Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Coca-Cola හි ඉතිහාසය සහ තවත් අපුරු කථා

භාවිතයේ පහසුවට කෝක් නමින් හඳුන්වන කෝක-කෝලා කියන්නේ ලොව බොහෝ දෙනෙක් ප්‍රිය කරන, මීට අවුරුදු 130කට පමණ පෙර ඇමරිකාවේ නිපැයුණු පානයක්. 1885දී ජෝන් පෙම්බර්ටන් විසින් නිපදවන ලද මෙය ඊට පසු වසරේදී එරට ශත 5කට ඖෂධයක් ලෙසින් නීතිගත කොට විකුණනු ලැබුවා. එකල කාබනේට් කළ ජලය පානය ඇඟට හොඳයැයි තිබූ මතයක් අනුව වැඩිපුර අලෙවි වූ නමුත් ඔහු විසින් මෙම පානය නිසා රෝග රැසක් සුව කරගත හැකි බව සනාථ කරන්නට සමත් වුණා.

අද වනවිට ඒ මුල් පානය හැරුණු කොට Coca-Cola සමාගම සීනි රහිතව ඩයට්-කෝක් නමින් මෙන් ම ස්ප්‍රයිට් සහ ෆැන්ටා වැනි බීම වර්ග රැසක් ද නිෂ්පාදනය කරනවා. ඒ අනුව ලොව වටා ජනතාව එවන් පාන වර්ග වලින් තත්පරයකට වීදුරු අටදහසක් පමණ පානය කෙරෙනවා.

නම සහ ලාංඡනය බිහිවූ හැටි

(pinimg.com)

(pinimg.com)

මෙහි නම ඇතිවී තිබෙන්නේ ආරම්භයේදී එහි මූලික අමුද්‍රව්‍ය දෙක වූ කොකේන් මත්ද්‍රව්‍යය නිපදවීමට ගන්නා කෝක පත්‍ර සහ කෝපිවල මෙන්ම කැෆේන් අඩංගු කෝලා ඇට නිසායි. මෙම කෝලා ශාකයේ නම ඉංග්‍රීසි K අකුරෙන් ඇරඹුණත් වෙළඳ ප්‍රචාරණයේදී එය C අකුරක් බවට පත්කර තිබෙනවා. මෙම නම කොකා-කෝලා ලෙසින්ද අපේ කටවහරේදී භාවිතා වුවත් එහි නිවැරදි භාවිතය වන කෝක-කෝලා යන්න මෙම ලිපිය පුරාවට භාවිතා කරන බව කෝකටත් කියා තැබීම හොඳයි.

මෙහි නම සහ ලාංඡනය වන Coca-Cola යන්න හඳුන්වාදී ඇත්තේ ජෝන් පෙම්බර්ටන් ගේ පොත් තබන්නා වන ෆ්‍රෑන්ක් රොබින්සන් විසිනුයි. හොඳින් පෑන භාවිතයටද හැකියාවන් දැක්වූ ඔහු විසින් අඳින ලද අනන්‍ය ගලායන අත් අකුරු ආකාරයකින් යුත් මෙම ලාංඡනය තමයි අදටත් සමාගම විසින් භාවිතා කරන්නේ.

ඖෂධයක් ලෙස

(foodimentary.com)

(foodimentary.com)

ජෝන් පෙම්බර්ටන් මේ පානය මුලින්ම නිමවනු ලැබුවේ ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ සේවය කරමින් මෝර්ෆීන් හෙවත් නිදි පෙති සඳහා ඇබ්බැහි වීමෙන් අනතුරුව ඉන් මිදීම සඳහා තමාටම ඖෂධයක් වශයෙනුයි. එවිට එය හැඳින්වුණේ කෝක වයින් ලෙසයි.

අනතුරුව එය කෝක කෝලා ලෙසින් 1886දී වෙළඳපොළට හඳුන්වා දීමේදී වෙළඳ ප්‍රචාරණයේදී ප්‍රධාන වශයෙන් දක්වන ලද්දේ හිසරදය සහ අධික වෙහෙස නැති කරන පානයක් වශයෙනුයි. ඊට අමතරව මෝර්ෆීන් ඇබ්බැහිකම, අජීර්ණතා, ස්නායු අක්‍රමිකතා, හිසරදය සහ ලිංගික බෙලහීනතාවය දුරු කරන බවද ඔහු දක්වනු ලැබුවා.

පේටන්ට් බලපත ලැබූ මත්ද්‍රව්‍යයන්ගෙන් තොර ඖෂධයක්වූ එය ජෝර්ජියාවේ ඇට්ලැන්ටාහි ජැකොබ්ස් ෆාමසියේ විකුණනු ලැබූවා. එම වසරේ මැයි 8 වැනිදා පළමු විකුණුම සිදුවුණු අතර පළමු වසරේදී Coca-Cola ආයතනයට බෝතල් 5ක් විකුණාගත හැකිවුණා. සෝඩා උල්පත් ලෙසින් හඳුන්වන පාන වර්ග නිකුත් කරන යන්ත්‍රවලින් බෙදාහැරි මේවායේ එක් වීදුරුවක් ශත පහක් වූවා.

කොකේන් තිබෙනවාද?

ඔබ මීට පෙරත් මේ කථාව නම් අසා ඇති. එය සත්‍යයක්. ප්‍රථමයෙන්ම නිකුත්වූ කෝක-කෝලා නිශ්පාදනයන්හි වීදුරුවකට මිලිග්‍රෑම් 9ක් පමණ කොකේන් අඩංගු කර තිබුණු අතර ඇල්කොහොල් සඳහා ආදේශකයක් මෙන් ම කංසා ඇබ්බැහිකම නවතාලන්නට හැකි බවද කියැවුණා.

නූතන පාඨකයන්ට කොකේන් සහිත පාන වර්ග දුර්ලභ වුණත් 19වැනි සියවසේදී ඒවා ඉතා සුලබව ඇමරිකාවේ දකින්නට තිබුණා. නමුත් 1914දී කොකේන් නීතියෙන් තහනම් කරනු ලැබූ අතර ඉන්පසු භාවිතා වූයේ හිසරදය, අධික වෙහෙසකර බව, මළ බද්ධය, ඇදුම සහ බෙලහීනතාව ආදිය සුවකරන ඖෂධ සඳහා පමණයි.

නමුත් 1903න් පසු ඇතිවූ සමාජ පෙරළියක් සමඟ එකල සිටි කෝක-කෝලා කළමණාකාරීත්වය තමන්ගේ සියළුම පාන වර්ග වලින් මත්ද්‍රව්‍ය ඉවත් කරන්නට තීරණය කළා. එනමුත් විද්‍යාඥයන්ට කෝක පත්‍ර නිස්සාරණයෙන් උත්තේජක සම්පූර්ණයෙන් ඉවත් කරන්නට හැකිවූයේ 1929දී බවයි Live Science දක්වන්නේ.

වෙළඳ ප්‍රචාරණය

(bestpictureblog.com)

(bestpictureblog.com)

1886 මැයි 29 දින ඇට්ලැන්ටා ජර්නල් පුවත්පතෙහි “මහන්සිද? එහෙනම් බොන්න කෝක-කෝලා. එය අධික තෙහෙට්ටුවට කදිමයි” යන මැයෙන් ප්‍රථම වෙළඳ දැන්වීම පළවීමෙන් පසු 1928දී ඈම්ස්ටර්ඩෑම්හි පැවති ඔලිම්පික් උළෙලේදී ප්‍රථම ඔලිම්පික් වානිජ්‍ය අනුග්‍රාහකයා වෙමින් අද වනතුරුත් එහි අනුග්‍රාහකත්වය දරන්නට Coca-Cola සමාගම කටයුතු කරනවා.

ඇමරිකානු සංස්කෘතිය පදනම් කරගත් වෙළඳ ප්‍රචාරණ කලාවක් අනුගමනය කළ මොවුන් 1895 වසරේදී හොඳින් හැඳ පැළඳගත් කාන්තාවක් යොදමින් “ශත පහකට කෝක-කෝලා එකක් බොන්න” යනුවෙන් ප්‍රචාරණය කළ අතර ඒ වෙනුවට සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා යොදන තෙක් ම ඒ ක්‍රමවේදය අනුගමනය කෙරුණා. රතු සහ සුදු වර්ණයන් මිශ්‍ර ඇඳුම සහිත නූතන අපේ සිතේ මැවෙන නත්තල් සීයාගේ රූපයට පදනම්ව තිබෙන්නේ ද එකල පටන් කෝක-කෝලා වෙළඳ දැන්වීම් විසින් ලොවට මවාදුන් චිත්‍රයයි.

1941 වර්ෂයෙදී “Coke යනු කෝක-කෝලාය.” යනුවෙන් වෙළඳ දැන්වීම් හරහා ‘කෝක්’ යන කෙටි වෙළඳනාමය භාවිතයට ගෙන එනු ලැබුවා. මේ කාලය වන විට දෙවන ලෝක යුද්ධයට ඇමරිකාව හිස පෙවූ අතර ඇමරිකානු ජනතාව දහස් ගණනින් යුධ වැදීම සඳහා රටින් එපිටට යනු ලැබුවා. එහිදී එකල කෝක-කෝලා සමාගමේ සභාපතිව සිටි රොබට් වුඩ්රෆ් “නිල ඇඳුමින් සිටින සියළුම දෙනා කොහි සිටියත් එතැනට ළඟා වන්නට අප ආයතනයට කෙතරම් මුදලක් වැය වූවත් ශත පහක මිලට කෝක-කෝලා බෝතලයක් ඔවුන්ට ලබා දෙනවා” යි කියා සිටියා.

ඉන්පසු 1971දී බිලී ඩේවිස් විසින් වෙළඳ දැන්වීමක් සඳහා “I’d Like to Teach the World to Sing” ගීතය ඉදිරිපත් කළ අතර එය ලොව සිත්ගත් ගීතයක් බවට ද පත්වුනා. 1980දී පමණ පෙප්සි සමාගමද කරලියට ආ අතර මේ වන තුරුත් මේ සමාගම් දෙකෙහි වෙළඳ ප්‍රචාරණ ගැටීම් අපට නිරතුරුව දකින්නට ලැබෙනවා.

ලොව ඕනෑම කෙනෙක් තේරුම් ගන්නා දෙවැනි වචනයයි

(smithsonianmag.com)

(smithsonianmag.com)

සමාගම පවසන පරිදි “OK” යන වචනයට දෙවැනිව ලොව සිටින ඕනෑම කෙනෙක් තේරුම් ගන්නා වචනයක් ලෙස කෝක-කෝලා යන්න තිබෙන බවයි. එසේ ම ලොව 90%ක් ම රතු පැහැති කෝක-කෝලා ලාංඡනය සැණින් හඳුනා ගන්නවා.

මේ කෝක-කෝලා පානය හැර වෙනත් පාන වර්ග තිබේ ද?

(oliviabarnes16.wordpress.com)

(oliviabarnes16.wordpress.com)

මුල් පානයේ නමම සමාගමේ නමට යොදා තිබුණත් මේ වන විට එම සමාගම විසින් බොහෝ පාන වර්ග නිපදවා ඇති අතර ඊට ෆැන්ටා, ස්ප්‍රයිට්, මිනිට් මේඩ් සහ කෝක් වලම සීනි රහිත ආකාරයක් වන ඩයට් කෝක් මෙන්ම වෙනත් රසවලින් යුත් චෙරි කෝක්, වැනිලා කෝක් ද නිපදවන නිසා ගතවන සෑම දිනක ම සෑම තත්පරයකදී ම මේ සමාගමේ පාන වර්ගයක් ලොව කොහි හෝ පානයට ගැනෙනවා.

කෝක් නැති රටවල්

කියුබාව සහ උතුරු කොරියාව යන රටවල් දෙක කෝක-කෝලා ආනයනය කිරීමෙන් වැළකී සිටින අතර ඒ රටවල් වලදී නිල වශයෙන් කෝක-කෝලා ආයතනයෙන් නිකුත් කෙරුණු පානය මිළදී ගන්නට ලැබෙන්නේ නැහැ. මෙම සම්බාධකයට හේතුව ලෝක යුද්ධ සමයේ ඇතිවූ බලපෑම බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

අභ්‍යවකාශයට ගිය ප්‍රථම පැණිබීම වර්ගය

(coca-colacompany.com)

(coca-colacompany.com)

1985 දී Coca-Cola පානය අනෙකුත් පැණිබීම වර්ග අතුරින් අභ්‍යවකාශයට ගිය ප්‍රථමයා වන්නට සමත් වුණා. එය අභ්‍යවකාශ තත්ව පදනම් කරගෙන තැනූ විශේෂ අසුරණයක අඩංගු වූ අතර “නව කෝක්!” යනුවෙන් සඳහන් කර තිබුණා.

ඉතින් කෝක් තරම් ප්‍රසිද්ධ තවත් කෑම බීම වර්ග ගැන ඔබත් දන්නවාද? එහෙනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

මුලාශ්‍ර: කෝක කෝලා වෙබ් අඩවිය, Roar හි බංග්ලාදේශ වෙබ් අඩවිය, විකිපීඩියා, Business Insider, Live Science සහ BBC.

කවරයේ ඡායාරූපය: pinimg.com

Related Articles