Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියවස් දෙකක් පැරණි රොබින්සන් අන්දරය

1990 දශකයේ උපන් අයගේ ප්‍රියතම රූපවාහිනී මාලා නාටක අතරේ ජාතික රූපවාහිනීයේ විකාශනය වූ ‘රොබින්සන් අන්දරය’ ඉහළින් ම සඳහන් වෙන බවට සැකයක් නැහැ. අර්නස්ට්ගේ කඩවසම් රූපය, ක්‍රිස්ටිනාගේ හුරතල් කතාබහ වගේ ම රොබින්සන් පවුලේ උදවියට පාසන්ස් කරපු දුෂ්ටකම් අමතක අය ඉන්නවා නම් ඒ අතළොස්සක් පමණ යි.

amazon.com

ජාතික රූපවාහිනියට ස්තූතිවන්ත වෙන්න ශ්‍රී ලංකික රසිකයන්ට සමීප වූ රොබින්සන් පවුලේ රස කතා අද වන විට සියවස් දෙකකට වඩා පැරණි බව ඔබ දැන සිටියා ද?

විස්ගේ පන්හිඳෙන් මැවුණු අපූරු කථාන්තරය

ඕස්ට්‍රේලියාවේ ජැක්සන් වරාය බලා යන අතරතුර දී නැගෙනහිර ඉන්දීය දූපත් ආසන්නයේ තම නෞකාව මුහුදුබත් වීම නිසා පාළු දූපතක වාසය කිරීමට සිදු වූ ස්විස් පවුලක් පිළිබඳ ව ස්විස් පාදිලිවරයෙකු වූ යොහාන් ඩේවිඩ් විස් විසින් ලියන ලද ‘The Swiss Family Robinson’ හෙවත් ‘රොබින්සන් අන්දරය’ මුල් වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1812 දී යි. ජර්මානු බසින් ලියන ලද එය යොහාන් ඩේවිස් විස්ගේ පුතෙකු වූ යොහාන් රුඩොල්ෆ් විස් විසින් සංස්කරණය කර ඇති අතර එය සිතුවමින් හැඩ කර ඇත්තේ ද ඔහුගේ තවත් පුතෙකු වූ යොහාන් එමානුවෙල් විස් විසින්.

‘රොබින්සන් අන්දරය’ ලියූ යොහාන් ඩේවිඩ් විස් (goodreads.com)

ඔහු එය රචනා කර ඇත්තේ තම පුතුන් සිව් දෙනාට පවුලක වටිනාකම, කෘෂිකර්මාන්තය, ස්වභාව ධර්මයේ ප්‍රයෝජන සහ ස්වයං රඳාපැවැත්ම ගැන ඉගැන්වීමේ අරමුණ ඇතු ව යි. පිටු 50 ක් පුරා දිවෙන රොබින්සන් පවුලේ අත්දැකීම් තුළින් ක්‍රිස්තියානි දහමේ පුහුණු කරන අරපිරිමැස්ම, පිළිගැනීම සහ සාමූහිකත්වය වැනි සදාචාරාත්මක පාඩම් මෙන් ම ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන්-ජැක් රූසෝගේ ඉගැන්වීම් කෙරෙහි යොහාන් ඩේවිස් විස් තුළ වූ කැමැත්තද පැහැදිලි ව පෙන්නුම් කරනවා. එසේ ම සතුන් සහ ගහකොළ ගැන උනන්දුවක් දක්වන්නෙක්ට ද ‘රොබින්සන් අන්දරය’ දැනුම් ගබඩාවක්.

භාෂා රැසකට පෙරළුණු ‘රොබින්සන් අන්දරය’

දශක ගණනාවක් පුරාවට ලොව පුරා පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් ‘රොබින්සන් අන්දරය’, පරිච්ඡේද එකතු වෙමින්, වෙනස් වෙමින් හෝ ඉවත් වෙමින් විවිධ අනුවාදයන් ඔස්සේ ප්‍රකාශයට පත් වී තිබෙනවා. එහි වඩාත් සාර්ථක සහ ජනප්‍රිය ඉංග්‍රීසි පරිවර්තනය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1879 දී එළි දක්වන ලද විලියම් එච්. ජී. කින්ග්ස්ටන්ගේ අනුවාදය යි. එය ක්‍රිස්තු වර්ෂ 1824 දී ඉසබෙල් ද මොන්ටොලියු, තවත් පරිච්ඡේදය කිහිපයක් අලුතෙන් එක් කරමින් පළ කරන ලද ප්‍රංශ අනුවාදය සාරාංශ කිරීමෙන් සකසා ඇති බව සැලකෙනවා. නමුත් නියම ජර්මානු ග්‍රන්ථයේ අසංෂිප්ත පර්වර්තනයක් ද ඉංග්‍රීසි සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1816 දී විලියම් ගොඩ්වින් විසින් පරිවර්තනය කර ඇති එය මේ වන විට ප්‍රකාශයට පත් කරන්නේ පෙන්ගුයින් ප්‍රකාශන සමාගම යි.

මුල් කාලීන අනුවාදයක් (© Project Gutenberg)

එසේ ම ‘රොබින්සන් අන්දරය’ ග්‍රන්ථයට ඇති අනුගාමී කතා (sequels) ද කිහිපයක් ම පවතිනවා. ජනප්‍රිය ප්‍රංශ ලේඛක ජූල්ස් වර්න් විසින් ක්‍රිස්තු වර්ෂ 1900 දී පළ කරන ලද ‘Second Fatherland’ එවැනි අනුගාමී කතාවක්. යොහාන් ඩේවිඩ් විස් අවසන් කළ ස්ථානයෙන් ඇරඹෙන එය ‘Their Island Home’ සහ ‘The Castaways of the Flag’ ලෙස වෙළුම් ද්විත්වයකින් යුතු යි.

ඇමෙරිකානු ලේඛක ටී. ජේ. හොයිසිංටන් විසින් 2015 දී ‘Return to Robinson Island’ නමින් නව අනුගාමී ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලියැවී ඇත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අනුයුක්ත ව සේවය කරන තරුණ අර්නස්ට් රොබින්සන්ට මුහුණ දීමට සිදු වන වික්‍රමයක් වටා යි.

පාළු දූපතේ තනි වූ රොබින්සන් පවුලේ රස කතා

යොහාන් ඩේවිඩ් විස්ගේ ‘රොබින්සන් අන්දරය’ ආරම්භ වන්නේ සැඩ කුණාටුවකට මැදි වූ නෞකාවක ගමන් ගන්නා මගීන්*කලබලය හේතුවෙන් මග හැරෙන රොබින්සන් පවුලේ සාමාජිකයන් නොමැති ව ගොඩබිමක් සොයා යන ගමනකින්. ඒ අනුව විලියම් සහ එළිසබෙත් ඔවුන්ගේ දරුවන් සිව් දෙනා වන ෆ්‍රිට්ස්, අර්නස්ට්, ජැක් සහ ෆ්‍රාන්සිස් සමග තනි වෙනවා.

නව ස්විට්සර්ලන්තයේ සිතියම (© Project Gutenberg)

කෙසේ හෝ පාළුවට ගිය නිවර්තන දූපතකට ගොඩ බසින ඔවුන් මුහුදුබත් වූ නෞකාවේ ඉතිරි ව ඇති ආහාර ද්‍රව්‍ය සහ පතරොම් ද නෞකාවේ සිටි සුනඛයින් දෙදෙනෙකු ද පොත්පත්, ගොවිපොළ සතුන් සහ උපකරණ ද එයට රැගෙන එනවා. ඉන් අනතුරු ව එළැඹෙන දශකය තුළ පාළුවට ගිය දූපත ගොවිතැනෙන් සශ්‍රික කරන රොබින්සන් පවුලේ සාමාජිකයන් එය ‘නව ස්විට්සර්ලන්තය’ ලෙස නම් කරනවා. මේ කාලය තුළ දී ජෙනී මොන්ට්රෝස් නම් ඉංග්‍රීසි ජාතික තරුණියක් ඔවුන් හා එක් වන්නේ ඇය ගමන් ගත් නෞකාවත් මුහුදුබත් වීම හේතුවෙන්. අවසානයේ දී ජෙනී ව සොයා පැමිණෙන බ්‍රිතාන්‍ය නෞකාවක් මගින් රොබින්සන් පවුලේ සියලු දෙනා ව ම ගලවා ගන්නවා.

මේ මුල් කතාවේ සාරාංශය වුණත් විවිධ අනුවාදයන් හි දැක්වෙන්නේ විවිධ කථාන්තර යි. එසේ ම ඒවායේ එන චරිත ද එකිනෙකට වෙනස් වෙනවා. එයට හේතු වන්නේ කතාව වඩාත් රසවත් කිරීමේ අරමුණෙන් පසු කාලීන ලේඛකයන් එයට එක් කර ඇති ත්‍රාසජනක සිදුවීම් සහ අලුත් චරිත යි.

පුංචි තිරයට පැමිණි රොබින්සන්වරු

ලොව පුරා පාඨකයන් අතර කෙටි කලකින් ම ජනප්‍රිය වූ ‘රොබින්සන් අන්දරය’ ඇසුරෙන් නිම වන ලද චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය බොහෝම යි. එයින් වඩාත් ම ජනප්‍රිය වූ චිත්‍රපට දෙකක් ලෙස 1940 දී තිර ගත වූ ඇමෙරිකානු චිත්‍රපටය සහ 1960 දී ඩිස්නි සමාගම මගින් එළි දැක් වූ චිත්‍රපටය සැලකෙනවා. මීට අමතර ව 2002 දී තිර ගත වූ චාල්ස් බීසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Stranded’ චිත්‍රපටය ද ඒ ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්.

‘රොබින්සන් අන්දරය’ (entercloud9.com)

‘රොබින්සන් අන්දරය’ (imdb.com)

එසේ ම පුංචි තිරයට පැමිණි කතා මාලාවන් අතරින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය වුණේ 1998 දී නවසීලන්ත රූපවාහිනී නාලිකාවක් මගින් එළි දක්වන ලද ටෙලිවෘත්තාන්තය බව නම් අවිවාදාත්මක යි. මිනිත්තු 30 පුරා දිවෙන කතාංග 30 කින් සමන්විත වූ එය නිෂ්පාදනය කර ඇත්තේ රේමන්ඩ් තොම්සන් විසින්. මුල් ග්‍රන්ථයට වඩා විශාල වෙනස්කම් රැසකින් යුතු වූ ‘රොබින්සන් අන්දරය’ ගෙතී තිබුණේ ඩේවිඩ්, එළිසබෙත්, අර්නස්ට්, ජොආනා, ක්‍රිස්ටිනා, එමිලි, පර්සන්ස්, බෙන් සහ බිලී නම් වූ අලුත් ම චරිත ගොන්නක් වටා යි.

කවරයේ පින්තූරය : Picture 7 1960 දී ඩිස්නි සමාගම මගින් එළි දැක් වූ චිත්‍රපටය (imdb.com)

Related Articles