Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඵලදායිතාවය පිළිබඳ පංචවිධ සංකල්පය (5S) මගින් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්

ඵලදායිතාවය පිළිබඳ පංචවිධ සංකල්පය වන 5S ජපානයේ උපත ලද්දකි. මෙම සංකල්පය ජපානය තුළ ක්‍රමවත්ව හඳුන්වා දීමට පෙරද බොහෝ ජපන් වැසියන් එම සංකල්පය අතීතයේ සිටම ක්‍රියාත්මක කළෝය. නමුත් මෙය ඵලදායිතාවය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස ප්‍රචලිත වුයේ ජපානය එය මහා පරිමාණයෙන්, විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමත් සමගය. 5S සංකල්පය උපයෝගී කර ගනිමින් ජපානය ඉතා ඉක්මනින් දියුණු වන සැටි දුටු ආසියාතික කලාපයේ රටවල් වන සිංගප්පුරුව, මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය ආදී රටවල්ද මෙය අනුගමනය කරමින් ඉතා හොද ප්‍රතිපල ලබාගත්හ.

මොකද්ද මේ 5S?

5S ලෙස හඳුන්වන්නේ ජපන් භාෂාවේ එන seiri, seiton, seiso, seiketsu හා shitsuke යන වචන පහේ මුල් අකුරුයි. මෙම සංකල්පය ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි අතර ඕනෑම අයෙකුට තේරුම් ගත හැක. 5S ඵලදායිතාවය වර්ධනය කිරීමේ අත්තිවාරමක් ලෙසද දැක්විය හැක.

5S වල පියවර

1. සංවිධිත බව (seiri)

(viblo.asia)මෙමගින් කියවෙන්නේ අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය දේ ළඟ තබා ගන්නා ආකාරයයි. මෙහිදී මුලින්ම කළ යුත්තේ අවශ්‍ය හා අනවශ්‍ය ලෙස සියලුම ද්‍රව්‍ය වර්ග කිරීමයි. මෙසේ අනවශ්‍ය දේ ලෙස වෙන් කළ සියල්ල නැවත වර්ග කළ හැක. එනම් අනවශ්‍ය සුළු හෝ වටිනාකමක් නැති, ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි බස් ටිකට්, ලිපි කවර, කැඩුණු වීදුරු, වේයන් කා දැමු ලී ආදී දෑ මුලින් ඉවත් කළ යුතු වේ. ඉන්පසු අනවශ්‍ය එහෙත් වටිනාකමක් ඇති පත්තර, එකතු වූ බෝතල්, විකිණිය හැකි යකඩ කැබලි ආදිය වෙනම වෙන් කළ හැකිය.

මේවා පසුව විකුණා දැමීමෙන් අමතර ආදායමක් උපයා ගත හැක. මෙමගින් අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වන අතර මුදල් පසුම්බියටත් වාසි සැලසේ. අවසානයේ වටිනාකමක් නැති නමුත් ඉවත් කිරීමට අපහසු පරණ මේස ලාම්පු, යකඩ පෙට්ටි ආදිය වෙනකොට ගබඩා කාමරයක වෙනම තැන්පත් කළ හැක.

අනවශ්‍ය සියල්ල වෙන් කළ පසු ඉතිරි වන්නේ තමන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩයි. මෙහිදී තමාට නිතර අවශ්‍ය වන ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තැබිය යුතුය.

2. සුපිළිවෙල (seiton)

(linkedin.com)

ඉහතින් තෝරාගත් අවශ්‍ය සියල්ල පිළිවෙලකට සකස් කළ යුතු බව මෙයින් කියවේ. අවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ස්ථාන ගත කිරීමෙන් ඒවා සොයා ගැනීම පහසු වේ. මෙහිදී තමාට යම් උවමනාවක් ඇති වූ විට ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ සෙවීමට විශාල කාලයක් වැය කළ යුතු වන්නේ නැත. මෙහිදී සෑම දෙයක් සඳහාම නිශ්චිත ස්ථානයක් වෙන් කිරීම වැදගත් වේ. එම ස්ථානයේ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් තැබීම සිදු නොකළ යුතුය.

3. සුපිරිසුදුකම (seiso)

(slideshare.net)

පිළිවෙලකට තැබූ දේවල් ඉතාම පිරිසිදු තත්වයේ තැබිය යුතු බව මෙයින් කියවේ. දිනපතා එම බඩු භාණ්ඩ පිරිසිදු කිරීම මෙහිදී වැදගත් තැනක් ගනී. කාර්යාලයක් වැනි ස්ථානයක නම් දිනපතා පිරිසිදු කිරීම අපහසු විය හැක. මේ නිසා අවම ලෙස සතියකට දිනයක් හෝ යොදාගෙන පිරිසිදු කිරීම කළ යුතුය. පිරිසිදු කම පරික්ෂා කිරීම ආයතනයේ ප්‍රධානියාට හෝ ඒ සඳහා විශේෂයෙන් පත් කළ නිලධාරියෙකුට පැවරිය යුතුය.

4. සම්මිතිය (seiketsu)

(keywordssuggests.com)

ඉහත පියවර තුනේදී අනුගමනය කරන ලද සංවිධිත බව, සුපිළිවෙල, හා සුපිරිසුදුකම වැඩි දියුණු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් සිදු කෙරේ. මෙහිදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වඩා වැදගත් වන්නේ අඛණ්ඩව වැඩි දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ඉහත පියවර ඔස්සේ ඔබගේ නිවසේ අනවශ්‍ය සියල්ල ඉවත් කර, අවශ්‍ය දෑ පමණක් පිළිවෙලකට සකස් කර, නිතරම පිරිසිදුව තබා ගැනීමට ඔබට හැක. මෙය අඛණ්ඩව කරගෙන යන අතර නිවසේ අලංකාරය වැඩි කිරීමට මල් වැවීම, අලුත් තිර රෙදි දැමීම වැනි  විවිධ දේ කිරීමටද හැකියාව තිබේ. මේවා සිදු කෙරෙන්නේ සම්මිතිය අදියර තුළදීය.

මෙම පියවරේදී ප්‍රගතිය මැන බැලීමද කළ යුතු වේ.කාර්යාලයක් හෝ ආයතනයක් තුළ නම් ප්‍රගතිය පරීක්ෂා කිරීමට ආයතනයේ ප්‍රධානියාට වගකීමක් පැවරේ. නමුත් නිවසක නම් නිවසේ සිටින වැඩිහිටියෙකුට මෙය සිදු කළ හැක. තමාටම වුවත් මෙහි ප්‍රගතිය මැන ගැනීමට බාධාවක් නැත.

ශික්ෂණය (shitsuke)

(leanconstructionblog.com)

මෙමගින් අදහස් වන්නේ 5S සංකල්පය පිළිබඳව අන් අය දැනුවත් කිරීමයි. 5S සංකල්පය ඉගෙන ගැනීම හා ක්‍රියාත්මක කිරීම තරමටම එය පිළිබඳව අන් අය දැනුවත් කිරීමද වැදගත් වේ. ශ්‍රී ලංකාව පුරා මෙම සංකල්පය ව්‍යාප්ත කිරීමට එය විශාල උපකාරයකි.

ඔබ පිළිවෙලකට, ක්‍රමවත්ව වැඩ කරන විට වෙනදාට වඩා ඔබේ කාලය ඉතිරි වේ. ඔබ තුළ මේ නිසා ඇති වූ දියුණුව දුටුවිට ඔබගේ මිතුරන් එයට හේතුව අසනවා නොඅනුමානය. එවිට ඔබ ඔවුන් 5S සංකල්පය  පිළිබද ඔවුන් දැනුවත් කරන්න.

5S ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන ප්‍රතිපල

(linkedin.com)

5S සංකල්පය නිවස, කාර්යාලය, වැඩපල, පාසල, රෝහල යන මේ සෑම ස්ථානයකටම උපයෝගී කර ගත හැකි සංකල්පයකි. මෙමගින් අක්‍රමවත් ස්ථානයක් ක්‍රමවත් කොට ප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කළ හැක. 5S සංකල්පය භාවිතයෙන් පහත දක්වා ඇති වාසි අත් කර ගත හැක.

  • අනෙකුත් සියලු කටයුතු සඳහා පදනමක් ලෙස ක්‍රියා කරයි.
  • නිවසේ හෝ වැඩපලේ කාර්යක්ෂමතාව වැඩි කරයි.
  • ප්‍රමාද වීම් අවම කරයි.
  • අපතේ යාම් හා නාස්තිය අවම කරයි.
  • ආයතනය තුළ නිපදවන නිෂ්පාදනවල, සළසන සේවාවල ගුණාත්මක බව ඉහළ නංවයි.
  • ආයතනයේ නිෂ්පාදනවල අලෙවිය වර්ධනය කරයි.
  • ආයතනය තුළ අනතුරු අවම වී සුරක්ෂිතතාවය වර්ධනය වේ.

කවරයේ පින්තුරය – Organize Nashville

මුලාශ්‍ර :

  1. ඵලදායිතාවය පිළිබද පංචවිධ සංකල්පය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය
  2. appliedperformance.ca
  3. listaintl.com
  4. bayt.com

Related Articles