Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019ට අවුරුදු 100ක් සපිරුණු අප්පුහාමිගේ වික්‍රමය

අලුත් විදියේ ට්‍රැවල් වීඩියෝවක් කරන්නට අප මෙවර තෝරාගත්තේ, 2019 වසරට අවුරුදු 100ක් සපිරෙන ආරුක්කු නමයේ පාලම යි.

වීඩියෝව කරන්න ගිය පළමු දවසේ ආරුක්කු නමයේ පාලම මතින් දුම්රිය ගමන් කරන දසුන් ලබා ගැනීමට නොහැකි වූ නිසා, දුම්රිය ගමන් කරන වේලාව බලා දෙවන වතාවේ ආරුක්කු නවයේ පාලම සොයා යන්නට අපට සිදු විය. එහිදී නිල් පාටින් සැරසී රේල් පීලි දිගේ සෙමෙන් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ දුම්රියේ සමීප දසුන් කිහිපයක් ලබා ගැනීමට මෙවර අපට හැකි විය.

වෙනදා වගේම අදත් මා සමග ගමනට එක් වූ අනෙක් සාමාජිකයන් වූයේ දිල්ෂාන් සහ ගිහාන් ය.

සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ආකර්ෂණීය ආරුක්කු නවයේ පාලම පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අතර, මෙම සුන්දර මිටියාවතට ප්‍රවේශ විය හැකි මාර්ගයන් 4ක් ඇත. දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2ක් පමණ ආපස්සට පැමිණීමෙන්, හා ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2ක් පමණ ඉදිරියට යාමෙන් ද ආරුක්කු නමයේ පාලමට ළඟා විය හැකි ය. එසේත් නැතිනම් බදුලු මාර්ගයේ දෙමෝදර හන්දියේ සිට ත‍්‍රිරෝද රථයකින් ආරුක්කු නවයේ පාලම අසලට පැමිණිය හැකි ය. අනෙක් මාර්ගය නම් ඇල්ල නගරයේ සිට නමුණුකුල පාරේ කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන කෝවිල අසලින් වැටී ඇති මාර්ගය යි. විදේශිකයන් වැඩි දෙනෙක් තෝරාගන්නේ මේ මාර්ගය යි.

දෙමෝදර පාලම/saltinourhair.com

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ලට ගමනට අවම වශයෙන් පැය 10ක් පමණ ගත වන අතර මුළු දුර කි.මී. 292ක් පමණ වේ. සමස්ථ මාර්ගයේම මහා ගල් පර්වත විදිමින් සකස් කළ බිංගෙවල් ගණන 43කි. ඒ අතරින් දිගම බිංගෙය පිහිටා ඇත්තේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර යි. එය ‘‘සිංගිමලේ’’ උමඟ ලෙස හඳුන්වන අතර සමස්ථ දුම්රිය මාර්ගයේ 14 වැනි උමඟ යි. එහි දුර මීටර් 567කි. දෙවැනියට දිගම බිංගෙය වන්නේ ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ‘‘මීන්ගල්ල’’ බිංගෙය යි. එය ද මීටර 423ක දිගින් යුක්ත ය. එසේම තෙවැනි දිගම බිංගෙය කඩිගමුව දුම්රිය පළ කිට්ටුව පිහිටා ඇති අතර එහි දුර මීටර 382කි. විටෙක පෙට්ටි 14-15 එකට සවිකරගෙන යන උඩරට මැණිකේ දුම්රිය සම්පූර්ණයෙන්ම සගවාගැනීමට තරම් මේ බිංගෙවල් ත‍්‍රිත්වයට හැකියාව ඇත. එලෙසම උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 2ක් අතර පිහිටි වැඩිම දුර ඇත්තේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර යි. එහි දුර කිලෝමීටර 15කට වැඩි ය.

මෙවර අපගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ආරුක්කු නවයේ පාළමේ අසිරිය විඳගැනීමයි. එබැවින් අප කණ්ඩායම සමග කඩිනමින් ආරුක්කු නවයේ පාලම පිහිටා ඇති සුන්දර ස්ථානයට සේන්දු වීමට කටයුතු කළෙමු. මේ ගමන අතරේ ආරුක්කු නවයේ පාලම සහ මෙම අද්විතීය නිර්මාණය සිදු කිරීමට ප්‍රධාන දායකත්වය සැපයූ පී.කේ. අප්පුහාමි මහතා පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් හා විවිධ මූලාශ්‍රවලින් එකතු කර ගත් තොරතුරු පහත පරිදි ගොණු කිරීමට අදහස් කළෙමි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් මෙම ආරුක්කු නමයේ පාලම උසින් අඩි 300 (මීටර් 91.44) හා පළලින් අඩි 25 (මීටර් 7.62) කි. එසේම කඳු දෙකක් යා කරමින් වගුරක් මත ඉදි කර ඇති මෙහි පාදම මත විශාල කුලුණු 10ක ආධාරයෙන් ආරුක්කු නවය ඉදිකර ඇත. එසේම මෙය ඉදිකර ඇත්තේ කලුගලින් නොවන බවත් 3:2:1 අනුපාතයට සිමෙන්ති, වැලි, සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල්වලින් බවත් මේ පිළිබඳව ඇති වාර්තාවල සඳහන් ය.

මෙම පාලමේ වැඩ කටයුතු 1913-1917 වර්ෂවල දී ආරම්භ වී ඇති බවත්, 1919 වර්ෂයේ දී අවසන් කර ඇති බවත් මූලාශ්‍ර තොරතුරුවල සඳහන් වේ. එසේම මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කර නොමැති වීම යි.

trover.com

මෙම අද්විතීය නිර්මාණය සිදු කිරීමට ප්‍රධාන දායකත්වය සපයා ඇත්තේ පී.කේ. අප්පුහාමි නම් සුවිශේෂි පුද්ගලයෙකු විසින් බව කීවොත් එය ඔබට විශ්වාස කිරීම ද අසීරු වනු ඇතැ යි සිතිණි.

ප්‍රවාදයන්ට අනුව, විශාල කුලුණු 10ක් ආධාරයෙන් ආරුක්කු නවයක් මත ඉදි කර ඇති මෙම පාලම ඔහුගේ සංකල්පයක් හා මෙහෙයවීමක් මත ඉදි කර ඇත.

1885 ඉපදී 1951 වර්ෂයේ මිය යන ඔහුට උප්පැන්න සහතිකයෙන් හිමි වී ඇති නම ආර්.එම්. අප්පුහාමි වේ. දුම්රිය මාර්ග සැකසීමට එකතු වූ පසු ඔහුට පී.කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් විසින් පටබැඳ ඇත. පාලම සඳහා අත්වැඩකරුවන් සැපයීම භාරගත් කොන්ත්‍රාත්කරුවා ඔහු යි.

කඳු දෙක යා කර යකඩ පාලමක් ඉදි කිරීමට සුදු ජාතික ඉංජිනේරුවරුන් විසින් එංගලන්තයේ සිට යකඩ පාලමක් ගෙන්වා ඇති නමුත්, එම පාලම කඳු දෙක අතර පොළොවට සවි කිරීමට ක්‍රමයක් නොවූ නිසා විශාල ගැටලුවකට මුහුණ දීමට සුදු ජාතික ඉංජිනේරුවරුන්ට සිදුව ඇත.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස කඳු දෙක යා කර කොන්ක්‍රීට් අච්චුගල්වලින් පාලමක් ඉදි කිරීමට අප්පුහාමි යෝජනා කර ඇති අතර, එය අත්වැඩකරුවන් සහ ගම්වැසියන්ගේ උදව්වෙන් සහ ඔහුගේ මූලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් සිදු විය.

මුල දී සුදු ජාතිකයින් මේ ගැන සැක පල කළ ද, පාලම සාර්ථක වීම නිසා ප්‍රීතියට පත්ව ඇත. පළමු දුම්රිය පාලම උඩින් යද්දී ඒ යටින් වැතිර සිටීමෙන් පාලමේ ශක්තිය පිළිබඳ තහවුරු කිරීමට අප්පුහාමි ඉදිරිපත් වූ බව ද කියවේ. අදටත් මේ නිර්මාණ ශිල්පියා සිහිවීම සඳහා ඔහුගේ ඡායාරූපයක් දෙමෝදර දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කර ඇත්තේ මේ නිසා බව කියැවේ.

පී. කේ. අප්පුහාමි/ exploresrilanka.lk

Cover image: info.shalanka.com

Related Articles