Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔස්ට්‍රියාවේ මැක්‍රොන් වීමට තනන සෙබස්ටියන් කර්ට්ස්

ජර්මනියේ මැතිවරණය සැප්තැම්බර් 24 වනදා පැවැත්වීමට නියමිතයි. අප මීට ටික දිනකට පෙර ඒ පිළිබඳ ලිපියක් ඔබ වෙත ගෙන ආවා ඔබට මතකත් ඇති. අද අප අවධානය යොමු කරන්නේ ජර්මනියේ අසල්වැසි රටක් වන​, එමෙන්ම ජර්මන් භාෂාව කතා කරන ජනතාවක් වසන ඔස්ට්‍රියාවේ ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙන මහ මැතිවරණය පිළිබඳවයි.

ඔස්ට්‍රියාවේ විදේශ ඇමති සෙබස්ටියන් කර්ට්ස් ඉතා කෙටි කලෙකින් දේශපාලනයේ ඉහළට​ නැගි පුද්ගලයකු වනවා. පසුගිය අගෝස්තු 27 වනදා සිය 31 වන උපන් දිනය සැමරූ ඔහු 2013 දී විදේශ ඇමති ධූරයට පත් වනවිට වයස අවුරුදු 27 ක් පමණක් වුණා. මේ අනුව ඔස්ට්‍රියාව ජනරජයක් වූ පසු ඉතිහාසයේ ලාබාලම ඇමතිවරයා ලෙස ඔහු වාර්තා පොත්වලට එක් වුණා. ඔක්තෝබර් 15 වනදා පවත්වනු ලබන ඔස්ට්‍රියානු මහ මැතිවරණයේදී එරට ලාබාලම චාන්සලර් (අගමැති) ලෙස පත්වීම ඔහුගේ අභිලාෂය වනවා.

කර්ට්ස් මෙම ගමනේදී තම දේශපාලන පක්ෂය වන ඔස්ට්‍රියානු ජනතා පක්ෂය (Austrian People’s Party – ÖVP) තම අණසක යටතට ගත්තා. ඔහුගේ බලාපොරොත්තුව වන්නේ ප්‍රංශයේ එමානුවෙල් මැක්‍රොන් සිදුකළ පරිද්දෙන් නව බලවේගයක් ගොඩ නැගීමයි. කෙසේ වෙතත් මැක්‍රොන් මෙන් නව දේශපාලන ව්‍යාපාරයක් මුල සිට ගොඩ නැගීම වෙනුවට කර්ට්ස් බලාපොරොත්තු වන්නේ පවතින පක්ෂයක් තමන්ට අවශ්‍ය පරිදි සකසාගෙන මැතිවරණය ජය ගැනීමයි.

විදේශ ඇමති ලෙස​

සෙබස්ටියන් කර්ට්ස් ඔස්ට්‍රියාවේ වියානා අගනුවරදී උපන්නේ 1986 අගෝස්තු 27 වනදායි. 2009 දී ඔස්ට්‍රියානු ජනතා පක්ෂයේ තරුණ ශාඛාවේ සභාපති ලෙස පත් කරගන්නා ලද කර්ට්ස් 2011 දී ඒකාබද්ධතාව පිළිබඳ රාජ්‍ය ලේකම් (State Secretary for Integration) නම් අලුතින්ම නිර්මාණය කෙරුණ තනතුරකට පත් වුණා.

මේ අතර 2011 දී ඔහු සිය නීති අධ්‍යාපනය අතැර පූර්ණකාලීනව දේශපාලනය සඳහා පිවිසුණා. 2013 මහ මැතිවරණය වනවිට ඔහු එරට ජනප්‍රිය දේශපාලකයකු බවට පත්ව සිටියා.

2013 මහමැතිවරණයේදී කර්ට්ස් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මෙහිදී ඔස්ට්‍රියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 57 ක් ද​, ඔස්ට්‍රියානු ජනතා පක්ෂය ආසන 51 ක් ද දිනා ගත්තා. අන්ත දක්ෂිණාංශික ඔස්ට්‍රියානු නිදහස් පක්ෂය ආසන 40 ක් ලබාගෙන ආසන 183 කින් යුතු පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට පත් වුණා. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙක එක්ව සභාග ආණ්ඩුවක් පිහිටවූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වර්නර් ෆේමන් චාන්සලර් ලෙස පත් වුණා. 2013 දෙසැම්බරයේදී කර්ට්ස් එරට විදේශ සහ සමාජ ඒකාබද්ධතා ඇමති ලෙස පත් කෙරුණා.

ඔස්ට්‍රියානු ජනතා පක්ෂ මූලස්ථානය (DW)

විදේශ ඇමතිවරයා ලෙස කර්ට්ස් මුල් කාලීනව අන්තර්ජාතික අර්බුද විසඳීමේදී මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඔස්ට්‍රියාවේ වියානා නගරය අන්තර්ජාතික සංවිධාන කිහිපයකම මූලස්ථාන පිහිටි ස්ථානයක් බැවින් ජාත්‍යන්තර දේශපාලනයේදී වැදගත් තැනක් ගන්නවා. කර්ට්ස්ගේ මැදිහත්වීම යටතේ ඉරානය සමඟ වූ න්‍යෂ්ඨික ගිවිසුම පිළිබඳ සාකච්ඡා සහ යුක්‍රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා ද සිදු කෙරුණා.

මේ අතර 2015 දී යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය බරපතල වූ විට වඩා තද දේශසීමා ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බව කර්ට්ස් ප්‍රකාශ කළා. එමෙන්ම රටෙහි ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම සඳහා මුස්ලිම් පල්ලිවලට විදෙස් මගින් මුදල් ලැබීම තහනම් කිරීම. ඉමාම්වරුන්ට වැටුපක් ගෙවීම, කුරාණය විවිධ ලෙස අර්ථකථනය වැළැක්වීමට එහි නිල සංස්කරණයක් භාවිත කිරීමට නියම කිරීම ආදී නීති ඔහු විසින් යෝජනා කෙරුණා. මෙයින් කුරාණය පිළිබඳ යෝජනාව නැතත් අනෙකුත් යෝජනා ඇතුලත් නීතියක් පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණා.

ජනතා පක්ෂයේ නායකත්වයට​

සිය ජනප්‍රියත්වය හේතුවෙන් කර්ට්ස් ඔස්ට්‍රියානු ජනතා පක්ෂය තුළ සිය බලය වර්ධනය කරගැනීමට සමත් වුණා. මේ අනුව 2017 මැයි 10 වනදා එවකට පක්ෂයේ සභාපති සහ ඔස්ට්‍රියාවේ උප චාන්සලර් වූ රයිනෝල්ඩ් මිටලේනර් සිය තනතුරුවලින් ඉල්ලා අස් වුණා. මේ අනුව කර්ට්ස් ඔස්ට්‍රියානු ජනතා පක්ෂ නායකත්වයට පත් වුණ අතර එය ජූලි 1 වනදා ස්ථිර කරනු ලැබුණා.

මේ අතර සිය පක්ෂය පාලක සභාගයේ සාමාජිකයකු වීම නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කර්ට්ස් නව මැතිවරණයක් කැඳවීමට බල කළා. මේ අනුව ඔක්තෝබරයේදී නව මැතිවරණය පැවැත්වෙනු ඇති.

Austrian Vice රයිනෝල්ඩ් මිටලේනර් (Reuters)

මෙම මැතිවරණයේදී ඔස්ට්‍රියානු ජනතා පක්ෂය එනමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වෙනුවට එය සෙබස්ටියන් කර්ට්ස් ලයිස්තුව – නව​ ජනතා පක්ෂය (ජර්මන් නම –  “Liste Sebastian Kurz – Die neue Volkspartei”; ඉංග්‍රීසියෙන් –  The Sebastian Kurz list – The New People’s Party) යන නමින් තරග කරනු ඇති. කර්ට්ස් සඳහන් කරන්නේ තමන් පවතින ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන බවයි. එමෙන්ම ඔස්ට්‍රියානු ජනතා පක්ෂයේ සාමාජිකයන් නොවුණද තමන් සමඟ එක්වීමට කැමති වෘත්තිකයන් ආදීන්ට මෙවර පාර්ලිමේන්තුවේදී තම දේශපාලන ව්‍යාපාරය හරහා තරග කළ හැකි බව ඔහු කියා සිටියා.

ඔහු ප්‍රකාශ කරන්නේ පැරණි දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඔහුට හැකියාව මෙන්ම අධිෂ්ඨානය ද ඇති බවයි. වඩා ශක්තිමත් සංක්‍රමණික ප්‍රතිපත්තියක් මගින් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට වැට බඳින අතර නීත්‍යානුකූල සංක්‍රමණිකයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි සිය අවධානය යොමුවන බව ඔහු ප්‍රකාශ කරනවා.

සෘජුවම චාන්සලර්වරයා තෝරාගන්නා ක්‍රමයක් පැවතියේ නම් (ජනාධිපතිවරණයක් වැනි) කර්ට්ස් පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි ජනමත විමසුම්වලින් පෙනීගොස් තිබෙනවා. මහමැතිවරණයේදී ඔහුගේ පක්ෂය සියයට 30 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි දැනට පෙන්නුම් කෙරෙන නමුත් එයට බහුතර බලයක් ලැබේද යන්න සැක සහිතයි.

Cover Image: සෙබස්ටියන් කර්ට්ස් (Jurica Galoic/PIXSELL)

Related Articles