Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සතු වාර්ථා

මේ දිනවල කා අතරත් ජනප්‍රිය මාතෘකාවක් විදියට චැම්පියන්ස් කුසලාන තරඟ මාලාව දැකිය හැකියි. දක්ෂතා ඉහලින්ම පෙනුවූ කණ්ඩායම් දෙකක් විදියට පකිස්ථානය සහ ඉන්දියාව මෙම මස 18 වන දින ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් තරඟයට මුහුණ දීමට සූදානම්. අවාසනාවන්ත ලෙස තරඟ මාලාවෙන් ඉවත්වීමට සිදු වුවත් චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ සිංහයන්ගේ නම් ලියවුණු අවස්ථා නම් බොහෝමයි. ඉතින් මේ ලිපියෙන් ඒ පිළිබඳ ඔබට ගෙන එන්නට අපි අදහස් කළා.

මෙවර චැම්පියන්ස් කුසලානය පවත්වන්නේ 8 වන වරටයි.ඉන් එක් අවස්ථාවක්වත් අවසන් තරඟයට තේරී පත්වී ඇති පකිස්ථානයද තරඟාවලියෙන් ඉවත්වූ ශ්‍රී ලංකාවද චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණයක් අත් කරගෙන නැහැ. ඕස්ට්‍රේලියාව දෙවරක්, ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව එක්වරක් බැගින්ද චැම්පියන්ස් කුසලානය ජයග්‍රණය කර තිබෙනවා. නමුත් 2002 දී ශ්‍රී ලංකාවේ පැවැත්වූ තරඟ මාලාවේ නිශ්චිත ජයග්‍රහණයක් සනිටුහන් වී නැහැ. ඒ ඉන්දියාව හා ශ්‍රී ලංකාව තරඟ වැදුනු අවසන් මහා තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසාවෙන්.

වර්ෂාව නිසා 2002දී වාර්තා පොත් අතරට

කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය සැප්තැම්බර් 29 තරඟයේදී( Getty Images)

කණ්ඩායම් 12ක් සහභාගී වූ එම තරඟ මාලාවෙදී අර්ධ අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලබනවා. 2002 සැප්තැම්බර් මස 29 වන දින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් තරඟය සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේ ලකුණු 244ක් ලබා ගන්නවා. ඒ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාරගේ අගනා අර්ධ ශතකද ඇතුළත්වයි. නමුත් පිළිතුරු ලෙස ක්‍රීඩාකල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 2කදී ලකුණු 14 ක් ලබා තිබියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවනවා.

රසල් ආනල්ඩ් සැප්තැම්බර් 30 තරඟයේදී ( ESPNcricinfo)

එය අවසන් තරඟය වූ නිසාවෙන් ඊට පසු දින නැවතත් නව තරඟයක් පවත්වන බව අයි.සී.සීය දැනුම් දෙනවා. ඒ අනුව සැප්තැම්බර් 30 වන දින ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 222 ක් ලබාගන්නේ මහේල ජයවර්ධන හා රසල් ආනල්ඩ් ගේ අගනා අර්ධ ශතකවල රුකුලද ඇතුළත්වයි. නමුත් එදිනද තරඟයට වර්ෂාවෙන් බාධා වන්නේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 8.4 කට ලකුණු 38ක් ලබාගෙන තිබියදී. එමනිසා තරඟයේ සම ශූරයන් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අයි.සී.සීය මඟින් නම් කරනවා. එය චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ජය පැරදුමක් නොමැතිව අවසන් වූ එකම තරඟ මාලාවයි.

එක් කණ්ඩායමක් ලෙස ඉදිරියට

මෙම තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ සිවුවන ස්ථානයයි. ඒ මෙම මස 8 වනදා ඉන්දියාවට එරෙහිව කඩුලු 3ක් දැවී ලබාගත් ලකුණු 322ත් සමඟයි.තරඟයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් රැස් කල ලකුණු 89 හා ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස්ගේ අගනා අර්ධ ශතක ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන යන්නේ වාර්ථා පොත් වලටද ලංකාවේ නම ගෙනයමින්.

තරඟයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් (Getty images)

තම ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු ප්‍රමාණයකට දවා ගැනීමේ වාර්ථා අතර ශ්‍රී ලංකාව පසු වන්නේ තුන්වන ස්ථානයේයි. ඒ 2006 ඔක්තෝබර් මස 14 වන දින මුම්බායිහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරඟයේදී කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 80 කට දවා ගැනීම නිසාවෙන්. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවන ෆර්විස් මහරුෆ් කඩුලු 6ක් ලබා ගන්නේ පන්දුවාර 9කදී ලකුණු 14ක් පමණක් ලබා දෙමින්. එය මහරුෆ්ගේ හොඳම පන්දු යැවීමද, චැම්පියන් කුසලාන ඉනිමක පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීම ලෙසද සැලකෙනවා.

එම කඩුලු 6ත් ඇතැතිව තරඟ 6කට සහභාගී වෙමින්, කඩුලු 12ක් දවාගත් ඔහු තරඟ මාලාවක වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ 2006 තරඟාවලිය ඔහුට ගෙන ආ වාසනාවත් සමගයි.

මහරුෆ් විසින් කඩුලු 6ක් දවාගත් තරඟයේ බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පුවරුව (ESPNcricinfo)

වැඩි ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම් අතර ලංකාව දෙවෙනි වන්නේ නවසීලන්තයට පමණයි. 2002දී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟයකදී ලකුණු 206ක විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නාමය එම වාර්ථා පොත් අතර ලියවෙනවා. එහිදී මාවන් අතපත්තු රැස් කල ලකුණු 101ත් සමඟ ඔහු තරඟයේ වීරයා සම්මනයෙන්ද පිදුම් ලබනවා.

පිතිකරුවන් ලෙස දැක්වූ දස්කම් වාර්ථා අතර

කුමාර් සංගක්කාර 2013 එංගලන්තයට එරෙහි තරඟයකදී (sky SPORTS)

වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර ශ්‍රී ලාංකිකයෙක් ලෙස මහේල ජයවර්ධන පසුවන්නේ දෙවන ස්ථානයේයි.ඒ තරඟ 22කට සහභාගී වෙමින් ලබාගෙන ඇති ලකුණු 742 නිසාවෙන්. දළ ලකුණු ලබා ගැනීමේ වේගය 84.80ක පවත්වාගෙන ඇති ඔහු එම තරඟ 22 තුළ අර්ධ ශතක 5කටද හිමිකම් කියනවා. එම අර්ධ ශතක 5 නිසාවෙන් ඔහු වැඩිම අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයන් අතර සිවුවන ස්ථානයේද පසුවනවා. කුමාර් සංගක්කාර ලකුණු 683ක් ලබාගනිමින් එම වාර්ථා අතර පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණුවල වාර්ථා අතර කුමාර් සංගක්කාර පසුවන්නේ හත්වන ස්ථානයේයි. ඒ 2013 ජූනි මස 13 වන දින ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවති තර්ඟයකදී. එහිදී ඔහු පන්දු 135කදී නොදැවී ලකුණු 134 ක් ලබා ගන්නේ හතරේ පහර 12ක්ද ඇතුලුවයි. මෙම තරඟයෙදී ඔහු තරඟයේ වීරයාට හිමි සම්මානයද ලබාගන්නවා.

චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ප්‍රථම ශතකය ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ අවිශ්ක ගුණවර්ධනයි. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2000දී පැවති තරඟයකදීයි. එහිදී ලබාගන්නා ලකුණු 132 නිසාවෙන් ඔහු තරඟයේ වීරයාට හිමි සම්මානයද ලබා ගන්නවා. එය ඔහු එක්දින තරඟයකදී ලබාගත් වැඩිම ලකුණු ගණන ලෙසද සටහන් වෙනවා.

පන්දු යැවීම් හා පන්දු රැකීම්

මුත්තයියා මුරලිදරන්(Cricket Network)

කඩුලු 24ක් ලබා ගනිමින් ක්‍රීඩකයෙක් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව අතර ලසිත් මාලිංග හා මුත්තයියා මුරලිදරන් පසුවන්නේ දෙවන ස්ථානයේයි. එහිදී මුරලි තරඟ 17කටද, මාලිංග තරඟ 15කටද සහභාගී වෙමින් මෙම වාර්ථා අතර පසුවනවා. ඔවුන් දෙදෙනා දෙවැනි වන්නේ කඩුලු 28ක් ලබා සිටින නවසීලන්ත ක්‍රීඩක කයිල් මිල්ස්ට පමණයි. එමෙන්ම එක් ඉනිමකදී කඩුලු 4ක් දවාගත් ක්‍රීඩකයන් අතර ඔවුන් දෙදෙනා පසුවන්නේ ප්‍රථම ස්ථානයේයි. කඩුලු 4 ද්විතවයක් ලබාගනිමින් ඔවුන් දෙදෙනා සමඟ තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක් එම වාර්ථාවට හිමිකම් කියනවා.

කඩුලු රකින්නෙකු දවාගත් වැඩිම කඩුලු අතර ප්‍රථම ස්ථානයේ පසුවන්නේ කුමාර් සංගක්කාරයි. තරඟ 22කට සහභාගී වෙමින් ඔහු කඩුලු 33ක් ලබාගෙන ඇති අතර තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටින මහෙන්ද්‍ර සිං දෝනි කඩුලු 18ක් දවාගෙන පසුවන්නේ සිවුවන ස්ථානයේයි. ඉනිමකදී වැඩිම කඩුලු දවාගත් කඩුලු රකින්නා ලෙස දෙවන ස්ථානයේ පසුවන ඔහු තරඟාවලියකදී එම අංශයේ ප්‍රථම ස්ථානයේ පසුවන්නේ 2006 තරඟාවලියේදී දවාගත් කඩුලු 15ත් සමඟයි.

මහේල ජයවර්ධන ( ESPNcricinfo)

වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා ලෙස ප්‍රථම ස්ථානයේ පසුවන්නේ මහේල ජයවර්ධනයි. ඒ තරඟ 22කට සහභාගී වෙමින් උඩපන්දු 15ක් රැකගැනීමෙන්. ඉනිමකදී එම දස්කම්  දැක්වූ ක්‍රීඩකයන් අතර මාවන් අතපත්තු දෙවන ස්ථානයේ පසුවනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව 1998දී පැවති තරඟයකදී උඩපන්දු 3ක් රැකගැනීමත් සමඟයි.

තරඟාවලියක ජයග්‍රහණය නොලැබුවත් සිංහයන්ගේ දස්කම් නොඅඩුව වාර්ථා පොත් අතර ලියවී තිබෙනවා. ඉතින් අයි.සී.සීය නිවේදනය කරන ආකාරයට මෙය අවසන් චැම්පියන්ස් කුසලානයද විය හැකියි. මන්ද, ඔවුන් ODI League නමින් නව තරඟාවලියක් 2019දී ආරම්භ කිරීමට නියමිත බවටද කියැවෙන බැවින්. එම තරඟා මාලාවේදිද සුපුරුදු දස්කම් පෙන්වමින් වාර්ථා පොත් අතර ශ්‍රී ලංකා නාමය ලීවීමට අපේ සිංහයන්ට හැකි බව නම් විශ්වාසයි.

කවරයේ පින්තූරය (International Cricket Council)

මූලාශ්‍ර :- ESPNcricinfo, Wikipedia

Related Articles