Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ දක්ෂම ගුවන් කරණම් කණ්ඩායමක් තුනක්

ගිනි පුළිඟු හෝ නොයෙකුත් වර්ණ දුමාරයන් පිටකරමින් අහස් තලය පුරා වේගයෙන් ඇදී යන, ගුවන් යානා කණ්ඩායම් වශයෙන් එකතු වී ප්‍රේක්ෂකයන් විස්මයට පත් කරමින් භයානක ගුවන් කරණම් සංදර්ශණ ඉදිරිපත් කරන ලොව ප්‍රසිද්ධ ගුවන් කරණම් කණ්ඩායම් පිළිබඳව ඔබ දැනුවත්ද? අපට එතරම් හුරුපුරුදු නොවූ අත්දැකීමක් වූවත් ලොව පුරා ඉතා ප්‍රසිද්ධ ගුවන් කරණම් කණ්ඩායම් කිහිපයක තොරතුරුත් එම කණ්ඩායම් වල ගුවන් කරණම් ඉතිහාසය පිළිබඳවත් ලිපියක් මගින් ගෙන එන්නට අපි තීරණය කළා.

සංදර්ශණ සඳහා සුදු හා දම් පැහැය පමණක් භාවිතා කරන බ්‍රිට්ලින් ජෙට් ටීම්

බ්‍රිට්ලින් ජෙට් ටීම් (Global Aviation Resource)

2003 වසරේදී නිල වශයෙන් ආරම්භ කරන ලද බ්‍රිට්ලින් ජෙට් ටීම් (Breitling Jet Team) ගුවන් කරණම් කණ්ඩායමේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ ඩිල් ජෝන් ප්‍රදේශයේයි. බ්‍රිට්ලින් නම් සමාගමේ අනුග්‍රහය යටතේ සෑම වසරකම යුරෝපයේ හා මැද පෙරදිග ගුවන් සංදර්ශණ සඳහා සහභාගී වෙන මොවුන්ගේ සාමාන්‍ය දර්ශණ කාලය වන්නේ මිනිත්තු 18-20ක් අතර කාලයක්. දැනට මෙම කණ්ඩායම විසින් Aero L-39 Albatros වර්ගයේ ගුවන් යානා 7ක් භාවිතා කරන අතර සංදර්ශනයේදී සුදු හා දම් පැහැ දුමාරයන් පමණක් භාවිතා කිරීම බ්‍රිට්ලින් ජෙට් ටීම්හි විශේෂත්වයක් වෙනවා. කණ්ඩායමේ සියළුම ගුවන් නියමුවන් ප්‍රංශ හමුදාවේ ගුවන් නියමුවනුයි.

2003 වසරේදී මෙම කණ්ඩායම ආරම්භ වූවත් කණ්ඩායමේ නියමුවා වන Jacques Bothelin හට ගුවන් කරණම් ක්ෂේත්‍රය තුළ වර්ෂ 1982 දක්වා ඉතිහාසයක් පවතිනවා. ඔහු තම මිත්‍රයන් දෙදෙනෙකු සමඟ එකතු වී CAP – 10 වර්ගයේ ගුවන් යානා දෙකක් උපයෝගී කරගනිමින්  Apache නම් ගුවන් කරණම් කණ්ඩායම පිහිටවනු ලබනවා. එම කණ්ඩායමට 1984 වසරේදී Martini නම් ප්‍රංශ මත්පැන් සමාගමක අනුග්‍රහය ලැබීම හේතුවෙන් කණ්ඩායම් නාමය Patrouille Martini ලෙස වෙනස් වෙනවා. 1991 වසරේදී ECCO නම් සමාගමකින් අනුග්‍රහය ලැබීම හේතුවෙන් Patrouille ECCO ලෙස කණ්ඩායම නම් කරනවා.  මේ ආකාරයට කාලයෙන් කාලයට අනුග්‍රාහක සමාගම් වෙනස් වීම හේතුවෙන් ගුවන් කරණම් කණ්ඩායමේ නමද වෙනසට ලක්වෙන අතර 2002 වසරේ Khalifa Jet Team ලෙස නම් වෙන අතර 2004 වසරේදීයි ලෝක ප්‍රසිද්ධ ස්විස්ටර්ලන්ත බ්‍රිට්ලින් සමාගමේ අනුග්‍රය යටතේයි වර්තමාන නාමය ලැබෙන්නේ.

බ්‍රිට්ලින් ජෙට් ගුවන් සංදර්ශනයක් (www.breitling-jet-team.com)

බ්‍රිට්ලින් සමාගමේ ලාංජනය හා සමාගමේ වර්ණ වන නිල් හා කහ ගුවන් යානා වල අලේප කර ඇති අතර වර්තමානයේ ඔවුන් සතු ගුවන් යානා ගණන 7ක් වෙනවා. 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී බෙල්ජියම් ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කරණ ලද සංදර්ශනයේදී ඔවුන්ගේ එක් යානාවක් අනතුරට පත් වී නෙදර්ලන්තයට කඩා වැටෙන නමුත් නියමුවාට දිවි ගලවා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනට භාවිතා කරන Albatros ගුවන් යානා විශේෂය යුධ පුහුණු වර්ගයේ ගුවන් යානා වන අතර යානයේ දිග මීටර් 12.13ක්ද උස මීටර් 4.77ක්ද උපරිම වේගය පැයට කිලෝමීටර 750ක් වෙනවා.

නිව්යෝර්ක් නගරයට ඉහළින් (Breitling)

බ්‍රිට්ලින් ජෙට් කණ්ඩායමේ අපූරු ගුවන් කරණම් සංදර්ශනයක් මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්.

දියමන්ති හැඩයකින් අහසේ රටා මවන බ්ලූ ඒන්ජල්ස්

2016 වසරේ බ්ලූ ඒන්ජල්ස් කණ්ඩායම (blueangelsassociation.org)

ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් නියමුවන්ගෙන් සමන්විත වන බ්ලූ ඒන්ජල්ස් (Blue Angels) ගුවන් කරණම් කණ්ඩායම බිහිවන්නේ 1964 වසරේදීයි. නමුත් මෙම කණ්ඩායම පළමුවරට ස්ථාපනය කරන්නේ 1946 වසරේදීයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නාවුක ගුවන් යානා ප්‍රදර්ශණ කණ්ඩායම (Navy Flight Exhibition Team) ලෙසයි.

බ්ලූ ඒන්ජල්ස් ගුවන් කරණම් කණ්ඩායමේ මූලික අරමුණ වන්නේ ඇමරිකානු නාවික සෙබළුන් දිරිමත් කිරීමටත් ලොව පුරා ඇමරිකානු නාමය ප්‍රචලිත කිරීම සඳහාත් ගුවන් යානා කරණම් සංදර්ශණ ලොව පුරා පැවැත්වීමයි. බ්ලූ ඒන්ජල්ස් ගුවන් කරණම් සංදර්ශණ සෑම වසරකදීම මාර්තු සිට නොවැම්බර් දක්වා පැවැත්වෙනවා. ඊට අමතරව සැන් ප්‍රැන්සිස්කෝ හා සියැටල් නගරවලදී Fleet Week උත්සව කාලයේදී බහුල ලෙස සංදර්ශණ පවත්වනවා.

අහසේ සිත්තම් මවන බ්ලූ ඒන්ජල්ස් (ABC13 Houston)

ඔවුන්ටම අවේනික ඉදිරිපත් කිරීමේ හැඩයක් වන දියමන්ති හැඩයට (Diamond Formation) ගුවන් කරණම් ඉදිරිපත් කරනු ලබනවා. මෙහිදී මෙම හැඩයෙන් යුතුව ගුවන් යානා අහසේ මන්දගාමීව සැරිසරන අතර එකවරම වේගය වැඩි කරමින් ගුවන් කරණම් ඉදිරිපත් කිරීම සිදු කරනවා. තවද ඉතාම පහතින් ගමන් කිරීමෙන් ප්‍රේක්ෂක අවධානය දිනාගත් කණ්ඩායමක් ලෙස මෙය නම් කළ හැකියි.

සංදර්ශණ පැවැත්වීම සඳහා Boing F/A – 18 Hornets වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 6ක් භාවිතා කරන අතර සංදර්ශණය පවත්වා පැය 72ක් ඇතුළත මෙම ගුවන් යානා ප්‍රහාරාත්මක යුධ කටයුතු සඳහා සුදානම් කළ යුතුයි. මුල් කාලයේදී භාවිතා කළ යනයන් නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබුණු අතර වර්තමානයේදී නිල් හා කහ පැහැය ඒ සඳහා භාවිතා කරනවා. වාර්ෂික අවශ්‍යතා මත බ්ලූ ඒන්ජල්ස් කණ්ඩායමට අවශ්‍ය සාමාජිකයන් බදවා ගන්නේ ඇමරිකා එක්සත් ජනපද ගුවන් හා නාවික හමුදාව තුළිනුයි.

ගුවන් පථයෙන් නික්මෙමින් (YouTube)

මොවුන් වසරකදී ඇමරිකාවේ ස්ථාන 34ක පමණ ප්‍රදර්ශණ වාර 70කට අධික ප්‍රමාණයක් පවත්වන අතර ලොව පුරා සිටින තම ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරවන ගුවන් කරණම් ඉදිරිපත් කරන බ්ලූ ඒන්ජල්ස් කණ්ඩායම වර්ථමානය වන විට ඇමරිකන් නාමය ලෝක ගුවන් කරණම් ක්ෂේත්‍රයේ ඉහළින්ම රදවා තැබීමට සමත්ව සිටිනවා.

බ්ලූ ඒන්ජල්ස් කණ්ඩායමේ 2017 වසරේ දර්ශනීය ගුවන් සංදර්ශණක් මෙම වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

ලෝකයේ දක්ෂතම ගුවන් නියමුවන්ගෙන් සමන්විත රුසියන් නයිට්

දියමන්ති හැඩය (www.richard-seaman.com)

මොස්කව් හි කුබින්කා (Kubinka) ගුවන් හමුදා කදවුර මුලස්ථානය කරගනිමින් 1991 වසරේදී රුසියානු ගුවන් හමුදාව යටතේ ආරම්භ වූ රුසියන් නයිට් (Russian Knight) ගුවන් කරණම් කණ්ඩායම ලොව ඇති ප්‍රබල ගුවන් කරණම් කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වන්නේ එම කණ්ඩායමේ ගුවන් නියමුවන් සතු දක්ෂතාවයයි. ඔවුන් ගුවන් සංදර්ශණ සඳහා වර්තමානයේදී භාවිතා කරනු ලබන්නේ නියමුවන් දෙදෙනෙකුට ගමන් කළ හැකි රුසියානු ප්‍රහාරක යානාවක් වන Su – 27UB අධි තාක්ෂණික යානයයි. එන්ජින් දෙකක් සහිත යානයේ විශේෂිත වූ හැඩය හේතුවෙන් නියමුවන්ට යානය හැසිරවීම ඉතා පහසු වී තිබෙනවා.

මෙම යානාවේ පුහුණුවීම් වලට ප්‍රථම රුසියන් නයිට් කණ්ඩායමේ සෑම ගුවන් නියමුවෙක්ම රුසියානු MiG – 19, MiG – 21, MiG – 23 හා MiG – 29 යානා යොදාගනිමින් ගුවන් කරණම් පුහුණුවීම් සිදු කළ යුතුයි. ලොව සියළු ගුවන් කරණම් කණ්ඩායම් අතරින් මෙවැනි පුහුණුවීමක් ලබා ගන්නේ රුසියන් නයිට් හි ගුවන් නියමුවන් පමණක් වීම විශේෂත්වයක්.

ගිනි පුලිඟු පිටකරන රුසියන් නයිට් යානා ( Pinterest)

කණ්ඩායමේ ප්‍රධාන වර්ණයන් ලෙස රතු, සුදු හා නිල් භාවිතා කරණ අතර ඔවුන් සිය ගුවන් සංදර්ශණ වලදී අනෙක් කණ්ඩායම් මෙන් වර්ණවත් දුම් භාවිතා නොකිරීම විශේෂ ලක්ෂණයක් ලෙස හදුනා ගත හැකියි. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ ගුවන පුරා විසිරෙන ආකාරයේ කුඩා ගිනි පුලිඟුයි (Flares).

ලොව සෑම ගුවන් කරණම් කණ්ඩායමකටම පොදු වූ දියමන්ති හැඩය යානා 6ක් භාවිතාකරමින් 1991 වසරේදී ඉදිරිපත් කළ අතර 2004 වසරේදී ස්විෆ්ට්ස් (Swifts) නම් තවත් රුසියානු ගුවන් කරණම් කණ්ඩායමක් සමඟ ලොවම මවිතයට පත් කරමින් යානා 9ක් භාවිතා කරමින් විශාල දියමන්ති හැඩයක් ඉදිරිපත් කරනු ලබනවා. ඒ සඳහා ඔවුන් Su- 27UB යානා 5ක් හා MiG 29 යානා 4ක් භාවිතා කරනවා.

1995 වසරේ දෙසැම්බර් 12 වන දින මැලේසියාවේ ගුවන් සංදර්ශනයකට සහභාගී වී IL – 76 යානයක් පෙරටු කර ගනිමින් SU – 27S යානා දෙකක් හා SU – 27UB යානයක්  විශේෂ හැඩයකින් යුක්තව එමින් සිටියදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් IL -76 යානයේ නියමුවාට අනෙක් යානා මෙහෙයවීමට නොහැකි වීමෙන් වියට්නාම් කදු සහිත ප්‍රදේශයකදී කන්දක ගැටී පසුපසින් පැමිණි යානා  තුනම මුළුමනින්ම විනාශ වෙන අතර ඒවායේ පැමිණි නියමුවන් හතර දෙනාම ජිවිතක්ෂයට පත්වෙනවා. එය ගුවන් කරණම් කණ්ඩායමක් මුහුණ පෑ කණගාටුදායකම සිදු වීම ලෙස දැනට වාර්තා වී තිබෙනවා.

ඉතින් ඔවුන්ගේ අපූරු ගුවන් සංදර්ශනයක් මේ වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

කවරයේ ජායාරූපය – රුසියන් නයිට් (forums.airbase.ru)

Related Articles