විශේෂාංග

විනාඩි 4 ක කියවීමක්

ළමා වරදකරුවන් සම්බන්ධ නීතිය

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

කුඩා දරුවන් විවිධ වැරදි කර නීතියේ රැහැනට හසුවන අවස්ථා අද අපිට මාධ්‍ය තුළින් නිතරම අසන්නට දකින්නට ලැබෙනවා. කොහොම නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හා ළමයෙක් ලෙස සැලකෙන අයෙක් සිදුකරන එකම ආකාරයේ වරදකදී ඔවුන්ට දඬුවම් කිරීමට නීතියෙන් සලසා ඇති ප්‍රතිපාදන තරමක් වෙනස්.

මේ ලිපියෙන් සලකා බැලෙන්නේ ඒ අාකාරයට ළමයින් හට විශේෂ නීති පවතින අවස්ථාවන් ගැනයි.

ළමයා සහ ළමා වරදකරුවා යනු කවරෙක්ද?

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ‘ළමයා’ වශයෙන් සැළකෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙක්. එසේ වුවත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය නීතිමය බැඳීමක් හෝ නීතිමය වලංගුතාවයක් ඇති ලේඛනයක් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාවේ නීතිය ළමයා යන්නට විවිධ ආකාරයේ අර්ථ කථනයන් දක්වනවා. වැරදිවලට හවුල් වන දරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිය තුළ ළමයින් වශයෙන් සලකන්නේ වයස අවුරුදු 14 ට අඩු අය පමණයි. 1939 අංක 48 දරණ ළමුන් හා තරුණයන් පිළිබඳ ආඥා පනත ළමයෙකු වශයෙන් සලකන්නේ වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින්. කාන්තාවන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින් ළමයින් වශයෙන් සලකන අතර වයස අවුරුදු 14 – 18 අතර අය සලකන්නේ ගැටවරයන් වශයෙන්.

ඒ අනුව ඉහත වයස් සීමාවලට යටත්වන අයෙක් නීතිය මඟින් තහනම් කර ඇති ක්‍රියාවක් කරන්නේ නම් ඔහු / ඇය ළමා වරදකරුවෙක් බවට පත් වෙනවා.

ළමයින්ගේ සාපරාධී වගකීම

වැරදි හා දඬුවම් දීම සම්බන්ධව වයස අවුරුදු 16 ට අඩු ළමයින් වැඩිහිටියන් වශයෙන් සලකන නමුත් වයස අවුරුදු 18 ට අඩු ළමයෙක් හට මරණීය දණ්ඩනය ලබා දිය නොහැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 54 වන වගන්තියේ දැක්වෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 75 වන වගන්තියට අනුව වයස අවුරුදු 8 ට අඩු ළමයෙක් සිදුකරන කිසිදු ක්‍රියාවක් වරදක් වශයෙන් නීතිය නොසලකන අතර එවැනි ළමයෙකුට විරුද්ධව කිසිදු අධිකරණයක නඩු පැවරීමේ හැකියාවක් ද නැහැ.

වයස අවුරුදු 8 – 12 අතර වයසේ පසුවන ළමයෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය හැක්කේ තමා කරන ක්‍රියාවේ ස්වභාවය හා ප්‍රතිඵලය තේරුම් ගැනීමට තරම් පැසුණු බුද්ධියක් එම දරුවාට පවතින්නේ නම් පමණක් බව දණ්ඩ නීති සංග්‍රහයේ 76 වන වගන්තිය දක්වා තිබෙනවා.

සාක්ෂි ආඥා පනතේ 113 වගන්තිය දක්වන ආකාරයට වයස අවුරුදු 12 ට අඩු දරුවෙකුට විරුද්ධව ස්ත්‍රී දුෂණය සම්බන්ධයෙන් චෝදනා නැඟීමේ හැකියාවක් නැහැ.

ළමා වරදකරුවන් රඳවා තබාගැනීම

theindychannel.com

කිසිදු විටෙක ළමා වරදකරුවෙක් වරදකට චෝදනා ලබා ඇති වැඩිහිටියෙක් සමඟ එකට රඳවා තැබිය නොහැකි අතර බාලිකාවක් නම් කාන්තාවක් භාරයේ තැබීම අත්‍යවශ්‍යයි.

වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ළමයෙක් අත් අඩංගුවට ගෙන ඇති විටෙක වහාම ඔහු / ඇය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අතර ප්‍රමාදයකින් තොරව එසේ කළ නොහැකි නම් ඔහු / ඇය ඇප පිට නිදහස් කිරීම පොලිස් ස්ථානාධිපතිගේ වගකීමයි. එසේ වුවත් ඇප පිට නිදහස් කිරීම යුක්තිය ඉටු වීමට බාධාවක් වේ යැයි හෝ දරුවාගේ යහපත පිණිස එසේ නොකළ යුතු යැයි හැඟෙන අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කරන තුරු නිවර්තන නිවාසයක රඳවා තැබීම කළ හැකියි.

එවැනි ළමයෙක් අධිකරණය විසින් නඩුව විභාග කරන තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු වන අවස්ථාවක නිවර්තන නිවාසයට භාර කළ යුතු නමුත් එසේ නිවර්තන නිවාසයකට යැවීමට තරම් සුදුසු නොවන්නෙක් යැයි කල්පනා කරන්නේ නම් ඔහු / ඇය බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අධිකරණය විසින් නියම කරනු ලබයි.

ළමා වරදකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම

වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ළමයෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන විට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය ප්‍රදේශයේ පරිවාස නිලධාරියා වෙත දන්වන අතර ඔහු ළමයාගේ ගෙදර දොර තත්වය, අධ්‍යාපනය, චරිත ස්වභාවය ආදිය පිළිබඳව විස්තර දක්වා වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා.

එමෙන්ම එවැනි ළමයෙක් අධිකරණය වෙත ඉදිරිපත් කරන විටෙක එම දරුවාගේ දෙමව්පියන් හෝ භාරකරුවන් ද අධිකරණය ඉදිරියේ පෙනී සිටිම අවශ්‍යයි.

ළමා උසාවි

ළමයින් කරන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා වෙනම ළමා උසාවි පිහිටුවීමට විධිවිධාන සලසන්නේ ළමා හා ගැටවර ආඥා පනතයි. ඒ අනුව බම්බලපිටියේ ළමා මහේස්ත්‍රාත් උසාවිය ළමයින් සඳහාම පිහිටුවා ඇති එකම අධිකරණය වශයෙන් කටයුතු කරනවා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ළමා උසාවිය වශයෙන් මහේස්ත්‍රාත් උසාවියම කටයුතු කරන අතර එහිදී ළමා උසාවිය වෙනම ගොඩනැඟිල්ලක රැස් වෙනවා.

ප්‍රාථමික අධිකරණයට ද ළමා උසාවියක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති නමුත් ළමා උසාවියේ පමණක් නඩු පැවරිය හැකි කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අයිතිය එයට නැහැ.

ළමා හා ගැටවර ආඥා පනතේ 7 වන වගන්තිය දක්වන ආකාරයට ළමා උසාවියේ නඩුවක් විභාග කෙරෙන විටෙක අධිකරණ නිලධාරින්, නීතිඥයන්, සාක්ෂිකරුවන්, නඩුවට ඍජුවම සම්බන්ධයක් දක්වන පුද්ගලයන් හා විශේෂ අවසර ලත් පුද්ගලයන් හට පමණයි එහි රැඳී සිටීමට අවසර හිමි වෙන්නේ.

එහි 11 වන වගන්තිය ළමා උසාවියක් ඉදිරියේ විභාග වන නඩුවක් සම්බන්ධව කිසිදු තොරතුරක් හෝ ඡායාරූපයක් කිසිදු මාධ්‍යයක පළ කිරීම තහනම් කරන නමුත් ළමා සුභසාධනය සම්බන්ධයෙන් පළ කෙරෙන ප්‍රකාශනවලට එයින් බාධාවක් ඇති වන්නේ නැහැ.

කෙසේ වුවත් ළමා අධිකරණයට අධිකරණ බලය හිමි නොවන අවස්ථා ද නැතුවාම නොවේ.

  • මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම වැනි බරපතළ වැරදි සම්බන්ධයෙන් ළමයෙකුට විරුද්ධව චෝදනා නඟා ඇති විටෙක,
  • ළමයෙකුට හෝ ගැටවරයෙකුට සහ වයස අවුරුදු 16 සම්පුර්ණ වූ අයෙකුට විරුද්ධව හවුලේ නඩු පවරා ඇති විටෙක,

වැනි අවස්ථා ඉන් විශේෂයි.

ළමා උසාවිවල නඩු විභාගය

ළමා වරදකරුවෙක් සම්බන්ධ නඩු විභාගය ළමා උසාවි මඟින් සිදු කරන අතර වරදක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ළමයෙක් ළමා උසාවිය වෙත ඉදිරිපත් කර ඇති විටෙක, පළමුව අධිකරණය විසින් ළමයාට නඟා ඇති චෝදනාව ලිහිල් බසින් ඔහුට / ඇයට තේරුම් කර දීම සිදු කරනු ලබනවා.

ළමා උසාවියක් වශයෙන් ක්‍රියා කරන මහේස්ත්‍රාත් උසාවියක් හමුවට ළමයෙක් ඉදිරිපත් කර ඇති විට, නඟා ඇති චෝදනාව මහාධිකරණයක් ඉදිරියේ විභාග කළ යුතු නොවන වරදක් නම්, එම උසාවිය විසින්ම නඩුව විභාග කරනු ලබනවා.

අදාළ චෝදනාව මහාධිකරණයක් ඉදිරියේ විභාග කළ යුතු වරදක් වුවත් එසේ කිරීම අවශ්‍ය නැතැයි අධිකරණය කල්පනා කරන්නේ නම්, ළමයාගේ, ඔහුගේ / ඇයගේ දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ අවසරය ඇතිව නඩුව විභාග කිරීමේ හැකියාව ළමා උසාවියට තිබෙනවා.

නඩුව විභාගයට ගැනීමේදී මුලදීම තමා වරද පිළිගන්නේ ද යන්න ළමා උසාවිය මඟින් ළමයාගෙන් විමසනු ලබනවා. එහිදී වරද පිළි නොගන්නේ නම් සාක්ෂි විමසීමක් කරන අතර ළමයාට හෝ දෙමව්පියන්ට / භාරකරුට ඒ සඳහා ඉඩ ලැබෙනවා. ළමයාගෙන් ද ප්‍රශ්න කළ හැකි අතර ළමයා චෝදනාවට වරදකරු යැයි අධිකරණයට හැඟෙන්නේ නම්, දඬුවම් ලිහිල් කිරීම සඳහා කරුණු දැක්වීමේ අවස්ථාවක් ද ළමයාට හිමි වෙනවා.

ළමා වරදකරුවන්ට දඬුවම් පැමිණවීම

News.wfsu.org

ළමයෙකුට / ගැටවරයෙකුට දඬුවම් නියම කිරීමට පෙර ළමා උසාවිය ළමයා වරද කිරීමට පෙළඹීමේ පසුබිම, වරද කිරීමට හේතු ආදිය පිළිබඳවද සොයා බලනවා.

වරදක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමේදී ළමයෙක් / ගැටවරයෙක් සිරගත කිරීමට නියම නොකරන අතර දඩ නොගෙවීම මත සිරගෙට යැවීම කළ නොහැකියි. එසේ සඳහන් වුවත් ගැටවරයෙකුගේ දඩබ්බරකම නිසා සිරගෙයක රඳවා තැබීමට අධිකරණයට හැකියාව ඇත.

ළමා වරදකරුවෙක් සම්බන්ධයෙන් පහත දඬුවම් ක්‍රියාත්මක වෙනවා.

  • මරණිය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදක් වන විට, ජනාධිපතිගේ කැමැත්ත ඇති තාක් නිවර්තන නිවාසයක රඳවා තබන ලෙස නියම කිරීම.
  • සිර දඬුවම් නියම කළ හැකි වරදක් වන විට, මසකට නොවැඩි කාලයක් නිවර්තන නිවාසයක රඳවා තබන ලෙස නියම කිරීම.
  • සිර දඬුවම් නියම කළ හැකි වරදක් වන විට, ගැටවරයෙකු නම්, සහතික කළ පාසලක රඳවා තැබීමට නියම කිරීම.

මෙයට අමතරව පරිවාස භාරයේ තැබීම, ඇඟ බැඳීමට යටත් කිරීම, මාස 3 කට නොවැඩි කාලයක් සුදුසු පුද්ගලයෙකුගේ ආරක්ෂාව යටතේ තැබීම, අවුරුද්දක කාලයක් යහපත් කල් ක්‍රියාවෙන් සිටීමේ පොරොන්දුව මත දෙමව්පියන්ට/ භාරකරුවන්ට බාර කිරීම ද සිදු කළ හැකියි.

එමෙන්ම දඩයක් නියම කරන අවස්ථාවක දඩය ගෙවන ලෙස දෙමව්පියන්ට/ භාරකරුට නියම කළ හැකි අතර අවවාද කොට නිදහස් කිරීම ද කළ හැකියි.

කවරයේ පින්තුරය: kalw.org

මූලාශ්‍ර :

  1. http://www.sundaytimes.lk/100328/Plus/plus_10.html
  2. protectingrights.blogspot.com
  3. 1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත
  4. 1939 අංක 48 දරණ ළමා හා තරුණයන් පිළිබඳ ආඥා පනත
  5. 1883 දණ්ඩ නීති සංග්‍රහය

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්