Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි වීරයන්ට අපි හිතනවාට වඩා වයසයි !

තරුණ වැඩිහිටි භේදයකින් තොරව බොහෝ දෙනකු “සුපිරි වීරයන්ගේ“ වීර ක්‍රියා සහිත සිනමා කෘති රස විදිමට කැමති බව නොරහසකි. ඇතැම් සුපිරි වීරයන් අප හඳුනා ගන්නේ අපගේ කුඩා අවධියේ දී ම ය. එය මුලදී කාටුන් මගින්, පසුව කොමික් (චිත්‍රකතා) මගින්, නැතිනම් සිනමා කෘති මගින් විය හැකි ය. කෙසේ වෙතත් ඇතැම් සුපිරි වීර චරිත ඉතාමත් පැරණි ඉතිහාසයක් සහිත කලා නිර්මාණ වේ. මෙම ලිපියෙහි අරමුණ එවැනි පැරණිතම සුපිරි චරිත කිහිපයක් ඔබ වෙත ගෙන එ්ම යි.

1) සුපර්මෑන් (Super Man)

(designbolts.com)

මෙම චරිතය පළමු වතාවට නිර්මාණය වන්නේ ‘කොමික්’ හෙවත් චිත්‍රකතා තුළිනි. මෙම චරිතයේ නිර්මාපකයන් වන්නේ ජෙරී සීගල් සහ ජෝ ෂුස්ටර් යන දෙදෙනා යි. ඒ 1933 තරම් කාලයක දී වන අතර එවකට ඔවුන් උසස් පෙළ අධ්‍යාපනයෙහි නිරත වෙමින් සිටියහ. (ඒ අනුව මේ වන විට සුපර් මෑන් චරිතය බිහි වී වසර 84 ක් ගත වී ඇත) පසුව එම චරිතය DC සමාගම වෙත 1938 දී විකිණීමෙන් අනතුරුව සමග පළමු චිත්‍රකතා එම වර්ෂයේ දී ම (1938 අප්‍රේල් 18) එළිදැක්වීමට ඔවුන් පියවර ගත්හ.

පළමු චිත්‍රකතාව (www.thestar.com)

1950 දශකය තුළ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් පෙන්නුම් නොකළ ද 70 දශකය වන විට තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වන්නට විය. සුපර් මෑන් 75 වැනි චිත්‍රකතාව ඵෙතිහාසික වටිනාකමක් නිර්මාණය කිරීමට සමත් වන්නේ, එදා මෙදා තුර එක් දිනක දී පළ කොට වැඩි ම අලෙවියක් තැබූ චිත්‍රකතාව වශයෙනි. ඒ පිටපත් මිලියන 6 ක අලෙවියක් සමගිනි.

1969 දී සීගල් හා ෂුස්ටර් යන දෙදෙනා සුපර් මෑන් චරිතය සදහා ප්‍රකාශ අයිතිය නැවතත් තමන් වෙත ලබා ගනු පිණිස එවකට පැවති Copyright Act 1909 යටතේ නඩු පැවරූ නමුත් අධිකරණය එම තීරණයේ අයිතිය ඇත්තේ DC සමාගම වෙත බවට තීන්දු කරන ලදී.

සුපර් මෑන් රේඩියෝ වැඩසටහනක් 1940 දී විකාශය වී ඇති අතර පළමු චිත්‍රපටය 1948 දී ද, පළමු රූපවාහිනි වැඩසටහන 1966 දී ද විකාශය වී ඇති බව වාර්තා වේ.

Empire සගරාව දක්වා ඇති ආකාරයට එදා මෙදා තුර බිහි වී ඇති විශිෂ්ටතම චිත්‍රකතා චරිතය ලෙස සුපර් මෑන් හඳුන්වා දී ඇත. වරක් බ්‍රිතාන්‍යයේ පවත්වන ලද ‘විශිෂ්තටම සුපිරි වීරයා’ පිළිබඳ  සමීක්ෂණයෙන් ද පළමු ස්ථානය හිමි වූයේ සූපර් මෑන් චරිතයට ය.

සුපර් මෑන් චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=tyc8hoK_OeU

2) බැට් මෑන් (Batman)

(wallpapercave.com)

මෙය ද චිත්‍රකතා ආශ්‍රයෙන් නිර්මාණය වුණු චරිතයක් වන අතර 1939 දී බොබ් කේන් සහ බිල් ෆින්ගර් යන දෙදෙනා විසින් මෙම චරිතය බිහි කරන ලදී. ඔවුන් දෙදෙනා පවසා අැත්තේ මෙම බෑට් මෑන් නිර්මාණය කිරීමේ දී එවකට ජනප්‍රියව පැවති සුපර් මෑන් චරිතයේත්, ලියනාඩෝ ඩාවින්චි විසින් අදින ලද ගුවන් යන්ත්‍ර සටහන්වලත් ආභාසය තමන්ට ලැබුණු බව යි. සෑම විටෙක ම බැට්මෑන් තනිව ම සිටින ආකාරයෙන් කතා ගෙතීම තමන්ට වෙහෙසකර වූ බැවින් ඊට විකල්පයක් ලෙස ‘රොබින්’ (Robin) චරිතය නිර්මාණය කළ බව බිල් තවදුරටත් පවසා ඇත. පළමු වරට රොබින්ගේ පැමිණීම සිදු වන්නේ 1940 දී ය.

පළමු චිත්‍රකතාව (wikipedia.com)

2011 සැප්තැම්බර් 1 වැනිදා පළමුවෙන් ප්‍රකාශයට පත් වූ කැට් වුමන් (Cat Woman) චිත්‍රකතාව තුළින් බැට් මෑන් පිළිබඳව අලුත් කතාවක් ගොඩ නගන්නට කටයුතු කර තිබුණි. එහි දක්වා තිබුණේ බැට් මෑන් සහ කැට් වුමන් අතර අනුරාගී සම්බන්ධතාවක් පවතින බව යි. මෙය එතෙක් බෑට් මෑන් කතාංග තුළින් ඔවුන් අතර දිස් වුණු සියුම් ආකර්ෂණය ඉතා පැහැදිලි ලෙස මෙහි දක්වා තිබුණි.

කොමික් රසිකයන්ගේ කතා බහට ලක් වූ එම අවස්ථාව. (bleedingcool.com)

2017 වන විට අවුරුදු 78 ක් ගත වී ඇති බැට්මෑන් චරිතය ඇතුළත් පළමු ටෙලි කතා මාලාව 1960 දශකයේ දී විකාශය වූ අතර මේ වන විට එවැනි ටෙලි කතා, කාටුන්, සිනමා කෘති රාශියක් නිර්මාණය වී ඇත.

බැට්මෑන් චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=LI57fOLwVag

3) ෆ්ලෑෂ් (Flash) 1939

(wallpapersafari.com)

DC Comics ආයතනයේ ගාඩ්නර් ෆොක්ස් සහ හැරී ලැම්පර්ට් යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම සුපිරි චරිතය පළමුවරට එළි දැක්වෙන්නේ 1939 නොවැම්බර් මාසයේ දී ය. ඒ අනුව 2017 වර්ෂය වන විට මෙම සුපිරි වීර චරිතයට ද අවුරුදු 78 ක් සපිරිමට නියමිත ය.

කෙසේ වෙතත් ෆ්ලෑෂ් චරිතය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එය ප්‍රධාන වශයෙන් අවධි 3කට බෙදා දැක්විය හැකි ය.

  • ස්වර්ණමය යුගය – මෙම යුගය තුළ ෆ්ලෑෂ් චරිතය නිරූපණය කර ඇත්තේ ජේ ගැරික් ය.
  • මධ්‍යතන යුගය – මෙම වකවානුවේ දී ෆ්ලෑෂ් වන්නේ බෙරී ඇලන් ය.
  • නූතන යුගය – වොලී වෙස්ට් නමැති බෙරී ඇලන්ගේ බෑණා කෙනෙකු ෆ්ලෑෂ් බවට පත් වේ.

පළමු චිත්‍රකතාව (reddit.com)

මේ වන විට රචකයන් ගණනාවක් ෆ්ලෑෂ් චරිතය සංවර්ධනය කිරීමට දායක වී ඇති අතර 2016 වසරේ සිට මේ දක්වා එම කාර්යයයෙහි නියැළී සිටින්නේ ජෝෂ් විලියම්සන් ය. ෆ්ලෑෂ් චරිතය ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සුපිරි වීර චරිතයක් වන අතර මෑත කාලයේ බිහි වූ Big Bang Theory ටෙලි කතාමාලාව නිසා (විශේෂයෙන් ම එහි ෂෙල්ඩන් කූපර් චරිතය නිසා) තව තවත් ෆ්ලෑෂ් චරිතය ජනාදාරයට පත් වී අැතැයි කිව හැකි ය.

වර්ෂ 2006 දී ෆ්ලෑෂ් පළමු චිත්‍රකතාවෙහි පිටපතක් ඇමෙරිකන් ඩොලර් 275,123 කට වෙන්දේසී වූ අතර එම පිටපත ම ඇමෙරිකන් ඩොලර් 450,000 කට නැවත මිල දී ගැනීමක් සිදු කළ බව 2010 දී වාර්තා විය.

ෆ්ලෑෂ් 75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් https://www.youtube.com/watch?v=bYTM2Ws1f-Y

4) කැප්ටන් ඇමෙරිකා (Captain America) 1941

(screenrant.com)

Marvel සමාගමේ නිර්මාණයක් වන මෙම චරිතය පළමු වරට එළි දැක්වෙන්නේ 1941 මාර්තු මාසයේ දී ය. ඒ ජෝ සයිමන් සහ ජැක් කර්බි යන කාටුන් ශිල්පීන් දෙදෙනාගේ නිර්මාණශීලීත්වයෙනි.

පළමු චිත්‍රකතාව (marvel.com)

මෙම කාටුන් චරිතය දෙවන ලෝක යුද්ධය පසුබිම් කොට ගෙන කරළියට පැමිණි එකක් වන බැවින් නිර්මාණය තුළ ද මිත්‍ර පාර්ශික හමුදාවන් සමග එක්ව ජර්මානුවන් හා යුද වදින සුපිරි ඇමෙරිකානු සොල්දාදුවකු පිළිබඳ කතාවක් පාදක කරගෙන ගොඩ නැගුණු එකක් වීම විශේෂිත ය. එම වකවානුව තුළ පැවති සමාජ පසුබිම මෙම චරිතය ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට හේතු වූ බවට වාර්තා වේ.

ජෝ සයිමන් තම The Comic Book Makers නැමැති ස්වයංචරිතාපදානයෙහි කැප්ටන් ඇමෙරිකා චරිතය නිර්මාණය පිළිබඳ ව දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

“මට අවශ්‍ය වුණේ සුපිරි ඇමෙරිකානුවෙක් නිර්මාණය කරන්න. ඒ නිසා ම මගේ මුල් ම අදහස වුණේ ‘සුපර් ඇමෙරිකන්’ කියන චරිතය. හැබැයි පස්සේ මට හිතුණා ‘සුපර්’ චරිත ඕනවටත් වඩා බිහිවෙලා ඉන්නවා කියලා. එතකොට තමයි මට හිතුණේ ‘කැප්ටන් ඇමෙරිකා‘ කෙනෙක් ගැන. මොකද ‘කැප්ටන්’ වීරයෝ වැඩිය නැහැනේ…”

කැප්ටන් ඇමෙරිකා පළමු රූපවාහිනී කතා මාලාව විකාශය වන්නේ 1979 දී වන අතර ඉන්පසුව විකාශය වුණු ස්පයිඩර් මෑන්, එක්ස් මෙන් වැනි කතා මාලාවන්හි දී ද ඇතැම් කොටස් වල දී කැප්ටන් අැමරිකා චරිතය කරලියට අා අතර 2011 දී තිරගත වූ Captain America: The First Avenger  චිත්‍රපටය ද අතිශය ජනප්‍රියත්වයට පත් විය.

මේ වන විට අවුරුදු 76 ක් වයසැති කැප්ටන් ඇමෙරිකා චරිතයට තවමත් එකසේ ජනප්‍රියත්වයක් පැවතීම පුදුමයට කරුණක් නොවේ ද?

කැප්ටන් ඇමෙරිකා චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=H81Rkb8XF5w

5) ග්‍රීන් ඇරෝ (Green Arrow) 1941

(wallpapersdsc.net)

මෙම චරිතය ද නිර්මාණය වන්නේ 1941 දී ය. ඒ අනුව 2017 නොවැම්බර් මස වන විට මෙම චරිතය අවුරුදු 76 සම්පූර්ණ කරනු ඇත.

පළමු චිත්‍රකතාව (sellmycomicbooks.com)

මෙම චරිතය මෝටයිමර් වෙසින්ගර් සහ ජෝර්ජ් පාප් විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර DC සමාගමේ දායකත්වය මත එළිදක්වන ලද චරිතයකි. රොබින් හුඩ් චරිතයෙන් සහ එඩ්ගාර් වොලස්ගේ The Green Archer කෘතියෙන් මෙම චරිතය සදහා ආභාෂය ලබා ගත් බව එහි නිර්මාණකරුවන් ප්‍රකාශ කර තිබේ.

Arrow Tv Series (wallpapersdsc.net)

කෙසේ වෙතත් 2012 දී විකාශය ආරම්භ කරන ලද ARROW ටෙලි කතා මාලාව තුළින් මෙම චරිත වඩ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ බව නොරහසකි. ඊට පෙර Smallville කතා මාලාව තුළ ද මෙම චරිතය ඉදිරිපත් කර තිබුණි.

75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක්  https://www.youtube.com/watch?v=s3dS3oeqMps

පසුවදන

එදා මෙදා තුර බිහි වී ඇති සුපිරි වීර චරිත ප්‍රමාණය ඉතා විශාල බව නොරහසකි. එනිසාවෙන් ම අප විසින් තෝරා ගනු ලැබුවේ අතිශය ජනප්‍රිය වූත්, මුලින් ම නිර්මාණය වූත් සුපිරි වීර චරිත කිහිපයක් පමණි. මෙම ලිපියෙහි සඳහන් වීර චරිතයන්ට අමතරව තවත් පැරණි සුපිරි වීර චරිත 5 ක් පිළිබද මෙහි දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

සුපිරි වීරයන්ගේ කතා පමණක් නොව එම චරිත නිර්මාණය වූ ආකාරය සහ ඉතිහාසය ද ඉතා රසවත් බව මෙයින් පැහැදිලි නොවේ ද?

කවරයේ රූපය : youtube.com

මුලාශ්‍ර :

  1. www.marvel.com
  2. www.dccomics.com
  3. www.wikipedia.com
  4. www.youtube.com
  5. www.comicbook.com

Related Articles