Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන වැසියන් බූරු සමෙන් නිපදවන සාම්ප්‍රදායික ඖෂධය: ඉජියාඕ

ලෝකයේ වැඩි ම බූරු ගහනයක් සිටින රට වන්නේ අප්‍රිකා මහද්වීපයට අයත් ඉතියෝපියාව යි. ඊට අමතර ව පාකිස්තානය, මෙක්සිකෝව, ඉරානය, චැඩ්, නයිජර්, ඊජිප්තුව, ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, බ්‍රසීලය, බොට්ස්වානා, කිර්ගිස්තානය, කෙන්යාව වැනි රටවල් ආශ්‍රිතව ද සැලකිය යුතු තරම් බූරු ගහනයක් දක්නට ලැබෙනවා.

එම රටවල් බූරුවන්ගේ සම් අපනයනය කිරීමෙන් වාර්ෂික ව විශාල ආදායමක් ලබනවා. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ගැණුම්කරුවා වන්නේ චීනය යි.

අපනයනය කිරිම සඳහා බූරු සම් සකසන ආකාරය – gettyimages.com

චීනය ඉහත සඳහන් කළ රටවල්වලින් බූරු සම් ආනයනය කරන්නේ දිගු කාලයක සිට යි. චීනය වැඩි වශයෙන් බූරු සම් ආනයනය කරන්නේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිත කරන එක්තරා ඖෂධයක් නිපදවීම සඳහා යි. බූරු සම භාවිතයෙන් නිපදවන එම ඖෂධය හඳුන්වන්නේ ඉජියාඕ යන නමින්. එය චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා නැතිව ම බැරි ඖෂධයක්. මේ චීන ජාතිකයන් බූරු සමෙන් ඉජියාඕ නිෂ්පාදනය කරන ආකාරය යි.

ඉජියාඕ ගැන කෙටියෙන්

ඉජියාඕ යනුවෙන් හඳුන්වන්නේ බූරු සමෙන් නිස්සාරණය කරන කොලජන්වලින් සාදන ජෙල් වැනි ද්‍රව්‍යයක්. එය බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ චීනයේ ජියැංසු, ෂෙජියැං සහ ෂැන්ඩොං වැනි ප්‍රදේශ ආශ්‍රිත ව යි. ඉජියාඕ වැඩි වශයෙන් භාවිත කරන්නේ චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම සඳහා යි.

ඊට අමතර ව රූපලාවන්‍ය කටයුතුවල දී මෙන් ම ආහාර සෑදීමේ දී ඉජියාඕ භාවිත කරනවා. ගෙවුණු දශක කිහිපයේ ඉජියාඕ සඳහා චීනය තුළ පැවති ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂික ඉජියාඕ නිෂ්පාදනය ඉහළ දැමීමට සිදු වීම හේතුවෙන් එරට බූරු ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටුණා. එනිසා සැලකිය යුතු තරම් කාලය සිට චීනයට වෙනත් රටවල්වලින් බූරු සම් ආනයනය කිරීමට සිදු වුණා.

ඉජියාඕවලින් කරන විවිධ නිෂ්පාදන – thedonkeysanctuary.org.uk

නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි

මෙම ජෙල් වර්ගය නිෂ්පාදනය කිරීමේ දී මුලින් ම සිදු කරන්නේ ඒ සඳහා සුදුසු නිරෝගී බූරුවන් තෝරා ගැනීම යි. ඉන් පසුව උන් මරා දමා සම වෙන් කර ගැනෙනවා. සම වෙන් කරගැනීමෙන් පසුව සමෙහි ඇති ලෝම ඉවත් කළ යුතු යි. ලෝම ඉවත් කිරීමෙන් පසුව බූරු සම හොඳින් පිරිසුදු කර ගත යුතු යි.

එසේ කිරීමෙන් පසු ව එය තරමක් විශාල කැබලිවලට කපා තම්බා ගත යුතු යි. තැම්බීමෙන් පසුව ඉවතට ගන්නා බූරු හම් කොටස් නැවතත් පිරිසුදු කර ඉතාමත් කුඩා කොටස්වලට කපා වෙන් කර ගන්නවා. ඉන් පසුව එම කුඩා කොටස් නැවත පිරිසුදු කරගැනීමෙන් පසුව හොඳින් තම්බා ගැනෙනවා.

ඉජියාඕ නිෂ්පාදන ක්‍රියාවලියේ අවස්ථාවක් – chinadaily.com.cn

එසේ කුඩා බූරු හම් කැබලි සැලකිය යුතු තරම් වේලාවක් තම්බා ගැනීමෙන් පසුව බඳුනෙන් බූරු හම් කැබලි පෙරා ඉවත් කළ යුතුයි . එවිට බඳුන තුළ තද කහ පැහැති ද්‍රාවණයක් දක්නට ලැබෙනවා. ඉජියාඕ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නේ එම ද්‍රාවණය යි. එම ද්‍රාවණය පෙරණයක් භාවිතයෙන් හොඳින් පෙරා ගැනෙනවා.

ඉන් පසුව එම ද්‍රාවණය හතරැස් බඳුනකට දමා සිසිල් වීමට තැබිය යුතු යි. එලෙස සැලකිය යුතු තරම් වේලාවක් සිසිල් වීමට තැබූ විට ද්‍රාවණය ඝන වෙනවා. එයින් කුඩා කුට්ටි කපාගන්නට පුළුවන්. එසේ කපාගන්නා කුට්ටියක පෙනුම දොදොල් කැබැල්ලකට වඩාත් සමාන යි. සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 1.5ක පමණ බරකින් යුත් බූරු සමකින් ඉජියාඕ ග්‍රෑම් 500ක් නිෂ්පාදනය කරන්න පුළුවන්.

ඉජියාඕ කුට්ටියක පෙනුම – cnn.com

ඖෂධයක් ලෙස භාවිත කරන ආකාරය

ඉජියාඕ නම් මෙම ජෙල් වර්ගයේ ඇමයිනෝ අම්ල, කැල්සියම්, සෝඩියම් වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් ඇති බව හඳුනා ගෙන තිබෙනවා. එය සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ දී ඖෂධයක් ලෙස භාවිත කරනවා. එහි දී මෙම ඖෂධය මඟින් සම රැලි වැටීම වැලැක්වීම, සමේ ළප කැළැල් ඉවත් කිරීම, සමේ ප්‍රත්‍යස්ථතාව වැඩි කිරීම, සමේ දීප්තිය වැඩි කිරීම සහ නිරෝගි බව වැඩි කිරීම වැනි දේ සිදු වෙනවා.

ඉජියාඕ ඖෂධය පිළිකා සඳහා කරන ප්‍රතිකාරවලට ද යොදා ගන්නවා. රක්තහීනතාවට සහ කාන්තාවන්ගේ ගබ්සාවීම් වැලැක්වීම සඳහා ද මෙය ඖෂධයක් ලෙස භාවිත කරනවා. ඊට අමතර ව කාන්තාවන්ගේ වඳභාවය සහ අක්‍රමවත් ඔසප් චක්‍ර ක්‍රමවත් කිරීමට ද මෙය ඖෂධයක් ලෙස යොදා ගන්නවා. එයින් පැහැදිලි වන්නේ ඉජියාඕ බොහෝ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිත කරන බව යි.

ලබා ගන්නා වෙනත් ප්‍රයෝජන

ඉජියාඕ නම් ජෙල් වර්ගය උණු ජලයේ හෝ මධ්‍යසාරවල දිය කරන්නට පුළුවන්. එනිසා එය මුහුණු ආලේපන වැනි රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. Dong-EE-Jiao ඉජියාඕ භාවිත කරමින් රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක්. චීන වැසියන් ආහාර පාන සෑදීම සඳහා ද ඉජියාඕ ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා.

ඉජියාඕ භාවිත කරමින් සාදන සුප් චීනයේ ඉතාමත් ජනප්‍රිය යි. එය සෑදීමේ දී ඉජියාඕවලට බිත්තර, මස්, රතු රට ඉඳි වැනි දේ එකතු කරනවා. එම සුප් විශේෂය රසයෙන් මෙන් ම ගුණයෙන් ද අනූන යි. වෝල්නට්, රට ඉඳි, කළු තල ඇට, වුල්ෆ්බෙරි, සහල් වයින් වැනි දේ මිශ්‍ර කරමින් සාදන ඉජියාඕ කේක් ද ප්‍රණීත රසයකින් යුක්ත යි. එය පෝෂ්‍යදායි ආහාරයක් ද වනවා. ඉජියාඕ භාවිත කරමින් කිරි නිෂ්පාදනය කරන්නට පුළුවන්. එම කිරි භාවිතයෙන් ද ආහාර වර්ග රැසක් සාදනවා.

ඉජියාඕවලින් සෑදූ කේක් – lovepik.com

ආහාරයට ගැනීමට සුදුසු සහ නුසුදුසු අවස්ථා

සාමාන්‍යයෙන් ඉජියාඕ ආහාරයට ගැනීමට වඩාත් සුදුසු නිරාහාර ව සිටින විට යි. උදෑසන අවදි වුණු විගස හිස් බඩ ඉජියාඕ කැටයක් ආහාරයට ගැනීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත් කරගන්නට පුළුවන්. මෙම ඖෂධය සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු විට දී භාවිත කිරීම අහිතකර යි. ඒ එහි තිබෙන සීතල ගතිය නිසා ආහාරයට ගැනීමෙන් සංකූලතා ඇති විය හැකි නිසා යි.

යම් කිසි රෝගයක් සඳහා ඉජියාඕ ආහාරයට ගනිමින් සිටින විට තේ වර්ග පානය කිරීම සුදුසු නැහැ. එමඟින් ඉජියාඕවල තිබෙන තිබෙන ගුණය ශරීරයට නොලැබී යන බව චීන සාම්ප්‍රදායික වෛද්‍යවරුන් පවසනවා. අක්‍රමවත් ඔසප් චක්‍ර ක්‍රමවත් කිරීම සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙය භාවිත කළ ද ඔසප් සමයේ දී කාන්තාවන්ට ඉජියාඕ භාවිත නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. ඒ එමඟින් යම් සංකූලතා ඇති වීමට ඉඩ තිබෙන නිසා යි.

අද වන විට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්

ගෙවුණු දශකයේ දී ඉජියාඕවලට තිබෙන ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා. ඒ ඉජියාඕවලින් නිපදවන ආහාර සහ රූපලාවන්‍ය ආලේපනවලට තිබෙන ඉල්ලුම වැඩි වුණු නිසා යි. එම ඉල්ලුම එක් වරම විශාල ප්‍රමාණයකින් ඉහළ ගියේ 2013-2016 කාල වකවානුවේ යි. 2013 දී ටොන් 3200ක් ලෙස සටහන් වුණු චීනයේ වාර්ෂික ඉජියාඕ නිෂ්පාදනය 2016 වන විට ටොන් 5600 දක්වා ඉහළ දැමීමට සිදු වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෙවුණු කාලයේ දී චීනයේ බූරු ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටුණා. 1996 දී මිලියන 9.4ක් ලෙස සටහන් වුණු චීනයේ බූරු ගහනය 2016 වන විට මිලියන 4.6ක් දක්වා පහත වැටී තිබුණා. චීනයේ බූරු ගහනය අඩු වෙද්දී ඉල්ලුමට සරිලන තරම් ඉජියාඕ නිෂ්පාදනයක් සිදු කිරීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉජියාඕ නිෂ්පාදනය සඳහා විදෙස් රටවල්වලින් බූරු සම් ආනයනය කිරීමට සිදු වුණා.

වෙළෙඳපොළේ දක්නට ලැබෙන ඉජියාඕ නිෂ්පාදන – conservationaction.co.za

ඉජියාඕ නිෂ්පාදනය බූරුවන්ගේ පැවැත්මට තර්ජනයක්

වර්තමානය වන විට ලෝකයේ සිටින බූරු ගහනය මිලියන 40 ඉක්මවා යන බව වාර්තාවල සඳහන් වෙනවා. එයින් වැඩි බූරු ගහනයක් දක්නට ලැබෙන්නේ ආසියාව, අප්‍රිකාව සහ උතුරු අමෙරිකාව යන මහද්වීප ආශ්‍රිත ව යි. ඉජියාඕ නිෂ්පාදනය කිරීම සඳහා චීනයට වැඩි වශයෙන් බූරු සම් අපනයනය කරන රටවල් අතර බ්‍රසීලය, පාකිස්තානය, ඉතියෝපියාව, කෙන්යාව, බොට්ස්වානා, කිර්ගිස්තානය, මෙක්සිකෝව ඉදිරියෙන් ම සිටිනවා. එසේ දිගින් දිගට ම චීනයට බූරු සම් අපනයනය කිරීම හේතුවෙන් කිර්ගිස්තානයේ බූරු ගහනය 2011-2017 කාල වකවානුවේ දී 53% කින් අඩු වුණා.

බ්‍රසීලයේ බූරුවන් වාසය කරන ප්‍රදේශ – gettyimages.com

බොට්ස්වානා හි බූරු ගහනය ද එම යුගයේ දී 37% කින් පහත වැටුණා. ඊට අමතර ව බ්‍රසීලයේ බූරු ගහනය 2007-2017 කාලයේ 28% කින් පහත වැටුණා. ඒ අනුව පසුගිය දශකයකට වැඩි කාලය තුළ ලෝකයේ බොහෝ රටවල්වල බූරු ගහනය විශාල ලෙස අඩු වී තිබෙනවා. එනිසා 2000 වසර වන විට මිලියන 43.5ක් ලෙස සටහන් වුණු ලෝකයේ සමස්ත බූරු ගහනය 2022 වසර වන විට මිලියන 40කට මඳක් වැඩි අගයක් දක්වා අඩු වී තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ඉජියාඕ නිෂ්පාදනය වැඩි කිරීමෙන් බූරුවන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව යි.

බූරු සම්පත රැක ගැනීම සඳහා නැඟී සිටින රටවල්

කෙන්යාව, බොට්ස්වානා, බ්‍රසීලය, මාලි, පාකිස්තානය, නයිජර්, සෙනගාලය, උගන්ඩාව, ටැන්සානියාව, බුර්කිනා ෆාසෝ වැනි රටවල් රැසක් දැනටමත් එම රටවල්වලින් බූරු සම් සහ බූරුවන් අපනයනය කිරීමට එරෙහිව නීති පනවා තිබෙනවා. ඒ එම රටවල්වල ශීඝ්‍රයෙන් බූරු ගහනය අඩුවීම නැවැත්වීමට පිළියමක් ලෙස යි. ලෝකයේ බූරු ගහනය වැඩි අනිකුත් රටවල් ද එම රටවල් ආදර්ශයට ගත යුතුයි. එසේ නොවුණොත් ඉදිරි අනාගතයේ දී බූරුවන් වඳවී යන සතුන්ගේ ලැයිස්තුවට ඇතුල්වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇති.

කවරයේ ඡායාරූපය- ඉජියාඕවල පෙනුම - gettyimages.com
මූලාශ්‍ර:
thedonkeysanctuary.org.uk
theguardian.com
voanews.com
thebrooke.org
mychineserecipes.com
yumofchina.com
chinadailyhk.com
peta.org.uk

Related Articles