Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව වගා ක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩිකර ගන්න – දෙවන ලිපිය

මෙම ලිපි පෙළේ පළමු ලිපියෙන් ඔබට ගෙන ආවේ හරිතාගාර තාක්ෂණය පිළිබඳව කරුණුයි. මේ ලිපියෙන් තවත් එක් වගා ක්‍රමයක් වන ජලය මාධ්‍යය ලෙස යොදාගෙන වගා කිරීමේ ක්‍රමවේදය ගැන කතා බහ කෙරෙනවා. ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම ශ්‍රී ලංකාවේදී වුවත් පහසුවෙන් සිදු කරන්න පුළුවන් ක්‍රමයක් විදියටත් මෙය හඳුන්වාදීමට හැකියි.

ඉතින් ඇයි පස් යොදාගෙන කරන වගාවට අමතරව මේ ක්‍රමය භාවිත කරන්නේ? මාධ්‍යය විදිහට ජලය යොදාගෙන වගා කරන එක අපි බොහෝ දෙනෙක්ට නුහුරු වෙන්න පුළුවන්. නමුත් මාධ්‍යය විදිහට පස් යොදාගෙන වගා කරන කොට සිදුවන අවාසි බොහොමයක් මඟහරවා ගන්න මේ ක්‍රමයෙන් අවස්ථාව සැලසෙනවා.

පස මාධ්‍ය කරගෙන සිදුකරන වගාවක අවාසි මේ විදියට දක්වන්න පුළුවන්

  • වල්නාශක හා කෘත්‍රීම පොහොර යොදාගන්නා ප්‍රමාණය අධිකවීම
  • වල්පැළෑටි, කෘමි හානිය, පස්වල සිටින අනෙකුත් ජීවින්ගෙන් සිදුවන හානි
  • අධික ජල අවශ්‍යතාව
  • පොළොව සකස්කිරීමට යන වියදම
  • වගාව නඩත්තුවට තාක්ෂණික දැනුම අවශය වීම

මේ කරුණු හේතුවෙන් නව වගා ක්‍රම යොදාගෙන වගාවන් සිදුකිරීමට විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගන්නට පර්යේෂකයින් කටයුතු කරන අතර ඉන් සොයාගන්නා ලද සාර්ථක ක්‍රමයක් විදියට ජල මාධ්‍යයේ වගාකිරීම හඳුන්වන්න පුළුවන්.

මොකක්ද මේ ජල මාධ්‍යයේ වගාකිරීම කියන්නේ?

මේ ක්‍රමයේදී මොනම ආකාරයකවත් පස් යොදාගැනීමක් කරන්නේ නැතිව වගා කිරීම විශේෂිත වෙනවා. වගාවට අවශ්‍ය සියලුම පෝෂක වර්ග ජලය හරහා ලබාදෙන අතරම ආකාර දෙකකින් මෙම වගාක්‍රමය සිදුකරන්න පුළුවන්.

  1. අවශ්‍ය ශාක පමණක් යොදාගෙන වගාකිරීම
  2. වෙනත් වගාවක් හා සමගාමීව වගා කිරීම

ජල මාධ්‍යයේ වගාවක් (repozitorij.pfos.hr)

අවශ්‍ය ශාක පමණක් යොදාගෙන වගාකිරීම

මෙහිදී ජල මාධ්‍යය හා වගාකරන ශාකය පමණක් මූලිකව යොදාගෙන වගා කටයුතු කරනවා.

වෙනත් වගාවක් හා සමගාමීව වගා කිරීම

අද වනවිට මත්ස්‍ය වගාව හා සමගම එකටම මෙම ක්‍රමයෙන් වගාවන් කීරීම ලෝකය පුරා බහුලව සිදු කෙරෙන අතර පොකිරිස්සන් හා ඉස්සන් වගාව සමගද මේ ක්‍රමය භාවිතයට ගන්න පුළුවන්. මේ සතුන්ගෙන් පිටවන අපද්‍රව්‍ය පොහොරක් විදියට වගාවට ලැබීම මෙහි විශේෂතාව වන අතරම මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමේ වාසියත් මින් සැලසෙනවා. අනෙකුත් සාධක සියල්ල ක්‍රම දෙකටම එක ලෙස යොදාගන්නවා.

කොහොමද මේ ක්‍රමය යොදාගෙන වගාවන් කරන්නේ?

ඉහතින් දැක්වූ වගා ක්‍රම දෙක අතර ප්‍රධාන වෙනස මත්ස්‍යයින් යොදාගැනීම නිසාවෙන් මත්ස්‍යයින් යොදාගෙන කරන වගාව පිළිබඳව සොයා බැලීමෙන් ක්‍රම දෙකම ආවරණය කරගන්න පුළුවන්.

ජල මාධ්‍යයේ වගා කිරීමට ප්‍රධාන වශයෙන් පවතින අවශ්‍යතාවන් වර්ග දෙකකට බෙදා දක්වන්න පුළුවන්.

  1. ජල තැන්පතුව
  2. ජල මාධ්‍යයේ වගාකරන කොටස

ජල තැන්පතුව හා වගාකරන කොටස (flipboard.com)

ජල තැන්පතුව

ශාක වර්ධනයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම මෙම කොටසින් සිදුවන මූලික ක්‍රියාවලිය වන අතර මෙම කොටසේ මසුන් ඇතිකිරීමද සිදු කරනවා.

ජල රඳවනය ලෙස වීදුරු, ප්ලාස්ටික් හෝ සිමෙන්ති ටැංකි යොදාගන්නට හැකියි. එය වගාවට අවශ්‍ය ප්‍රමාණය හා පවතින ඉඩ ප්‍රමාණය මත තීරණය කළ යුතුයි.

තවද ක්‍රමවත් ලෙස ජලයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම ප්‍රධාන අවශ්‍යතාවක් වෙනවා. දිනපතා ජලයේ ආම්ලිකතාව පරික්ෂා කර බැලිය යුතු වන අතරම ඉතා පිරිසිදු ජලය යොදාගැනීම ගුණාත්මක අස්වැන්නක් ලබාගැනීමට අත්‍යාවශ්‍යයි. මීට අමතරව ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ජලයට මුසුකිරීමද මෙම කොටසින් කරනු ලබන තවත් කාර්යයක් වෙනවා.

මසුන් වගාකිරීමේදී බුබුලනය මගින් ඔවුන්ට අවශ්‍ය වාතය ලබා දිය යුතුයි. මසුන් හේතුවෙන් ජලය ඉක්මනින් අපිරිසිදු වන නිසා දිනකට 10 – 20% අතර ප්‍රමාණයක් ඉවත් කර නැවත පිරවිය යුතුයි. තිලාපියා, අංකුට්ටා, කාෆ් හා විවිධ විදේශීය මසුන් (Barramundi, silver perch, jade perch, eel-tailed catfish, Murray cod, bluegill, Koi, goldfish, channel catfish, rainbow trout, perch, common carp, Arctic char, largemouth bass, striped bass) මෙහිදී යොදා ගත හැකියි.

ජල මාධ්‍යයේ වගාකරන කොටස

බීජයකින් පැළයක් ලබාගැනීමේ සිට අස්වනු නෙලන කාලය දක්වා මෙම කොටස ඉතා වැදගත් වනවා. මූලිකව වගාව සඳහා ලබාගන්නා බීජ මුල් අද්දවාගැනීම බාහිරව සිදුකර ජලය මත ඉතිරි කාලය වර්ධනය සඳහා ඉඩ ලබාදෙනවා.

ජලය මත පැළය රෝපණය සදහා රෝපණ මාධ්‍යය විදියට perlite, මැටි බෝල, peat moss, pea gravel හා කොහුබත් යොදාගන්නවා. මෙම මාධ්‍යය කුඩා ඇසුරුම්වලට පුරවා ජලය මතුපිට තබන රැඳවුමේ රඳවනු ලබනවා.

මෙසේ වගා කළ හැකි ආකාර කීපයක් තිබෙනවා. එනම් තිබෙන ඉඩට සරිලන ලෙස තිරස් හා සිරස් අතට අපට රැඳවුම සකස් කරගන්න පුළුවන්.

තිරස් ලෙස කරන ලද වගාවක් (www.expressnews.com)

සිරස් ලෙස කරන ලද වගාවක් (www.towergarden.com)

මෙහි ජල සැපයුම සෑම විටම නලය හෝ තටාකය හරහා ඒකාකාරී ලෙස ගලාගෙන යන පරිදි සකස් කළ යුතු වෙනවා.

වගා කළ හැකි දේ

ජල මාධ්‍යයේ වගා කළ හැකි ශාක වර්ග විදියට තක්කාලි, කැරට්, අල, රාබු, කැකිරි විශේෂ, ස්ටෝබෙරි, බෙහෙත් පැළෑටි, මෑ,ගෝවා ,සලාද, දොඩම්, දෙහි, බීට්, ළූණු, විදේශීය එළවලු (parsnip, leafy greens, watercress, chives, parsnip, cucumbers, turnips, sweet corn) හා මල් වර්ග (nasturtium, violas, orchids) යනාදිය දක්වන්න පුළුවන්.

ජල මාධ්‍යයේ වගා කිරිමේ වාසි

  • ස්වභාවික පොහොර මගින් වගා කරගත හැකි වීම
  • මත්ස්‍ය අපද්‍රව්‍ය පොහොරක් ලෙස යොදා ගත හැකි වීම
  • අවම ජල අවශ්‍යතාව හා ජලය කිහිප වරක් භාවිත කළ හැකි වීම
  • සාමාන්‍ය වගාවට වඩා අඩු පරිසර හානිය
  • අඩු ඉඩක වගා කළ හැකි වීම
  • ශාක වර්ධනය ඉක්මනින් සිදුවීම

ලෝකයේ ජලමාධ්‍යය වගාවේ වර්ධනය

නිව්යෝර්ක් නුවර ලෝකයේ සිරස් ලෙස ජලමාධ්‍ය වගා සිදු කරන විශාලතම වගාබිම පිහිටා තිබෙනවා. එය වර්ග අඩි 70,000 පුරා විහිදී යන අතර වසරකට රාත්තල් මිලියන 2 ක නිෂ්පාදනයක් සිදුකරනවා.

ලොව විශාලතම වගාවෙහි කොටසක් (www.hexapolis.com)

ශ්‍රී ලංකාවේ අද වනවිට ජලමාධ්‍යයේ වගාවේ වර්ධනය

විශාල වශයෙන් නොවුවත් ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම ක්‍රමය යොදාගෙන කරන ගොවිතැන් කටයුතුවලට උදාහරණ සොයාගන්න පුළුවන්. බොහෝවිට මෙවැනි ක්‍රම යොදාගෙන නිෂ්පාදනය කරන්නේ අපනයනය කරන එළවලු වර්ගයි. තවද මෙවැනි ක්‍රම බොහෝ විට යොදා ගනු ලබන්නේ ප්‍රධාන පෙළේ ආයතන පමණයි. මෙම තාක්ෂණය තවමත් ජනතාව අතරට ගෙන යාමට කටයුතු නොකිරීම නිසා තවමත් පරීක්ෂණ මට්ටමින් ශ්‍රී ලංකාව තුළ සැඟවී පවතින එකක්.

ශ්‍රී ලංකාවේ ජලමාධ්‍ය වගාවක් (www.lankasaladcompany.com)

අද වනවිට මෙම තාක්ෂණය භාවිතය කෙසේ පැවතුණත් මේ ලිපිය හරහා ඔබට එ් ගැන යම් අදහසක් ලබාගෙන, එය අනාගත වගාකටයුතුවලදී යොදාගන්න හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත් වේවි. විශාල නිෂ්පාදනවලට මෙන්ම ගෘහාශ්‍රිත අවශ්‍යතා වෙනුවෙනුත් මෙම ක්‍රමය භාවිත කළොත් පෝෂ්‍යදායී ආහාර වේලකට අවශ්‍ය එළවලු නිවසේදීම වවා ගන්න එක ඔබට වඩාත් පහසු වනු නොඅනුමානයි.

කවරයේ පින්තූරය : www.pinterest.com

මුලාශ්‍ර:

  1. http://www.dailymail.co.uk
  2. www.w3.org
  3. https://aquaponics.com/recommended-plants-and-fish-in-aquaponics
  4. https://aquaponics.com/build-a-mini-aquaponic-system
  5. https://en.wikipedia.org/wiki/Aquaponics
  6. www.theaquaponicsource.com
  7. http://www.lankasaladcompany.com

Related Articles