Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රට වලින් හමු වන අමුතු ක්‍රීඩා

ඕනෑම මිනිසෙකුගේ කුඩා කාලය වඩාත් ක්‍රීඩාශීලීයි. අවස්ථාව ලද සැණින් එළිමහනේ දුව පැන ඇවිදින්නට, මිතුරන් සමඟ විවිධ ක්‍රීඩාවන් වල නිරත වෙන්නට අති බහුතරයක් දරුවන් කැමැත්තක් දක්වනවා. ක්‍රීඩා කිරීමේදී අපි බොහෝ දෙනා හඳුනන ක්‍රීඩා පවා පිරිස, ඉඩකඩ හා උපකරණ වල සීමා සහිත බව නිසා අළුත් ආරකින් හෙවත් සමහර වෙනස්කම් සිදු කොට කිරීමට ඔවුන් දක්වන්නේ විශේෂ දක්ෂතාවයක්. සමහර විටෙක මේවා බලා සිටින වැඩිහිටියන්ට තමන් කිසි කළෙක නොදුටු පන්නයේ ක්‍රීඩා වල මොවුන් නිරත වෙන බව සිතෙන තරම් මේවා වෙනස්කම් වලට භාජනය කෙරෙනවා.

පොඩිත්තන්ගේ ක්‍රීඩා වල ස්වභාවය එසේ වුණත් සමහර විටක වැඩිහිටියන් යෙදෙන වෘත්තීමය ක්‍රීඩා පවා එක් රටක ජනප්‍රියම ක්‍රීඩාව වන විට තවත් රටක අයෙක්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක ක්‍රීඩාවක් වන්නට පිළිවන්. දකුණු ආසියාතිකයින්ට ක්‍රිකට් ක්‍රීඩාව උන්මාදයක් වන විට බහුතරයක් උතුරු ඇමෙරිකානුවන් එය ක්‍රීඩා කරන හැටිවත් දන්නේ නැහැ. ඇමෙරිකානුවන්ගේ පාපන්දු (American Football) ක්‍රීඩාව බහුතරයක් ලාංකිකයන්ට ආගන්තුකයි. මේ අතර ලෝකයේ මිනිසුන් ක්‍රීඩා කරන සමහර සුවිශේෂී ක්‍රීඩා තිබෙනවා. ඒවා බෝහෝ විට ලෝකයේම රටවල් එකකට දෙකකට හෝ සමහර විටෙක ප්‍රදේශයක පමණක් ප්‍රචලිතව ඇති අතර එම ක්‍රීඩාව පමණක් නොවෙයි ක්‍රීඩාව සිදු කරන ආකාරය පවා පිටස්තර ලෝකයට ආගන්තුක වෙනවා. ලෝකයේ දැකිය හැකි එවැනි ආගන්තුක ක්‍රීඩා කිහිපයක් ගැන මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළා.

භාර්යාව කර තබාගෙන යාමේ ලෝක ශූරතාවය

metro.co.uk/Daniel Lynch

ෆින්ලන්තය මේ අපූර්ව ලෝක ශූරතා තරගාවලිය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය උසුළනවා. මෙහිදී සිදු කළ යුතු වන්නේ බොහොම සරළ දෙයක්. එනම් අනෙකුත් තරගකරුවන්ට වඩා වේගයෙන් සිය භාර්යාව කර තබාගෙන දිවීමයි. ප්‍රධාන වශයෙන් මේ තරග පැවැත්වෙන්නේ නැගෙනහිර ෆින්ලන්තයේ පිහිටි කුඩා නගරයක් වන සොන්කජර්වි හී දියි. වෙනත් යුරෝපීය රටවලත් මේ වන විට මේ තරගය ප්‍රචලිතයි. මේ තරගය සඳහා සහභාගී වන්නන්ගේ භාර්යාවන්ගේ බර පිළිබඳව සීමවක් නැති අතර අවශ්‍යනම් වෙනත් කාන්තාවක් වුවද ඔසවාගෙන යා හැකියි. මේ සඳහා වෙබ් අඩවියක් පවා නිර්මාණය වී ඇති අතර ලොව ඕනෑම යුවළකට එහි ඇති නිල පෝරමය පිරවීමෙන් තරගයට ඇතුලත් විය හැකියි. (1)

චෙස් බොක්සිං

en.wikipedia.org

මේ ක්‍රීඩාවේ නිරත වීම සඳහා බුද්ධිය හා කාය ශක්තිය යන දෙකම තිබිය යුතුයි. මේ සඳහා බොක්සිං අත්වැසුම් දෙකක් අවශ්‍ය අතර තරගය පැවැත්වීම සඳහා චෙස් පෙතක් හා බොක්සිං වළල්ලක් යන දෙකම අවශ්‍ය වෙනවා. චෙස් තරග වට හයක් හා බොක්සිං වට පහක් අන්තර්ගත මේ තරගය ඇත්තෙන්ම චෙස් හා බොක්සිං ක්‍රීඩා වල මුහුමක්. බොක්සිං වළල්ලේදේ නොකවුට් දිනුමක් ලබා ගැනීමත් චෙස් පෙතේදී අනිකා ‘චෙක් මේට්’ කිරීමත් මේ තරගය ජයග්‍රහණය කළ හැකි හොඳම ක්‍රම වෙනවා. මෙහිදී චෙස් ඉත්තන් ඇදීම ඉක්මණින් සිදුවිය යුතු අතර බොක්සිං පහර කා සිටින විටක බුද්ධිය මෙහෙයවා චෙස් වැනි ක්‍රීඩාවක්ද කිරීමට සිදු වීම නිසා මෙය තරමක් අපසු ක්‍රීඩාවක් ලෙස සැළකෙනවා. (2)

මිනිසාට එරෙහිව අශ්වයා

Garreth Everett/Huw Evans Agency

වේල්සයේ මිනිසාට එරෙහිව අශ්වයා නම් ඉතා අපූර්ව තරගයක් පැවත්වෙනවා. මැරතන් තරගයක් වැනි මෙය රට හරහා දිවීමක් වෙනවා. මිනිසෙක් තමන්ගේ ශක්තිය හා වේගය උරගා බැලීම සඳහා තෝරාගත් අශ්වයෙකු සමඟ දිවීම සිදු කරන අතර සැතපුම් 22ක් දුර මේ තරගය තුළදී විවිධ බාධාවන් හමු වෙනවා. විවිධ කඳු, ලඳු, කැළෑ වැනි දේ පසු කරමින් දිවිය යුතු වන අතර සමහර භූ විෂමතා අශ්වයාටත්, සමහරක් මිනිසාටත් වාසි ගෙන දෙනවා. අවසාන උත්සාහය මිනිසා විසින් අශ්වයා පරාද කිරීමයි. මෑත ඉතිහාසයේ මේ තරගය ජයගෙන ඇත්තේ ඒ සඳහාම පිහිණුවීම් කළ එක් නාවුකයෙක් පමණයි. (1)

බොස් බෝල්

exploramas.com

සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයේ හා බ්‍රසීලයේ ප්‍රචලිත බොස් බෝල් ක්‍රීඩාව වොලිබෝල්, පාපන්දු හා ආත්මාරක්ෂක සටන් ක්‍රම කීපයක එකතුවක්. මෙම ක්‍රීඩාවේදී වොලිබෝල් ක්‍රීඩාවේදී යොදා ගන්නා ක්‍රීඩා පිටියටම සමාන පිටියක් හා දැලක් යොදාගන්නා අතර පන්දු පිරිනමන්නාට උඩ පැනීම සඳහා ‘ටැම්පර්ලයින්’ ක්‍රීඩාවෙහි මෙන් මෙට්ටයක් තබා තිබෙනවා. ඔහුට අමතරව තවත් ක්‍රීඩකයන් පස් දෙනක් එක් කණ්ඩායමකට ක්‍රීඩා කරන අතර මෙහිදී වොලිබෝල් වලදී මෙන්ම අනෙකුත් නීති සැකසී තිබෙනවා. එකම වෙනස පන්දුව හැසිරවීමෙදී අත් වෙනුවට පා හැසිරවීමෙන් එය සිදු කල යුතු වීමයි. (2)

මඩේ කිමිදීම

walesonline.co.uk

මහා බ්‍රිතාන්‍යයේ වේල්සයේදී පැවැත්වෙන අපිරිසිදු නමුත් අපූර්ව හා විනෝදගනක වූ මේ මඩේ කිමිදීම හෙවත් Bog Snorkeling නමැති ක්‍රීඩාව පැවැත්වෙන්නේ මඩ කඩිත්තක් ආශ්‍රිතව. මේ තරගයේදී තරගකරුවන්ට මඩ වතුරින් පිරි, යාර 60 ක දිගකින් යුතු මඩ ගෝහොරුවක් ඔස්සේ ගමන් කළයුතු වෙනවා. මෙහිදී ඇවිද යා යුතු අතර පිහිනීම කළ නොහැකියි. තත්පර 35 කින් මේ තරගය අවසන් කර දැනට ලෝක වාර්තාව තබා ඇත්තේ පිලිප් ජෝන් නැමැත්තෙක්. සෑම වසරකම අගෝස්තු 27 වනදා මේ තරගාවලිය වේල්සයේ Llanwrtyd Wells නම් කුඩා නගරයේදී පැවත්වෙනවා. (1)

හර්ලිං

rte.ie

තණ පිට්ටනියක් මත සිදු කෙරෙන වේගවත්ම ක්‍රීඩාව ලෙස සැළකෙන Hurling ඉතාම වික්‍රමාන්විත වූ එකක්. පාපන්දු, හොකී හා රග්බි වැනි ක්‍රීඩා කිහිපයක එකතුවක් ලෙස දිස් වෙන මේ තරග වල අයර්ලන්ත නිල ලීගයේ අවසන් තරගයට සාමාන්‍යයෙන් 80,000 -90,000 ක් වැනි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙනවා. මෙය ඇයර්ලන්තයේ ජනප්‍රියම ක්‍රීඩා වලින් එකක් වන අතර වසර 3000 ක පමණ ඉතිහාසයක් තිබෙනවා.

මේ ක්‍රීඩාවේදී එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 15ක් ඇතුළු වන අතර පන්දුව සිය අන්තයේ ගෝලය වෙත ගෙන යාමට ඔවුන් උත්සාහ කරනවා. පන්දුව පොළොවෙන් ඉහළ පවතීනම් අත් උපයෝගී කර ගෙන අල්ලා ගත හැකි අතර එය බිමට වැටුණු විට ඉහළට එසවිය යුත්තේ මේ තරගයේදී යොදාගන්නා පිත්ත මාර්ගයෙන්. පිත්තෙන් පන්දුවට ප්‍රහාර එල්ල කරන අතර මෙය ඉතාම වේගවත් වී පන්දුව පැයට කි.මී 120 -130 අතර වේගයෙන් ගමන් කරන අවස්ථා දකින්නට ලැබෙනවා.

අද වන විටත් අයර්ලන්තය හැරුණු කොටගෙන අනෙක් කිසිදු රටක් මේ ක්‍රීඩාව උත්සාහ නොකරන්නේ එහි ඇති අනතුරුදායක බව නිසායි. ඒ කෙසේ නමුත් අයර්ලන්තයේදී මේ ක්‍රීඩාව කරන විට හෙල්මට් පැළඳීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකනවා. (2)

පාපැදි හොකී

hockeygods.com

හොකී ක්‍රීඩාවේම දිගුවක් ලෙස සැළකෙන මෙහි එකම වෙනස ඔබ මොබ යෑම සඳහා සිය පාද වෙනුවට ක්‍රීඩකයන් විසින් තනි රෝදයේ බයිසිකලයක් පාවිච්චි කිරීමයි. හොකී ක්‍රීඩාවටත් වඩා අයිස් හොකී ක්‍රීඩාවට නැඹුරුතාවයක් දක්වන මෙය දිගු කාලයක් තිස්සේ ඇමෙරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ ක්‍රීඩා කෙරෙනවා. මේ ක්‍රීඩාව පිලිබඳ ලීගයන් ජර්මනියේ හා මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කර තිබෙනවා. (1)

1- (කවරයේ පින්තූරය -eventseekr.wordpress.com)

මූලාශ්‍ර

  1. oddee.com
  2. sportskeeda.com

Related Articles