Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහසත් පොළොවත් යා කරන බොලිවියාවේ සොඳුරු ඉසව්ව

විශ්වය ඇතැම් විටෙක කැඩපතක්. නිල්වන් නිසල දිය කඳකට එබෙන ඇසකට මේ විශ්වය සිහිපත් කරවාලන්නේ අපූර්වතම සොබාදහම තුළින් මිනිසා විසින් තමාව ම දැකගත යුතු බව යි. ආරක්ෂා කරගත යුතු සොබාදහම මිනිසාට දායාද කර තිබෙන තවත් අපූරු සම්පතක් බොලිවියාවෙන් හමුවෙනවා. ‍අනන්තය දක්වා නිමක් නොමැති ව දිවෙන විනිවිද පෙනෙන පළිඟු පොළොවත් නිල්වන් අහසක්, දෙකක් නොව එකක්යැ යි සිතෙන තරමට මෙහි වර්ණයන් සමාන යි. සිටගෙන සිටින පොළොව මතුපිටින් ම තමාගේ රූපය දිස්වන තරමට ම පොළොව විනිවිද පෙනෙනසුලු යි. ව. කි. මී. 10,582ක් පුරා විහිදී පවතින ලොව විශාලතම බොලිවියාවේ ලුණු විල Salar de Uyuni (or Salar de Tunupa). මෙය කාලයකට මිඳුණු කැඩපතක් බඳු යි. බොලිවියාවේ නිරිතදිග දෙසින් ඇන්ඩීස් (Andes) ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබෙන මෙම අපූරු ස්වභාවික කැඩපත මත සිටගන්නෙකුට ඇති වන්නේ, තමා කිසියම් මායා කතාන්දරයක පවත්නා දර්ශන තලයක සිටගෙන සිටින්නාක් බඳු හැඟීමක්. මෙහි පවත්නා ලුණු ස්ථරය ඇතැම් අවස්ථාවන්හි දී මීටර් 10ක් තරම් ඝනකමට වර්ධනය වනවා.

ඝනීභවනය වූ ලුණු (Travels with my Art)

මෙම අපූරු ඉසව්ව, ජලයෙහි සහ ලුණු ස්ථරයන්හි අපූරු මිශ්‍රණයක්. යම් හෙයකින් මෙම භූමිය කැණ බලන්නෙකු ව පුදුමයට පත් කළ හැකි ආකාරයේ භූ ස්ථර සංයෝජනයක් මෙහි පවතිනවා. මෙම ප්‍රදේශය කාලයන් දෙකක දී පවතින්නේ ස්වරූපයන් දෙකකින්. එක් කාලයක දී මෙම භූමිය ලුණු වියලුණු, වියළි පෙනුමක් සහිත ලුණු ගොඩැල්ලක් ලෙසින් දිස්වනවා. තවත් කාලයක දී මෙය දිස්වන්නේ තෙත් ස්වභාවයකින්. මේ අවධියෙහි දී ලුණු තට්ටුව මතු පිටින් කුඩා ජල ස්ථරයක් බිහිවෙනවා. නමුත් මෙය එතරම් ඝන වූවක් නොවෙයි. මෙම භූමිය මතින් වාහනයක් වුවත් ධාවනය කළ හැකි ආකාරයේ ඉතා කුඩා ජල ස්ථරයක්. ඇතැම් අවස්ථාවන්හි දී අහසත් මෙම භූමියත් ඈතින් එකිනෙකට වෙන්කර ගැනීම පවා අපහසු යි. එය මවාලන්නේ එතරම් විචිත්‍ර දර්ශනයක්. මැයි මස සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ මෙහි ලුණු දිය වාෂ්පවීමට ලක් වෙනවා. එහි දී ඝනීභවනය වූ ලුණු ස්ථර තැන් තැන්වලින් දැකගන්නට පුළුවන්. මැයි මස දක්වා මෙය ජල ස්ථරයකින් වැසී පවතිනවා.

ලුණු තට්ටු (mundo.sputniknews.com)

මෙම මනරම් භූමිය පවතින්නේ යුයුනි (Uyuni) නමැති කුඩා නගරය ආසන්නයේ යි. එම කුඩා නගරය කරා ගුවන් මාර්ගයෙන් වුව ළඟා විය හැකියි. මෙම කුඩා නගරයේ, කුඩා ගුවන් තොටුපළක් ද පිහිටා තිබෙනවා. බොලිවියාවේ අගනුවර වන ලා පාස් (La Paz) නුවර සිට යුයුනි දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රදේශයේ සංචාරය කරන්නන් සාමාන්‍යයෙන් දින තුනක් හෝ හතරක් පමණ මෙහි නැවතී සංචාරය කරනවා. ප්‍රදේශය පුරා සංචාරකයන් ව රැගෙන යාමට ලෑන්ඩ් කෘෂර් රථ සේවයකුත් ක්‍රියාත්මක යි. මෙම ප්‍රදේශය සංචාරකයන්ගේ ආගමනයන් හේතුවෙන් දූෂණය වීම වැළැක්වීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම පරිසරයේ මිහිර වඩාත් විඳගැනීමේ අදහසින් තාවකාලික කූඩාරම් තැනීමට සංචරකයන් උත්සාහ දරනවා. එය එම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවට විශාල තර්ජනයක්. ඒ හේතුවෙන් නීතිමය වශයෙන් එය තහනමට ලක් කර තිබෙනවා. ඒ වෙනුවට අවට ස්ථාපිත කර තිබෙන බලපත්‍ර ලත් ලැගුම්හල්වල නතරවීමට සංචාරකයන්ට දන්වා තිබෙනවා. ලොව විශාලතම ලුණු විල පමණක් නොවෙයි, ලොව විශාලතම ලිතියම් සංචිතය පවතින්නේත් මෙම කලාපයේ යි. ලිතියම් ප්‍රමාණයෙන් 50% – 70%ත් අතර ප්‍රමාණයක් සැපයෙන්නේ මෙම ප්‍රදේශයෙන්.

ලවණ දිය (Imgur)

මෙම ප්‍රදේශය නැරඹීමට යන පුද්ගලයන් රැගෙන යා යුතු අත්‍යවශ්‍ය ම ද්‍රව්‍ය සහ මෙවලම් කිහිපයක් පවතිනවා. විදුලි පන්දම් හා අදාළ ප්‍රදේශය තුළ පවත්නා වැසිකිලි භාවිත කිරීමට මුදල් අය කෙරෙන බැවින් ඒවාට ලබා දීම සඳහා අවශ්‍ය කාසි, අනන්තය දක්වා විහිදෙන සේ පෙනෙන ලුණු ස්ථරයන් ඇස් අන්ධ කරවාලන තරම් ආලෝකයෙන් යුත් බැවින් එකී අන්ධතාවෙන් වැළකීමට අවශ්‍ය අව් කණ්ණාඩි, කැමරා, අමතර පානීය ජලය, හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ආවරණ සහ ආලේපන, නිදන බෑග්, ශරීරය උණුසුම් කරවාලන ආකාරයේ උණුසුම් ඇඳුම්, රාත්‍රිය අතිශයින් සිසිල් බැවින් එහි දී භාවිතයට ගැනීමට අවශ්‍ය වන උණුවතුර බෝතල් ඒ අතර කිසිවිටෙක අමතක නොකළ යුතු අයිතමයන් වෙනවා.

තුනී ලවණ දිය ස්ථරය මත ක්‍රීඩා කරමින් (sarahbeekmans.com)

මීට වසර 40,000කට පමණ පෙර මෙම ඉසව්ව මින්චන් විලෙහි කොටසක් ව පැවතී තිබෙනවා. එය ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති විශාල විලක් වන අතර, පසු ව එම විල සිඳී ගොස් තිබෙනවා. එම විල සිඳී ගිය පසු මෙම ප්‍රදේශය ආශ්‍රිත ව Poopó සහ Uru Ur යනුවෙන් නව විල් දෙකක් නිර්මාණය වී තිබෙන අතර, Salar de Coipasa සහ යුයුනි යන ලුණු කාන්තාරයන් දෙකකුත් නිර්මාණය වී තිබෙනවා. මින් වඩාත් විශාල වන්නේ යුයුනි ලුණු කාන්තාරය යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්නා Bonneville ලුණු තලාව මෙන් විසිපස් ගුණයක් යුයුනි ලුණු කාන්තාරය විශාල යි. මෙහි ටොන් බිලියන 10කට අධික ලුණු ප්‍රමාණයක් පවතිනවා. මින් ටොන් 25,000ක පමණ ලුණු ප්‍රමාණයක් වාර්ෂික ව ලබා ගැනෙනවා.

 

කවරයේ පින්තූරය: බොලිවියාවේ ලුණු කතර (plazajapan.com)

මූලාශ්‍රයයන්:

  • Salar de Uyuni and Mt. Tunupa, Bolivia, sacredsites.com
  • Salar de Uyuni, Bolivia: a Tour of the World’s Largest Salt Lake, tourismontheedge.com
  • Where Heaven meets Earth, atlantisbolivia.org
  • EVERYTHING YOU NEED TO KNOW ABOUT BOLIVIA’S SALAR DE UYUNI, intrepidtravel.com

Related Articles