Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවම පෝෂණය කරමින් සමුදුරේ ගලන සුවිසල් ගංගා අනතුරේ

ශ්‍රී ලංකාව ඉතා ම කුඩා වුණත් ගංගා බොහොමයකින් යුතු රටක්. මධ්‍යම කඳුකරයෙන් පටන් අරගෙන රට වටේට ම මුහුදට වැටෙන ගංගා අපේ මුළු රටම සරුසාර කරන්න දක්වන දායකත්වය සුළුපටු නැහැ. අපිට පෙනෙන්නේ ජලය ගලා යාම විතරක් වුණාට නිසි ලෙස ගහකොළ වැවෙන්න පසට අවශ්‍ය පෝෂක, මත්ස්‍යයන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂක, ඛණිජ ලවණ, සිසිලස ඇතුළු තවත් බොහෝ දේ මේ ගංගා හරහා සංසරණය කෙරෙනවා. ගංගා පද්ධතියක් මිනිස් සිරුරක හදවතෙන් පොම්ප කරන රුධිරය සිරුර පුරා ගෙන යන රුධිර නාල පද්ධතියක් වගේ ම ඉතා ම වැදගත් බව ගංගා අවම රටවල පසේ නිසරු බව දිහා බැලුවාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව අරීය ජල වහනයක් තියෙන රටක් (researchgate.com)

ගොඩබිම තිබෙන ගංගා අපිට ඉතා හොඳින් දැකගන්න පුළුවන් වුණත් මුහුදේ තිබෙන ගංගා දැකලා නැහැ නේද? පියවි ඇසින් දකින්න අපහසු වුණත් මහා සමුදුර මැදත් ගංගා වගේම වේගයෙන්, සුවිසල් දිය කඳවල් ගලන තැන් බොහෝම යි. අද අපිට මුහුදෙන් ලබා ගත හැකි සම්පත් අතිබහුතරයක් බිහි වෙලා තියෙන්නෙත්, රටවල් අති බහුතරයක ජීවනාලිය රැඳිලා තියෙන්නෙත්, ලෝක දේශගුණය නිසි ලෙස පවතින්නේත් දියවැල් කියලා හඳුන්වන මේවා නිසා යි.

දියවැලක් කියන්නේ මොකක්ද?

මුහුදක් කිව්වාම අපි කාටත් මතක් වෙන්නේ රැළි නගින හැටි. බොහෝ විට මුහුද සහ ගොඩබිම අතර උෂ්ණත්ව වෙනස නිසා හමන සුළං හේතුවෙන් තමයි මුහුදු රැළි ඇති වෙන්නේ. දිය රැළි නැගීම පහසුවෙන් ම දකින්න ලැබෙන්නේ වෙරළට හෝ මුහුදේ නොගැඹුරු පෙදෙස්වලට ආසන්නයෙන් වුණත් ගැඹුරු මුහුදේ පවා දිය කඳ නිසල නැහැ. අපිට හිතා ගන්නත් අපහසු තරම් මහා විශාල දියවැල් සාගර ජලය විවිධ තැන්වලට ගෙන යන මහා ගංගා විදිහට ක්‍රියා කරනවා.

හෝ ගා මුහුදේ රැල්ල නැගෙන්නේ සුළං නිසා යි (ytimg.com)

ගංගාවක් ගලන්න ප්‍රධාන ම හේතුව තැන් දෙකක් අතර උන්නතාංශයේ වෙනස වුණත් දියවැල් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ගෝලීය උෂ්ණත්වයේ වෙනස්කම්. පෘථිවියේ ගෝලාකාර බව නිසා ධ්‍රැව ප්‍රදේශවල අධික ශීතල බවකුත්, සමකාසන්නයේ අධික උණුසුමකුත් තිබීම නිසා මේ ජල ප්‍රදේශවල ජල ඝණත්වයේ යම් වෙනසක් පවතිනවා. ස්වාභාවිකව ම මේ නිසා සුළං හමනවා වගේ ම ජලය තැනකින් තැනකට ගලා යාම සිදු වෙනවා. ඒ වගේ ම පෘථිවියේ භ්‍රමණය, පරිභ්‍රමණය, චන්ද්‍රයාගේ ගුරුත්වය නිසා වඩදිය බාදිය ඇති වීම, සුළං හැමීම, මුහුදු පතුලේ ස්වභාවය ඇතුළු හේතු බොහොමයක් නිසාත් මහ මුහුදට නිසල ව පවතින්න හැකියාවක් නැහැ. මේ සංකීර්ණ කාරණා සියල්ලේ ම සමස්තය විදිහට යි ලෝකය පුරා ම පැතිරී ඇති මහා සමුදුරුවල දියවැල් බිහි වී තිබෙන්නේ.

දියවැල් සාගරයේ මතුපිටින් වගේ ම මුහුදේ ගැඹුරු පෙදෙස් හරහාත් ඇති වෙනවා. ගොඩබිම තිබෙන ගංගා, දිය පහරවල් මෙන්ම කුඩා ප්‍රමාණයේ දියවැල්වල සිට මහා සාගරයක් වසා ගන්නා තරම් සුවිශාල දියවැලුත් තිබෙනවා.

අර්ධගෝල දෙකේ දියවැල්වල දිශාව තීරණය කරන කෝරියෝලිස් සංසිද්ධිය

ප්‍රධාන දියවැල් (blogs.egu.eu)

ගංගාවක් බොහෝ විට එක තැනකින් ඇරඹිලා තවත් තැනකට ගලා ගිහින් අවසන් වුණත් දියවැල් අතිබහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ සංවෘත්ත මාර්ගයක. ඒ කියන්නේ දියවැල් හැම එකක් වැසුණු පථයක් දිගේ නිරන්තරයෙන් ම චක්‍රයක් වගේ ගලා යනවා. කොහොම නමුත් පෘථිවියේ දියවැල් දකින්න ලැබෙන පැහැදිලි ලක්ෂණයක් තමයි උතුරු අර්ධගෝලයේ දියවැල් සියල්ල දක්ෂිණාවර්තව (ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට) කරකැවුණත් දක්ෂිණ අර්ධගෝලයේ දියවැල් සියල්ල වාමාවර්තව කරකැවෙන බව.

මෙයට ප්‍රධාන ම හේතුව ගෝලාකාර ස්වභාවයක් ඇති පෘථිවිය තමා වටා භ්‍රමණය වීම යි. මෙය කරකැවෙන වෘත්තාකාර වේදිකාවක වටේට ඇවිදින්න උත්සාහ කළොත් පිටතට ඇදී යන්න තිබෙන පෙළඹවීම හා සමාන සංසිද්ධියක්. මේ නිසා සමකයේ සිට දුරට යන්න යන්න පෘථිවියේ අක්ෂාංශවලට සමාන්තර ව ගමන් ගන්නා දියවැලක් නිතර ම අදාළ අර්ධගෝලයේ ධ්‍රැවය වෙත ඇදී යන්න ගන්නවා. පෘථිවිය භ්‍රමණය වන දිශාව නිසා සමකයට ආසන්නයෙන් දියවැල් හැම විටම හට ගන්නේ නැගෙනහිර සිට බටහිර දිශාවට යි. ඒවා ආපසු වටයක් කරකැවී එතැනට ම ලඟා වෙනවා.

සියලුම දියවැල්වල දිශාව තීරණය කරන මේ සංසිද්ධිය හඳුන්වන්නේ කෝරියෝලිස් සංසිද්ධිය (Coriolis effect) විදිහට යි.

දියවැල් මුහුදු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය යි

සාගර ආහාර දාමවල මුල් පුරුක – ෆයිටෝප්ලැන්ක්ටන් (blueplanetsociety.org)

දියවැල් කියන්නේ හරිම අපූරු දෙයක් වුණත් ඒවායින් තිබෙන ප්‍රයෝජනයත් අතිමහත්. මුහුදේ ජීවයක් පවතින්නේ දියවැල් නිසා බව දන්නවා ද?

දියවැල් නොතිබුණා නම් මුළු මුහුද ම මහා විශාල ටැංකියක් වගේ නිශ්චල වතුර ගොඩක් වෙන්න ඉඩ තිබුණා. එවිට මුහුදේ වෙසෙන ජලජ ජීවීන්ට අවශ්‍ය ආහාර ලබා ගන්න තියෙන හැකියාව ඉතාම සීමිත යි. ජලජ පැළෑටිවලට ජලය ඔස්සේ පරාගණය, බීජ ව්‍යාප්තිය කරන්න බැරි නිසා ඒවාට වර්ධනය වෙන්න හැකියාවක් නැහැ.

මුහුද පතුලේ තිබෙන පෝෂක සපිරි ජලය ඉහළට ගෙන එන්නත් දායක වෙන්නේ දියවැල්. එය නොතිබුණා නම් මේ පෝෂක මත යැපෙන, මුහුදේ ආහාර දාමවල ප්‍රධානතම මුල් පුරුකක් වන ෆයිටෝප්ලැන්ක්ටන්වලට විසිරී යන්න හැකියාවක් හෝ ජනනය වෙන්න හැකියාවක් නැති වෙනවා. මේ නිසා මුහුදේ ආහාර දාම හැම එකක් ම වගේ බිඳ වැටෙනවා. එහෙම වුණා නම් අද තරම් මුහුදු ජෛව සම්පත් කිසිසේත් නොතිබෙන්න ඉඩ තිබුණා.

දියවැල් නැති නම් ලෝක දේශගුණයට වන බලපෑම

දියවැල් නැති නම් යුරෝපයේ සීත කාලය ගොඩක් කෙටි යි (otlibrary.com)

මුහුදු ජලය ධ්‍රැව කරා යන විට සිසිල් වීමත් එක්ක ඒවායේ පරිමාව අඩු වෙලා ඝණත්වය සහ ලුණු සාන්ද්‍රණය ඉහළ යනවා. එවිට එම ජලය මුහුදු පතුලට ගමන් කරන අතර එම හිඩැස පුරවන්න අලුතෙන් ජලය උණුසුම් ප්‍රදේශවලට ඇදී එනවා. ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක දියවැල් වර්ගයක් වන මේවා මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ සොබා දහමේ ගෝලීය වාහක පටියක් (global conveyer belt) කියල යි. සිසිල් ජලයේ වායු හොඳින් දිය වන නිසා සාගර ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට වගේම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් නියාමනයටත් මෙය ප්‍රධාන මාර්ගයක් වෙනවා. අවුරුදු 1000ක වගේ කාලයක් තිස්සේ හෙමින් සිදු වන මේ සංසිද්ධිය වායුගෝලයේ හරිතාගාර ආචරණය පාලනය කරමින් ගෝලීය දේශගුණය තීරණය කරන ඉතා ම වැදගත් සාධකයක්.

දියවැල් විවිධ රටවල හා භූගෝලීය කලාපවල දේශගුණයටත් විශාල බලපෑමක් කරනවා. මෙයට හොඳම උදාහරණයක් විදිහට ගල්ෆ් ප්‍රවාහය (gulf stream) ඇතුළු උතුරු අත්ලාන්තික් දියවැල් හඳුන්වන්න පුළුවන්. මේවා ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේත්, බටහිර යුරෝපයේත් දේශගුණයට ඍජු බලපෑමක් කරනවා. දියවැල් නොතිබුණා නම් යුරෝපයේ ඌෂ්ණ දේශගුණයක් පවතින්නත් ඉඩ තිබුණා.

දියවැල්වල විශාලත්වය සහ ප්‍රයෝජන

ඇමේසන් නදියේ ජල ප්‍රමාණය දියවැල් එක්ක බැලුවාම ඉතාම අල්පයි. (azula.com)

දියවැල්වල ප්‍රමාණය මනින්නේ Sv හෙවත් sverdrup කියන ඒකකයෙන්. Sv එකක් ලීටර් බිලියනයක් හෙවත් මුහුදේ කිලෝමීටරයක් දිග හා පළල, මීටරයක් ඝනකම ජල ප්‍රමාණයක්. කලින් කතා කරපු, ලොව වඩාත්ම ප්‍රයෝජනවත් දියවැලක් වන ගල්ෆ් ප්‍රවාහයේ මේ අගය 30-35 Sv සීමාවේ තිබෙනවා. මෙය ලොව විශාලතම ගංගාව වන ඇමේසන් ගංගාව වගේ 150 ගුණයකට අධික යි. වැඩි ප්‍රයෝජනයක් නැති ඇන්ටාක්ටික් පරිධ්‍රැව දියවැලේ (Antarctic Circumpolar Current) ඒ අගය 125 Svක්.

ගල්ෆ් ප්‍රවාහයෙන් ටර්බයින් පාවිච්චි කර ජනනය කළ හැකි විදුලි ප්‍රමාණය ගිගා වොට් 20 – 60 දක්වා අගයක ඇතැ යි සැලකෙනවා. මෙය එක්ක ලෝකයේ සංසන්දනය කළ හැකි එකම බලාගාරය චීනයේ ත්‍රී ගෝජස් (three gorges) බලාගාරය පමණ යි.

විදුලි ජනනයට අමතර ව දියවැල් නිසි ලෙස භාවිතයෙන් නැව් ප්‍රවාහන කටයුතුවල දී විශාල ලෙස ඉන්ධන ඉතිරි කරගෙන ලාභ ලබන්න වගේ ම ඉක්මනින් ගමන් නිමා කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේ ම විශාල වශයෙන් මත්ස්‍ය අස්වනු ඇති තැන් හඳුනාගන්න, දේශගුණ හා කාලගුණ පෙරයීම් කරන්න, සුළි කුණාටුවල ගමන් මාර්ග සහ බිහි වන ස්ථාන හඳුනාගන්න වගේ සැබෑ ප්‍රයෝජන ගණනාවක් මේවායින් ලබා ගන්න පුළුවන්.

අනාගතය අනතුරේ!

කෙටි කාලයක් තුළ ගල්ෆ් ප්‍රවාහය වැනි දියවැල්වල වේගය අඩු වෙලා (wattsupwiththat.com)

මේ තරම් සුවිශාල ප්‍රයෝජන ප්‍රමාණයක් ඇති දියවැල් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වන ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් අඩපණ වෙන්න පටන් අරන්. එවැන්නකින් ලෝකයට සිදු විය හැකි විපත් ප්‍රමාණය අතිමහත්. උදාහරණයක් විදිහට දැනටමත් අඩපණ වෙමින් පවතින ගල්ෆ් ප්‍රවාහය අත්ලාන්තික් සාගරයේ මත්ස්‍ය සම්පත් ක්ෂය වී යාම, ප්‍රබල සුළි කුණාටු ගණනාවක් හට ගැනීම වගේ හේතු වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු හඟවනවා. රටවල දේශගුණයන් සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වෙන්න දියවැල් ක්‍රියාකාරීත්වය අඩපණ වීම ඍජුව ම හේතු වෙන්න පුළුවන්.

ඉතාම සරල ව කිව්වොත් මෙය පෘථිවියේ රුධිර සංසරණ පද්ධතියේ හදවත අඩපණ වීමක් වගේ ම යි. වැඩි කාලයක් යන්නට පෙර ගෝලීය උණුසුම ඉහළ යාම, විශේෂයෙන් ම හරිතාගාර ආචරණය ඉහළ නංවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කරගත්තේ නැති නම් හදවත නැවතී මිහිකත මියැදෙන දිනය තවත් වැඩි ඈතක නෙවෙයි.

කවරයේ රූපය : nasa.gov

Related Articles