Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනාන්තරෙන් ලැබෙන ශක්තිය ලබාදෙන පලතුරු

අපි පුංචි කාලෙ පොළට ගියහම ගල්සියඹලා අරන් කන්න හරි ආසයි. ඒ විතරක්ද, කෝන් වාරයට කෝන් වලු පිටින් පොළේ විකුණන්න තිබුණා. මෑතක් වන තෙක් නුගේගොඩ – දෙල්කඳ පොළේ දීත්, දුරබැහැර ගම්වල සතිපොළවලදීත් මේවා ලබාගත හැකි වුණා. ඒත් දැන් දැන් මේ වනයෙන් ලැබෙන පලතුරු දැකගැනීම තරමක් අසීරුයි. අපේ අම්මලා තාත්තලා බාල කාලේ දී කාපු, අද කලාතුරකින් දකින්න ලැබෙන, සිරුරට ගුණදායක එවැනි පලතුරු වර්ග කීපයක් ගැන පවසන්නයි මේ උත්සාහය.

ගල් සියඹලා

ගල් සියඹලා (Wikimedia.org)

කළු පැහැති ඵලයකින් යුත් ගල් සියඹලා වියළි කලාපයේ වනාන්තරවල හැදෙන පලතුරක්. මෙම පලතුර ගෘහස්තව වගා කළ හැකි වුවත් ඒ සඳහා අපි කිසිවෙකු පෙළඹෙන්නේ කලාතුරකින්. පල නෙළා ගැනීම සඳහා ගස්වල අතු කපා දැමීම නිසා මෙම ශාකවලට විශාල හානියක් වෙනවා.

වියළි කලාපයේ අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල, මොණරාගල සහ අම්පාර ආදී දිස්ත්‍රික්කවල ගල් සියඹලා බහුලව පැතිර තිබෙනවා. වසරේ පෙබරවාරි – මැයි දක්වා මාස තුළ මල් පිපීම ඇරඹෙන ගල් සියඹලා වෙළඳපොලෙහි දක්නට ලැබෙනුයේ අගෝස්තු සිට නොවැම්බර් දක්වා වූ කාලය තුළදීයි.

ගල් සියඹලා ගෙඩි (asienfan.files.wordpress.com)

ඇඹුල් සහ පැණි රස මිශ්‍ර මෙම පලතුර විටමින් ඒ, සී සහ රයිබෝප්ලෙවින්. මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම් වැනි පොෂ්‍ය පදාර්ථවලින් සමන්විතයි. අධි රුධිර පීඩනය, ඇදුම සහ ශ්වසන රෝගවලට ගුණදායකයි. ආමාශයික දැවිල්ලට ගල් සියඹලා කොළ තැම්බූ වතුර ගුණදායක බවද පැවසෙනවා.

මෙම ශාකය වඳවීයාමේ අවදානම නිසාම වගාකළ හැකි පලතුරක් ලෙස වැඩි දියුණු කිරීම ඉතා කාලෝචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු බෝග පර්යේෂණ මධ්‍යස්ථානයේ අදහසයි.

ගල් සියඹලා ඉතා සෙමින් වැවෙන ශාකයක්. වියළි දේශගුණික තත්ත්ව යටතේ හොඳින් වැඩෙනවා. හොඳින් ජලය බැසයන පසක් වඩාත් සුදුසු වන අතර කුඩා අවධියේදී තද හිරු එළිය යෝග්‍ය වන්නේ නැහැ.

ගල් සියඹලා විශාල බඳුන්වල සිටුවා කුඩා ගෙවත්තක වුවද වගාකර ගත හැකියි. අාහාරයට මෙන්ම භූමි අලංකරණයටත් සුදුසු ඉතා දැකුම්කළු ශාකයක්.

මොර

මොර ගසක් (tropical.theferns.info)

ඉංග්‍රීසි බසින් මේ ගස හඳුන්වන්නේ Dragons eye කියලයි. එයට හේතුව මොර ගෙඩිය ඇතුළත ඇති බිජය වටා සුදු පැහැති ජෙලි ආකාරය නිසා විය හැකියි. පැණි රසැති මොර හරියට රඹුටන් වගේ. එහි රසය වගේම සුවඳත් මොරවලටම ආවේණිකයි. ලෝකයේ ජනප්‍රියම පලතුරක් වුවත් ලංකාවේ එය අත්හැර දැමූ ශාකයක් වෙලා.

මොර කියන්නේ වියළි කලාපයේ වගේම තෙත් කලාපයේත් වනාන්තරවල ස්වභාවිකව වැඩෙන ගසක්. මොර මල් හටගත් කාලයට මුළු ගසම කලාලයක් එලුවා වගේ අලංකාර වෙනවා.

දුඹූරු පැහැති ඵලය තුළ ඇත්තේ එක් බීජයක් පමණයි. මස් මොර, පැණි මොර හෝ රස මොර ලෙස විවිධ නම්වලින් මේ ගෙඩි හඳුන්වනවා. ඒ ගෙඩිය තුළ මදය පිහිටා ඇති ආකාරය අනුවයි. හරියට රඹුටන්වලට විවිධ නම් භාවිත කරනවා වගේමයි.

ඉදුණු මොර ගෙඩි (thai-food-online.co.uk)

ප්‍රෝටීන්, කැල්සියම්. පොස්පරස්, යකඩ, මැග්නීසියම් ආදී පෝෂ්‍ය පදාර්ථවලින් මේ පලතුර පොහොසත්. කොළ, ගෙඩි, මුල්, පොතු ඖෂධ වශයෙන් ද භාවිත කරනවා. මොර ශාකයත් වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා. එයට හේතුව වන්නේ ගෙඩි නෙළා ගැනීමට අතු කපා දැමීම වගේම ස්වභාවික වනාන්තර විනාශයයි.

තායිලන්තය, චීනය වැනි රටවල මොර ඵලවල වර්ණය හා රසය නොනැසී පවතින සේ වියළා හෝ අධිශීත කර පසුව නැවුම් පලතුරු වශයෙන් භාවිත කරනවා. එම රටවල මොර සඳහා හොඳ දේශීය මෙන්ම අපනයන වෙළඳපොළක් ද තිබෙනවා. මොර ශාකයේ පංචාගයම හෙවත් සෑම කොටසක්ම ඖෂධ ගුණයෙන් යුතු බවත් පත පොතෙහි දැක්වෙනවා. එමෙන්ම මොර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත බවත් තරුණ බව රැක ගැනීමට ඉවහල් වන බවත් පැවසෙනවා. ඉතින් වයසට යන්න අකමැති අයට මොර දිවඔසුවක්.

හිඹුටු

ඉදුණු හිඹුටු (yamu.lk)

මේ අපූරු පලතුර විශාල ගස් වශයෙන් නොව පඳුරු ආකාරයට හැදෙන ශාකයක්. තෙත් කලාපයේ වනාන්තර වගේම කුඩා ළඳු කැලෑවලත් හිඹුටු පැතිර තිබෙනවා. අද වන විට හිඹුටු වඳවී යන ශාකයක් බවට පත්වෙලා. මේ නිසා දැන් කුඩා ළඳු කැලෑවල නම් හිඹුටු දකින්න අමාරුයි.

ඇඹුල් රසයත් සමඟ එන පැණි රසක් හිඹුටු ගෙඩිවල මදයේ තිබෙනවා. ලා කහ පැහැති මදය ජෙලි ආකාරයක් ගන්නවා. හිඹුටුවල අධික පෝෂණයක් තිබෙනවා. දියවැඩියාවට එහෙමත් සෑහෙන්න හොඳයි.

කෝන්

කෝන් ගසක් (Bp.blogspot.com)

අප රටේ වියළි කලාපයේ වනාන්තරවල වගේම ගම්මාන ආශ්‍රිතවත් කෝන් ගස් දැකගත හැකියි. මීටර් 25ක් පමණ උසට මේ ගස වැවෙනවා.

කෝන් විටමින් සී, ඩී වගේ විටමින් තොගයකින් පිරුණු පලතුරක්. මේවා ටිකක් ඇඹුල් වුණත් හොඳටම ඉඳුණු ගෙඩිවල පොඩි පැණි රස ගතියකුත් තියනවා. වියළි කලාපීය ප්‍රදේශවල ගම්බද දරුවන් කෝන් කන්නට ගොඩක් ආසයි. දුඹුරු පැහැති ගෙඩිය තුළ ඇති මදය තැඹිලි පැහැතියි.

කෝන් හැදෙන්නේ පොකුරු වශයෙන්. කෝන් ගෙඩිය වෙරළු ගෙඩියක් තරම් ප්‍රමාණයෙන් යුක්තයි. කොහොම වුණත් කෝන් නම් ගෙඩි හැදෙන වාරයට තවමත් කොළඹ මාකට් එකටත් එන එක ගැන නම් අපට සන්තෝසයි.

පැසුණු කෝන් (tropical.theferns.info)

ආයුර්වේදයට අනුව කෝන් උෂ්ණාධික පලතුරක්. කෝන් ශාකය ඖෂධීය ගුණයෙන් ඉහළ ගසක් ලෙසත් සැලකෙනවා. අතීසාරය, කොළරාව, වාත වේදනා, හිසරදය, උණ, සෙංගමාලය ආදී රෝගවලට එහි කොළ, පොතු, මල්, ඇට, මුල් ආදිය භාවිත කරනවා. කෝන් ඇටවලින් ලබාගන්නා තෙල් හිසකෙස් වර්ධනයට හිතකරයි. ඒ වගේම ආහාර පිසීමටත් කෝන් තෙල් පුරාණයේදී යොදාගෙන තිබෙනවා. කෝන් ලිංගික ශක්තිය වඩන පලතුරක් ලෙසත් සැලකෙනවා.

වීර

වීර ගසක් (Wikimedia.org)

ශක්තිමත් කඳකින් යුත් වීර ගස වියළි කලාපයේ වනාන්තරවල සුලබයි. මේවායේ වර්ෂයකට එක් වරක් ඵල හට ගන්නවා. පෙනුමින් ලොවි ගෙඩි වගේමයි. හැබැයි ඊට වඩා පොඩියි. ඇඹුල් ගතියක් සහිත පලතුරක් වුණත් හොඳටම ඉඳුණු ගෙඩිවල ලා පැණි රසකුත් තියෙනවා. වීර වාරයට වීර අතු පිටින් කඩා දමා ගෙඩි කඩා ගන්නවා. අපි විතරක් නෙවෙයි, මේ පළතුර වඳුරන්, මුවන්, ගෝනුන්, වලසුන් වැනි වන සතුන් ද ප්‍රිය කරන ආහාරයක්.

අනුරාධපුර, පොළොන්නරු නටබුන් නගර ආශ්‍රිතවත් වීර ගස් සුලබව දැකගත හැකියි. පොසොන් මාසයේ උදාවත් සමඟ වීර ගස් ගෙඩිවලින් බරවෙනවා.

පඩ

ඉදී කහ පැහැ වූ පඩ ගෙඩි (yamu.lk)

මේක නම් ළඳු කැලෑවල වගේම ගෙවතුවලත් පැතිරීයන වැල් වර්ගයක්. තෙත් කලාපයේ තමයි වැවෙන්නේ. අපි නම් පුංචි කාලේ කැලෑ පීර පීරා පඩ ගෙඩි හෙව්වා. ඒවා එ් තරම් රසයි. ඇත්තටම රසින් වගේම පෙනුමිනුත් පැෂන් පෘට්වලට සමානයි. විටමින් ඩී සහ සී සෑහෙන්න තියෙන පලතුරක් වශයෙන් ද සැලකෙනවා.

ඒ හැරුණාම ඉතින් පඩ දලු මැල්ලුම්වලට එහෙමත් ගන්නවා. ඒ වගේම මෙම වැල ඖෂධයක් ලෙසත් ආයුර්වේදයේ සඳහන් වෙනවා. ආයුර්වේදයේ මෙම ශාකය වැල් රඹුටන් ලෙස සඳහන් වෙනවා. ඵලය පිංපොං බෝලයක ප්‍රමාණයෙන් යුක්තයි. එය පහසුවෙන් පොඩි වෙනවා. අද ළඳු කැලෑ සහ බඩවැටි අහිමිවෙමින් යන නිසා පඩ ගෙඩි සොයාගැනීමත් ලෙහෙසි නැහැ.

මාදං

මල් පිපුණු මාදං ගසක් (Wikimedia.org)

ශ්‍රි ලංකාවේ වියළි කලාපීය වනාන්තරවල ළඳු කැළෑ ආශ්‍රිතව ස්වාභාවිකව වැවෙන මාදං තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේද සරුවට වැවෙනු දක්නට ලැබෙනවා. මෙය මීටර් 5- 10 දක්වා උස්ව වැඩෙන අලංකාර ශාකයක්.

සෙවන ශාකයක් ලෙසත්, වන වගා සඳහාත් භාවිත කිරීමේ හැකියාවක්ද තිබෙනවා. වෙනත් වගාවක් කිරීමට නුසුදුසු වගුරු බිම්වල වුවද මෙය හොඳින් වැවෙනවා. මාදං නියඟයට මෙන්ම ජල ගැලීම්වලටත් ඔරොත්තු දෙන ගසක්. වියළි කලාපයේ වැව් ආශ්‍රිත තෙත්බිම්වල බහුලව දැකගත හැකියි. දඹ ලෙසත් මේ ගස සමහර ප්‍රදේශවල හඳුන්වනවා. මෙහි දැවත් භාවිතයට ගන්නවා.

පොකුරු වශයෙන් හැදෙන මාදං ගෙඩි ඉදෙන විට තද දම් පැහැතියි. පැණි රස හා ඇඹුල් මිශ්‍රවූ රසක් සහිත මෙම ගෙඩි කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රියයි. කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් සී වලින් මෙම පලතුර පොහොසත්. එමෙන්ම මාදං ඖෂධීය ගුණයෙන්ද ඉහළයි. දියවැඩියාව ආදී රෝග ප්‍රතිකාර සඳහා මාදං ශාක කොටස් භාවිතා කරනවා.

ජුනි, පූලි මාසවලදී මාදං ගෙඩි හැදෙනවා. ඒවා පොකුරු වශයෙන් පවතින කාලයේ වනාන්තරයේ පක්ෂීන් ද මේ ගස්වලට බහුලව පැමිණෙනවා.

කවරයේ රූපය : Vitamin Class

මූලාශ්‍ර:

  1. www.doa.gov.lk/
  2. ඔසුතුරු විසිතුරු – ආයුර්වේද දෙපාර්තමේන්තුව
  3. සිරිලක ගස්කොළන් අත්පොත – වනජීවී උරුම භාරය
  4. worldbeyondworld.blogspot.com

Related Articles