Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රසෙනුත් පිරි ගුණෙනුත් පිරි කොමඩු

සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට වැඩිපුර පලතුරු අනුභව කරන්නයැයි වෛද්‍යවරු හා පෝෂණවේදීන් අපට උපදෙස් දෙනවා. පලතුරු වර්ග අතරින් පැණි කොමඩු වලට බොහෝ දෙනා දක්වන්නේ අතිශය කැමැත්තක්. එහි තිබෙන වැඩි ජල ප්‍රතිශතය නිසා පිපාසය සංසිඳවා ගැනීමටද මේ පලතුර කදිම එකක්.

ශ්‍රී ලංකාව තුල ඉතාමත් අඩු මිලකට කොමඩු මිලදී ගන්නට පුළුවන්. කුඩා දරුවන් හා තරුණ උදවිය ඉතා ආසාවෙන් මේවා රස වින්දත් වැඩිහිටියන් සමහරෙක් කොමඩු කෑමට යම් චකිතයක් දක්වනවා. ඒ මෙහි ඇති අතිශය පැණි රස නිසා දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු වේයැයි බියෙන්. මේ ලිපිය තුලින් කොමඩු වල වතගොතත්, ඒවා ආහාරයට ගැනීමෙන් සිදුවන වාසි හා අවාසිදායක තත්ත්වයන් පිළිබඳවත් අපි විමසා බලමු.

කොමඩු වල පසුබිම

Citrullis vulgaris නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පැණි කොමඩු වලට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. පැණි කොමඩු වල නිජබිම ලෙස හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවයි. මෙය පලතුරක් හෝ එළවළුවකටත් වඩා ‘බෙරි’ වර්ගයට අයත් ඵල දරන වැලක් ලෙස හැඳින්විය හැක්කේ තද පිට පොත්තත්, ජල ප්‍රතිශතය ඉතාමත් වැඩි මෙලෙක් මධ්‍යයකුත් පිහිටා ඇති නිසායි. පැණි කොමඩු වැලක් වසරකට මීටර 3 ක් පමණ දිගට වැවෙනවා.

කොමඩු වැලක් -knowmoregrowmore.com

පැණි කොමඩු වලට වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති අතර පුරාණ ඊජිප්තුවේ වැඩියෙන්ම හාවිතයට ගැණුනු අාහාර වර්ගයක් ලෙස සඳහන් වෙනවා. පසුකාලීනව යුරෝපයටත් ආසියාවටත් පැණි කොමඩු ව්‍යාප්ත වුණා. අප්‍රිකාවේ සිට වහලුන් ඇමෙරිකාවට ප්‍රවාහනය කරන විට පැණි කොමඩුත් ඇමෙරිකානු මහාද්වීපයට ගෙන ආ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

පැණි කොමඩු වල පෝෂණ ගුණය

පැණි කොමඩු වල බරින් 92% ක්ම පවතින්නේ ජලයයි. ඒ කෙසේ නමුත් ඉතිරි 8 තුල මිනිස් ශරීරයට ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වෙනවා. පැණි කොමඩු එක කටක් තුල ඉතා සැළකිය යුතු තරම් විටමින් ඒ, බී 6 සහ සී මෙන්ම ඇමයිනෝ අම්ල, ලයිකොපීන හා තවත් ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. මෙහි පොටෑසියම් අයන මධ්‍යම ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ශාරීරික සෞඛ්‍ය සඳහා තවත් හිතකර ආහාරයක් බවට පත්වෙමින් සෝඩියම් අයන ඉතාම සුළු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර මේදය අන්තර්ගත වන්නේ නැහැ. පැණි කොමඩු කෝප්පයක ප්‍රමාණයක් තුළ අන්තර්ගත වන්නේ කැලරි 40 ක ශක්තියක් පමණයි.

divascancook.com

පැණි කොමඩු වල විශේෂිතම කාරණයක් වන්නේ එහි අන්තර්ගත වන ඉතා ඉහල ලයිකොපීන ප්‍රමාණයයි. පැනි කොමඩු කෝප්ප 2ක ක ප්‍රමාණයක ලයිකොපීන මිලිග්‍රෑම් 15 සිට 20 දක්වා අන්තර්ගත වන අතර එය රතු පැහැති පලතුරක අඩංගු වන වැඩිම ලයිකොපීන් ප්‍රමාණයක් බව හඳුනාගෙන තිබෙනවා. ලයිකොපීන් මිනිස් ශරීරයේ සමස්ත සෞඛ්‍යය ඉහළ නංවන අතර පැණි කොමඩු, තක්කාලි හා රතු මිදි වැනි පලතුරු වලට වර්ණය ලබා දෙන්නේත් ලයිකොපීන්.

පැණි කොමඩු හා රුධිරගත සීනි මට්ටම

කොමඩු වල සැලකිය යුතු ප්‍රමාණයක සීනි අන්තර්ගත වන බැවින් රුධිරගත සීනි මට්ටම කෙටි කාලීනව වැඩි කරන ආහාරයක්. මෙහි ග්ලයිසීමික අගය (Glycaemic index) අගය 72 (වැඩිම 100) ක් වැනි ඉහළ ප්‍රමාණයක් වුණත් ඇත්තෙන්ම ආහාරයේ අඩංගු කාබොහයිඩ්‍රේට ප්‍රමාණය පෙන්වන Glycaemic Load නම් දර්ශකය 7.2 (වැඩිම 100) ක් තරම් පහළ අගයක් පෙන්වනවා.වැඩි Glycaemic අගය ට වඩා දීර්ඝ කාලීනව දියවැඩියාව වැනි රෝග වැළඳීමේ අවදානම Glycaemic Load දර්ශකය නිවැරදිව දක්වන නිසා කොමඩු මධ්‍යම ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමෙන් සීනි සීනි සම්බන්ධ කිසිදු රෝගයක් වැළඳීමේ අවදානමක් මතු වෙන්නේ නැහැ. නමුත් දැනටමත් දියවැඩියාවෙන් පෙළෙන්නෙකුනම් කොමඩු ආහාරයට ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් හෝ පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ලබාගෙන සිටීම නුවණට හුරු‍යි.

විජලනය වලක්වාගැනීමට පැණි කොමඩු

පැණි කොමඩු ආහාරයට ගැනීමෙන් මානව ශරීරයට ලැබෙන වාසි රාශියක් තිබෙනවා. පැණි කොමඩු ගෙඩියක බරින් 92% ක්ම පවතින්නේ ජලය නිසා විජලනය වලක්වා ශරීරයේ තරල ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට කොමඩු කදිම ආහාරයක්. මීට අමතරව ඉතා අඩු කැලරි ගණනක් අහාරයට ගැනීමෙන් පසු බඩ පිරී යෑම නිසා ශරීරයේ බර අඩු කිරීම සඳහා වෙහෙසෙන අයට කොමඩු ඉතා ප්‍රයෝජනවත් පලතුරක් වෙනවා.

විජලනය වලක්වා ගැනීමට පැණි කොමඩු හොඳම ආහාරයක් -healthylivinghub.net

පිළිකා අවදානම අඩු කර ගැනීමට

පෙර සඳහන් කළ පරිදි පැණි කොමඩු තුල ඉතා වැඩි ප්‍රමාණයක ලයිකොපීන අන්තර්ගත වෙනවා. ලයිකොපීන පිලිකා අවදානම අඩු කරන ප්‍රබල සංඝටකයක් වන අතර මීට අමතරව මෙහි අඩංගු තවත් සංඝටක පිළිකා කාරක ගැටිති ඇති වීම වලක්වනවා.

හෘද සෞඛ්‍ය වර්ධනය කිරීම

හෘදයේ විවිධ ආබාධ ලොව වැඩිම මරණ වලට වග කියන හේතුව වෙනවා. හෘද‍යාබාධ ඇති වීමට ප්‍රධානම අවදානම් සාධකයක් ලෙස ජීවන ඇවතුම් පැවතුම් හා ආහාර රටා යන කාරණය හඳුනාගෙන තිබෙනවා. නිවැරදි ආහාර රටා අනුගමනය කිරීම තුලින් හෘදයාබාධ මෙන්ම අධික රුධිර පීඩනය හා අධික කොලෙස්ටරෝල් තත්ත්ව වැනි රෝග වලින් වැළකිය හැකියි.

momjunction.com

පැණි කොමඩු සැලකීමේදී හෘද සෞඛ්‍ය වර්ධනය කරන සංඝටක කිහිපයක්ම එහි අන්තර්ගත වෙනවා. මෙහි අඩංගු ලයිකොපීන නිසා ශරීරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වන අතර රුධිර පීඩනයත් පහත වැටෙනවා. මෙහි අඩංගු සිටෘලීන් නම් ඇමයිනෝ අම්ලය ශරීරයේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමාණය ඉහළ නංවනවා. නයිට්‍රික් ඔක්සයිඩ් රුධිර නාල ප්‍රසාරණය කිරීමට උදව් වන අතර මේ නිසා රුධිර පීඩනය පහත වැටෙනවා. මීට අමතරව කොමඩු වල අන්තර්ගත විටමින් ඒ, බී 6, මැග්නීසියම් හා පොටෑසියම් අයනත් හෘදයට ඉතා හිතකරයි.

වැහැරීමට හා තෙහෙට්ටුවට එරෙහිව කොමඩු

කොමඩු තුල ප්‍රතිඔක්සිකාරක රැසක් අන්තර්ගත වීම නිසා මුක්තඛණ්ඩක වලින් ශරීරයේ පේශි වලට වන හානිය අවම කරනවා. මීට අමතරව වයසින් මුහුකුරා යන විට අක්ෂි පේෂි විඩාවට පත් වී අකර්මන්‍ය වීම ලයිකොපීන් මඟින් වලක්වනවා.

ශරීරයේ පේශි වල යම් ඉදිමුමක් හා වේදනාවක් ඇති වූ විට හෝ ක්‍රීඩාවක් වැඩි යමකින් ඉතා දැඩි වෙහෙසට පත් වූ විට ඒ තැනැත්තා ඉක්මණින්ම යථා තත්වයට ගෙන එන්නට කොමඩු සාරය ලබා දීම ඉතා සාර්ථකයි.

සමේ හා හිසකෙස් වල සෞඛ්‍යයට

කොමඩු වල විටමින් ඒ හා සී අන්තර්ගත වනවා. විටමින් සී ශරීරයේ කොලැජන් නිෂ්පාදනයට උදව් වන අතර කොලැජන් හිසකෙස් වල හා සමේ සෞඛ්‍යමත් භාවයට අත්‍යවශ්‍ය සාධකයක්. විටමින් ඒ සමෙහි හානි වූ සෛල නැවත සැකසීමට උදව් වන අතර එහි නැවුම් හා සුමුදු මටසිළුටු භාවය ඇති කරනවා. කොමඩු වල අඩංගු බීටා කැරොටින හා ලයිකොපීන සම අව්වට පිළිසීමෙන් වන හානි අවම කරනවා.

කොමඩු ආහාරයට ගැනීම හිසකෙස් වල හා සමෙහි සෞඛ්‍යට හිතකරයි -banyanbotanicals.com

ආහාර දිරවීම පහසු කිරීමට

පැණි කොමඩු තුල ජලය ඉතා වැඩි ප්‍රමාණයක්ද, තන්තු සුළු ප්‍රමාණයක් ද අන්තර්ගත වනවා. තන්තු නිසි ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමන් මලබද්ධය වැනි රෝග අවම කර ගත හැකි අතර, තන්තු හා ජලය යන දෙකම නිසියාකාරව ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදු කිරීමට උදව් වෙනවා.

විශාල ලෙස ආහාරයට ගැනීමේ අවාසි

කෙතරම් හොඳ ආහාරයක් වුවත් නිසි පමණට වඩා ආහාරයට ගැනීමෙන් යම් යම් සෞඛ්‍ය ප්‍රශ්න උද්ගත විය හැකියි. රත්‍රියේදී කොමඩු පමණට වැඩියෙන් ආහාරයට ගැනීම නිසා පසු දිනයේ ආහාර නොදිරවීමේ අපහසුතා ඇති විය හැකි අතර මෙහි සීනි අන්තර්ගත නිසා ශරීරයේ බර අඩු වීම වෙනුව්ට වැඩි වීම සිදුවිය හැකියි. මීට අමතරව සැළකිය යුතු ප්‍රමාණ වලින් කොමඩු වල පොටෑසියම් අන්තර්ගත නිසා වකුගඩු සම්බන්ධ ප්‍රශ්න ඇති උදවියට පමණට වඩා කොමඩු ආහාරයට ගැනීම හිතකර නොවිය හැකියි.

කවරයේ පින්තූරය – (Sunny studio-Igor Yaruta/Shutterstock)

Related Articles