Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනස කලඹන තවත් ගුප්ත රෝගාබාධ

අපි කවුරුත් දන්න ආතතිය සහ විෂාදය වෙනුවට නොදැනුවත්කම නිසා ම ප්‍රතිකාර කිරීම අතපසු වී යන ගුප්ත රෝගාබාධ කිහිපයක් ගැන අපි ගිය දිනෙක කතා කළා. මේ නිසි ලෙස ප්‍රතිකාර ගැනීම තුළින් මග හරවා ගත හැකි තවත් එවැනි ම මානසික රෝග කිහිපයක් ගැන තොරතුරු යි.

ක්‍රිප්ටොමීෂියා

davisassociates.co.uk

යම් කිසි සිදුවීමක් සිදු වෙන විට එයින් කලින් අත් විඳ ඇති බවක් දැනීම නොඑසේ නම් දුටුවිරු මායාව (déjà vu) සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට අත්දැකීම් ඇති. නමුත් ක්‍රිප්ටොමීෂියාවේ දී සිදු වන්නේ එයට හාත් පසින් ම වෙනස් දෙයක්. එය තමයි මෙයට පෙර අත් දුටු දෙයක්, නොඑසේ නම් පැරණි මතකයක්, මෙයට පෙර සංචාරය කර ඇති ස්ථානයක් අලුත් ම සිදුවීමක් ලෙස හඳුනා ගන්නවා. මෙය යම්තාක් දුරකට සැඟවුණු මතකයක් ලෙස අර්ථ දැක්වීමට හැකි යි.

ක්‍රිප්ටොමීෂියාවෙන් පෙළෙන අයට මුහුණ දීමට සිදු වන ගැටලුවක් තමයි, නොදැනුවත් ව සිදු කරන අදහස් සොරකම (unintended plagiarism). මේ නිසා ම හෙලන් කෙලර්, ‘නිධන් දූපත’ රචනා කළ රොබට් ලුවී ස්ටීවන්සන් වැනි ලෝක ප්‍රසිද්ධ ලේඛකයන් අපහසුතාවයට පත් වූ අවස්ථාවන් රැසක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා.

විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමය

fdb.pl

මානසික රෝග අතරින් සුන්දර මානසික රෝගයක් ලෙස හඳුන්වන විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයේ දී සිදු වන්නේ කතා පොතේ සඳහන් වන ආකාරයෙන් ම තමන් ජීවත් වන පරිසරයට නොගැළපෙන ලෙස තමන් ප්‍රමාණයෙන් කුඩා හෝ විශාල බව හැඟී යාම යි. නිශ්චිත ව පැහැදිලි නොවුණ ද විශේෂඥයින්ගේ විශ්වාසය වන්නේ විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අය අදාළ පරිසර තත්ත්වයන් මනසේ මවා ගන්නා බව යි. සමස්ත ලෝක ජනගහනයෙන් 10% – 20% අතර ප්‍රමාණයක් තම ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දී මෙයට මුහුණ දී ඇති අතර මෙය දිගු කාලයක් නොපවතින, ඉඳ හිට පැමිණෙන රෝගයක් ලෙස සැලකෙනවා.

වැඩි වශයෙන් ම විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයට ගොදුරු වන්නේ ඉරුවාරදය, අපස්මාරය හෝ වෙනත් හිස ආශ්‍රිත රෝගයන්ගෙන් පෙළෙන අය යි. වැඩිහිටියන් අතර සුලබ මෙය කුඩා දරුවන් අතර ද දක්නට ලැබෙනවා. විශ්මලන්තයේ ඇලිස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන දරුවෙකුට අනාගතයේ දී ඉරුවාරදය වැළඳීමේ සම්භාවිතාවය 50% ක් බව යි පැවසෙන්නේ.

ඕ. සී. ඩී. (Obsessive-Compulsive Disorder)

businessinsider.com

ඉතාමත් සුලබ සහ නිදන්ගත රෝග තත්ත්වයක් වන මෙහි දී යම් කිසි ක්‍රියාවක් හෝ සිතුවිල්ලක් යළි යළිත් විඳීම සඳහා පාලනය කළ නොහැකි පෙලඹවීමක් පවතිනවා. සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට යළි යළිත් සිතට බලපෑම් කරන අදහසක් හෝ යම් ක්‍රියාවක් අනිවාර්යයෙන් ම කළ යුතු යි යන බල කිරීමක් හෝ මේ ලක්ෂණ ද්විත්වයම ඇති විය හැකි යි.

රෝග ලක්ෂණ :

  1. විෂබීජ සම්බන්ධයෙන් දක්වන අධික බිය
  2. ලිංගිකත්වය, ආගම හෝ හිංසාවන් සම්බන්ධයෙන් තමන්ට ම මානසික තහංචි පැනවීම
  3. තමන්ට හෝ අන් අය වෙත දැඩි කලහකාරී ස්වභාවයක් පෙන්වීම‍
  4. සෑම දෙයක් ම සමමිතික සහ අඩුපාඩුවක් නොමැති ලෙස සැකසීම
  5. පමණ ඉක්මවා පිරිසිදු කිරීම හෝ අත් පා පිරිසිදු කිරීම
  6. සෑම දෙයක් ම යම් නිශ්චිත පිළිවෙළකට තැබීමට අන් අයට අණ කිරීම
  7. කිසියම් දෙයක් නියමිත පරිදි තිබේ දැයි යළි යළිත් පිරික්සා බැලීම

ලෝකයේ බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් මෙයින් පෙළෙන අතර වයස අවුරුදු 19 වන විට මෙය නිශ්චිත ව හඳුනා ගත හැකි යි. මෙය වැළඳීම සඳහා හේතුකාරක ලෙස ජානමය සාධක, ළමා කාලය ගත කරන පරිසරය සහ මොළයේ ක්‍රියාකාරීත්වය සැලකෙනවා.

පැරෆ්‍රීනියා

appsgid.com

භින්නෝන්මාදයට (schizophrenia) තරමක් සමීප රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකි මෙහි දී සිදු වන්නේ විකෘති මායාවන් සහ ව්‍යාජ දර්ශනයන් පෙනී යාම යි. නමුත් මෙහි දී භින්නෝන්මාදයේ දී මෙන් පෞරුෂයේ හෝ බුද්ධියේ බිඳී යාමක් සිදු වන්නේ නැහැ. එසේ ම භින්නෝන්මාදය මෙන් ම පාරම්පරික ව නොවැළඳෙන මෙය වඩාත් බහුල ව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් අතර යි. ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර ව දක්නට ලැබුණ ද වැඩි වශයෙන් පැරෆ්‍රීනියාට ගොදුරු වන්නේ කාන්තාවන්. එසේ ම වැඩිහිටි පුද්ගලයන් 2% – 4% ප්‍රමාණයක් මෙමගින් පීඩා විදින බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා.

පැරෆ්‍රීනියාවට ගොදුරු වූවන් බොහෝමයක් දෙනෙක් තර්ක කිරීමට කැමැත්තක් දක්වන අතර අධි සංවේදී බවක්, පමණ ඉක්ම වූ ආගමික නැඹුරුතාවක් හෝ සැකයෙන් ජීවත් වන බවක් පෙන්වනවා. උදාහරණයක් ලෙස තමන් පසුපස පොලිසිය හඹා එන බව හෝ තම දුරකථනයට වෙනත් කිසිවෙක් රහසින් ඇහුන්කම් දෙන බව ඔවුන් විශ්වාස කරනවා.

බහුපෞරුෂ ආබාධය

youtube.com

විඝටනීය අනන්‍යතා අබාධය ලෙස ද හඳුන්වන මෙහි දී තමන්ට එකිනෙකට හාත් පසින් ම වෙනස් අනන්‍යතා දෙකක් හෝ කිහිපයක් පවතින බව විශ්වාස කිරීම සිදු වෙනවා. මෙය වැළඳීම සඳහා නිශ්චිත හේතුකාරක හඳුනාගෙන නොමැති වුව ද වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ ළමා කාලයේ දී දරුණු මානසික සහ කායික පීඩාවන්ට ලක් වූවන් අතර මෙය වඩාත් සුලබ බව යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපයේ විඝටනීය අනන්‍යතා අබාධයෙන් පෙළෙන 90% කට ආසන්න ප්‍රමාණයක් ළමා අපචාරයන් හි ගොදුරු බවට පත් වූවන්. ඕනෑම වයසක දී වැළඳිය හැකි මෙහි මුල් කාලීන රෝග ලක්ෂණ වන්නේ අධික ලෙස භයානක සිහින පෙනීම සහ අමිහිරි අතීත මතකයන් නිරන්තරයෙන් මතකයට නැගීම යි.

රෝග ලක්ෂණ :

  1. තමාට පැහැදිලි ව වෙන් කර හඳුනා ගත හැකි අනන්‍යතා දෙකක් හෝ කිහිපයක් ඇති බව විශ්වාස කිරීම.
  2. අනන්‍යතාවයට අනුව හැසිරීම, මතකය, දැනීම, හැඟීම් පහළ වීම සහ පුද්ගලයන් හඳුනා ගැනීමට ඇති හැකියාව වෙනස් වීම.
  3. පුද්ගලික මතකයන් අතර හිඩැස් පැවතීම.
  4. සමාජ සම්බන්ධතාවලින් බැහැර වීමට උත්සාහ කිරීම.

කවරයේ පින්තූරය : (Science ABC)

Related Articles