Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘96 ලෝක කුසලානය දිනූ සිංහ පෝතකයන් වර්තමානයේ කොහිද? (දෙවැනි කොටස )

පළමු ලිපියෙන් 96 විජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයන් හය දෙනෙක් වර්තමානයේ කුමන ක්ෂේත්‍රයක් නියෝජනය කරනවාද යන්න ඔබ වෙතට ගෙන ආවා. අද ඉතිරි ක්‍රීඩකයන් පිළිබඳවයි මේ ලිපිය ලියවෙන්නේ. ඉතින් කියවලාම බලමු.

කුමාර් ධර්මසේන

කුමාර් ධර්මසේන (Daily News)

96 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ කුමාර් ධර්මසේන හෙවත් “උනන්දුවා” කියලා අපි කවුරුත් ආදරේට ආමන්ත්‍රණය කරන ඔහු පිටියෙන් තාමත් සමු අරන් නැති බව අපි හොදින් දන්නවා. හැබැයි කුමාර් පිටිය තුළ දැන් ඉන්නේ ජාත්‍යන්තර අධිශ්‍රේණි විනිසුරුවරයෙක් ලෙසයි.

96 අවසන් තරගයේදී ලකුණු 47කට එක් කඩුල්ලක් බිඳ දමන කුමාර් ධර්මසේන 2004 වර්ෂයේදී ක්‍රිකට් පිටියෙන් සමු ගන්නවා. 2006 වසරේ සිට දේශීය ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ ධර්මසේන 2011 වසරේ අන්තර්ජාතික අධිශ්‍රේණි විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවන් තේරීමේ කමිටුව මගින් 2015/2016 වසරවල ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා නම් කළ අධි ශ්‍රේණියේ විනිසුරුවන් 12 දෙනා අතරට යළිත් ශ්‍රී ලංකා‍වේ කුමාර් ධර්මසේන ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා.

2012 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් වසරේ හොඳම විනිසුරු සම්මානය ලබා ගන්නෙත් කුමාර් ධර්මසේනයි. එය මෙතෙක් කලක් ශ්‍රී ලාංකික විනිසුරුවරයෙක් ලබා ගත් ඉහළම සම්මානය වෙනවා. 2015 වසරේ ලෝක කුසලාන තරගාවලියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන අතර එහි අවසන් තරගය විනිශ්චය කරන්නේ රෝඩ් ටකර් විනිසුරුවරයා හා කුමාර් ධර්මසේනයි. 2016 පැවතුණු 20/20 ලෝක කුසලාන තරගාවලියේදීත් කුමාර් ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස සහභාගී වෙනවා.

එදත් අදත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ නිහතමානී, මහත්මා ගුණයෙන් කටයුතු කළ කුමාර් ධර්මසේන ක්‍රිකට් විනිසුරුවකු ලෙස ඉහළ වටිනාකමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් එක් කරන්නට සමත් වෙලා තියනවා.

රොෂාන් මහානාම

රොෂාන් මහානාම (Cricinfo)

1996 ලෝක කුසලාන කණ්ඩායමේ සුපිරිතම පන්දු රකින්නා වූ රොෂාන් සිරිවර්ධන මහානාම හෙවත් අපි කවුරුත් හොඳින් දන්නා මහානාම 1999 වසරේදී ක්‍රිකට් පිටියෙන් සමුගෙන නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස 2004 වසරේදී එකතු වෙනවා.

ජාත්‍යන්තර තරග තීරකවරයෙකු ලෙස රොෂාන් මහානාම ටෙස්ට් තරග 61ක්, එක්දින ජාත්‍යන්තර තරග 222ක් හා පන්දුවාර 20/20 තරග 35කදී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නෙත් මහානාමයි.

ලෝක කුසලාන තරගාවලි තුනක් හා 2009 වසරේ ICC චැම්පියන්ස් තරගාවලියෙත් තරග තීරකවරයා ලෙස කටයුතු කළ රොෂාන් මහානාම 2015 වසරේ අවසානයේදී ජාත්‍යන්තර තරගතීරක ධුරයෙන් සමු ගන්නවා. වසර දොළහක් තරග තීරකවරයෙක් වූ ඔහුගේ සමු ගැනීමට හේතුව ලෙස සඳහන් කරන්නේ තම පවුල කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීම හා ව්‍යාපාරික කටයුතුවලට පූර්ණ අවධානයක් යොමු කිරීමයි.

තම ව්‍යාපාරික කටයුතු වල නිරතවන රොෂාන් මහානාම මේ වන විට යුද්ධයෙන් බැට කෑ පුරවැසියන්ගේ ජිවන තත්වය වර්ධනය කිරීම සඳහා විවිධ ව්‍යපෘති සිදු කරනවා. එයට උදාහරණයක් ලෙස වවුනියාව බෝගස්වැව වෙහෙරතැන්න පිහිටි රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය තම ධනයෙන් ඉදිකර දීම දැක්විය හැකියි.

මුත්තයියා මුරලිදරන්

මුත්තයියා මුරලිදරන් (YouTube)

ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිටදඟ පන්දු යවන්නා වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ විශිෂ්ට සාමාජිකයෙක්. අවසන් තරගයේදී එක් කඩුල්ලක් බිඳ දැමීමට ඔහුට හැකි වෙනවා.

වසර 139ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් (කඩුලු 800 ක්) දවාගත් පන්දු යවන්නා ලෙසින් මෙන්ම එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් (534) දවාගත් පන්දු යවන්නාද වශයෙන් ලෝක වාර්තාව දෙකටම මුත්තයියා මුරලිදරන් හිමිකම් කියනවා.

වසර 2011 දී පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් මුත්තයියා මුරලිදරන් ඉන් අනතුරුව IPL හා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරනවා.

2008 වසරේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඇතුල් වී IPL ක්‍රිකට් දිවිය අරඹන මුත්තයියා අවසන් IPL තරගය ලෙස 2014 වසරේදී ක්‍රීඩා කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙසයි.

2016 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට මුත්තයියා මුරලිදරන්ගේ නම එකතු කරන්නට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරනවා. ඒ අනුව ICC විශිෂ්ටයන්ගේ  නාමාවලියට ඇතුළත් වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍ය හිමි වන්නේ මුරලිටයි.

චමින්ද වාස්

චමින්ද වාස් (ICC Cricket live)

වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස්ට තමයි ටෙස්ට් ක්‍රිකට් පිටියේ දිගම නම තියන්නේ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස වාස්ව හැදින්වීම නිවැරදියි. 96 අවසාන තරගයේදී කඩුල්ලක් බිද දැමීමට සමත් වෙන චමින්ද වාස් 2008 වසරේ එක්දින තරග වලිනුත් 2009 වසරේදී ටෙස්ට් තරග වලිනුත් සමු ගන්නවා.

2012 වසරේ නවසීලන්ත ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් 2013 වසරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එකතු වී 2015 දක්වා එම තනතුරේ කටයුතු කරනවා. 2016 වසර මුලදී අයර්ලන්ත වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නට ඔහු අයර්ලන්තයට පිටත් වෙනවා.

නැවතත් 2016 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස නව පත්වීමක් චමින්ද වාස්ට ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිට විවිධ වයස් කාණ්ඩ වල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සඳහා පුහුණු කර සුදානම් කිරීම වර්තමානයේදී චමින්ද වාස්ගේ මූලික කාර්ය භාරය වෙනවා.

උපුල් චන්දන

උපුල් චන්දන (ABC)

96 ජයග්‍රාහී සිංහ පොතක කණ්ඩායමේ සාමාජිකයෙක් වන උපුල් චන්දන දඟ පන්දු යවන්නෙක් මෙන්ම ඕනෑම කලාපයක පන්දු රැකීමේ දක්ෂයෙක් ලෙස ප්‍රසිද්ධයි. 2005 වසරේ ටෙස්ට් තරග වලින්ද 2007 වසරේ එක්දින තරග වලින්ද සමුගන්නා උපුල් චන්දන 2009 වසරේ Chandana Sports නමින් ක්‍රිකට් ඇකඩමියක් ආරම්භ කරනවා.

2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුසලතා ඉහළ නැංවීමේ පුහුණුකරුවෙක් ලෙස පත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපනය කළ ඒකකයේ දඟ පන්දු යවන්නන්ගේ හා පන්දු රකින්නන්ගේ පුහුණුකරු ලෙසයි මෙම පත්වීම ලබන්නේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, සංවර්ධන සංචිතය හා 19න් පහළ සංචිතයන්හි ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගෙන වර්ධනය කරවීම උපුල් චන්දනගේ වර්තමාන කාර්යය වෙනවා.

හෂාන් තිලකරත්න

හෂාන් තිලකරත්න (Cricinfo)

1996 ලෝක ශූර කණ්‌ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායකයෙක්ද වෙනවා. 2003 වසරේ එක්දින තරග වලින්ද 2004 වසරේ ටෙස්ට් තරග වලින්ද සමුගන්නා හෂාන් තිලකරත්න අනතුරුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා.

වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපනය කළ ඒකකයේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු එම තනතුර භාර ගනිමින් මෙසේ ප්‍රකාශ කරනවා.

“දේශපාලනය කළ නිසා මගෙන් ක්‍රිකට් වලට වෙන්න තිබූ සේවාවට බාධා එල්ල වුණා. නමුත් ඉදිරියේදී මම දිගටම ක්‍රිකට් එක්ක ඉන්නවා.”

චන්දික හතුරුසිංහ

චන්දික හතුරුසිංහ (Dhaka Tribune)

96 කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙක් වන චන්දික හතුරුසිංහ මේ දිනවල අප කා අතරත් ජනප්‍රියයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති සියළු තරගාවලි ජය පරාජයකින් තොරව නිමා කරමින් දස්කම් පෑ බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි. 2009 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ 2011දී කැනඩාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහු 2014 වසරේ සිට මේ දක්වා බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ පුහුණුකරුවෙකු ලෙස චන්දික හතුරුසිංහ මේ වන විට ලොව පුරා ජනප්‍රියයි.

පසුගිය දා ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් හතුරුසිංහ මෙසේ ප්‍රකාශ කරනවා.

මට රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණා. ඒ ගැන කණගාටුයි. එත් දැන් කරන දේ හැකි උපරිමයෙන් කරනවා.

මෙම ක්‍රීඩකයන්ට අමතරව අතිරේක ක්‍රීඩකයන් ලෙස 96 විජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ රවින්ද්‍ර පුෂ්පකුමාර හා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනාත් වර්තමානය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධව කටයුතු කරනවා.

එදා 96 කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාවට අයත් කරදුන් ජයග්‍රහණ වලින් නොනැවතී කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයන් පාහේ තම අත්දැකීම් නවකයන් හා බෙදාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව වර්තමානයේදී අපට පෙනී යනවා.

කවරයේ පින්තුරය: The Cricket Monthly

Related Articles