Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි හිතන තරමටම සුරංගනා කතා සුන්දරද?

එකෝමත් එක කාලෙකින් පටන්ගත් සුරංගනා කතා හැමදාමත් ඉවර වුණේ සියල්ල සතුටින් විසඳිලාද? වෝල්ට් ඩිස්නි සමාගම විසින් චිත්‍රපටයන්ට නැගූ මේ සොඳුරු සුරංගනා කතා, පොත්වල සඳහන්ව තිබුණාට වඩා හොඳින් අවසන් වුණේ ලොකු-කුඩා ප්‍රේක්ෂක සැමගේ සිත් සතුටින් පුරවමින්. නමුත් මේ සුරංගනා කතාවලට පාදකවූ අතීත කතාවලට ඇත්තටම තිබුණේ සතුටුදායක අවසානයක්ද?

දරුවන්ට පොත් කියවීම හුරු කිරීම සඳහා සුරංගනා කතා පොත් ලබා දීම කොතරම් සුදුසුද? මේ ඒ ගැන පොඩි විමසුමක්.

සින්ඩරෙල්ලා

ග්‍රිම් සොයුරන්ගේ කතාව ඇසුරෙන් Alexander Zick සිතුවමට නැගූ සින්ඩරෙල්ලා (wikimedia.org)

ග්‍රිම් සොයුරන්ගේ කතාව ඇසුරෙන් Alexander Zick සිතුවමට නැගූ සින්ඩරෙල්ලා (wikimedia.org)

19 වැනි සියවස ආරම්භයේදී ග්‍රිම් සහෝදරයන් විසින් සින්ඩරෙල්ලාගේ කතාව ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම එහි විවිධ ස්වරූපයන් ලොව පුරා රටවල ජන සාහිත්‍යයේ දක්නට ලැබුණා. ඇය පිළිබඳව සඳහන් පැරණිම කතාව හමු වන්නේ චීන සාහිත්‍යයෙන්. එය ක්‍රිස්තු වර්ෂ 860 දී පමණ ලියැවූවක්.

වසර ගණනාවක් තිස්සේ ප්‍රකාශයට පත්වූ සින්ඩරෙල්ලා කතා අතරින් වඩාත් ජනප්‍රිය වූයේ 1812 දී ග්‍රිම් සහෝදරයන් විසින් පළකළ කතාවයි. නමුත් එයට ඇත්තේ කුරිරු අවසානයක්. වෝල්ට් ඩිස්නි අනුවාදයේ මෙන් නොව මෙහි සින්ඩරෙල්ලාගේ පියා ජීවතුන් අතර සිටිනවා. එසේම ඇගේ හදාගත් සොයුරියන් දෙදෙනා රන්වන් පාවහන් යුගලයට පා ඇතුළු කිරීම සඳහා ඔවුන් විසින්ම ඔවුන්ගේ පා ඇඟිලි කපා ගන්නවා.

එසේම මෙහිදී සින්ඩරෙල්ලාට උපකාර කිරීම සඳහා දෙවඟනක් වූ ඇගේ මව පැමිණෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇයට උපකාර කරන්නේ මිය ගිය මවගේ සොහොන මත සිට වූ මායාවී ගසක්.

2015 වසරේ දී තිරගත වූ Cinderella විත්‍රපටයේ පෝස්ටරයක් (blu-raydisc.tv)

2015 වසරේ දී තිරගත වූ Cinderella විත්‍රපටයේ පෝස්ටරයක් (blu-raydisc.tv)

කතාව අවසානයේ සින්ඩරෙල්ලාගේ මංගල උත්සවයේ දෙවැනි මනමාලියන් ලෙස කටයුතු කරන ඇගේ හදාගත් සොයුරියන් දෙදෙනා සින්ඩරෙල්ලා සමග අල්තාරය වෙත පිය නගද්දී පරෙවියන් පැමිණ ඔවුන් දෙදෙනාගේ දෑස්වලට කෙටීම නිසා ඔවුන් අන්ධභාවයට පත් වෙනවා.

පසුව සින්ඩරෙල්ලා සහ ඇගේ කුමාරයා පල්ලියෙන් පිටව යද්දී නැවත වතාවක් පරෙවියන් පැමිණ හදාගත් සොයුරියන් දෙදෙනාගේ ඇස් උගුල්ලා දමනවා. මේ මගින් සංකේතවත් කරන්නේ ඔවුන්ගේ නපුරු ක්‍රියා සඳහා සදාකාලිකව දඬුවම් පැමිණවීමයි.

මුලාන්

හ්වා මුලාන් ගැන ලියැවුණු කවිකතාවෙන් කොටසක් (athenaenoctua2013.blogspot.com)

හ්වා මුලාන් ගැන ලියැවුණු කවිකතාවෙන් කොටසක් (athenaenoctua2013.blogspot.com)

1998 වසරේ දී වෝල්ට් ඩිස්නි සමාගම විසින් තිරගත කළ ‘මුලාන්’ චිත්‍රපටයට පදනම සපයන්නේ චීන ජන සාහිත්‍යයේ සඳහන් හ්වා මුලාන්ගේ ජීවිත කතාවයි. එහි දැක්වෙන ආකාරයට හන් රාජ වංශය පැවති සමයේ ජීවත් වූ වයස්ගත රණශූරයෙකුගේ දියණිය වූ මුලාන්, තම පියාගේ ස්ථානය ගැනීම සඳහා පුරුෂයෙකු මෙන් වෙස් ගෙන හොං ආක්‍රමණයකට එරෙහිව හමුදා සේවයට එක් වෙනවා. ඇය සටන් කිරීම සඳහා එතරම් දක්ෂතා නොදැක්වූවත් සටන අවසානයේ දී රාජ්‍ය ගෞරව සහ තෑගි බෝග සහිතව ඇය ආරක්ෂිත ව නිවෙස බලා පැමිණීමෙන් පසුවයි චිත්‍රපටය අවසන් වෙන්නේ.

නමුත් සැබෑ ජීවිතයේ හ්වා මුලාන්ට අත් වූයේ එයට වඩා හාත්පසින්ම වෙනස් ඉරණමක්. ‘කුං ෆූ’ සටන් කලාවට සහ අසිපත් හරඹයට දස්කම් දැක් වූ ඇය, වයස්ගත රණශූරයෙකුවූ ඇගේ පියාගේ තැන ගනිමින් දොළොස් වසරක් චීන අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වදිනවා. නමුත් අවසානයේදී ඇය කාන්තාවක් බව ඉහළ නිලධාරීන් සොයා ගැනීමත් සමග ඇයට නිවෙස බලා පැමිණීමට සිදුවන්නේ හිස් අතින්.

ඇය යළිත් ගමට පැමිණි පසු ගම්වැසියන් බොහෝදෙනෙක් ඇය පුරුෂයෙකු ලෙස වෙස්ගෙන සටන් කිරීම අනුමත නොකළ බව ඇතැම් ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. සමහර ජනශ්‍රැතීන්වල සඳහන් වන්නේ ඉහළ හමුදා නිලධාරීන් ඇයට ගණිකාවක් ලෙස කටයුතු කිරීමට බල කළ නිසා ඇය සියදිවි නසා ගත් බවයි.

හ්වා මුලාන්ගේ කතාව ඇසුරෙන් 6 වැනි සියවසේ දී චීන සාහිත්‍යයේ කවිකතාවක් ලියැවී තිබෙනවා. මේ කිසිදු කතාවක හ්වා මුලාන් ජීවත් වූ කාලය පිළිබඳ නිවැරදි තොරතුරක් අඩංගු නොවන නිසා බොහෝමයක් දෙනා ඇයව සලකන්නේ සත්‍ය ලෙසම ජීවත් වූ රණශූරියක් නොව ප්‍රබන්ධ චරිතයක් ලෙසයි.

පෝකහොන්ටස්

1616 දී Simon de Passe සිතුවමට නැගූ සැබෑ පෝකහොන්ටස් (cmumini.wordpress.com)

1616 දී Simon de Passe සිතුවමට නැගූ සැබෑ පෝකහොන්ටස් (cmumini.wordpress.com)

වෝල්ට් ඩිස්නි සමාගම 1995 වසරේදී පෝකහොන්ටස්ගේ ජීවිත කතාව ඇසුරෙන් තිරගත කළ චිත්‍රපටය ඇගේ සත්‍ය කතාවට වඩා හාත්පසින්ම වෙනස් එකක්. 1596 වසරේ පෝකහොන්ටස් උපත ලැබුවේ ස්වදේශීය ඇමෙරිකානු ගෝත්‍ර ප්‍රධානියෙකුගේ දියණිය ලෙසයි. ඇය, වර්ජිනියා ප්‍රාන්තයේ ඇති කළ යටත් විජිත හා ඇගේ පැවති සම්බන්ධතාවය නිසා ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනප්‍රිය වුණා. එසේම ප්‍රකට ගවේෂකයෙකු වූ ඉංග්‍රීසි ජාතික ජෝන් ස්මිත්, ස්දේශීය ඇමෙරිකානු ග්‍රහණයෙන් මෙන්ම මරණයෙන්ද ගලවා ගැනීමට ඇය දායක වුණා.

නමුත් වෝල්ට් ඩිස්නි අනුවාදයේ ඇති ආකාරයට පෝකහොන්ටස් සහ ජෝන් ස්මිත් අතර කිසිදාක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති නොවූ බවයි ඇමෙරිකානු ජනශ්‍රැතීන්හි සඳහන් වන්නේ. එයට බොහෝවිට හේතු වන්නට ඇත්තේ ජෝන් ස්මිත්ව මරණයෙන් බේරා ගැනීමේදී ඇය වයස අවුරුදු එකොළක දැරියක් වීමයි. පසු කාලීනව ඉංග්‍රීසි ජාතිකයන් විසින් පෝකහොන්ටස්ව අල්ලාගෙන ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගන්නවා.

John Gadsby Chapman සිතුවමට නැගූ පෝකහොන්ටස්ගේ බෞතීස්ම උළෙල (en.wikipedia.org)

John Gadsby Chapman සිතුවමට නැගූ පෝකහොන්ටස්ගේ බෞතීස්ම උළෙල (en.wikipedia.org)

ඉන් නිදහස් වීම සඳහා ඇයට තිබුණු එකම විකල්පය වන්නේ ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීම සහ ඉංග්‍රීසි ජාතිකයෙකු සමග විවාහ වීමයි. තමන්ගේ නිදහස උදෙසා ඇය 1614 දී ඉංග්‍රීසි ජාතික දුම්කොළ වගා කරන්නෙකු වූ ජෝන් රොල්ෆ් සමග විවාහ වී රෙබෙකා යන නම භාවිතාකිරීම ආරම්භ කරනවා.

1616 දී පෝකහොන්ටස්ව ඉංග්‍රිසි සමාජය තුළ ‘ශිෂ්ඨ වනචාරියෙක්’ ලෙස ප්‍රදර්ශනය කරනවා. ඉංග්‍රීසීන්ගේ දුක් ගැහැටයන්ට ලක් වෙමින් දුක්බර දිවියක් ගෙවූ පෝකහොන්ටස් 1617 දී වයස අවුරුදු 21 දී මියයන්නේ ජෝන් රොල්ෆ්ට දාව ඇයට උපන් පුතුට වයස අවුරුදු 2 ක් ව තිබියදීයි.

පුංචි දිය කිඳුරිය

කෝපන්හේගන් හි පිහිටි පුංචි දිය කිඳුරියගේ පිළිරුවක් (destination360.com)

කෝපන්හේගන් හි පිහිටි පුංචි දිය කිඳුරියගේ පිළිරුවක් (destination360.com)

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් ‘පුංචි දිය කිඳුරිය’ කතාව මුල්වරට ප්‍රකාශයට පත් කරන්නේ 1837 වසරේදීයි. එහි සඳහන් අවසානය ඉතා දුක්බර එකක්. මිනිස් ආත්මයක් ලබාගැනීම සඳහා තම මියුරු කටහඬ හුවමාරු කරගන්නා පුංචි දිය කිඳුරියට තමන් කවුද යන කාරණය කුමාරයාට වටහා දීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඩිස්නි අනුවාදයේ මෙන් සත්‍ය කතාවේදී ඇයට ඇගේ කටහඬ නැවත ලැබෙන්නේත් නැහැ.

ඒ නිසා ඇගේ කතාව නොදන්නා කුමාරයා, අසල්වැසි රාජ්‍යයේ කුමාරිකාවක් සමග විවාහ වෙනවා. මෙයින් හදවත බිඳෙන පුංචි දිය කිඳුරිය මිය යනවා. මුහුදු පෙණ කැටිත්තක් බවට පත් වෙන ඇගේ ආත්මය ක්‍රමයෙන් මුහුදු රැල්ලට එකතු වෙනවා.

නමුත් නැවත වරක් ඇයට දිය කිඳුරියක් වීම සඳහා එක් අවස්ථාවක් හිමි වෙනවා. ඇය කුමාරයාගේ හදවතට පිහියෙන් ඇන ඔහුගේ රුධිරය ඇගේ දෙපා මත වැටෙන්නට සලස්වනවානම් ඇගේ සියලු වේදනාවන් අවසන් වී නැවත වරක් ඇයට මුහුදු පතුලට පිහිනා යාහැකියි. නමුත් පුංචි දිය කිඳුරියට එසේ කිරීම සඳහා හිත හදා ගැනීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා ඇය මියගොස් සුළඟේ දියණියක්ව යළි උපත ලබන බවයි කතාව අවසානයේ සඳහන් වන්නේ.

මේ ආකාරයට බොහෝමයක් සුරංගනා කතාවලට ඇත්තේ චිත්‍රපටවලින් අපි දැන හඳුනා ගත් සතුටුදායක අවසානය නෙමෙයි. එයට හේතුව අතීතයේදී සුරංගනා කතා රචනා කර ඇත්තේ සමාජයට ආදර්ශයක් දීම සඳහා වීමයි. සත්‍ය සුරංගනා කතාවලට ඇති වේදනාබර අවසානයන් නිසාම වර්තමානයේ දී දෙමව්පියන් තම දරුවන් සඳහා සුරංගනා කතා කියවීමට මැලිකමක් දක්වනවා. එසේම බොහෝමයක් මනෝ විද්‍යාඥයන් ග්‍රිම් සොයුරන්ගේ සුරංගනා කතා ළමා මනසට නුසුදුසු යැයි විවේචනය කර තිබෙනවා. මේ නිසා පුංචි දරුවන්ට සුරංගනා කතා කියා දෙන්නට මත්තෙන් දෙවරක් නොව තෙවරක් සිතා බලන්න.

කවරයේ පින්තුරය: bbci.co.uk

මූලාශ්‍ර: en.wikipedia.org, bookstr.com, ancientstandard.com

Related Articles