Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

60,70 දශක වල නැගලා ගිය බෑන්ඩ් පහක්

කණ්ඩායම් සංගීතය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් 60 හා 70 දශක වලදී කණ්ඩායම් සංගීතයෙන් රසිකයන් අමන්දානන්දයට පත් කළ, කොටින්ම කියනවනම් ඒ දශක වලදී අපේ රටේ නැගලා ගිය බෑන්ඩ් කිහිපයක් ගැන ලියන්නට පොඩි අදහසක් අපට ආවා.

මූන්ස්ටෝන්, ධර්මරත්න බ්‍රදර්ස්, ලා බම්බාස් හා ත්‍රී සිස්ටර් ඇතුළු සංගීත කණ්ඩායම් පහක ආරම්භය, ඔවුන්ගේ ජනප්‍රිය ගීත හා කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර වගේ විශේෂ කරුණු ටිකක් මේ ලිපියේ අඩංගු වෙනවා. ඉතින් මේ සංගීත කණ්ඩායම් වලින් ඔබ ප්‍රිය කරන්නේ කුමන සංගීත කණ්ඩායමටද කියලා අපට කියලා යන්නත් අමතක කරන්න එපා.

ධර්මරත්න බ්‍රදර්ස්

ධර්මරත්න බ්‍රදර්ස්. (youtube.com)

“කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ..

ශුද්ධවූ නගරේ..

ජේසූ මෙලොවට බිහි වුනේ..

පුංචි ගව මඩුවේ..”

අදටත් නත්තල් සමයේ ඇසෙන මේ කැරොල් ගීතයේ අයිතිකරුවන් වන්නේ ධර්මරත්න සහෝදරයෝ නම් සංගීත කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය නව මඟකට යොමු කරමින් මොවුන් කරළියට පිවිසෙන්නේ 1965 වර්ෂයේ කොල්ලුපිටියේ පැවති ගායනා තරගයකින් සමස්ථ ලංකා දෙවන ස්ථානය දිනා ගනිමින්. 1967 වර්ෂයේ නොවැම්බර් මසදී පළමු ගී තැටිය නිකුත් වෙනවා.

“කඳු සිකර තුළින් හොරෙන් හොරෙන් එබිල බලනවා..

හිරු කුමාරයා හිනා වෙමින් ‍රැස් පතුරනවා..

අඳුරට පහණකි මුළු ලොව එළිය කරනවා..

වැසි ඉවරයි සං‍තෝසයි අව්ව වැටෙනවා..

අව්ව පායලා .. අව්ව පායලා ..”

ඒ අදටත් ඉතාමත් ජනප්‍රිය ඔවුන්ගේ පළමු ගීතයයි. එය ඇතුළුව “පුංචි හුරතලා”, “කඳුකරේ” හා “නොන්ඩි කිරා” යන ගීත ද එහි අඩංගු වෙනවා.

මෙල්රෝයි ධර්මරත්න, රොනල්ඩ් ධර්මරත්න, ක්‍රිස්ටි ධර්මරත්න හා මැක්ස්වල් ධර්මරත්න යන සහෝදරයන් හතර දෙනාගේ එක් වීමෙන් තමයි මෙම සංගීත කණ්ඩායම බිහි වන්නේ. තම දරුවන් හතර දෙනා එක් කරගෙන කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස 1982දී මරණයට පත් වනතුරු කටයුතු කරන්නේ ඔවුන්ගේ මවයි.

ඉන් පසුව ධර්මරත්න සහෝදරයෝ විසින් “මංගල මං”, “සූර සරදියල්”, “කුමරි මගේ”, “මෙඩිකල් කොල්ලෝ“, “සහෝදරයො හතර දෙනා” හා “හලෝ ඩල්සි” වැනි ගීත රාශියක් ගී තැටි සඳහා ගායනා කර තිබෙනවා. එකළ බිහි වූ සංගීත කණ්ඩායම් අතරින් ධර්මරත්න සහෝදරයෝ විශේෂ වන්නේ ඔවුන් ගායනා කළ සෑම ගීතයකම ගී පද නිර්මාණය හා තනු නිර්මාණය ඔවුන්ටම අයත් වීමයි. පසු කාලීනව ගැයූ සෑම ගීතයකම පද හා තනු නිර්මාණය කරන්නේ මෙල්රෝයි ධර්මරත්න විසින්.

ලා බම්බාස්

ලා බම්බාස් (Sunday Times)

“කලේ උකුලේ තියලා – බුලත් විටක් හපාලා..

දසන් දේපළ පෙන්වලා – ටිකිරි සිනාව පාලා..

මම ඉන්නවා දැකලා – අනෙක් පැත්ත බලාලා..

යනවනේ මහ නුවර මැණිකෙලා..”

ප්‍රියා පීරිස්, බ්‍රයන් ප්‍රනාන්දු, රොලින්සන් ප්‍රදිනාන්දු, ලෙස්ලි ප්‍රනාන්දු හා එරින්ටන් පෙරේරා යන සාමාජිකයන්ගෙන් සමන්විත ලා බම්බාස් කණ්ඩායම 1960 යුගයේ අවසාන වර්ෂ වලදී මොරටුව ප්‍රදේශයෙන් බිහි වෙනවා.

“Obsever Talent Contest” නම් රේඩියෝ සිලෝන් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශනය වූ වැඩසටහනට සහභාගී වීමත් සමඟම ලා බම්බාස් සංගීත කණ්ඩායම රසිකයන් විසින් හදුනා ගන්නවා. නමුත් එදින ශබ්ද විකාශන යන්ත්‍ර වල සිදු වූ දුර්වලතා හේතුවෙන් බලාපොරොත්තු වූ ආකාරයට සාර්ථක ඉදිරිපත් කිරීමක් කරන්නට මොවුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. ලා බම්බාස් යන නාමය ස්පාඤ්ඤ රංගනයක යොදාගත් ගීතයක නම ඇසුරෙන් නිර්මාණය කරන්නේ බ්‍රයන් ප්‍රනාන්දු විසින්.

බටහිර කණ්ඩායමක් වූ “ලොස් පැරගුවාස්” කණ්ඩායමේ ශෛලිය අනුව ඔවුන්ගේ ගීත වලින් ආභාෂය ලබා ගනිමින් 1970 මුල් යුගයේ ඔවුන්ගේ කුළුඳුල් ගී තැටිය නිකුත් වෙනවා. “එන්න යන්න නෙළුම් විලේ”, “සමන්මලී ඔබේ අත සරසන්න”, “හඳපානේ” යන ගීත එහි අඩංගු විය. 1970 දශකයේ ඔවුන්ගේ තුන්වන තැටිය නිකුත් වෙන අතර “නුවරඑළිය යන්න” ඇතුළු ගීත හතරක් අඩංගු වෙනවා.

Spanish ගිටාර් සහ තාල තරංගයන් යොදා ගනිමින් කැපී පෙනෙන මොවුන්ගේ විශේෂත්වය වන්නේ ගිටාරය සහ shaker වලට අමතරව සාමාන්‍යයෙන් වෙනත් කණ්ඩායම් භාවිතා නොකරන තාලම්පට, වයලීන්, ක්ලැරිනට් හා බටනලා වැනි දේශීය සංගීත භාණ්ඩ භාවිතා කරමින් කණ්ඩායම් සංගීතයේ ජය කෙහෙළි නැංවීමයි.

පද රචනයට, තනු නිර්මාණයට, ගායනයට හා වාදනයට එක සේ දස්කම් පෑ ලා බම්බාස් සංගීත කණ්ඩායම නිර්මාණය කල ගීත අදටත් වෙනසක් නොමැතිව එකලෙස රස විදින්නට පුළුවන්.

මූන්ස්ටෝන්

මූන්ස්ටෝන් (Vernon Corea)

ක්ලැරන්ස් විජේවර්ධන කියපු ගමන් නොහදුනන කෙනෙක් ලංකාවේ හොයා ගන්න නැති තරම්. ඉතින් ඔහු ආරම්භ කළ මුල්ම සංගීත කණ්ඩායම තමයි මූන්ස්ටෝන් කියන්නේ.

“මංගෝ කළු නැන්දේ..

මොකදෑ.. මේ පැත්තේ..

සැන්දෑ.. යාමෙ බලා..

ගෙදරින් පැනගත්තේ..”

මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම විසින් ගායනා කරන මේ ගීතය අදටත් ට්‍රිප් එකක් යනවිට කාටත් මතක් වෙන ගීතයක්.

1965 වසරේදී ඇනස්ලි මාලේවන හා ක්ලැරන්ස් විජේවර්ධන එකතු වී සිරිසඟබෝ කොරයාගේ කළමනාකාරීත්වයෙන් මූන්ස්ටෝන් (Moonstone) සංගීත කණ්ඩායම පිහිටවනවා. රත්නපුරයේදී තමයි ඔවුන් මෙම කණ්ඩායම පිහිටුවන්නේ.

මූන්ස්ටෝන්ස් යනුවෙන් අදහස් වෙන්නේ මැණික් වර්ගයක්. හතර දෙනෙක්ගෙන් යුත් මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලවන, මොන්ටි වත්තලදෙණිය හා ධම්මික විජේසිරි යන මිතුරු පිරිසකගේ එකතුවක් වෙනවා.

Country and Western ශෛලිය මෙන්ම බටහිර පොප් සංගීත කණ්ඩායම් වල ගීත ප්‍රිය කළ මෙම කණ්ඩායම සිරිසඟබෝ කොරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ Saturday Stars නම් සංගීත වැඩසටහනට සහභාගී වී ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගන්නවා.

ක්ලැරන්ස් විජේවර්ධන බොක්ස් ගිටාරය වයමින් ඔහුටම අවේනික සංගීත රටාවක් හදුන්වා දීම මෙහිදී දකින්නට ලැබෙනවා. පසුව ඩෙරික් සහ ලින්කන් ද සිල්වාගේ ආරාධනාවෙන් මොරටුවේදී පැවැත්වුණු Star Parade නම් සංගීත වැඩසටහනකට සහභාගී වීමට මූන්ස්ටෝන් කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. එහිදීත් ඉතා ඉහළ ප්‍රේක්ෂක  ප්‍රතිචාරයක් ලබා ගැනීමට මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමට හැකි වෙනවා.

ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වෙන මූන්ස්ටෝන් පළමු ගී තැටිය ලෙස “”මංගෝ කළු නැන්දේ”, “සිත උදේ, “මැණිකේ සුදු මැණිකේ” හා “රුවන්පුරය” යන ගීත හතර ඇතුළත් කරමින් එළි දක්වනු ලබනවා. පසු කාලයේදී මූන්ස්ටෝන් කණ්ඩායම විසින් තවත් ගී තැටි දෙකක් එළිදක්වනවා.

ගෝල්ඩන් චයිම්ස්

ගෝල්ඩන් චයිම්ස් (YouVisit)

“කිමද නාවේ ඇයි නාවේ තරහවී..

කවුද කීවේ බොරු කීවේ මගේ දයා..

පෙර නූයේ ඇයි වූයේ අද වගේ..

කිමද නාවේ ඇයි නාවේ අද ඔයා..”

ක්ලැරන්ස් විසින් ආරම්භ කළ අදවන විටත් පවතින සංගීත කණ්ඩායමක් තමයි ගෝල්ඩන් චයිම්ස් කියන්නේ. ඉහත ගීතය ගායනා කරන්නේ එම කණ්ඩායමේ ලාංකිකා පෙරේරායි.

1960 යුගයේ අග භාගයේ මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම නියෝජනය කළ ක්ලැරන්ස් විජේවර්ධන, විජිත් පිරිස් හා ශානක පෙරේරා ඉන් ඉවත් වී මෙම සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. “Break Always From The Moonstones” යනුවෙන් පළමු සංදර්ශනය මොරටුව නගරයේදී පැවැත් වූ ඔවුන්ට “රන් සීනු හඬ” යන අර්ථය ඇති ගෝල්ඩන් චයිම්ස් යන නම තබන්නේ එවකට ගී තැටි ප්‍රකාශයට පත් කළ සූරිය ලේබල් හි අධිපති ජේර්ල්ඩ් වික්‍රමසුරිය විසින්.

1971 වසරේ ඔවුන්ගේ පළමු ගී තැටිය නිකුත් වෙනවා. “සිහින් සිනාවයි”,”මගේ පැල්පතේ”, “පාට පාට රන් තටු සලලා” හා “කිමදනාවේ” යන ගීත මෙහි අඩංගු වූ අතර විවිධ රිද්මයන්ට එම ගීත නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

1987 වසරේදී  Observer පුවත්පත සංවිධානය කළ “Musical Stars of 86” සංගීත සම්මාන උළෙලේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස සම්මාන ලබන්නේ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමයි.

ත‍්‍රී සිස්ටර්

ත‍්‍රී සිස්ටර් (YouTube)

“නෙත් යුඟ රන් තරු යුවල තමයි..

තොල් පෙති නා දළු වලට සමයි..

මගෙ හද ඔබෙ සුව යහන තමයි..

ඔබ සොයනා කළු කෙල්ල මමයි..”

එම දශක වල ජනප‍්‍රිය පොප් සංගීත කන්ඩායම් අතර ”ත‍්‍රී සිස්ටර් ” සංගීත කන්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

එම කණ්ඩායම එකම පවුලේ සහෝදරියන් තිදෙනකුගේ එකතුවක්. ගායනයට උපන් හපන්කම් දැක්වූ මේ සහෝදරියන් වූයේ මල්ලිකා පෙරේරා, ඉන්ද්‍රානි පෙරේරා හා අයිරාංගනී පෙරේරායි.

1969 වසරේ දෙසැම්බර් 31 වනදා ඔවුන්ගේ පළමු ප්‍රසංගය පැවැත්වෙන්නේ තැප්‍රෝබේන් හෝටල් පරිශ්‍රයේයි. “කළු කෙල්ල මමයි”, “අක්කලා නංගිලා” හා ”තිළිණය ලෙසින් පිළිගන්වමි” වැනි ගීත ඔවුන්ගේ ජනප්‍රිය ගීත අතරින් කිහිපයක්. පිළිකාවක් හේතුවෙන් මල්ලිකා පෙරේරා අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගැනීමෙන් පසු මෙම කණ්ඩායම සංගීතයෙන් ඉවත්වන අතර පසුව ඉන්ද්‍රානි පෙරේරා තනි ගායිකාවක් ලෙස සංගීත ලොවට පිවිසෙනවා.

ඉතින් 60, 70 දශක වල ඉතා ජනප්‍රිය වූ තවත් සංගීත කණ්ඩායම් ඔබත් දන්නවාද? comment වලින් කියන්නත් අමතක කරන්න එපා.

Related Articles