Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නට පෙර සෙවිය යුතු දේවල්

බොහෝ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් කියන නම ඇහුවත් ඔළුවෙ අතගහගන්නේ ඒ ගැන තමන්ට අහන්නට ලැබුණු දේවල් නිසාම මිස සැබැවින්ම භාවිතා කර බලා ලැබූ අත්දැකීමෙන්ම නොවෙයි. ක්‍රෙඩිට් කාඩ් එකක් ගැනීම තමන්ටම වළ කපාගැනීමක් ලෙස මෙසේ සැලකීමට සමාජය පුරුදු වී ඇත්තේ නොසැලකිලිමත්කම නිසා “ලියාපදිංචි වීමේ ගාස්තු නොමිලේ!” කියූ පමණින්, ඒ සමඟ ලබා දෙන ලද වෙනත් වරප්‍රසාදයක් හෙවත් කැරට් අලයකට හසුවීමෙන් හෝ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශනය පිළිබඳ නිසි අවබෝධයකින් යුතු නොවීමෙන් ගෙවීමට ඇති මුදල එකතුවී අනතුරුව ගෙවා ගන්නටද නොහැකි තරමින් පොලිය එක්වීයාමෙන් ලැබුණු අමිහිරි අත්දැකීම් සමඟයි.

ඒත් ඉතින් එහෙමයි කියලා, හදිසියේ අතේ කීයක්වත් නැති වෙලාවට තවත් කෙනෙක් ළඟට ගිහින් පින්සෙණ්ඩු වෙනවාට වැඩිය එක්වරක් බැංකුවේ ලොකුව බලලා ණයපතක් ලබාගත්තාම දිගටම කරදරයක් නැතිව ගනුදෙනු කරන්නට පුළුවන්. ඒ නිසා අපි තීරණය කළා අමාරුවේ නොවැටී කාඩ්පත් තෝරාගන්නේ කොහොමද යන්න පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.

වාර්ෂිකව ගෙවිය යුතු මුදල

විවිධ මූල්‍ය ආයතන විවිධ තරාතිරම් සඳහා ඔවුන්ගේ පහසුකම් වෙනස් ණයපත් වර්ග හඳුන්වාදෙනු ලබනවා. උදාහරණයක් වශයෙන් ප්ලැටිනම්, ගෝල්ඩ් සහ සාමාන්‍ය ලෙස නම්කළ කාඩ්පත් වර්ග තුනක් තිබෙනවා නම් ප්ලැටිනම් සඳහා ලැබෙන වට්ටම්, ණය පියවීමට ඇති සහන කාලය ආදීවූ වරප්‍රසාද ඉහළ අගයක් ගන්නා අතර එවැන්නක් ලබා ගැනීම සඳහා ඉතා ඉහළ ආදායම් හෝ තැන්පතු ප්‍රමාණයක් ඔබ ඔවුන්ට දක්වා සිටීමට සිදු වෙනවා. එසේම මෙම කාඩ්පත් වර්ග සඳහා වාර්ෂික ගාස්තුවක්ද නම් කර ඇති අතර එම අගය රුපියල් දහසේ සිට පන්දහස වැනි අගයක් දක්වා දිව යනවා.

මෙය ඔබේ දැනට අැති ඉතිරිකිරීමේ ගිණුමෙන් අය කරගනු ලබන අතර එම අයකර ගැනීමද කාර්තු වශයෙන් හෝ මාස දෙකකට වරක් ආදී වශයෙන් ඔවුන් තීරණය කරන ආකාරයකට කොටස් වශයෙන් අයකර ගැනෙනවා.

ගනුදෙනුවක් කිරීමේදී අය කරන ගාස්තු

(business2community.com)

මූල්‍ය ආයතන තම ණයපත් පිළිබඳව දරන ප්‍රතිපත්ති හරහා ගනුදෙනු කිරීමේදී ප්‍රතිශත අගයක් වශයෙන් හෝ ස්ථාවර අගයක් අයකර ගැනීම සිදුවන්නට පුළුවන්. ඇතැම් ඒවායේ මෙය නොමිලේම ලබාදෙන අතර අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීම හෝ විදේශීය රටකදී සිදුකරන ගනුදෙනුවලදී පමණක් ගාස්තුවක් අයකර ගනු ලැබිය හැකියි.

2016 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විදේශීය සහ අන්තර්ජාල ගනුදෙනු සඳහා මුද්දර ගාස්තුවක් රජය විසින් නියම කර ඇති අතර ඒ හැරුණු කොට මූල්‍ය ආයතනය විසින් කිසියම් හෝ වැඩිමනත් ගාස්තුවක් අයකරනු ලබන්නේද යන්න ඔබ අසා දැනගත යුතු වෙනවා.

මුදල් ගැනීමේ ගාස්තු

(fraudprotect.info)

කාඩ්පත හරහා අන්තර්ජාලයේ හෝ කාඩ්පත් සඳහා සහාය දක්වන වෙළඳසලකින් භාණ්ඩ හා සේවා ලබාගැනීම මෙන්ම ණයපත් වලින් ATM හරහා මුදල් ලබාගැනීමද කරන්නට පුළුවන්. එහෙත් මේ සඳහා ප්‍රතිශත අගයක් සහ නම් කරන ලද ගාස්තුවක් එකතුවිය හැකි අතර ලබා ගත හැකි මුදල් සීමාවන්ද ඔවුන් පණවනු ලබනවා. එනිසා ණයපතකින් මුදල් අතට ගැනීම එතරම්ම හොඳ දෙයක් නොවන බව මෙන්ම හදිසියේ හෝ එවන් දෙයක් කරන්නට සිදුවුවහොත් ඔබට දැරීමට සිදුවන අතිරේක මුදල් හෝ ගාස්තු පිළිබඳව දැනුවත්ව සිටීමත් වැදගත්.

පොලියක් එකතු වෙන්නේ කොපමණ කාලයකට පසුද?

බොහොමයක් ණයපත් සඳහා සහන කාලයක් ලබාදෙනවා. දින විසි එකක්, මාසයක් හෝ දෙකක් වශයෙන් කාඩ්පතේ වර්ගය හෝ තත්වය අනුව ගොඩනැගෙන මෙය ණයපත් ප්‍රකාශනය (statement) තුළ ගෙවීම් සිදුකළ යුතු අවසන් දිනය (due date) ලෙස සඳහන් කරනු ලබනවා. බොහෝ ඒවායේ, ඔබට නියම කර ඇති ගෙවිය යුතු අවම මුදල මෙම දිනයට පෙර සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පොලිය එකතු වීම වළක්වා ගන්නට පුළුවන්. ස්ටෑන්ඩින් ඕඩරයක් සැකසීමෙන් මෙම ගෙවීම් සිදුකිරීම් ඔබට අමතකවීම බැංකුව හරහා හෝ අන්තර්ජාල බැංකු සේවාව හරහා සිදු කරගතහොත් නිකරුණේ පොලී ගෙවීමට සිදුවීමත් වළකාගන්නට පුළුවන්.

පොලිය ඔබම ගණනය කරගන්නේ මෙහෙමයි

(credit.com)

ඔබ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් කළයුතු අවසන් දිනය ඉක්මවූ නොගෙවූ මුදලක් තිබෙනවා නම්, ඔබට අනිවාර්යයෙන්ම ඊළඟ කාඩ්පත් ප්‍රකාශනයේ පොලියක් එක්කොට ඒ බව සඳහන් කර එවනු ලබනවා. මෙය ඔබට කාඩ්පතක් ඉල්ලුම් කරන්නට ප්‍රථම ගණනය කර බලන්නට හැකි වුණොත් ඉදිරියේදී ඔබට කිනම් ආකාරයේ දේට මුහුණ දීමට සිදුවේදැයි පහසුවෙන් බලාගන්නට හැකි වෙනවා.

ණයපත් නිකුත් කිරීමේදී ඒ සඳහා වාර්ෂික පොලී අනුපාතයක් (APR) දක්වනු ලබනවා. මෙය සම්පූර්ණ වර්ෂය සඳහාම දක්වා තිබුණත් ගණනය වන්නේ සම්පූර්ණ වර්ෂය සඳහාම නොවෙයි. එය දිනපතා ගණනය කරන්නක්. මෙය ආවර්තීය පොලී අගය ලෙසද හැඳින්වෙනවා.

ඔබ ලබාගන්නා කාඩ්පතට 16%ක වාර්ෂික පොලී අනුපාත අගයක් තිබුණහොත් ආවර්තීය පොලී අගය ලබාගැනීම සඳහා දහසය 365න් බෙදිය යුතු වෙනවා. ඇතැම් මූල්‍ය ආයතන මෙය 360ක් ලෙසද සලකනවා. මෙසේ බෙදීමෙන් දිනකට 0.044%ක් ලෙස ලැබෙනවා. මෙය ඉතා කුඩා අගයක් වුවත් මාසිකව එකතු වීමේදී ගණිත බින්දු නෙවෙයි, වතුර “බින්දු බින්දු එකතු වෙලා ගඟක් හැදෙනවා” කියන්න වගේ මෙහි අගය ඉහළ යනවා. විශේෂයෙන් ඔබේ මූල්‍ය ආයතනය වැල් පොලිය ප්‍රිය කරනවා නම් ඊයේ එකතු වුණු පොලියටත් එක්කම තමයි අද පොලිය හැදෙන්නේත්.

දිනකදී එකතුවන අගය සොයාගැනීමෙන් දිනකට එක්වන මධ්‍යක අගය ගණනය කරගන්නට පුළුවන්. අපි හිතමුකො ඔබට රුපියල් 2,000 ක් නොගෙවා මාසය මුල සිට එකතුවී තිබුණා කියා. දින පහළොවකට පසු දහසය වැනි දිනයේදී රු.500ක්ද, අනතුරුව පඩි ලැබුණු 25 වැනිදා තවත් 500ක්ද, ඔබ ගෙවනවා. ඒ අනුව දෛනික මධ්‍යක අගය (2000 x 15 + 1500 x 9 + 1000 x 6) / 30 = රු. 1,650 ක් වෙනවා.

ඉතින් ඔබ එම අගය දන්නා නිසා අපට දැන් පුළුවන් මාසික පොලී අගය ගණනය කරන්නට. ඒ අනුව, 1650 x 0.044% x 30 = රු. 21.78 යි.

එසේම ආරක්‍ෂණ පිළිවෙත් නොපිළිපැදීම සහ SMS පණිවිඩ සේවා ආදිය සක්‍රීය කර නොගැනීමෙන් නොදැනුවත්ව තෙවන පාර්ශවයන් විසින් තම කාඩ්පත භාවිතා කර කරන ලද ගනුදෙනු පිළිබඳව තොරතුරු ඔබට මඟහැරී යා හැකි අතර මාසික කාඩ්පත් ප්‍රකාශනයෙන් ද ඒ පිළිබඳව සවිස්තරව දැනගැනීමට නොහැකි වීමේ ඉඩකඩ ද තිබෙනවා. ඒ නිසා හැමවිටම ඩෙබිඩ් කාඩ්පත්වලදී මෙන් ම මෙහි ද ආරක්ෂාව පිළිබඳව කාඩ්පත ලැබුණාට පසු වගවීම ඔබේ වගකීමක් බවට පත්වෙන්නේ ඔබේ සාක්කුවේ එකම මිතුරා ඔබ පමණක්ම බව පසක් කරමින්.

මූලාශ්‍ර: lifehacker

කවරයේ පින්තූරය: 13db.com

Related Articles