විශේෂාංග

විනාඩි 5 ක කියවීමක්

ලොවටම ලේකම් වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්

Published

විනාඩි 5 ක කියවීමක් to read

Facebook Twitter GPlus

වර්ෂ 1945 ඔක්තෝබර් 24 වන දින පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ස්වාධීන ජාතීන් 193කින් සහ නිරීක්ෂක රාජ්‍යයන් දෙකකින් සමන්විත මේ වන විට ලොව ඇති බලවත්ම ජාත්‍යන්තර සංවිධානයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ මූලස්ථානය පිහිටුවා ඇති මෙම සංවිධානය ප්‍රධාන ආයතන 6 කින් සමන්විත වේ. එනම්, ආරක්ෂක කවුන්සිලය, මහා මණ්ඩලය, මහ ලේකම් කාර්යාලය, ආර්ථික සහ සමාජ මණ්ඩලය, අන්තර්ජාතික යුක්ති අධිකරණය සහ භාරකාර මණ්ඩලයයි. අවසාන ආයතනය 1994 වසරේ සිට අක්‍රියව පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මහ ලේකම් ධූරය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන මහ ලේකම්වරයා, සංවිධානය තුළ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙසින් විශාල කාර්ය භාරයක් ඉටු කරයි.

එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය දක්වන්නේ මහ ලේකම්වරයා “එක හා සමාන ලෙසින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, නීතිවේදියෙකු, සිවිල් සේවකයෙකු සහ CEO කෙනෙකු විය යුතු බවයි. මෙමගින් සාමාජික රාජ්‍යයන්ගේ අභියෝග මධ්‍යයේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ අගයන් සුරක්ෂිත කිරීමේ කාර්ය භාරය මහ ලේකම්වරයා වෙත පවතින බව පෙනී යයි. එසේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වන වගන්තියේ දක්වා ඇත්තේ “අන්තර්ජාතික සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමෙහිලා තර්ජනයක් වන්නා වූ ඕනෑම කරුණක් ආරක්ෂක මණ්ඩලය වෙත ගෙන ඒමේ හැකියාව මහ ලේකම්වරයාට ඇති බවයි.  එමගින් පෙනී යන්නේ ක්‍රියාකාරී චරිතයක් දරන්නෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ නිලධාරියෙකුගේ චරිතයක් රඟ දැක්වීමේ හැකියාව මහ ලේකම්වරයා සතුවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානය(outreach.un.org)

මහ ලේකම්වරයා පත් කරන ආකාරය

ආරක්ෂක මණ්ඩලය විසින් මහා මණ්ඩලයේ සාමාජිකයින් 193 දෙනාගේ ඡන්දයෙන් පත් කිරීම සඳහා අපේක්ෂකයෙකු නම් කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයන්ට මහ ලේකම්වරයා පත් කිරීමට සහභාගි වීමට අවස්ථාව ලැබුණද ස්ථිර සාමාජිකයන් 5 දෙනා සතුව වැඩි බලයක් පවතින අතර ඒවායින් ඕනෑම සාමාජිකයෙකුට තම නිෂේධ බලය යොදා ගනිමින් අපේක්ෂකයෙකු ඉවත් කිරීමේ හැකියාව පවතින බැවිනි. එක්සත් ජාතීන්ගේ සිව්වන මහ ලේකම්වරයා වූ ඔස්ට්‍රියාවේ කර්ට් වොල්ඩ්හෙයිම් තුන්වන වර පත් කිරීමේදී චීනය තම නිෂේධ බලය භාවිතා කළ අතර, පස්වන මහ ලේකම්වරයා වූ ඊජිප්තුවේ බෘටෝස් බෘටෝස් ගාලි දෙවන වර පත් කිරීමේදී එක්සත් ජනපදය ස්වකීය නි‍ෂේධ බලය භාවිතා කළේය. ආරක්ෂක මණ්ඩලයේ සිටින ඡන්දයෙන් තෝරා පත් කර ගත් සාමාජිකයන් දස දෙනාට නිෂේධ බලය නොමැති වුවද, ඔවුන්ගේ ඡන්ද තීරණාත්මක ලෙස සැලකෙන්නේ මහ ලේකම්වරයෙකු ලෙස නිර්දේශ වීම සදහා අපේක්ෂකයෙකුට අවම වශයෙන් ඡන්ද 9ක් අවශ්‍ය වන බැවිනි. මෙසේ පත් වන මහ ලේකම් වරයෙකු වසර 5ක ධූර කාලයක් දරණ අතර, පත්වන වාර ගණනට සීමාවක් නැතත් වාර 2කට වඩා මෙතෙක් කිසිවෙකු මෙම ධූරය දරා නැත.

මහ ලේකම්වරයාගේ ප්‍රධාන වගකීම්

මහ ලේකම්වරයාගේ ප්‍රධාන වගකීම් පරිපාලනමය ස්වරූපයක් ගනී. ඔහු විසින් පර්යේෂණ, පරිවර්තන සහ මාධ්‍ය සබඳතා ආදිය අන්තර්ගත එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නා වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය පාලනය කරනු ලබයි. එක් එක් මහ ලේකම්වරයා පරිපාලනමය වගකීම් මෙහෙයවා ඇත්තේ එකිනෙකාට අනන්‍ය වූ ස්වරූප වලිනි. උදාහරණයක් ලෙස ගතහොත් බෘටෝස් බෘටෝස් ගාලි විසින් මෙහෙයුම් පරිපාලනය කර වාර්තා සැපයීම සඳහා යටත් මහ ලේකම් ධූරය ඇති කළ අතර කොෆී අන්නන් විසින් දෛනික මෙහෙයුම් පාලනය සඳහා නියෝජ්‍ය මහ ලේකම් ධූරය ඇති කරන ලදී. ප්‍රධාන වශයෙන් මානව සම්පත් පරිපාලනය, සාමය පවත්වා ගැනීම සහ සමථකරණය යන අංශයන් වෙත පරිපාලනමය වගකීම් විහිදී යයි.

එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම්වරු

අන්ටෝනියෝ ගුටාරෙස් – පෘතුගාලය (2017 ජනවාරි 01 වන දින සිට ඉදිරියට)

අන්ටෝනියෝ ගුටාරෙස් මහ ලේකම් ධුරයට පත් වි‍මෙන් අනතුරුව  එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින්(www.un.org)

වයස අවුරුදු 67 ක් වන වර්තමාන මහ ලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් වර්ෂ 1995 සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැති ලෙස සේවය කළ අතර සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ලෙස 2005 වසරේ සිට 2015 දක්වා කටයුතු කළේය. එහිදී ලද අත්දැකීම් තුළින් ලෝක සාමය ඇති කරමින් මානව ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු අදහස් කරයි.

බෑන් කී මූන් – කොරියාව (2007 ජනවාරි සිට 2016 දෙසැම්බර් දක්වා)

මොහුගේ ධූර කාලය තුළ කාලගුණ විපර්යාසයන් පිටුදැකීම සඳහා ප්‍රතිපත්ති ඇති කිරීම, 3 වන ලෝකයේ රටවල්වල බලශක්ති සහ ආහාර අර්බුද මැඩපැවැත්වීම, න්‍යෂ්ටික ආයුධ සම්බන්ධව ඉරානය සමග සාකච්ඡා කිරීම, සුඩානයේ ඩර්ෆර් අර්බුදය නිරාකරණය කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම සම්බන්ධව කටයුතු කිරීම ආදිය සිදු කරන ලදී. එසේම, මෙහෙයුම්වල පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමද මොහු විසින් සිදු කරන ලදී.

කොෆී අන්නන් – ඝානාව (1997 ජනවාරි සිට 2006 දෙසැම්බර් දක්වා)

මොහු විසින් කළමණාකරණ සහ අයවැය ප්‍රතිසංස්කරණ ඇති කිරීම, සාම මෙහෙයුම් සඳහා වන පිරිවැය වැඩි වීම පිළිබඳ අවධානය යොමු කිරීම, වඩා දරිද්‍රතාවයෙන් පෙලෙන ජාතීන්ගේ අවශ්‍යතා සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, අප්‍රිකාවේ තිරසාර සංවර්ධනය සඳහා වැඩසටහන් ඇති කිරීම සිදු කරන ලදී. ඔහුගේ සහශ්‍ර වාර්තාව තුළ දරිද්‍රතාවය පිටු දැකීම, ඒඩ්ස් රෝග මර්දනය, පරිසර සංරක්ෂණය ආදිය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද දක්වා තිබේ.

බෘටෝස් බෘටෝස් ගාලි – ඊජිප්තුව (1992 ජනවාරි සිට 1996 දෙසැම්බර් දක්වා)

මොහුගේ ධුර කාලය තුළදී මෙහෙයුම් පිරිවැය අධික වීම සහ සාම මෙහෙයුම් අසාර්ථක වීම දැකගත හැකි වේ. සෝමාලියාවේ සාම මෙහෙයුම් සඳහා ඇමෙරිකාවේ සහභාගිත්වය අසාර්ථක වීම, බොස්නියාවේ සහ ක්‍රොඒෂියාවේ සටන් මැඩ පැවැත්වීමට නොහැකි වීම, රුවන්ඩාවේ මනුෂ්‍ය සංහාරයන් සම්බන්ධව ක්‍රියා කිරීමේදී ඇති වූ ගැටලු ඔහුගේ ධුර කාලය වියවුල් සහගත කරවන ලදී. රුවන්ඩා අර්බුදය සම්බන්ධව, ඔහු ඊජිප්තුවේ විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී හුටු අන්තවාදීන්ට ආයුධ සපයා එමගින් ටුට්සිවරුන් අති විශාල සංඛ්‍යාවක් සමූල ඝාතනය කිරීමට සැලැස්වූ බවට චෝදනා එල්ල වේ. මේ පිළිබඳව විමසූ විට ගාලි ප්‍රකාශ කර ඇත්තේ ආයුධ ස්වල්ප ප්‍රමාණයකින් පැවති තත්ත්වයේ වෙනසක් වන්නට ඇතැයි තමා නොසිතන බවයි. පාලනයේ ඇති වූ වියවුල් නිසාම දෙවන ධුර කාලයක් සඳහා ඔහු පත් වූයේ නැත.

බෘටෝස් ගාලි 1995 වසරේදි රුවන්ඩාවේ සංචාරයක නිරතවෙමින්(www.rtve.es)

ජේවියර් පේරෙස් ද කියුලර් – පේරු රාජ්‍යය ( 1982 ජනවාරි සිට 1991 දෙසැම්බර් දක්වා)

මේ කාලයේදී ලෙබනනයේ සිටි ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම, ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් හමුදා ඉවත් කිරීමට පහසුකම් සැලැස්වීම, ඉරාන – ඉරාක යුද්ධය අවසාන කිරීම සඳහා සටන් විරාම ගිවිසුම් ඇති කරවීමට කටයුතු කිරීම ආදිය සිදු කරන ලදී.

කර්ට් වෝල්ඩ්හෙයිම් – ඔස්ට්‍රියාව (1972 ජනවාරි සිට 1981 දෙසැම්බර් දක්වා)

මොහු ස්වකීය ධුර කාලය තුළ වියට්නාමය පිළිබඳව වූ පැරිස් අන්තර්ජාතික සමුළුවට සහභාගි වූ අතර මැද පෙරදිග පිළිබඳව වූ ජිනීවා සාම සමුළුවේ මුල් භාගයේ නායකත්වය දැරීය. මෙයට පෙර ඔහු ජර්මන් හමුදාවේ සේවය කළ අයෙකු වූ අතර පසු කාලීනව බේල්කන්වරුන්ට විරුද්ධව සිදු කළ නාසි ක්‍රියාකාරකම් වලට ඔහුද සම්බන්ධ යැයි යන මතය මත යුක්ති දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරන ලදී.

ඌ තාන්ට් – මියන්මාරය (1961 නොවැම්බර් සිට 1962 දෙසැම්බර් දක්වා වැඩ බලන මහ ලේකම්, 1962 දෙසැම්බර් සිට 1971 දෙසැම්බර් දක්වා මහ ලේකම්)

ඔහුට පෙර තනතුරේ සිටි ඩග් හමර්ස්කොල්ඩ්ගේ මරණයෙන් පසු වසරක කාලයක් ඌ තාන්ට් වැඩ බලන මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඔහු මහ ලේකම් තනතුරට පත්වන අවස්ථාවේදී එවකට බුරුමයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ අතර එයට පෙර එක්සත් ජාතීන්ගේ කොන්ගෝ සමගි කමිටුවේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් වූ කමිටුවේ මුලසුන දැරීය. ඔහුගේ නායකත්වය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කියුබානු මිසයිල අර්බුදය අවසාන කිරීම සඳහා පහසුකම් සැලසූ අතර කොන්ගෝවේ සිවිල් යුද්ධය අවසන් කරන ලදී.

මේවන තෙක් පත්වූ සියලුම මහ ලේකම්වරු(www.undispatch.com)

ඩග් හමර්ස්කොල්ඩ් – ස්වීඩනය ( 1953 අප්‍රේල් සිට 1961 සැප්තැම්බර් දක්වා)

මොහු දෙවතාවක් මහ ලේකම් ධුරයට ඒකමතිකව පත් වූ අතර 1961 සැප්තැම්බර් මස 08 වන දින කොන්ගෝවේ සාම මෙහෙයුමකට යන අතරතුර සිදු වූ ගුවන් යානා අනතුරක් හේතුවෙන් මිය යන තුරුම එම තනතුරේ කටයුතු කළේය.මොහු විසින් සිදු කළ වඩාත් වැදගත් සේවයන් ලෙසින් ඊශ්‍රායලය සහ අරාබි රාජ්‍යයන් අතර සටන් විරාම ගිවිසුම් ඇති කිරීම ප්‍රවර්ධනය කිරීමත්, 1956 එක්සත් ජාතීන්ගේ හදිසි මෙහෙයුම් බලකාය ඇති කිරීම, අප්‍රිකාව, ආසියාව, යුරෝපය, ඇමෙරිකාව සහ මැද පෙරදිග කලාපයන්හි පිහිටි රාජ්‍යයන්ට සංචාරය කරමින් ඒවායේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සහ ඒ කලාපයන්ට සුවිශේෂී ගැටලු හඳුනා ගැනීම දැක්විය හැකිය.

ට්‍රිග්වේ ලී – නෝර්වේ ( 1946 පෙබරවාරි සිට 1952 නොවැම්බර් ඔහු ඉල්ලා අස් වන තුරු)

මොහු 1946 පෙබරවාරි මස 1 වන දින මහ ලේකම්වරයා ලෙස තේරී පත්වීය. මොහු විසින් උතුරු ඉරානයෙන් සෝවියට් හමුදාවන් ඉවත් කිරීම සඳහා ආධාර ලබා දුන් අතර පලස්තීන යුද්ධයට සහ කාශ්මීරය සම්බන්ධව ඇතිවූ ඉන්දු – පකිස්ථානු අර්බුදයට තාවකාලික පිළියම් ලබා දුනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තායිවානය නෙරපා හැරීමට සෝවියට් රුසියාව විසින් දරණ ලද උත්සාහයන්ට විරුද්ධ වූ අතර 1950 දී චීනය සාමාජික රටක් ලෙස තමා පිළිගන්නා බවටද ඔහු ප්‍රකාශ කළේය. දකුණු කොරියාවට ආධාර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදා යැවීමට අවසර ලබා දුන් පසුව සෝවියට් රුසියාවේ විරෝධතාවයන්ට සහ අපහාසයන්ට ලක් වීමට මොහුට සිදු විය. ඔහු නැවත පත්කිරීමේදී සෝවියට් රුසියාව විරෝධතාවය පල කරන බව නිශ්චිත වූ පසු මහා මණ්ඩලය විසින් මොහුගේ ධුර කාලය තවත් වසර 3කට දීර්ඝ කරන ලද අතර එයින් පසු ඔහු මහ ලේකම්වරයා ලෙසට පිළිගැනීම රුසියාව නවතා දැමීය. ඔහුගේ සමථකරණ ක්‍රියාන්විතයන් බොහොමයක් අසාර්ථක වූ අතර 1952 නොවැම්බර් 10 වන දින ඔහු තනතුරින් ඉල්ලා අස්වන ලදී.

මේ අනුව පෙනී යන්නේ ක්‍රියාකාරි චරිතයක් දරන්නෙකු, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ නිලධාරියෙකුගේ චරිතයක් රග දැක්වීමේ හැකියාව මහ ලේකම්වරයා සතුවන බවත් මේ වනවිට ලෝකයේ බොහෝ සංසිද්ධීන්ට බලපෑම් කිරීමේ හැකියාව ඔහු සතු බවත්ය.

Cover Photo – 2016 වසරේ පැවති මහ ලේකම්වරයා පත් කිරිමේ ඡන්දය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ පල කළ ප්‍රචාරක ඡායාරූපය(www.un.org)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්