විශේෂාංග

විනාඩි 4 ක කියවීමක්

ජර්මනිය දෙකඩ කළ බර්ලින් තාප්පයේ කතාව

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය අතර පැවති සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දෙරට වෙන් කරමින් 1961 අගෝස්‌තු 13දා බර්ලින් නගරයේ දේශසීමාව හරහා නැගෙනහිර ජර්මනිය විසින් එක් රැයකදී කටුකම්බි වලින් ඉදිකළ වැට පසුකාලීනව  “බර්ලින් පවුර” බවට පත් වෙමින් දැවැන්ත තාප්පයක් ලෙස නිර්මාණය වෙනවා.

ජර්මානුවන්ගේ අවශ්‍යතාවයට නොව ලෝක බලවතුන්ගේ උවමනාව මත දෙකඩ කළ ජර්මනියේ වැසියන් මේ හේතුවෙන් බලවත් අසාධාරණයකට ලක් වෙනවා. වසර 28ක් තිස්සේ මෙසේ දෙකඩව පැවති ජර්මනිය නැවතත් තාප්පය බිඳ දමා එ රටක් බවට පත් වන්නේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟයි.

1989 නොවැම්බර් 09 දා බර්ලින් තාප්පය නැගෙනහිර හා බටහිර ජර්මානු වැසියන් විසින් බිඳ දැමීමෙන් පසු 1990 ඔක්‌තෝබර් 03 වනදා සිට රටවල් දෙක එක වී තනි රාජ්‍යයක් පිහිටුවා ගන්නවා.

මේ ආකාරයෙන් බර්ලින් තාප්පය නිර්මාණය වීමට බලපෑ හේතූන්, තාප්පයෙන් ජර්මනිය දෙකඩ වී පවතින කාලයේ සිදු වූ සිදුවීම් හා තාප්පය කඩා දැමීමට මුල් වූ කරුණු පිළිබඳවයි අද ලිපිය තුළින් ගෙන එන්නේ. මේ පිළිබඳව තවත් විස්තර ඔබ දන්නවා නම් comment එකකින් ඒ බව සටහන් කර යන්න.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මිත්‍ර රටවල් විසින් අයත් කරගත් ජර්මනිය

ස්ටාලින්, ට්රුමන් හා චර්චිල් පෝස්‌ට්‌ඩෑම් සමුළුවේදී (Deutsche Welle)

දෙවන ලෝක යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ මිත්‍ර පාර්ශවික රටවල් හතරක් එකතු වී “පෝස්‌ට්‌ඩෑම්” සමුළුවේදී (Postdam Conference) එකඟ වූ කොන්දේසි මත ඔවුන් විසින් අත්පත් කරගත් ජර්මනිය කොටස් හතරකට බෙදා වෙන් කර පාලනය කිරීම ආරම්භ කරනු ලබනවා. එසේ කොටස් හතරකට ජර්මනිය බෙදා වෙන් කරන්නේ එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය යන බටහිර රටවල් සමඟ එක් වූ සෝවියට් දේශය විසින්.

වෙන් කළ කොටස් හතර (The German Way & More)

බටහිර රටවල් තුන අපේක්ෂා කරන ලද්දේ තමන් විසින් මෙහෙයවන ජර්මනියක් නිර්මාණය කිරීම අතර සෝවියට් දේශය බලාපොරොත්තු වූයේ ජර්මනිය පාලනය කිරීම සියතට ලබා ගැනීමයි. මෙම දෙපාර්ශවය අතර පැවතුණු සීතල යුද්ධය හේතුවෙන් 1949 වසරේදී බටහිර රටවල් විසින් පාලනය කරන කලාප තුන එක් කොට “ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව ( Federal Republic of Germany)”හෙවත් බටහිර ජර්මනියද, සෝවියට් දේශය විසින් පාලනය කරන කොටස “ජර්මන් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුව (the German Democratic Republic)” හෙවත් නැගෙනහිර ජර්මනිය ලෙසද බෙදී වෙන් වෙනවා. මෙහිදී සදහන් කළ යුතු වන්නේ සම්පූර්ණයෙන්ම නැගෙනහිර ජර්මනියට අයත් වූ බර්ලින් නගරය පාලනය කරන්නට දෙපිරිසම කටයුතු කරන බවයි. ඒ එම නගරය නැගෙනහිර හා බටහිර ලෙස වෙන් කරමින්.

සමාජවාදී නැගෙනහිර හා ධනවාදී බටහිර

නැගෙනහිර ජර්මනියේ දර්ශනයක් (Pinterest)

සෝවියට් සංගමයෙන් පාලනය කරන ලද නැගෙනහිර ජර්මනිය සමාජවාදී ආර්ථික රටාවකින් යුක්ත වූ අතර බටහිර ජර්මනියේ ක්‍රියාත්මක වූයේ ධනවාදී ආර්ථිකයක්. ඉතා කෙටි කාලයකදී දෙරටේ විශාල වෙනසක් පෙන්නුම් කෙරෙනවා. බටහිර ජර්මනියේ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වූ අතර නැගෙනහිර ජර්මානුවන් විශාල වශයෙන් බටහිර ජර්මනියට ඇදෙන්නට පටන් ගන්නවා. එකල බටහිර ජර්මනියේ ඇති වූ විශාල ආර්ථික වර්ධනය හඳුන්වන ලද්දේ “ඉන්ද්‍රජාලික ආර්ථිකය” ලෙසයි.

බටහිර රටවල් විසින් බටහිර ජර්මනිය පිළිගත් අතර සෝවියට් සංගමය විසින් නැගෙනහිර ජර්මනිය දියුණු කිරීමට උත්සාහයක් ගත් බවක් පෙනෙන්නේ නෑ.

තවද බටහිර රටවලින් නැගෙනහිර ජර්මනියට ආර්ථික ආධාර ලබා ගැනීමට සෝවියට් සංගමයෙන් ඉඩ ලබා දෙන්නේ නෑ. තවද සෝවියට් සංගමයේ ආර්ථික ප්‍රතිපත්තීන් නැගෙනහිර ජර්මන් භූමියට යොදා ගැනීම පවා කිසි අයුරකින් ගැලපෙන්නේ නෑ. මේ හේතුවෙන් 1949 – 1961 කාලය තුළ ලක්ෂ 25කට අධික නැගෙනහිර ජර්මානුවන් පිරිසක් අන්ත අසරණ දිළින්දන් ලෙස බටහිර ජර්මනියට පලා යන්නේ බර්ලින් නගරයේ දේශ සිමාව හරහායි. 1949 වසරේ සිට ක්‍රමක්‍රමයෙන් බටහිර ජර්මනියේ ජනගහනය අඩු වූ අතර 1960 පමණ වන විට වැදගත් වෘත්තිකයන්ද රට හැරදා යාම හේතුවෙන් නැගෙනහිර ජර්මනිය තුළ උග්‍ර අර්බුදකාරී තත්වයක් නිර්මාණය වෙනවා.

අර්බුදයට පිළියම ලෙස එක් රැයකින් බර්ලින් නගරය හරහා ඉදි වූ වැට

බර්ලින් තාප්පය තනමින් (Mashable)

අරාජික වෙමින් පවතින නැගෙනහිර ජර්මනියේ බුද්ධිගලනය හා ශ්‍රමගලනය වළක්වා රටේ මානව සම්පත රදවාගැනීම සඳහා ඇති එකම ක්‍රියාමාර්ගය බර්ලින් නගරය හරහා නැගෙනහිර හා බටහිර වෙන් වෙන දේශ සිමාව හරහා තාප්පයක් නිර්මාණය කිරීම බව නැගෙනහිර ජර්මානු නායක වෝල්ටර් උල්බ්‍රෙෂ්ට් තීරණය කරනවා.

බර්ලිනය හරහා පළමුව නිර්මාණය කරන ලද්දේ කටු කම්බි වැටක්. 1961 අගෝස්තු 13 වනදා උදේ නින්දෙන් පිබිදුණු නැගෙනහිර හා බටහිර බර්ලින් නගර වාසීන්ට දකින්නට ලැබුනේ පැය 24ක් ඇතුළත නගරය හරහා ඉදිකර තිබූ දැවැන්ත කම්බි වැටයි.

මේ වන විට නැගෙනහිර සිට බටහිරටද බටහිර සිට නැගෙනහිරටද ගොස් සිටි ජර්මානුවන්ට තමන්ගේ නිවසට නැවත යා නොහැකිව අතරමංව සිටි අතර නැගෙනහිර ජර්මනිය විසින් වැටේ තැනින් තැන පොලිස් මුරකපොලු යොදා ආරක්ෂාව තර කර තිබුණා. පසු කලෙක කොන්ක්‍රීට් වලින් ඉදිකළ තාප්පයේ සාමාන්‍ය උස මීටර් 3 ක් පමණ වෙනවා.

කෙසේ නමුත් මෙසේ දේශ සිමාව වෙන්කිරීම බටහිර ජර්මනිය විසින් අනුමත නොකළ අතර ඔවුන් එය ඉවත් කිරීම සඳහා බටහිර රටවල සහය අපේක්ෂා කළත්  තාප්පය ඉදි කර තිබෙන්නේ දේශ සීමාව උල්ලංඝණය නොකරමින් බැවින් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට බටහිර රටවල් වලට හැකියාවක් ලැබෙන්නේ නෑ.

තාප්පයෙන් නැවැත්විය නොහැකි වූ පලා යෑම්

පලායාමට උත්සාහ කරන කාන්තාවක් (Honda-Tech)

බටහිර ඔත්තුකරුවන් තම රටට ඒම වැලැක්වීම සඳහා තාප්පය ගොඩ නැගූ බවත් කිසිදු බටහිර ජර්මානු වැසියෙකුට ඒ හරහා නැගෙනහිර ජර්මනියට ඇතුල් විය නොහැකි බවත් එසේම කිසිම නැගෙනහිර ජර්මානුවෙකුට බටහිරට යෑම තහනම් බවත් නැගෙනහිර ජර්මානු රජය විසින් තීරණය කරනවා.

නමුත් නැගෙනහිර ජර්මනිය විසින් මෙයට විරුද්ධව බර්ලින් නගරයේදී උද්ඝෝෂණ පවා ක්‍රියාත්මක කරවනවා. ඔවුන් නැගෙනහිර පුරවැසියන් සඳහා බටහිර කිසිසේත් තහනම් රටක් බවට පත් කරන්නේ නෑ. තාප්පය පැන බටහිරට පලායාම සම්පුර්ණයෙන් තහනම් වූ අතර පලායන්නන්ට වෙඩි තැබීමට නැගෙනහිර ආරක්ෂක නිලධාරීන් දෙවරක් හිතන්නේ නෑ. බර්ලින් තාප්පය පැවති වසර 28 තුළ වෙඩි තැබීම වලින් නිල වශයෙන් මරණයට පත් වූ පලා යන්නන් ගණන 133ක්. සාර්ථක ලෙස පලාගිය පිරිස් 5000 ඉක්මවන බව පැවසෙනවා.

උණුසුම් රෙදි බැලුම් උපයෝගී කරගනිමින්, දේශ සිමාවේ වූ උස් ගොඩනැගිලි වල ජනෙල් වලින් බටහිර දෙසට පැනීමෙන් හා තාප්පය යටින් බිම්ගෙවල් හාරා බටහිරට යෑමෙන් පලායාම තවදුරටත් සිදු වෙනවා. Night Crossing නමින් චිත්‍රපටයට පාදක වී තියෙන්නෙත් 1979 දී මෙසේ බැලුනයක් මගින් පලා ගිය සිදුවීමක්.

තාප්පය වටා බිම් බෝම්බ ඇතිරීමෙන්, ස්වයංක්‍රීය තුවක්කු සවි කිරීමෙන් හා තාප්පය මතින් පැනීම වැළකීමට එය මත මීටර් 0.4 ක රවුම් කොන්ක්‍රීට් ටියුබයක් සවි කිරීමෙන් තවදුරටත් පලායාම සිමා කරනවා.

තාප්පය බිඳ දමා එක්සත් ජර්මනිය බිහි වීම

තාප්පය බිඳ දැමීම (OpenBuildings)

බර්ලින් තාප්පය ඉදිකර වසර 28කින් පසු ක්‍රම ක්‍රමයෙන් සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟම උද්ඝෝෂණයන්ද නැගෙනහිර ජර්මනිය පුරා පැතිරී යන්නට පටන් ගන්නවා. 1989 ඔක්තෝම්බර් 7 වනදා මේ අර්බුදකාරී තත්වය හමුවෙයි සිය 40 වෙනි ජාතික දිනය සමරන්නේ. ඒ සමඟ සෝවියට් දේශය විසින් තීරණ ගැනීමේ අයිතිය පවා නැගෙනහිර ජර්මනිය වෙත පවරනවා.

1989 නොවැම්බර් 9වන දින නැගෙනහිර ජර්මානු නායකයා විසින් තාප්පය බිඳ දැමීමට තම අවසරය ලබා දෙනවා. ඒ පුවතත් සමඟම ප්‍රීතිඝෝෂා නගන නැගෙනහිර ජර්මානුවන් කුළුගෙඩි රැගෙන තාප්පය බිඳ දමනවා. ඒ සඳහා බටහිර ජර්මානුවන්ද සහාය දක්වනවා. අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා කිලෝමීටර 155 ක් (සැතපුම් 96 ක්) දුරට තනා තිබූ මෙම ඓතිහාසික තාප්පයෙන් කිලෝ මීටර තුනක පමණ කොටසක් ස්මාරකයක් ලෙස ඉතිරි කර අනෙක් සියළු කොටස් පසුව ඉවත් කරනු ලබනවා.

වර්තමානයේ සිහිවටනයක් ලෙස තබා ඇති තාප්පයේ කොටස (Time Tunnel)

නොවැම්බර් 9 වනදා තාප්පය බිඳ දැමීමෙන් පසුව 1990 ඔක්‌තෝබර් 03 වනදා සිට රටවල් දෙක එක් වී තනි රාජ්‍යයක් පිහිටුවා ගන්නවා. බටහිර රටවල් හා සෝවියට් සංගමයේ උවමනා එපාකම් මත ගොඩ නැංවූ බර්ලින් තාප්පය වැසියන් විසින් කඩා බිඳ දැම්මේ එලෙසයි.

කවරයේ ජායාරූපය – OpenBuildings

මුලාශ්‍ර – Wikipedia, wsws.org, www.coldwar.org, www.executedtoday.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්