Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනි රත්නම්ගේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 6ක්

මහා ජනතාවකගේ සිත් සතු‍ටු කරවන චිත්‍රපටයක් නිර්මාණය කිරීම පහසු කාර්යයක් නෙවෙයි. එකිනෙකාගේ අදහස් උදහස්, ආශාවන්, දැනුම් මට්ටම් විවිධාකාර නිසා එකිනෙකාගේ කැමැත්ත බොහොම වෙනස්. මේ සියළුම වෙනස්කම් තිබියදීත් සියළු දෙනාට එකට හිඳ නැරඹිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීම අභියෝගයක්.

මේ අභියෝගය ජයගත් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරින් ඉන්දීය ජාතික මනි රත්නම් ඉදිරියෙන්ම සිටිනවා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරුන් උත්සාහ කිරීමටත් පැකිලෙන ආන්දෝලනාත්මක අදහස් සහ ගැටළු අලලා නිර්මාණය කළ ඔහුගේ ඇතැම් නිර්මාණ ලොව පුරා ප්‍රසිද්ධියට ද පත්ව තිබෙනවා. ඔහුගේ චිත්‍රපට වල සංගීත නිර්මාණ ද ඒවායේ ජනප්‍රියත්වයට දායකව තිබෙනවා. මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඔබත් අනිවාර්යයෙන්ම නරඹා රස විඳිය යුතු මනි රත්නම් චිත්‍රපට කීපයක්.

බොම්බේ (1995)

ශේකර් සහ ශෛලා බානු (Filmy Sasi)

මේ 1992 – 1993 අතර කාලයේ මුම්බායේ සිදු වූ ආගමික කලබල නිසා සිදු වුණු බොම්බේ කැ‍රැල්ල අලලා නිර්මාණය කෙරුනු දමිළ චිත්‍රපටයක්. එසමයෙහි හින්දු තරුණයෙකු සහ මුස්ලිම් තරුණියක අතර ඇතිවූ ආලය සහ ඔවුන්ගේ ඉරණම මෙම චිත්‍රපටයට පාදක වෙනවා.

හරිහරන් විසින් ගයන “උයිරේ උයිරේ” නම් අති ප්‍රසිද්ධ ගීය බොම්බේ චිත්‍රපටයේ ගීයක්

අර්වින්ද් ස්වාමි සහ මනීශා කොයිරාල ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඒ. ආර්. රහ්මන්ගේ යි. මෙය හින්දි සහ තෙලුඟු භාෂා වලින්ද හඬ කවනු ලැබුවා.

රෝජා (1992)

රෝජා (flickside.com)

වැඩිමල් සොයුරිය සමඟ විවාහ වීමට යෝජනා වී සිටි තරුණයා ඈව ප්‍රතික්ෂේප කර ඇගේ බාල සොයුරියගේ අත ඉල්ලා සිටිනවා. ඇගේ අකමැත්තෙන් ඇයව ඔහුට විවාහ කර දෙන අතර ඔවුන් ගමෙන් ද පිටව යනවා. හදිසියේ ඔවුන්ගේ ලෝකය උඩු යටිකුරු වන්නේ තරුණයාව කශ්මීරයේ ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනිමත් සමඟයි. ඔහුව බේරාගැනීමට උත්සාහ කරන තරුණිය පත්වන්නේ මහත් අසරණබවකට. ඈ දන්නා භාෂාව රටේ බලවතුන් කතාකරන්නේ නෑ. මෙම සිද්ධි දාමය වටා ගෙතෙන “රෝජා” ඔබ විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

“චීන්න චීන්න ආසයි” නම් අති ප්‍රසිද්ධ මේ ගීතය නම් ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති

මෙහි ප්‍රධාන පිරිමි චරිතය අරවින්ද් ස්වාමි විසින් නිරූපනය කරන අතර ප්‍රධාන නිලිය වන්නේ මධූ යි. මෙහි සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසින් සිදුකර තිබෙනවා.

දිල් සේ (1995)

අමර්කාන්ත් සහ ප්‍රීති (FamousFix)

මේ මනි රත්නම්ගේ “භීෂණ” චිත්‍රපට මාලාවේ තෙවැන්නයි. උතුරු ඉන්දියාවේ ඇතිවූ රාජ්‍ය විරෝධී කැරලි පසුබිම් කරගෙන නිර්මාණය වන මෙහි කතා නායකයා මාධ්‍යවේදියෙක්. වෙනත් ප්‍රාන්තයක වැඩසටහනක් අතරතුරදී ඔහුට මුණගැසෙන තරුණියක් කෙරෙහි ආලයෙන් බැ‍ඳෙන ඔහු ඇය සොයා යන්නේ ඇයව විවාහ කරගැනීමේ අරමුණින්. නමුත් දිල්ලියේ නිවසේ දී ඔහුගේ විවාහය මේ වන විටත් තීන්දු වෙමින් පවතිනවා.

මේ සියළු පටලැවිලි අතරේ කැරලිකරුවන්ගේ පහරදීම් වලට ද ඔහු මුහුණදෙන්නේ කිසිදු විශේෂ හේතුවකින් තොරවයි. අවසානයේ කවුරු විවාහ වෙයිද? කවුරු මියයිද? මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුමයි.

අසා රස විඳින්න චයියා චයියා!

ශාරුක් ඛාන් සහ මනීශා කොයිරාල ප්‍රධාන චරිත රඟන මෙයට ප්‍රීති සින්ටා ද රංගනයෙන් දායක වනවා. සංගීතය ඒ. ආර්. රහ්මන්ගේ යි.

ගුරු (2007)

ගුරු සහ සුජාතා (thecinemaholic.com)

මේ හින්දි චිත්‍රපටය ඉන්දීය ව්‍යාපාරික දිරුභායි අම්බානි ගේ ජීවිත කතාව සාරය කොට නිර්මාණය වූවක්. 1951 දී පිටිසර ගමක ජීවත්වන තරුණ ගුරුකාන්ත් දේසායිට කුඩා පාසලක විදුහල්පතිවරයෙකු වූ ඔහුගේ පියා උපදෙස් දෙන්නේ සිහින සැබෑ නොවන නිසා සිහින දැකීම අත්හල යුතු බවයි. පියාගේ විරෝධතා මැද තුර්කියට යන ඔහු නැවත පැමිණෙන්නේ යම් තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ බලාපොරොත්තුවෙන්. එහිදී දෑවැද්ද පතා ඔහු තරුණියක හා විවාහ වෙනවා. ඔහු සිය බිරියද කැ‍ටුව මුම්බායට යන්නේ රෙදිපිළි ව්‍යාපාරයක් ඇරඹීමටයි.

අති ප්‍රසිද්ධ “තෙරේ බිනා” ගීය ගුරු චිත්‍රපටයේ අතිශය ගීතවත් ගායනාවක්

“ගුරු” අධ්‍යක්ෂණයෙන්, කතාවෙන්, සංගීතයෙන්, සහ රඟපෑමෙන් පරිපූර්ණ වූ නිර්මාණයක්. අභිශේක් භච්චන් සහ අයිශ්වර්යා රායි භච්චන් ප්‍රධාන චරිතයන්ට පණ පොවන මෙහි සංගීත රචනය ඒ. ආර්. රහ්මන් විසිනුයි.

ඉරුවර් (1997)

ඉ රුවර් හි දර්ශනයක් (AAMBAR’S REVIEWS)

මෙම චිත්‍රපටය තමිල් නාඩුවේ දේශපාලනය හා සිනමාව අතර ඇති සම්බන්ධය පාදක කරගෙන නිර්මාණය වූ විශිෂ්ට නිර්මාණයක්. මෙය තමිල් නාඩු දේශපාලකයන් වූ M.G.R. සහ කරුණානිධි අතර වූ මිතුරුකම් සහ සතුරුකම් පිළිබඳව වූ කතාවෙකැයි හැඟවෙන නිසා මෙහි බොහොමයක් දෙබස් සංස්කරණය කෙරුණු අතර එනිසා අවසානයේ මනි රත්නම් බලාපොරොත්තු වූ තරමින් මෙහි දෙබස් ප්‍රබල වූයේ නැහැ.

මෝන්හන්ලාල්, සහ ප්‍රකාශ් රාජ් මෙහි ප්‍රධාන චරිතයන් නිරූපණය කරන අතර අයිශ්වර්යා රායි, රේවතී, ගෞතමී, සහ තාබු ද මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීතය ඒ. ආර්. රහ්මන්ගේ නිර්මාණයක්.

නායගන් (1987)

නායගන් (thecinemaholic.com)

මේ දමිළ චිත්‍රපටය මුම්බායිහි පාතාලය හා සම්බන්ධ වූවක්. පාතාල නායක වරදරාජන් මුදලියර් හා මුම්බායිහි වෙසෙන දකුණු ඉන්දියානුවන්ගේ දුක්ඛිත ජීවිතය නිරූපණය වන මෙම චිත්‍රපටය ‍රැඟුම් පාලක මණ්ඩලය විසින් මුලදී ප්‍රදර්ශනය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කෙරුනේ එය ජීවත්ව සිටියෙකු අලලා නිර්මාණය වූවක් නිසායි. මෙය ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා ගේ “The Godfather” චිත්‍රපටය ගුරුකොට නිර්මාණය වූවක්.

අතිදක්ෂ නළු කමල් හසන් මෙම චිත්‍රපටය පුරාවට විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. සංගීතය ඉලෙයරාජාගෙන්.

මේ චිත්‍රපට වලින් කීයක් ඔබත් නරඹා ඇත් ද? මේවා පිළිබඳ ඔබ සිතන දෙයත් අපට කියන්න අමතක කරන්න එපා.

cover image: (bollywoodhungama.com)

Related Articles