Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොයා ගන්න බැරි කැලෑ බඩු ඇති පිටකොටුවේ කැලෑ පොළ

කොළඹ පිටකොටුවට නුදුරු ව බැස්ටියන් මාවතට යාබද ව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්න ව පිහිටි හිස් පෙදෙසක් අවුරුදු කීපයක පටන් අපූරු වෙළෙඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත් ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ කැලෑ පොළ කියල යි.

කැලේ කොළේ වැවෙන පලතුරු, පලා වර්ග වගේ ම තවත් එළවළු පලතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුර ම ක්‍රියාත්මක වන්නේ මහ රෑ ටයි. අඩුවට හොඳ බඩුගන්නg මෙතනට යන්න සිල්ලර වෙළෙන්දන් වගේම පාරිභෝගික පිරිස් ද පුරුදු වී සිටිනවා.

බැස්ටියන් මාවතේ පොළ පැවති කාලයේ- flickr.com

මැනිං මාකට්ටුවට විකල්පයක්

දැන් පෑලියගොඩට ගෙන ගොස් ඇති කොළඹ මැනිං වෙළෙඳපොළ මෙරට එළවළු පලතුරු මිල තීරණය කරන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මැනිං මාකට් එක මෑතක් වනතෙක් පැවතුණේ කැලෑ පොළට නුදුරුව යි. රටේ විවිධ පළාත්වලින් ගෙන එන බඩු පාන්දර එකේ පමණ සිට මැනිං මාකට් එකේ තොග වශයෙන් අලෙවි කෙරෙනවා. කැලෑ පොළට එවැනි මිල තීරණය කිරීමේ බලයක් නැහැ. එහි ක්‍රියාත්මක වන්නේ වෙනම මිලක්.

රාත්‍රී 11.00ට පටන් ගන්නවා

මේ වන විට කැලෑ පොළ ආරම්භ වී වසර හැටක් පමණ වෙනවා. මුල් ම කාලේ ලොකු වට්‌ටිවල තියල ගමෙන් ගේන පොඩි පොඩි දේවල් වට්ටි අම්මලා එහි විකුණා ඇති බව පැවසෙනවා. ඒ කාලයේ සිට කැලෑ පොළ පිටකොටුව අවට තැන් අටක පමණ පවත්වා තිබෙනවා. එයට ස්ථිර ස්ථානයක් හෝ ගොඩනැඟිලි කිසිවක් නැහැ. මැනිං වෙළෙඳපොළට ආසන්නයේ වසර 35ක 40ක පමණ කාලයක සිට කැලෑ පොළ පැවැත්වෙනවා.

මහ රෑට පැවැත්වෙන කැලෑ පොළ- dinamina.lk

එය ඇරඹෙන්නේ රාත්‍රී 11.00ට යි. පසුදා උදෑසන 10 තෙක් පැය 11ක පමණ කාලයක් මෙතැන වෙළෙඳාම් හා ගනුදෙනු සිදුවෙනවා. මීට වසර 06කට පමණ ඉහත දී මෙය පැවැත්වූයේ බැස්ටියන් මාවත ඉදිරි පිට බස්නැවතුම් පොළෙහි කෙළවරක යි. පසුගිය කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් කොළඹ අලංකරණ කටයුතු කිරීම සිදුවූ අතර පාවෙන වෙළෙඳපොළ සඳහා ඒ අවට භූමිය අලංකරණය කිරීම සිදුවුණා.

මේ නිසා කැලෑ පොළ බැස්ටියන් මාවතේ සිට ඒ පාර පටන් ගන්නා තැන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු හිස් ඉඩමක් වෙත මාරු වුණා. එම ඉඩමට විදුලි ආලෝකය ද සපයා ඇති අතර පොළොවට ද කොන්ක්‍රීට් ගඩොල් අල්ලා තිබෙනවා.

බහුලව අලෙවි වන තැඹිලි- Pear lof ceylon facebook page

මෙහි වෙළෙඳාමේ නිරත වන වැඩිදෙනෙක් ගොවියා හෝ ඔහුගේ පවුලේ ම කෙනකු වීම විශේෂත්වයක්. මේ නිසා ගොවියන්ගෙන් කෙළින් ම බඩු ලබා ගැනීමට කැලෑ පොළට යන පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. ඒ නිසාම බඩුවල මිලත් යම් තරමකට අඩු වෙනවා. මෙහි එළවළු වෙළෙඳාමේ නිරත නන්දා තම අදහස පවසන්නේ මෙලෙසයි:

” මං පදිංචිවෙලා ඉන්නේ ආනමඩුවේ. සතියේ දවස් පහක් හයක් ම මේ පොළට වෙළෙඳාමේ එනවා. පුතත් මෙතනට එළවළු අරගෙන එනවා. හවස පුතාගේ ලොරියට බඩු ටික පටවලා මං හයට බස් එකට නඟිනවා. බස් එක කොළඹට රෑ 08ට විතර එනවා. පොළට ගැනුම්කරුවන් එන්න පටන් ගන්නේ රෑ 11විතර ඉඳලා යි. ඒ වෙලාවේ ඉඳන් පහුවදා උදේ 9.00-10.00 වෙනකම් සෙනඟ එනවා. බඩු ටික ඉවර වුණාම ගමේ ගිහින් පහුවදාට විකුණන්න බඩු එකතු කරනවා. පුරුදු අය ගෙදරටත් ගෙනත් දෙනවා. දවල් කෑමෙන් පස්සේ පැයක් දෙකක් නිදාගෙන ඉඳලා ආයෙත් හවස එන්න සූදානම් වෙනවා. ජීවිතේ ඔහොම තමයි.

කැලෑ ගම්වල එළවළු පලතුරු

කැලෑ පොළ නම මෙතැනට හිමි වී තිබෙන්නේ ගමේ-ගොඩේ, කැලේ-කොළේ හැදෙන අල, පලා කොළ, පලතුරු, කොස්, දෙල්, කොස්ඇට, ගඩා ගෙඩි ආදිය රටේ හැම පැත්තෙන් ම පැමිණෙන හින්ද යි. සොයා ගැනීමට අපහසු වෙරළු, මසං, දං, දේශීය දෙළුම්, නමිනං, ඇඹරැල්ලා, ලොවි, ගඩුගුඩා, නාරං, ජමනාරං, ජම්බෝල, කාමරංගා, දොඩම්, ගමේ අඹ ආදිය කැලෑ පොළහි හමුවන පලතුරු වෙනවා.
කොස්, කොස්ඇට සහ පොලොස්වලට මෙහි ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ගමේ තැඹිලි, කුරුම්බා සහ පොල් ද මෙහි අලෙවියට තිබෙනවා. හීන් කොච්චි, තිබ්බටු, සුදු කොච්චි, බඩඉරිඟු, කෙසෙල් මුව, කෙසෙල් ආදිය මෙන්ම රම්පේ සහ කැලෑවලින් කඩා ගන්නා කරපිංචා ද මෙහි බහුල ව අලෙවි වෙනවා.

ගමෙන් රැගෙන එන කීර-Sumudu Hewapathirana- deshaya.lk

මයියොක්කා, බතල, හිඟුරල, රාජාල, ඉඟුරු, හුළංකීරිය ඇතුළු අලවර්ග රාශියක් ද මෙතැන අලෙවි කරනු දකින්නට ලැබෙනවා. සොයා ගැනීමට අසීරු ඖෂධ වර්ග වන ගොනිකා කොළ, හීන් බෝවිටියා, සුදුහඳුන් කොළ ආදි බොහෝ දේ මෙහි තිබෙනවා. බෝවිටියා, සාරණ, තම්පලා, වැල් පෙනෙල, හාතවාරිය, නීරමුල්ලිය, කිරිඅඟුණ, පොල්පලා, හීන්බෝවිටියා, ඇඹිල්ල, කීකිරිඳිය, මොණරකුඩුම්බිය, ඇඹුල් ඇඹිලිය, රණවරා, තෙබු වැනි පලා වර්ගත් මිටි බැඳ එහි අලෙවියට තබා තිබෙනවා.
මේවාට අමතර ව කැරට්, දෙහි, ලීක්ස්, මිරිස්, පිපිඤ්ඤා, කැකිරි, මෑ, බෝංචි, ගෝවා වැනි එළවළු ද මෙහි දී මිලට ගත හැකි යි.

වැඩිම ඉල්ලුමක් ඇති පොලොස් – divaina.lk

පාරිභෝගිකයන් වන්නේ කුඩා වෙළෙඳුන්

මෙතැනට එළවළු පලතුරු මිලදී ගැනීමට බහුල ව එන්නේ කොළඹ අවට කුඩා කඩ පවත්වාගෙන යන වෙළෙන්දො යි. මෙතැනින් එළවළු රැගෙන ගොස් බත් පාර්සල් කර විකුණන අයත් ඉන්නවා. අච්චාරු තනා විකුණන පිරිස් ද පැමිණ ඒවාට අවශ්‍ය අමු පලතුරු වර්ග කිලෝ ගණනින් කැලෑ පොළෙන් මිලදී ගන්නවා.
ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න, සාරණ ඇතුළු පලා වර්ගත් මෙහි බහුල ව දැකගත හැකි වෙනවා.
කෑලෑ පොළෙහි අලෙවි ද්‍රව්‍ය අතර නෙළුම්, මානෙල් මල් මිටි ද ඇතැම් දිනෙක මෙහි දක්නට ලැබෙනවා. මෙහි අලෙවිකරන දෑ අතර බුලත්විටට ඇවැසි බුලත් දුම්කොළ සහ පුවක් ද තිබෙනවා. විට වෙළෙන්දන් පැමිණ විටවලට ඇවැසි අමුද්‍රව්‍ය මෙතතින් මිලට ගන්නවා. පොලීසිය, වරාය, විශ්වවිද්‍යාල ආදී තැන්වල ආපනශාලා සඳහා ආහාර පිසීමටත් මෙතැනින් එළවළු සහ පලා වර්ග මිලදි ගැනෙනවා. ගමේ කෑම සොයා එන අයද මෙහි නිතර දක්නට ලැබෙනවා.

කොස් මැල්ලුම් වෙළෙන්දෙක්- Sumudu Hewapathirana- deshaya.lk

කැලෑ පොළෙහි දිනකට වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් සංඛ්‍යාව තුන්සියයක් හාරසියයක් අතර සංඛ්‍යාවක්. ඔවුන්ට හිසට වහලක් නෑ. වෙළෙඳාම් කරන්නට කඩ කෑල්ලක් ද නැහැ.

තැනින් තැන බිම වාඩි වී වෙළෙඳාමේ නිරත වන මොවුන් උදේ කාලයේ අව්වට පිච්චෙනවා. එවිට සමහරුන් කුඩ ඉහළා ගන්නවා. තවත් සමහරු ඉටි කොළයකින් තාවකාලික වහළක් සවිකර ගන්නවා. වැස්සට ද ඔවුන් තෙමෙනවා. දැන් ඔවුන් එයට හුරු වී ඇතුවා සේ යි.

මාදං වාරෙට විකිණෙන මාදං- dinamina.lk

රට වටෙන් ම වෙළෙඳුන් එන තැනක්

සොයා ගැනීමට අපහසු ඖෂධ වර්ග මෙන් ම ගමේ එළවළු පලා වර්ගත් මෙහි තිබෙනවා. එහි මහා පරිමාණ වෙළෙන්දන් දකින්නට නැහැ. අනුරාධපුරය, තඹුත්තේගම, කුරුණෑගල, ගිරිඋල්ල, ආනමඩුව, හලාවත, පානදුර, ගම්පහ, වැලිවේරිය, හොරණ, ඇඹිලිපිටිය ඇතුළු විවිධ පැතිවලින් පැමිණෙන ගොවියන් සහ බඩු එකතු කරන අය 350ක් පමණ පොළේ වෙළෙඳාම් කරනවා. එයට අමතර ව කොළඹ වෙළෙඳුන් පිරිසක් ද දුර පළාත්වල ගොවියන් එවන එළවළු වැනි දෑ අලෙවි කරනවා දක්නට පුළුවන්.

වැසි දවසට තෙමෙමින් වෙළෙඳාමේ නිරත මොවුන් අව්ව දවස්වලට උදේ වරුවේ අව්වේ වේළෙනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ බඩු විකිණිම සඳහා ආවරණයක් තනා දෙන ලෙස යි.

කවරයේ ඡායාරූපය: කැලෑ පොළ උදේට පැවැත්වෙන අයුරු- deshaya.lk
මූලාශ්‍ර:
Dinamina.lk
Silumina.lk
Deshaya.lk

Related Articles