Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල සංදේශ කාව්‍යකරණයෙහි සැඟවුණු රසබර පැතිකඩ

සිංහල සාහිත්‍යය තුළ හැඩතල මැවූ අතිශය රසවත් නිර්මාණාංගයක් ලෙස සංදේශ සාහිත්‍යය ප්‍රකටය. ‘සංදේශය’ යන නාමය ඇසූ පමණින් මැවී පෙනෙන්නේ පක්ෂියෙකු සිය තුඩග හසුනක් රඳවා ගනිමින් සුන්දර කඳු මිටියාවත්, වන ගහන සහ රාජධානි මැදින් පියාසර කරමින් දූත කාර්යයයෙහි යෙදෙන චමත්කාරජනක දර්ශනයකි. පක්ෂීන් ආශ්‍රය කරගනිමින් දූත කාව්‍යයන් රචනය කිරීම කාලිදාසගේ මේඝ දූතයෙන් අනතුරුව භාරතයේ සංස්කෘත සාහිත්‍ය ආශ්‍රයෙන් වඩාත් ප්‍රචලිත වූ අතර, සිංහල සාහිත්‍ය කලාව ද එකී කලා සම්ප්‍රදාය ආද‍රයෙන් වැළඳගත් බව සිංහල සංදේශ සම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. ලක්දිව තුළ එ‍තෙක් ආගමික පරමාර්ථයෙන් නිමැවුණු කාව්‍ය සාහිත්‍යයෙහි හැරවුම් ලක්ෂ්‍යය සංදේශ කාව්‍ය සාහිත්‍යයයි. සංදේශය තුළ, නම් කරන ලද විශේෂිත පුද්ගලයන්ගේ ලෞකික අවශ්‍යතා සපුරා දෙන මෙන් දෙවියන් යදිමින් ඉල්ලා සිටීම සංදේශ රචකයන්ගේ අභිප්‍රාය විය. සංදේශයක කාරකයා ලෙස පසුකාලීනව පක්ෂීන් වැනි සත්ත්වයින් බහුල වශයෙන් යොදාගත් නමුදු මුල් කාලීනව එකී කාර්යභාරය පවරන ලද්දේ වැහි වලාකුළු වැනි අචේතනික, ජංගම වස්තූන්ටය. මේ අනුව සත්‍යයත් කල්පිතයත් අතර සුසංයෝගයක අපූර්වතම ප්‍රතිඵලයක් ලෙස ‘සංදේශ සාහිත්‍යය’ හැඳිනගත හැක.

කාලිදාස මේඝ දූතය රචනා කරමින් (wikipedia.com)

කාලිදාසගේ මේඝ දූතයෙන් ආරම්භ වූ සංදේශ සාහිත්‍යය, සිංහල සාහිත්‍ය නිර්මාණකරුවන් විසින් අවශෝෂණය කරගනිමින් පසුකාලීනව වර්ධනය කළ අයුරු විමසා බැලීම අගනේය.

සංදේශයක අන්තර්ගත මූලිකාංග

ප්‍රසිද්ධ පුද්ගලයකු උදෙසා කිසියම් ප්‍රාර්ථනාවක් කර තිබීම, එකී ප්‍රාර්ථනාව ඉටු කර දෙන්නැයි දෙවියන්ගෙන් යදින ලෙස කිසියම් ගරු කටයුතු පුද්ගලයෙකු වෙත (බොහෝ විට බෞද්ධ භික්ෂුවක් වෙත) දූතයෙකු අත (බොහෝ විට පක්ෂියෙකු අත) පණිවුඩයක් යවා ඉල්ලා සිටීම හෝ සෘජුවම දෙවියන් වෙත ඉල්ලීම යැවීම, ඉතිහාස කතාවක් ආශ්‍රයෙන් ප්‍රවේශය සකසා ගැනීම, පණිවිඩය යැවීමට ප්‍රථම පණිවිඩ රැගෙන යන්නා වන දූතයාගේ මනදොළ සන්තෘප්ත වන පරිදි එම දූතයාව වර්ණනා කිරීම (දූත වැනුම), යා යුතු ස්ථානයන් දූතයාට විස්තර කිරීම, ඒ යන අතරමග මාර්ගය වර්ණනා කිරීම (මග වැනුම), අම්බලමේ කතා, වෙහෙර වැනුම්, උදා වැනුම්, නිශා වැනුම්, දියකෙළි වැනුම්, පණිවිඩය රැගෙන පසු කර පියාසර කරන නගරයන් විස්තර කිරීම (පුර වැනුම), එම නගරයන්හි ප්‍රධානීන් වර්ණනා කිරීම සහ ඔවුනට ස්තූති කිරීම, පණිවුඩය ලබන්නා පිළිබඳ වර්ණනා කිරීම, කළ යුතු ප්‍රාර්ථනාව විස්තර කිරීම, පණිවිඩය රැගෙන ගිය දූතයාට ආශිර්වාද කිරීම සංදේශයක අන්තර්ගත මූලික ලක්ෂණ ලෙස හඳුනාගත හැකි අතර සන්දේශයෙන් සංදේශයට අඩුවැඩි වශයෙන් මෙකී මූලිකාංග අන්තර්ගත වේ.

උපුල්වන් දේවාලය , දෙවිනුවර . උපුල්වන් දෙවියන්ට ද සන්දේශ කාව්‍ය ලියවී තිබේ. (visitruhuna.sp.gov.lk)

ශ්‍රී ලාංකීය සංදේශ සාහිත්‍ය නාමාවලිය

සංදේශ

සන්නිවේදන කාරකයා

රචිත කවුරුන් විසින් කාහටද?

කුමක් අරභයාද?

බමර සංදේශය (අනුරාධපුර යුගය)

ගී මියුරු සංදේශය (අනුරාධපුර යුගය)

මානාවුළු සංදේශය (පොළොන්නරු යුගය)

මයුර සංදේශය

මයුරා

කවීශ්වර නම්ගුරුළුගෝමී ගේ මුණුපුරකු විසින් දෙවිනුවර කිහිරෙළි උපුල්වන් දෙවියන් වෙත ලියන ලදැයි සැලකේ.

 පස් වන බුවනෙකබාහු රජු හා යටත්වැසි ජනයා රැක දෙන මෙන් ඉල්ලා සිටීම.

තිසර සංදේශය

තිසරා

 දෙවිනුවර මහා විහාරයේ ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ විසින් උපුල්වන දෙවියන් වෙත ලියන ලදැයි සැලකේ.

දැතිගම්පුර පස් වන පැරකුම්බා රජු, ඔහුගේ ඇමති මණ්ඩලය සහ ඔහුගේ මව ආරක්‍ෂා කර දෙන මෙන් උපුල්වන දෙවියන් යැද ඉල්ලා සිටීම.

පරෙවි සංදේශය

පරෙවියා

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිතය.

සවැනි පැරකුම් රජුගේ දූ කුමරිය වූ චන්ද්‍රාවතී ‍දේවියට සුදුසු ස්වාමියෙකු ප්‍රාර්ථනා කරමින් ලියන ලදැයි සැලකේ.

සැළලිහිණි සංදේශය

සැළලිහිණියා

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත රචිතය.

සවැනි පැරකුම් රජුගේ දූ කුමරිය වූ චන්ද්‍රවතී හෙවත් උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දෙන මෙන් ඉල්ලා සිටීම.

කෝකිල සංදේශය

කෝකිලයා

දෙවිනුවර ඉරුගල් කුල තිලක පිරුවන් හිමි විසින් රචිතය.

ආර්ය චක්‍රවර්තී රජු පරාජය කළ සපුමල් කුමාරයාට, ඔහුගේ ඇමතිවරුන්ට සහ රටවැසියන්ට ද ආරක්‍ෂාව සලසා දෙන ලෙස උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීම.

ගිරා සංදේශය

ගිරවා

ජයවර්ධනපුර මහාවිහාරයක විසූ සඟ නමක් විසින් තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පරිවේනාධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වෙත ලියන ලද්දක් ලෙස සැලකේ.

හයවන පරාක්‍රමබාහු රජතුමා සහ ලංකාද්විපය සතුරු,රෝග සහ යක්ෂ බියෙන් ආරක්ෂාකොට දෙන මෙන් නාථ දෙවියන් යැද ඉල්ලා සිටින මෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටීම.

හංස සංදේශය

හංසයා

වීදාගම හිමියන් විසින් කෑරගල වනරතන හිමියන් වෙත ලියන ලදැයි සැලකේ.

VI වන පරාක්‍රමබාහු රජතුමන් සතුරු කරදරවලින් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා උපුල්වන්, කඳකුමරු, සමන්, විභීෂණ යන දෙවිවරුන් යදින මෙන් කෑරගල වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටීම.

සැවුල් සංදේශය

සැවුලා

 අලගියවන්න මොහොට්ටාල විසින් සබරගමුවේ සුමන සමන් දෙවිඳුන් වෙත ලියන ලදැයි සැලකේ.

සීතාවක රාජසිංහ රජු සහ ඔහුගේ සේනාව ආරක්‍ෂා කර දෙන මෙන් සබරගමුවේ සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීම.

 

මීට අමතරව කහ කුරුළු සංදේශය, නීල කොබෝ සංදේශය වැනි සංදේශයන් ද පවතී.

සැළලිහිණි සංදේශය ලියන ලද්දේ විභීෂණ දෙවියන්ටය (lankawisdom.com)

සංදේශ සාහිත්‍යය මගින් පිළිබිඹු වන තත්කාලීන සමාජ පසුබිම

සංදේශ සාහිත්‍ය තුළ තත්කාලීන ආර්ථික, සමාජයීය, ආගමික, සංස්කෘතික මෙන්ම දේශපාලනික තොරතුරු ද හුවා දක්වයි. කෝට්ටේ යුගයේ බිහි වූ සංදේශ තුළ රාජකීය කුල කතුන්, පුරඟනන්, ගැමි ලියන්, නගර සෝභිනියන්, ගෙවිලියන් යනාදී කාන්තාවන් ද, තුටින් දිය කෙළියෙහි යෙදෙන කාන්තාවන් ද පිළිබඳ චිත්ත රූප මවා දක්වයි. මෙවන් නිරූපණයන් ඇසුරෙන් තත්කාලීන සමාජයේ පැවති කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය ඇතුළු සෙසු කර්මාන්ත හා වෘත්තීන් මෙන්ම සමාජයේ සමෘද්ධිමත් බව ද හුවා දක්වයි.

සලා දුලා පියොවුරු තඹර රොන් රත

පුලා නිලා උපුලන් ලාගෙන    කනත

කලා පිලා නොව ඇල්ගෙවි කෙලින ඉත

බලා පලා යව අස්වන් ගුරුළු   කෙත

සැළලිහිණි සන්දේශයෙහි 38 වන පද්‍යය මගින් ලංකාද්වීපයේ එකල පැවති කෘෂිකාර්මික පසුබිම මෙසේ විචිත්‍රණය කර දක්වයි.

සංදේශයන්හි සාහිත්‍යමය වටිනාකම

සංදේශ සාහිත්‍යය තුළ වීර, ශාන්ත, ශෘංගාර, කරුණා, හාස්‍ය, රෞද්‍ර, අද්භුත, භීබත්ස, භයානක යන නව නළු රස අන්තර්ගතය. කාව්‍යමය ආභරණයන් වන එළිසමය, සමුද්‍රඝෝෂ/ ගී වැනි කාව්‍ය විරිත්, පුර වැනුම් වැනි අවස්ථාවන්හිදී අතිශයෝක්ති අලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර, උපමාලංකාර යනාදී රසාලිප්ත කාව්‍යාලංකාර ද සංදේශයන්හි සාහිත්‍යමය වටිනාකම වර්ධනය කරයි.

නූතන නිර්මාණකරණය විෂයෙහි සංදේශ සාහිත්‍යයෙහි යෙදීම

සංදේශ සාහිත්‍යයෙහි භාෂා රටාව වර්තමානයෙහි එක්වරම කියවා අවබෝධ කරගැනීම තරමක් අපහසු වුවද එය සංදේශ සාහිත්‍යයෙහි සර්වකාලීන රසයට බාධාවක් නොවේ. මේ අනුව නූතන නිර්මාණකරණය විෂයෙහි මූලාශ්‍රයක් ලෙස ද යොදාගැනීමට ඉඩහසර පවතින සංදේශ සාහිත්‍යය, අතීතයෙන් උරුම වූ අමිල සාහිත්‍යමය අංගයකි.

Cover Image: ආදියේදී ලියැවුණු පුස්කොල පොත් කිහිපයක් (kb.dk)

මූලාශ්‍ර:

  • ගිරා සංදේශය, අතිරේක කියවීම් පොත පාසල් සහ පිරිවෙන් සඳහා, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
  • ඒ. ඩබ්. ජී. එන්. කේ. ජයතිලක, කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යවලින් හෙළිවන සමකාලීන කාන්තාවගේ සමාජ තත්ත්වය පිළිබඳ විමර්ශනයක්
  • shanalisha.blogspot.com
  • sandamaliniluka.blogspot.com
  • wikipedia.com
  • visitruhuna.sp.gov.lk
  • lankawisdom.com
  • kb.dk

Related Articles