Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ ලැයිස්තුවේ මේ පළතුරුත් ඇත්දැයි බලන්න

පළතුරු කියන්නේ මිනිස් සිරුරට විටමින් සහ ඛණිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පළතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

මේ ලිපියෙන් විස්තර වෙන්නේ ශ්‍රී ලංකාවේ  ජීවත් වෙන අපිට ශ්‍රී ලංකාව තුලදීම සපයා ගන්න පුළුවන්, නමුත් ඉහල පෝෂණයක් සපයන පළතුරු වර්ග කිහිපයක් පිළිබඳවයි.

කෙසෙල්

කෙසෙල්. (hesca.org)

කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාව තුල වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතාම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වෙන ජනප්‍රිය පළතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්.

ඒ වගේම කෙසෙල් වල අඩංගු තන්තු මඟින් මල බද්ධය වැනි තත්ත්ව මඟ හරවනු ලබනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳව යම් සංතෘප්තතාවයක් ලබා දෙන නිසා ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඒ ඉලක්කය වෙත ලඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා.

රත් කෙසෙල්. (healthyfoodstyle.com)

බොහෝ කෙසෙල් ප්‍රභේද වල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. නමුත් රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේදයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි.

තැඹිලි

තැඹිලි. (everystockphoto.com)

තැඹිළි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පළතුරක්.

උණුසුම් දින වලදී විජලනය වීම වලකා ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිතා කෙරෙනවා. ඒ වගේම තැඹිළි වතුර වල ඛණිජ ලවණ විශාල ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි. තැඹිළි වතුරේ අන්තර්ගත ඛණිජ ලවණ මඟින් රුධිර පීඩනය අඩු කරනු ලබන බවත්, වකුගඩු වල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා.

ඒ වගේම දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කල හැකි ආකාරයෙන් පවතින නිසා ජීර්ණය අපහසු පුද්ගලයින්ට අතිරේක පෝෂක පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි.

නෙල්ලි

නෙල්ලි. (organicfacts.net)

නෙල්ලි යන වචනය ඇසූ සැනින් සමහරුන්ට නම් තිත්ත රසක් දැනෙන්න පුළුවන්. නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ මේ තිත්ත රස නිසා. නමුත් ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිතා කරන නෙල්ලි රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා.

ඒ ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර ශරීරයට අහිතකර අඩු ඝණත්ව ලීපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟින්. ඒ වගේම දියවැඩියාව, පිළිකා, අජීර්ණ, සන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත් ආයූර්වේදයේ නෙල්ලි යොදා ගනු ලබන බව සඳහන් වෙනවා.

ඒ වගේම නෙල්ලි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණුකිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ මුක්ත ඛණ්ඩක නිසා සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන්ම කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා.

දෙළුම්

දෙළුම්. (wildrosesnowdrops.blogspot.com)

දෙළුම් කියන්නේ සොයා ගැනීමට තරමක් අසීරු, නමුත් ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් පළතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම් වල අඩංගු වෙනවා.

නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැලඳීමේ අවදානම අඩු කිරීමට මෙන්ම සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මෙම පළතුර සමත්කම් දක්වනවා.

වරකා

ඉදුණු කොස් හෙවත් වරකා. (epicurious.com)

පළතුරක් ලෙස වරකා වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැහැ. කොස් ගෙඩියක පරිණත අවස්ථාව වන මෙම අවස්ථාවේදී මෙහි ඇති ආවේණික පැණි රසය නිසා ඇතැමුන් මෙය පළතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා.

මෙහි ඇති වාසිදායකම කාරණය තමයි ඉතාමත් අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීම. පෝෂ්‍ය පදාර්ථ විදියට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන්ම තන්තු විශාල ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතයි.

වරකා වල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර මල බද්ධය ඇති වීම වලක්වනවා. ඒ වගේම ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවධානම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමට වයස්ගත පෙනුම අඩු කරවීමටත් මෙය සමත්. එසේම වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනු ලබනවා.

මිල අධික ආනයනික පළතුරු වලට වඩා අපට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ වගේ සරල පළතුරු වර්ග අතුරුපස විදියට ආහාර වේලට එකතු කර ගැනීම මඟින් ආහාරයේ වටිනාකම වැඩි වනවා මෙන්ම එය වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දොරටු විවර කරනවා.

කවරයේ පිංතූරය – thisislandlife.com

මූලාශ්‍ර: healthline.com, kingcoconut.asia, usesofcoconut.com, webmd.com, healthyfoodhouse.com, healthbeckon.com, nutrition-and-you.com, naturalsociety.com

Related Articles