත්ත යොදා ගනිමින් ගිය මෙවැනි ගමන් බිමන් සඳහා දින කිහිපයක් ගත වන බැවින් රාත්‍රියට නවාතැන් ගැනීම සඳහා ආරක්ෂිත ස්ථානයක අවශ්‍යතාවය තදින් දැනුණා. සංචාරකයන්ට ආහාර පිළියෙළ කරගෙන විවේකී ව රාත්‍රිය ගත කිරීමේ ස්ථානයක් ගොඩ නැංවීමේ අරමුණ සහිත ව අම්බලම් බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. බොහෝ අම්බලම් නිර්මාණය කර ඇත්තේ ගලා යන දිය පහරක් අසල යි. නොඑසේ නම් අම්බලම් ආසන්නයේ ම පිරිසුදු ජලය පුරවන ලද පින්තාලියක් දක්නට ලැබෙනවා.

බුදු රජාණන් වහන්සේ දේශනාවන්ට අනුව අම්බලම් ගොඩ නැංවීම උතුම් පුණ්‍යකර්මයක් ලෙස සලකනවා. මේ නිසා අතීතයේ දී පින් සලකා බුදු මැදුරු සහ දාගැබ් ගොඩ නංවන ලෙසින් ම, මහජන ශුභ සාධනය පිණිස මංමාවත්, ඒදඬු හා පාලම් තනන ලෙස ම ගම් වැසියන් එක් වී අම්බලම් පිහිටුවා තිබෙනවා. යම් ගමක පිහිටා ඇති අම්බලමක විශාලත්වය, අලංකාරය හෝ වටිනාකම තීරණය වුණේ එය ගොඩ නැංවීම සඳහා දායක වූ ගම් වැසියන්ගේ වත්පොහොසත්කම අනුව යි. ඇතැම් අවස්ථාවල දී රටේ ප්‍රභූන් ද තමන්ගේ පෞද්ගලික ධනය යොදවමින් පින් පිණිස අම්බලම් නිර්මාණය කර තිබෙනවා.

සිරිපා කරුණා කිරීමේ දී හමු වන අම්බලමක් (ද සිල්වා 1985) (serendib.btoptions.lk)

අම්බලම් ගොඩ නැගුවේ ඇයි?

මුල් කාලයේ දී අම්බලම් ගොඩ නංවා ඇත්තේ නවාතැන් පහසුකම් සැපයීම සඳහා පමණක් වුවත් පසු කාලීන ව අම්බලම් ගොඩ නංවා ඇත්තේ විවිධ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා යි. ඒ අනුව පැරණි නගර යා කරමින් ගොඩ නංවන ලද අම්බලම්, ගමේ පොදු කටයුතු සඳහා එක් රැස්වීමට ඉදි කළ අම්බලම් සහ ගොවිතැන් කටයුතුවල පහසුව සඳහා ඉදි කරන ලද අම්බලම් පිළිබඳ තොරතුරු ජන සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඇතැම් අවස්ථාවල දී ගමේ පිහිටි අම්බලම් මේ කරුණු සියල්ල ම ඉටු කර ගැනීමට යොදාගෙන තිබෙනවා.

දවුලගහ අම්බලම (harithacharika.blogspot.com)

බොහෝ අවස්ථාවල දී භේදයකින් තොර ව අම්බලම් භාවිතයට ගෙන තිබුණ ද කිසියම් නිශ්චිත ජන කණ්ඩායමක් මුල් කරමින් අම්බලම් නිර්මාණය කරන ලද අවස්ථාව ද ඉතිහාස අධ්‍යයනය කිරීමේ දී හමු වෙනවා. එවැනි අම්බලමකට උදාහරණයක් ලෙස මාතලේ කූඹියන්ගොඩ දෙමළ අම්බලම හැඳින්විය හැකි යි. එම අම්බලම මධ්‍යයේ කාමරයක් බිත්තියකින් වෙන් කර තිබී ඇති අතර එය කාන්තාවන් සඳහා වෙන් කරන ලද කොටසක් යැයි සැලකෙනවා. එසේ ම දවුලගහ හන්දියේ පිහිටා ඇති අම්බලම එවැනි ම ජන වාර්ගික පදනමක් මත ගොඩ නංවන ලද්දක් වුවත් අද වන විට සිංහල සහ මුස්ලිම් සියලු දෙනා ම භේදයකින් තොර ව එය භාවිතා කරනු ලබනවා.

අම්බලම් තැනීමේ ගෘහ නිර්මාණ ශිල්පය

කරගහගෙදර අම්බලමේ පාදම (traveljournals.net)

අම්බලම් නිර්මාණය කිරීම සඳහා නිශ්චිත පුද්ගලයන් පත් කර නොසිටි අතර කිසිදු අම්බලමක් හැඩයෙන්, සැලසුමෙන් හෝ ප්‍රමාණයෙන් සමාන වන්නේ නැහැ. ඒ අනුව පැහැදිලි වන්නේ නිශ්චිත සැලැස්මක් සහ රාජ්‍ය අනුග්‍රහයක් නොමැති ව ගම් වැසියන්ගේ ශ්‍රමයෙන් සහ නිර්මාණ හැකියාවෙන් අම්බලම් ගොඩ නංවා ඇති බව යි. බොහෝ විට අම්බලමේ අත්තිවාරම ලෙස යොදා ගන්නා ලී කඳන් බිම් මට්ටමෙන් මදක් උස් වන වන තබා ඇත්තේ ඒවා වේයන් වැනි කෘමීන්ගෙන් ද වැසි ජලයෙන් ද ආරක්ෂා කර ගැනීමට පමණක් නොව ඒ මත වාඩි වී සිටීමට හා නිදා ගැනීමට පහසු වන ආකාරයට යි.

බොහෝ අම්බලම් චතුරස්‍රයක පෙනුමෙන් යුතු වූ අතර ඒවායේ වහළය රඳවා ගැනීම සඳහා මුදුන් යට ලීයක් අවශ්‍ය වුණේ නැහැ. එවැනි අවස්ථාවක දී වහළයේ සිව්කොන කැණිමඬලකින් එකතු කර වහළ මුදුනේ මැටි කොතක් තැන්පත් කර තිබෙනවා. නමුත් අම්බලමේ එක් පැත්තක් දිගින් වැඩි වූ විට (ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුතු වන පරිදි) වහළේ මුදුන නිමවා ඇත්තේ කෙටි යට ලීයක් යොදා ගනිමින්. එවිට වහළ මුදුනේ දෙකෙළවර මැටි කොත් දෙකක් තැන්පත් කර තිබෙනවා.

අම්බලමක වහලේ සැකිල්ල (traveljournals.net)

මෙයට අමතර ව අම්බලම් තැනීම සඳහා තවත් නොයෙකුත් ක්‍රම භාවිතා කර ඇති අතර ඇති එයින් ප්‍රකට ක්‍රමයක් ලෙස ගලින් හෝ ගඩොලින් බඳින ලද කුලුනු මත වහලය තැන්පත් කිරීම සැලකිය හැකි යි. මෙසේ කුලුනු මත ගොඩ නංවන ලද අම්බලම වට එතරම් උස් නොවූ බිත්ති දක්නට ලැබෙනවා. එම බිත්ති මත වාඩි වී සිටීමට සහ නිදා ගැනීමට පහසු වන ආකාරයෙන් පළලින් සහ ඝනකමින් වැඩි දැව සවි කර තැබීම සිදු කර තිබෙනවා. අම්බලමේ වහලය සෙවිලි කරන්නේ පිදුරුවලින්, පොල් අතුවලින් ද නොඑසේ නම් උළුවලින් ද යන්න තීරණය වන්නේ ගැමියන්ගේ වත්පොහොසත්කම අනුව යි.

අම්බලම තනන්නේ කොහේද?

අම්බලම නිර්මාණයට පෙර ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් කටයුත්තක් වී තිබෙනවා. ඒ අනුව බොහෝ විට අම්බලම භාවිතා කරන අයට උපරිම පහසුවක් සැලසෙන ස්ථානයක් ඒ සඳහා තෝරා ගන්නවා. මේ නිසා ම බොහෝමයක් අම්බලම් ගොඩ නංවා ඇත්තේ ළිඳක්, දොලක් හෝ කුඹුරක් මැද යි. නමුත් විහාරස්ථාන ආශ්‍රිත ව අම්බලම් ඉදි වී ඇත්තේ ඉතාමත් කලාතුරකින්. එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ අම්බලමක කාර්යය විහාරයේ බණ මඩුවෙන් ඉටු වීම විය හැකි යි.

නිශ්ශංක රාජ සභා මණ්ඩපය (© Bernard Gagnon)

විහාරස්ථානවල දක්නට ලැබෙන බණ මඩුව මෙන් ම රජ මැදුර ආශ්‍රිත ව දක්නට ඇති රාජ සභා මණ්ඩප යන ගොඩනැගිලි දෙවර්ගය ම අම්බලමේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඵල ලෙස සැලකෙනවා. නමුත් ඒවා නවාතැන් පහසුකම් සපයනවා වෙනුවට බොහෝ විට යොදාගෙන ඇත්තේ රැස්වීම් ශාලා ලෙස යි.

අම්බලම් ගැන කියැවෙන ජන සාහිත්‍යය

මුල් කාලීන අම්බලම් ගැන තොරතුරු අනාවරණය වන්නේ මහසෙන් රජ දවස ගොඩ නංවන ලද සෙල් ලිපියක යි. එහි ප්‍රධාන වීදියක් ආසන්නයේ පිහිටි ‘මහවට වතුස්සල’ නම් නවාතැන්පොළක් ගැන සඳහන් වෙනවා. එහි සඳහන් තොරතුරු අනුව යමින් අනුරාධපුරයේ විජයාරාම සහ අලපත්වැව ප්‍රදේශ ආශ්‍රිත ව පැවති අම්බලම්වල නටඹුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබෙනවා.

© Dileepa Mangala

මෙයට අමතර ව සන්දේශ කාව්‍යයන් හි ද අම්බලම් ගැන සඳහන් වෙනවා. 15 වැනි සියවසේ දී රචනා කරන ලද සැළලිහිණි සන්දේශයේ කෝට්ටේ සිට කැළණිය බලා ගිය මාර්ගය අභියස පැවති අම්බලමක් ගැන තොරතුරු ඇතුළත් වන අතර ගිරා සන්දේශයේ වැලිතොට අම්බලමට එක් රැස් වූ පුද්ගලයන් හිටිවන කවි සහ තේරවිලි කියූ අයුරු විස්තර කර තිබෙනවා. 18 වැනි සියවසේ දී රචිත නීලකොබෝ සන්දේශයේ සඳහන් අම්බලම පිහිටා ඇත්තේ දකුණු පළාතේ පළොන්නාරුව නම් ගම්මානයේ යි. එහි බිත්තිවල සිංහයින්ගේ සහ කොටින්ගේ සිතුවම් ඇඳ තිබී ඇති බව සඳහන් වෙනවා. 1813 ප්‍රකාශිත දියසැවුල් සන්දේශයේ උඩවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය අසල පිහිටි කුඹුරු යායක් ආසන්නයේ ගොඩ නැංවීමට නියමිත ව පැවති අම්බලමක් ගැන කරුණු ඇතුළත් වෙනවා.

එසේ ම 1681 වර්ෂයේ දී රොබට් නොක්ස් ඔහුගේ දිනපොතේ සටහන් කර ඇත්තේ විවේකයක් ලද විටෙක සිංහලයින් අම්බලම් නමින් හැඳින් වූ ස්ථානයන්ට රැස් වී බුලත් සපමින් දේශපාලන සාකච්ඡා පැවැත්වීමට ප්‍රිය කළ බව යි.

ලක්දිව පුරාණ අම්බලම්

     1.පනාවිටිය අම්බලම

ශ්‍රී ලංකාවේ දී දැක ගත හැකි වටිනා ලී කැටයම් සහිත අම්බලම් ලෙස පනාවිටිය අම්බලම හඳුන්වා දිය හැකි යි. එය පිහිටා ඇත්තේ පනාවිටිය, දීකිරිකෑවේ ශ‍්‍රී ලංකාතිලකාරාමය විහාරය ආසන්නයේ යි. මෙය දෙවැනි පරාක්‍රමබාහු රජුගේ උපදෙස් මත දේවපතිරාජ නම් මහාමාත්‍යතුමා ඉදි කර ඇතැයි සැලකෙනවා. ඒ ටැම්පිට ගෘහ ආකෘතිය අනුව යි.

     2.මංගලගම අම්බලම

මංගලගම අම්බලම (harithacharika.blogspot.com)

කෑගල්ල සහ මාවනැල්ල අතර පිහිටා ඇති මංගලගම අම්බලම ගොඩ නංවා ඇත්තේ දුටු ගැමුණු රජ සමයේ බව කියැවෙනවා. ඒ කාලයේ ඉන්දියාවේ වාසය කළ මංගල නම් බ්‍රාහ්මණයෙකු බෞද්ධ පුදබිම් නැමදීමට ලක්දිවට පැමිණ තිබෙනවා. ඒ ආන්නද බෝධියේ අංකුරයක් ද රැගෙන යි. වන්දනාවේ යෙදෙන අතරේ දී එක් දිනක් රෑ ගත කිරීම සඳහා අම්බලමකට ගොඩ වූ ඔහු බෝධි අංකුරය සහිත බඳුන අසල පිහිටි උස් භූමියක තබා අම්බලමේ රැය පහන් කර තිබෙනවා.

නමුත් පසුදින අවදි වන විට ඔහුට දැක ගැනීමට ලැබුණේ කලින් දින සවස උස් බිමක තැන්පත් කළ බෝධි අංකුරය මුල් ඇද ඇති බව යි. කිසියම් ආශ්චර්යයක් නිසා එසේ සිදු වන්නට ඇතැයි සිතූ ඔහු බෝධි අංකුරය එහි ම රෝපණය කර තිබෙනවා. මේ බව ආරංචි වූ මහ රජතුමා එහි විහාරස්ථානයක් කරවා මංගල බ්‍රාහ්මණයාට ගම්වරයක් ලබා දී ඇති අතර එයින් පසු ව එම ප්‍රදේශය මංගලගම ලෙස හැඳින්වීම ආරම්භ වුණා.

     3.ගිරුවා අම්බලම

ගිරුවා අම්බලම (harithacharika.blogspot.com)

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භූමි පරිශ්‍ර යේ ඉදි කර ඇති ගිරුවා අම්බලම දෙවැනි පරාක්‍රමබාහු රජුගේ අග බිසව වූ සුනේත්‍රා දේවිය විසින් අලුත්නුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කරන ලද්දක්. ගල් කණු 16 ක් මත ගොඩ නංවන ලද එම අම්බලම දැව තට්ටු දෙකක් මත වහල සවි කර කොකු උළු සෙවිලි කර නිර්මාණය කර තිබෙනවා.

     4.රුකුලා අම්බලම

රැකුලා අම්බලම (harithacharika.blogspot.com)

තම අග මෙහෙසිය වෙනුවෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඉදි කළ දෙවැනි පරාක්‍රමබාහු රජු එහි ආවතේව කටයුතු කිරීමේ රාජකාරිය පවරා ඇත්තේ සුනේත්‍රා දේවියගේ නැගිණිය වූ රුකුලා දේවියට යි. පසු කාලීන ව රුකුලා දේවිය පැරණි රජ මාවත සමීපයේ ඉදි කරන ලද අම්බලම, රුකුලා අම්බලම ලෙස නම් කර තිබෙනවා. අබලන් තත්ත්වය පත් වී තිබුණු එය ජාතික උරුමයන් පිළිබඳ ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 2000 වර්ෂයේ දී යි.

     5.කඩුගන්නාව අම්බලම

මංගලගම අම්බලම (© MediaJet)

කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා විට කඩුගන්නාව වංගුවට මීටර් කිහිපයක් ඉදිරියෙන් පාරේ වම් පසට වන්නට කඩුගන්නාව අම්බලම දැක ගැනීමට ලැබෙනවා. 18 වැනි සියවසේ මුල් කාලයේ දී එය ඉදි කර තිබුණේ මහනුවරට පැමිණෙන වෙළෙන්දන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා යි. වර්තමානයේ දී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉදි කිරීමක් ලෙස සලකන මෙය මහනුවර යුගයේ වාස්තු නිර්මාණ ශිල්පය අනුව ගොඩ නගන ලද්දක්.

  1. ජුබිලි අම්බලම

කෑගල්ලේ ජුබිලි අම්බලම ගොඩ නංවා ඇත්තේ 1887 වර්ෂයේ දී යි. ඒ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිනගේ 50 වැනි රාජප්‍රාප්තිය සැමරීම සඳහා යි. ඒ කාලයේ දී මෙම අම්බලම, කෑගල්ල ඒජන්තවරයා හමු වීමට පැමිණි බැහැදැකීමට පැමිණි රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු ආදී නිලධාරීන්ට සිය නිල ඇඳුමින් සැරසීම සඳහා පහසුකම් සැලසූ ස්ථානයක් වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

කවරයේ පින්තූරය : Picture 12 අවනිවල අම්බලම (Dilanka Bandara)

Related Articles