විශේෂාංග

විනාඩි 4 ක කියවීමක්

ගුවන් යානා අනතුරුවල රහස් හෙළි කරන කළු නැති කළු පෙට්ටිය

Published

විනාඩි 4 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

Kavindi Madushika

Contributor

ගුවන් යානයේ නිර්මාතෘන් වෙන්නේ රයිට් සහෝදරයන් කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම තමයි මුල්ම සාර්ථක ගුවන් ගමන සිදු කළේත් 1903 දී රයිට් සහෝදරයන් විසින්මයි. එදා ඉඳන් අද දක්වාම විවිධ කටයුතු සඳහා විවිධ ගුවන් යානා භාවිතා කරනවා. තාක්ෂණයේ දියුණුවත් සමඟම අද වෙනකොට අති නවීන පහසුකම් තියෙන ගුවන් යානා රාශියක් බිහිව තිබෙනවා.

අතීතයේ ගුවන් යානයක් අනතුරට ලක්වුනාම ඇයි ඒ ගුවන් යානය අනතුරට ලක් වුනේ, ඒ අනතුර සිද්ධ වුණේ කොහොමද, කාලගුණික දෝෂයක් නිසාද, නැත්තම් කාර්මික දෝෂයක් නිසාද, එහෙමත් නැතිනම් ගුවන් නියමුවා අතින් සිදු වු වරදක් නිසාද කියලා හරියටම දැනගන්න විදිහක් තිබුණේ නැහැ. මෙයට විසඳුමක් විදිහට තමයි මේ කළු පෙට්ටිය කියන උපාංගය නිෂ්පාදනය කරන්නට යෙදුනේ. ඇත්තටම මොකක්ද මේ කළු පෙට්ටිය කියලා කියන්නේ? අද මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ගුවන් යානා වල අඩංගු මේ කළු පෙට්ටිය ගැන ඔබව දැනුවත් කිරීමටයි.

ගුවන් යානා වල අතීතය

ක්‍රමයෙන් දියුණුවු ගුවන්යානා මුල් කාලයේදී යුධ කටයුතු සඳහා භාවිතා කළා. විශේෂයෙන් පළමුවන හා දෙවන ලෝක යුද්ධ වලදී ප්‍රහාරක යානා විදිහට තමයි යොදා ගත්තේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගුවන් තැපැල් ප්‍රවාහනය සඳහාත් ගුවන් යානා භාවිතා කෙරුණා. 1933 දී බෝයිං (Boeing) සමාගම විසින් නවතම මගී ප්‍රවාහන ගුවන් යානයක් වු බෝයිං 247 (Boeing 247) යානය නිපදවීම නිසා ගුවන් ගමන් ප්‍රමාණය ඉහළ යන්නට පටන් ගත්තා.

සාමාන්‍ය මගී ප්‍රවාහනයේ වැඩිවීමත් එක්කම ගුවන් ගමනක විශ්වාසනීයත්වය ඇති කිරීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ තැනක් ගන්නට පටන් ගත්තා. ගුවන් ගමනක් නිරුපද්‍රිතව සිදුකළහැකි බව තහවුරු කරන්න අවශ්‍ය ක්‍රමවේද සකසන්න උවමනාවක් ඇති වුණේ ඒ අනුවයි.

රයිට් සහෝදරයන් නිර්මාණය කළ යානය දිස් වන ආකාරය. රූපය : wright-brothers.org

රයිට් සහෝදරයන් නිර්මාණය කළ යානය දිස් වන ආකාරය. රූපය : wright-brothers.org

ගුවන් ගමන් පිළිබඳව පවතින රෙගුලාසි

ගුවන් ගමන්වල විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා ගුවන් ගමන් පිළිබඳව රෙගුලාසි සමුහයක් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organization) විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මෙහිදී ප්‍රමිතියක් හදාගන්න භාවිත කළ කරුණු තමයි ගුවන් යානයක් ගමන් කළ යුතු උස, පණිවුඩ හුවමාරුව, යානා දෙකක් අතර පරතරය, ගුවන් තොටුපළ හා ධාවනපථ ආදී කරුණු. ඒත් ගුවන් යානයක් අනතුරට පත්වී සම්පුර්ණයෙන්ම විනාශ වුණාට පස්සේ අනතුරට හේතුව සොයා ගන්නට නොහැකි වුණු නිසා අනතුරු අවම කරගැනීමට ක්‍රම හොයා ගන්න එක ලොකු ගැටළුවක් වුණා.

ගුවන්යානා නිෂ්පාදන දෝෂ සඳහා පිළියම් යොදන්න තියෙන හැකියාවත් මෙනිසා සීමා වුණා. මේ හේතුව නිසා අතීතයේදී ගුවනින් ගමන් කරන එක බොහොම අවදානම් ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තමයි සැලකුවේ. ගුවන් තාක්ෂණික ශිල්පීන්ට මේ මහජන මතය වෙනස් කරන එක ලේසි වුණේ නැහැ. අනතුරු වලට හේතු වුන කරුණු ගැන නිවැරදි තොරතුරු දැන ගන්න ක්‍රමයක් නොතිබුණු නිසා ගුවන් යානා වල ආරක්ෂාව තහවුරු කරන්නත් බැරි වුණා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ලාංඡනය. රූපය : slideplayer.com

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ලාංඡනය. රූපය : slideplayer.com

කළු පෙට්ටියේ ඉතිහාසය

1954 අවුරුද්දේ ලෝකයේ මුල්ම ජෙට් යානය වුණු De Havilland DH 106 වර්ගයේ ගුවන් යානයක් මුහුණපෑ අනතුර නිසා ගුවන් අනතුරු විමර්ශනයට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න ක්‍රමයක් නැති වීම නැවතත් සංවාදයට ලක් වුණා. මේ කාලය වෙන කොට යානයක පියාසර දත්ත ගබඩා කරන්න පුළුවන් උපකරණයක අවශ්‍යතාවය දැඩිව දැනිලයි තිබුණේ. මෙහිදී මුලින්ම ගුවන් තාක්ෂණික ශිල්පීන්ගේ අවධානය යොමු වුණේ ගුවන් කාර්යමණ්ඩලයේ සංවාද පටිගත කිරීම ගැනයි. ඒ සඳහා “Cockpit Voice Recorder (CVR)” කියන උපකරණය නිපදවූවා.

මේ උපකරණය තමයි පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් දියුණු කරලා ගුවන් යානයේ පාලක දත්ත, යානය ගමන් කරන උස, වේගය, පවතින ඉන්ධන ප්‍රමාණය සහ කාලගුණික දත්ත වගේ තොරතුරු ගබඩා කරන්න පුළුවන් මට්ටමට වැඩිදියුණු කෙරුණේ. ගුවන් ගමනට අදාළ සියලු තොරතුරු පටිගත කරන නිසා මේ උපකරණය Flight Data Recorder (FDR) කියලා හඳුන්වන්න පටන් ගත්තා. නමුත් කළු පෙට්ටිය (Black Box) කියලා තමයි අපි සාමාන්‍ය ව්‍යවහරේදී මේ උපකරණය හඳුන්වන්නේ.

DH 106 යානය දිස් වන ආකාරය: රූපය. staticflickr.com

DH 106 යානය දිස් වන ආකාරය: රූපය. staticflickr.com

ආචාර්ය ඩේවිඩ් වොරන් කියන තැනැත්තා තමයි 1957 කළු පෙට්ටියේ මුල් ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. වොරන් ඇතුළු පර්යේෂණ කණ්ඩායම මේ ආකෘතිය ගුවන් ගමන් වලදී අත්හදා බලලා තියෙනවා. මේ ආකෘතිය ඔවුන් තවදුරටත් දියුණු කරලා ගින්නට හා කම්පනයට ඔරොත්තු දෙන ආවරණයක් හඳුන්වා දුන්නා. මේ උපකරණයේ දත්ත පටිගත කිරීම සඳහා මුල් කාලයේදී චුම්භක පටි (Magnetic Tap) යොදා ගත්තත් පසු කාලීනව තාක්ෂණයේ දියුණුවත් එක්කම ඩිජිටල් (Digital) ක්‍රමයට දත්ත පටිගත කිරීමේ තාක්ෂණය භාවිතය ආරම්භ වුණා.

කළු පෙට්ටියේ රූපය: aerophotoworks.com

කළු පෙට්ටියේ රූපය: aerophotoworks.com

කළු පෙට්ටියේ ක්‍රියාකාරිත්වය

වර්තමානයේ ගුවන්යානා වල භාවිතා කරන කළු පෙට්ටි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් අනුමත කර ඇති විවිධ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලබනවා. ඒ කියන්නේ ගුවන් යානය ගමන් කරන උස, වේගය, කාලගුණික දත්ත, වේලාව හා එන්ජිමේ දත්ත වගේ ඒවා. දළ වශයෙන් මේ උපකරණයේ පැය 25 ක විතර කාලයක දත්ත ගබඩා කරන්න පුළුවන්. ගුවන් යානයක පසුපස කොටසේ තමයි මේ කළු පෙට්ටිය තැන්පත් කරලා තියෙන්නේ. මේ උපකරණය ඉතා තද උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට ටයිටේනියම් (Titanium) ලෝහයෙන් හදපු ඝනකම කවරයකින් යුක්තයි. ඒ වගේම තමයි ඉතා අවම උෂ්ණත්වයන්ට, අධික කම්පනයන්ට වගේම ගැඹුරු මුහුදේ පිඩනයට වුණත් ඔරොත්තු දෙන විදිහට තමයි මේ උපකරණය හදලා තියෙන්නේ.  මොනම අනතුරකදී වුණත් ඇතුලේ පවතින තොරතුරු ආරක්ෂිතව තියෙන්න පුළුවන් විදිහටයි කළු පෙට්ටිය හදලා තියෙන්නේ.

අපි මේ උපකරණයට කළු පෙට්ටිය කියලා කිව්වත් එහෙම කියන්නේ කළු පාට නිසා නම් නෙවෙයි. ඇත්තටම මේ උපකරණය තැඹිලි පාටයි. ගුවන්යානා අනතුරක් වුනාට පස්සේ මේ උපකරණය සොයා ගැනීමේ පහසුව සඳහා දීප්තිමත් පරාවර්තනයක් සහිත වර්ණයක් වන තැඹිලි පාටින් මේ උපකරණය වර්ණගන්වා තියෙනවා. ඒ වගේම තමයි කළු පෙට්ටිය ජලාශයකට වැටුනහොත් එමගින් නිකුත්වෙන සංඥා (Beacons) මගින් එය තිබෙන ස්ථානය හොයා ගන්න පුළුවන්. ගුවන් ගමන අතරතුරේදී ගුවන් නියමුවා විසින් කළු පෙට්ටිය ක්‍රියා විරහිත කිරීම තහනම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මගින් රෙගුලාසි පනවලා තියෙනවා.

විනාශ වු යානයක කළු පෙට්ටිය තිබුණ ආකාරය: රූපය. wired.com

විනාශ වු යානයක කළු පෙට්ටිය තිබුණ ආකාරය: රූපය. wired.com

කළු පෙට්ටියට අයිති කොටසක් විදිහට හඳුන්වන්න පුළුවන් Cockpit Voice Recorder (CVR) මගින් ගුවන් නියමු කුටිය තුළ සිදුවෙන සංවාද නිරන්තරවම පටිගත කෙරෙනවා. පැය දෙකක කාල පරාසයක් එක දිගට හඬ පටිගත කරලා ඉන් පසුව මිනිත්තු 30කට වරක්ම පරණ දත්ත මැකී යාමත් සිදු වෙනවා. ගුවන් යානයෙන් පිටතටත් හා ගුවන් යානය වෙතටත් එන රේඩියෝ සංඥා, ගුවන් යානය තුළ සිදු වෙන වාචික සංවාද, ගුවන් යානයේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය තුලින් සිදුවෙන සංවාද, ගුවන් යානය තුළ සිදු වෙන මගී දැනුවත් කිරීම් ආදියත් මෙහි පටිගතවීම සිදුවෙනවා. ගුවන් නියමු කුටිය තුළ සිදුවෙන සංවාද පටිගත වීම සඳහා මයික්‍රෆෝන කීපයක්ම තියෙනවා. මේවා සම්බන්ධ කරලා තියෙන්නේ නියමුවාගේ, සහායක නියමුවාගේ හා කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ හෙඩ්සෙට් වලටයි.

ගුවන් අනතුරක් සිදු වුනාට පස්සේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ සම්පුර්ණ බලතල තියෙන්නේ අනතුර සිදු වුන රටේ සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. කළු පෙට්ටියේ පවතින දත්ත කියවීම සඳහා එය නිෂ්පාදිත ආයතනයට හෝ ඒ සඳහා අනුමත පහසුකම් ඇති ආයතනයකට භාර දීම සිදු කළ යුතු වෙනවා.

අතීතයට සාපේක්ෂව බැලුවොත් වර්තමානය වනවිට සිදු වන ගුවන් අනතුරු සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. මෙයට හේතුව තමයි මේ විශේෂ උපාංගය වෙන කළු පෙට්ටිය භාවිතා කරලා අනතුරු වලට හේතු සොයා ගෙන  ඒවාට පිළියම් යෙදීමට හැකි වී තිබීම. මේ ලිපිය කියවීමෙන් ඔබ නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගන්න ඇති. අනිත් අයටත් බලන්න share කරන්න.

කවරයේ පින්තුරය: publicbroadcasting.net

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්