Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙළිබිම උණුසුම් කළ මෙවර පාපන්දු ලෝක කුසලානයේ පෙරැළිකාර තොරතුරු

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග කටාර් රාජ්‍යයේ දී මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. එම තරගවල දී ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය, බ්‍රසීලය, පෘතුගාලය, මොරොක්කෝව, පෝලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් වැඩි දස්කම් දක්වද්දී ආජන්ටිනාව, ජර්මනිය සහ බෙල්ජියම යන රටවල් අනපේක්ෂිත පරාජයන් ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රබල රටවල් කිහිපයක් පළමු තරග වටයෙන් ම තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමට ගොදුරුව සිටිනවා.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 28ක් අවසන්

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 48 අතුරින් 28ක් මේ වන විට අවසන්. එම තරගවල දී එක් එක් කාණ්ඩය යටතේ තරග කළ කණ්ඩායම් දැක්වූ දස්කම් පිළිබඳ තොරතුරු යි මේ.

පාපන්දු ලෝක කුසලානය – fifa.com

A කාණ්ඩය
මෙම කාණ්ඩය යටතේ තරග වදින්නේ නෙදර්ලන්තය, ඉක්වදෝරය, සෙනගාලය සහ කටාර් යන කණ්ඩායම් 4 යි. මූලික තරග වටය යටතේ A කාණ්ඩයේ කණ්ඩායම් අතර මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට සමත් වුණේ නෙදර්ලන්තය සහ ඉක්වදෝරය යන කණ්ඩායම් දෙක යි. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). ඉක්වදෝරය 2-0 කටාර්
2). නෙදර්ලන්තය 2-0 සෙනගාලය
3). සෙනගාලය 3-1 කටාර්
4). නෙදර්ලන්තය 1-1 ඉක්වදෝරය

සත්කාරක කටාර් රාජ්‍යය තරගාවලියෙන් ඉවතට

ඉහත ප්‍රතිඵලවලට අනුව නෙදර්ලන්තය සහ ඉක්වදෝරය ලකුණු 4 බැගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටිනවා. සෙනගාලය ජයග්‍රහණයක් සමඟ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිද්දී සත්කාරක කටාර් රාජ්‍යය මේ වන විට තරගාවලියෙන් ඉවතට විසි වී තිබෙනවා. මේ A කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි (ශ්‍රී ලංකා වේලාවෙන්).

1). නෙදර්ලන්තය සහ කටාර්- නොවැම්බර් 29 අඟහරුවාදා රාත්‍රී 8.30
2). ඉක්වදෝරය සහ සෙනගාලය- නොවැම්බර් 29 අඟහරුවාදා රාත්‍රී 8.30

නෙදර්ලන්තය සහ කටාර් රාජ්‍යය අතර පැවැත්වීමට නියමිත තරගයේ ජයග්‍රහණය නෙදර්ලන්තයට හිමි වීමට තිබෙන්නේ වැඩි ඉඩකඩක්. එවිට නෙදර්ලන්තයට ඊළඟ වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. A කාණ්ඩය යටතේ ඉතිරි ව ඇති තරගවලින් තීරණාත්මක තරගය වන්නේ ඉක්වදෝර්-සෙනගාල තරගය යි. එම තරගය ජය ගන්නා කණ්ඩායමට ඊළඟ වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. යම් අයුරකින් එම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් ඊළඟ වටයට පිවිසීමේ වරම ලැබෙන්නේ ඉක්වදෝර් කණ්ඩායමට යි.

නෙදර්ලන්ත-ඉක්වදෝර් තරගයේ අවස්ථාවක් – gettyimages.com

B කාණ්ඩය
එංගලන්තය, අමෙරිකාව, ඉරානය සහ වේල්ස් යන කණ්ඩායම් 4 මෙම කාණ්ඩය යටතේ තරග වදිනවා. මූලික තරග වටය යටතේ මෙම කාණ්ඩයේ කණ්ඩායම් අතර මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට සමත් වුණේ එංගලන්තය සහ ඉරානය යන කණ්ඩායම් දෙක යි. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). එංගලන්තය 6-2 ඉරානය
2). අමෙරිකාව 1-1 වේල්ස්
3). ඉරානය 2-0 වේල්ස්
4). එංගලන්තය 0-0 අමෙරිකාව

ඉහත ප්‍රතිඵලවලට අනුව එංගලන්තය සහ ඉරානය පිළිවෙලින් ලකුණු 4ක් සහ 3ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. ඒ වාගේම අමෙරිකාව ලකුණු 2ක් ලබා ගෙන එම කණ්ඩායම් 2කට අභියෝගයක් එල්ල කරමින් සිටිනවා. මේ B කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). එංගලන්තය සහ වේල්සය- නොවැම්බර් 30 වැනි දා බදාදා අලුයම 12.30
2). අමෙරිකාව සහ ඉරානය- නොවැම්බර් 30 වැනි දා බදාදා අලුයම 12.30

වේල්සයට ඉදිරි වටයට යාමටනම් එංගලන්ත තරගය ජය ගැනීම අනිවාර්ය යි

එංගලන්තයට සහ ඉරානයට ඊළඟ වටයට යාම සඳහා ඔවුන් සහභාගි වන තරග ජය පැරදුමෙන් තොර ව නිමා කර ගැනීම හොඳට ම ප්‍රමාණවත්. අමෙරිකාවට ඊළඟ වටයට පිවිසීම සඳහා අනිවාර්යයෙන් ම ඉරාන තරගය ජය ගත යුතු යි. වේල්සයට ඉදිරි වටය ගැන යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් එංගලන්ත තරගය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු යි. ඔවුන් එම තරගය ජයග්‍රහණ කරන අතරතුර ඉරාන-අමෙරිකා තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් වේල්ස් කණ්ඩායමට එංගලන්තය සමඟින් ඊළඟ වටයට පිවිසීමට වරම් ලැබෙනවා.

එංගලන්ත-ඉරාන තරගයේ අවස්ථාවක් – gettyimages.com

C කාණ්ඩය
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ තරග වදින්නේ ආජන්ටිනාව, පෝලන්තය, මෙක්සිකෝව සහ සෞදි අරාබිය යන රටවල් 4යි. එම කාණ්ඩය යටතේ මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට පෝලන්තය, ආජන්ටිනාව සහ සෞදි අරාබිය යන කණ්ඩායම් සමත් වුණා. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). සෞදි අරාබිය 2-1 ආජන්ටිනාව
2). පෝලන්තය 0-0 මෙක්සිකෝව
3). පෝලන්තය 2-0 සෞදි අරාබිය
4). ආජන්ටිනාව 2-0 මෙක්සිකෝව

ඉහත ප්‍රතිඵලවලට අනුව පෝලන්තය සහ ආජන්ටිනාව පිළිවෙළින් ලකුණු 4ක් සහ 3ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. ඒ වාගේ ම සෞදි අරාබිය ද ලකුණු 3ක් ලබා ගෙන ඉදිරි වටයට පිවිසීම සඳහා ප්‍රබල සටනක නිරත වෙමින් සිටිනවා. මේ C කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ආජන්ටිනාව සහ පෝලන්තය- දෙසැම්බර් 1 වැනි දා බ්‍රහස්පතින්දා අලුයම 12.30
2). මෙක්සිකෝව සහ සෞදි අරාබිය- දෙසැම්බර් 1 වැනි දා බ්‍රහස්පතින්දා අලුයම 12.30

පෝලන්තයට ඊළඟ වටයට පිවිසීම සඳහා ආජන්ටිනා තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගැනීම ප්‍රමාණවත්. පෝලන්ත කණ්ඩායම ආජන්ටිනා තරගය පරාජයට පත් වුණත් මෙක්සිකෝ-සෞදි අරාබි තරගයේ ප්‍රතිඵලය මත ඔවුන්ට ඊළඟ වටයට පිවිසීමට අවස්ථාවක් හිමි වන්නට පුළුවන්. පෝලන්ත තරගය ජයග්‍රහණය කළොත් ආජන්ටිනාවට නියත වශයෙන් ම ඊළඟ වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. එම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් මෙක්සිකෝ-සෞදි අරාබි තරගයේ ප්‍රතිඵලය මත ආජන්ටිනාවේ අනාගත ඉරණම තීරණය වනු ඇති.

සෞදි අරාබියට ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව

ඊළඟ තරගය ජයග්‍රහණය කළොත් සෞදි අරාබියට ද නියත වශයෙන් ම ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව හිමි වෙනවා. එම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් සෞදි අරාබියේ අනාගත ඉරණම විසඳෙන්නේ ආජන්ටිනා-පෝලන්ත තරගයේ ප්‍රතිඵලය අනුව යි. මෙක්සිකෝ කණ්ඩායමට ඉදිරි තරග වටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් ඊළඟ තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු යි. මෙක්සිකෝව එම තරගය ජයග්‍රහණය කළ ද ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය වන්නේ ආජන්ටිනා-පෝලන්ත තරගයේ ප්‍රතිඵලය මත යි.

සෞදි අරාබිය ජයග්‍රාහී ගෝලය වාර්තා කළ මොහොත – gettyimages.com

D කාණ්ඩය
මෙම කාණ්ඩය යටතේ තරග වදින්නේ ප්‍රංශය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, සහ ටියුනීසියාව යන කණ්ඩායම් 4 යි. මූලික තරග වටය යටතේ D කාණ්ඩයේ කණ්ඩායම් අතර මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට සමත් වුණේ ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් දෙක යි. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). ඩෙන්මාර්කය 0-0 ටියුනීසියාව
2). ප්‍රංශය 4-1 ඕස්ට්‍රේලියාව
3). ඕස්ට්‍රේලියාව 1-0 ටියුනීසියාව
4). ප්‍රංශය 2-1 ඩෙන්මාර්කය

ඉහත ප්‍රතිඵලවලට අනුව ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව පිළිවෙළින් ලකුණු 6 ක් සහ 3ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. ඒ අතුරින් ප්‍රංශය මේ වන විටත් කණ්ඩායම් 16 තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටිනවා. මේ D කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ප්‍රංශය සහ ටියුනීසියාව- නොවැම්බර් 30 වැනි දා බදාදා රාත්‍රී 8.30
2). ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව- නොවැම්බර් 30 වැනි දා බදාදා රාත්‍රී 8.30

ප්‍රංශයට ජයග්‍රහණය ලැබීමට වැඩි ඉඩකඩක්

ප්‍රංශය සහ ටියුනීසියාව අතර පැවැත්වීමට නියමිත තරගයෙන් ප්‍රංශයට ජයග්‍රහණය ලැබීමට තිබෙන්නේ වැඩි ඉඩකඩක්. එවැනි වටපිටාවක ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියා තරගයේ ජයග්‍රාහකයන්ට ඊළඟ වටයට පිවිසීමේ වරම් ලැබෙනවා. එම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් ඕස්ට්‍රේලියාවට කණ්ඩායම් 16 වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. යම් ආකාරයකින් ටියුනීසියා කණ්ඩායම් ප්‍රංශය හමුවේ ජයග්‍රහණය කළොත් ඕස්ට්‍රේලියා-ඩෙන්මාර්ක තරගයේ ප්‍රතිඵලය මත ටියුනීසියාවේ අනාගත ඉරණම තීරණය වනු ඇති.

සහභාගි වුණු තරග දෙක ම ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායම – gettyimages.com

E කාණ්ඩය
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ E කාණ්ඩය යටතේ තරග වදින්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, කොස්ටරිකා සහ ජපානය යන රටවල් හතර යි. එම කාණ්ඩය යටතේ මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට ස්පාඤ්ඤය, ජපානය සහ කොස්ටරිකා යන කණ්ඩායම් සමත් වුණා. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). ජපානය 2-1 ජර්මනිය
2). ස්පාඤ්ඤය 7-0 කොස්ටරිකා
3). කොස්ටරිකා 1-0 ජපානය
4). ස්පාඤ්ඤය 1-1 ජර්මනිය

කොස්ටරිකා කණ්ඩායමත් ඉදිරි වටයට පිවිසීමට ප්‍රබල සටනක

ඉහත ප්‍රතිඵලවලට අනුව ස්පාඤ්ඤය සහ ජපානය පිළිවෙළින් ලකුණු 4ක් සහ 3ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. ඒ වාගේ ම කොස්ටරිකා කණ්ඩායම ද ලකුණු 3ක් ලබා ගෙන ඉදිරි වටයට පිවිසීම සඳහා ප්‍රබල සටනක නිරතවෙමින් සිටිනවා. මේ E කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ස්පාඤ්ඤය සහ ජපානය- දෙසැම්බර් 2 වැනි දා සිකුරාදා අලුයම 12.30
2). කොස්ටරිකා සහ ජර්මනිය- දෙසැම්බර් 2 වැනි දා සිකුරාදා අලුයම 12.30

ස්පාඤ්ඤයට ඊළඟ වටයට පිවිසීම සඳහා ජපන් තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් කර ගැනීම ප්‍රමාණවත්. ස්පාඤ්ඤ කණ්ඩායම ජපාන තරගය පරාජයට පත් වුණත් ජර්මන්-කොස්ටරිකා තරගයේ ප්‍රතිඵලය මත ඔවුන්ට ඊළඟ වටයට පිවිසීමට අවස්ථාවක් හිමිවන්නට පුළුවන්. ස්පාඤ්ඤ තරගය ජයග්‍රහණය කළොත් ජපානයට නියත වශයෙන් ම ඊළඟ වටයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණොත් ජපානයේ අනාගත ඉරණම තීරණය වන්නේ ජර්මන්-කොස්ටරිකා තරගයේ ප්‍රතිඵලය මත යි.

ඊළඟ තරගය ජයග්‍රහණය කළොත් කොස්ටරිකා කණ්ඩායමට ද නියත වශයෙන්ම ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව හිමි වෙනවා. එම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණොත් එම කණ්ඩායමේ අනාගත ඉරණම විසඳෙන්නේ ස්පාඤ්ඤ-ජපන් තරගයේ ප්‍රතිඵලයට අනුව යි. ජර්මනියට ඉදිරි වටයට පිවිසීම සඳහා බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඊළඟ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු යි. ජර්මනිය එම තරගය ජයග්‍රහණය කළ ද ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය වන්නේ ස්පාඤ්ඤ-ජපන් තරගයේ ප්‍රතිඵලය මත යි.

ජර්මනිය පරාජය කළ ජපන් කණ්ඩායම – gettyimages.com

F කාණ්ඩය
මෙම කාණ්ඩය යටතේ තරග වදින්නේ ක්‍රොඒෂියාව, බෙල්ජියම, මොරොක්කෝව සහ කැනඩාව යන කණ්ඩායම් 4 යි. මූලික තරග වටය යටතේ F කාණ්ඩයේ කණ්ඩායම් අතර මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට සමත් වුණේ ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව යන කණ්ඩායම් දෙක යි. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). ක්‍රොඒෂියාව 0-0 මොරොක්කෝව
2). බෙල්ජියම 1-0 කැනඩාව
3). මොරොක්කෝව 2-0 බෙල්ජියම
4). ක්‍රොයේෂියාව 4-1 කැනඩාව

කැනඩාව මේ වන විට තරගාවලියෙන් ඉවතට

ඉහත ප්‍රතිඵලවලට අනුව ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව ලකුණු 4 බැගින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. බෙල්ජියම ජයග්‍රහණයක් සමඟ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිද්දී කැනඩාව මේ වන විට තරගාවලියෙන් ඉවතට විසි වී තිබෙනවා. මේ F කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). ක්‍රොයේෂියාව සහ බෙල්ජියම- දෙසැම්බර් 1 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30
2). මොරොක්කෝව සහ කැනඩාව- දෙසැම්බර් 1 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30

ක්‍රොඒෂියාවට සහ මොරොක්කෝවට ඉදිරි වටය සඳහා පිවිසීමට ඔවුන් සහභාගි වන තරග ජය පැරදුමෙන් තොර ව අවසන් කිරීම ප්‍රමාණවත්. බෙල්ජියමට අවසන් තරගය සඳහා පිවිසීමට නම් ක්‍රොයේෂියා තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු යි. එම තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් වුණොත් ඔවුන්ට ඊළඟ වටයට සඳහා පිවිසීමට තිබෙන්නේ ඉතාමත් අඩු අවස්ථාවක්.

මොරොක්කෝ ක්‍රීඩකයන් බෙල්ජියම හමුවේ පළමු ගෝලය වාර්තා කළ මොහොත – gettyimages.com

G කාණ්ඩය
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ G කාණ්ඩය යටතේ තරග වදින්නේ බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, සර්බියාව සහ කැමරූන් යන රටවල් හතර යි. එම කාණ්ඩය යටතේ මෙතෙක් පැවති තරගවල දී වැඩි දස්කම් දැක්වීමට බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය යන කණ්ඩායම් සමත් වුණා. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). ස්විට්සර්ලන්තය 1-0 කැමරූන්
2). බ්‍රසීලය 2-0 සර්බියාව

බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ මුලට

ඉහත ප්‍රතිඵලවලට අනුව බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය පිළිවෙළින් ලකුණු 3 බැගින් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ රැඳී සිටිනවා. මේ G කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). සර්බියාව සහ කැමරූන්- නොවැම්බර් 28 වැකි දා සඳුදා සවස 3.30
2). බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය- නොවැම්බර් 28 වැනි දා සඳුදා රාත්‍රි 9.30
3). ස්විට්සර්ලන්තය සහ සර්බියාව- දෙසැම්බර් 3 වැනි දා සෙනසුරාදා අලුයම 12.30
4). බ්‍රසීලය සහ කැමරූන්- දෙසැම්බර් 3 වැනි දා සෙනසුරාදා අලුයම 12.30

බ්‍රසීල ක්‍රීඩකයන් දස්කම් දක්වමින් – gettyimages.com

H කාණ්ඩය
පෘතුගාලය, උරුගුවේ, දකුණු කොරියාව සහ ඝානාව යන කණ්ඩායම් 4 මෙම කාණ්ඩය යටතේ තරග වදිනවා. මූලික තරග වටය යටතේ මෙම කාණ්ඩයේ කණ්ඩායම් අතර මෙතෙක් පැවති තරගවල දී ජයග්‍රහණයක් වාර්තා කළේ පෘතුගාලය පමණ යි. මේ එම තරගවල ප්‍රතිඵල යි.

1). උරුගුවේ 0-0 දකුණු කොරියාව
2). පෘතුගාලය 3-2 ඝානාව

ඉහත ප්‍රතිඵලවලට අනුව පෘතුගාලය ලකුණු 3ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙද්දී උරුගුවේ සහ දකුණු කොරියාව ලකුණු 1 බැගින් ලබාගෙන සිටිනවා. මේ H කාණ්ඩයේ ඉදිරි සතියේ තරග කාල සටහන යි.

1). දකුණු කොරියාව සහ ඝානාව- නොවැම්බර් 28 වැනි දා සඳුදා සවස 6.30
2). පෘතුගාලය සහ උරුගුවේ- නොවැම්බර් 29 වැකි දා අඟහරුවාදා අලුයම 12.30
3). උරුගුවේ සහ ඝානාව- දෙසැම්බර් 3 වැනි දා සෙනසුරාදා රාත්‍රී 8.30
4). පෘතුගාලය සහ දකුණු කොරියාව- දෙසැම්බර් 3 වැනි දා සෙනසුරාදා රාත්‍රී 8.30

පෘතුගාල-ඝානා තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තා වුණු පෙරළිකාර ජයග්‍රහණ

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක් වාර්තා වුණා. ඒ අතුරින් සුවිශේෂී ජයග්‍රහණය බවට පත් වුණේ සෞදි අරාබිය ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙස ලබා ගත් ජයග්‍රහණය යි.

සෞදි අරාබි කණ්ඩායම ලබා ගත් එම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් උද්දාමයට පත් වුණු සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුට ම රෝල්ස් රොයිස් රථයක් පිරිනැමීමට සූදානම් වන බවට පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගියා. ඒත් සෞදි අරාබි කණ්ඩායමේ පුහුණුකරු පවසා ඇත්තේ ඒ පිළිබඳ තමන් තව ම නිල වශයෙන් දැනුම්වත් ව නොමැති බව යි. මේ ආකරයේ සිදුවීමක් 1986 පාපන්දු ලෝක කුසලානයේ දීත් වාර්තා වුණා. එවර තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මොරොක්කෝ ක්‍රීඩකයන්ට 2 වන හසන් රජතුමා අමෙරිකානු ඩොලර් 30,000 බැගින් ප්‍රදානය කළා. 

ඊට අමතර ව ජපාන කණ්ඩායම ජර්මනිය හමුවේ ගෝල 2-1ක් ලෙස ලැබූ ජයග්‍රහණය ද මොරොක්කෝ කණ්ඩායම බෙල්ජියම හමුවේ ගෝල 2-0ක් ලෙස ලැබූ ජයග්‍රහණ ද කැපී පෙණුනා. වසර 92ක පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ තවත් එවැනි ජයග්‍රහණ කිහිපයක් හමු වෙනවා. මේ ඒවා පිළිබඳ තොරතුරු යි.

1). උතුරු කොරියාව 1-0 ඉතාලිය (1966 තරගාවලිය)
2). ඇල්ජීරියාව 2-1 බටහිර ජර්මනිය (1982 තරගාවලිය)
3). කැමරූන් 1-0 ආජන්ටිනාව (1990 තරගාවලිය)
4). නෝර්වේ 2-1 බ්‍රසීලය (1998 තරගාවලිය)
5). සෙනගාලය 1-0 ප්‍රංශය (2002 තරගාවලිය)
6). දකුණු කොරියාව 2-0 ජර්මනිය (2018 තරගාවලිය)

ප්‍රංශය හමුවේ සෙනගාලය ජයග්‍රහණය කළ තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙසී සහ රොනාල්ඩෝ තැබූ සුපිරි වාර්තා

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආජන්ටිනාවේ ලියොනල් මෙසී ඔවුන්ගේ 5 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා මෙවර සහභාගි වෙනවා. එහි දී ඝානාවට එරෙහි ව ගෝලයක් වාර්තා කිරීමත් සමඟ පාපන්දු ලෝක කුසලාන තරගාවලි 5ක දී ගෝල ලබා ගත් එකම ක්‍රීඩකයා ලෙස රොනාල්ඩෝ වාර්තා අතරට එක් වුණා.

මෙසී මෙක්සිකෝවට එරෙහි තරගයේ දී එන්සෝ ෆර්නැන්ඩස්ට ගෝලයක් ලබා ගැනීමට සහාය වීමත් (Assist) සමඟ ම ලෝක කුසලාන 5කදී ගෝල ලබාගැනීමට සහාය වුණු එක ම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වුණා.

ලියොනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – gettyimages.com


කවරයේ ඡායාරූපය- රිචාලිසන් සර්බියාවට එරෙහිව ගෝලයක් ලබා ගැනීමට එල්ල කළ සුපිරි පහර - gettyimages.com
මූලාශ්‍ර:
fifa.com
goal.com
eurosports.com
espn.in

Related Articles