කලාව සහ ජීවන රටා

විනාඩි 3 ක කියවීමක්

මියන්මාර් ගැහැණුන්ගේ පච්ච සම්ප්‍රදාය

Published

විනාඩි 3 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

Aruni Kalupahana

Contributor

ඇඟ පුරාම පච්ච කොටපු කාන්තාවන් දැන් කාලේ නම් සාමාන්‍ය දෙයක්, හැබැයි මීට දශක දෙක තුනකට කලින් නම් ඒක ටිකක් කලාතුරකින් දකින්න ලැබුණු දෙයක්. සම්ප්‍රදායික මති මතාන්තර නිසා ලෝකයේ හැම දෙයක්ම වෙනස් විදියට දකින කාලෙක මුහුණේ සුන්දරත්වය වසා ගෙන මුහුණ පුරාවටම ටැටූ එකක් ගහන්න වුණොත් කොහොම තියේවිද?

ඒ කාලෙත් වැඩිපුර පච්ච රටාවන් ශරීරයේ තියෙන ගැහැණුන් ව සමාජයෙන් සැලකුණේ අභිසරුලියන් එහෙමත් නැති නම් වීදි සරන කාන්තාවන් විදියට. හැබැයි ඒක එහෙමයි කියලා මීට දශක ගණනාවකට කලින් බුරුමයේ (අද මියන්මාරයේ) කාන්තාවන් ට නම් ඒ ගැන විරුද්ධ වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එයාලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන්ගේ මුහුණ පච්ච වලින් විරූපී කරගන්න සිදු උනා.

(scmp.com)

මුහුණ පුරා පච්ච රටා ඇන්දේ ඇයි ?

ඒ  අමුතු පච්ච රටාවන් පිටුපස තිබුණේත් හරි අපුරු වගේම දුක්බර කතාවක්,

පරම්පරා ගණනාවකට ඉස්සර  මුලින්ම බංගලාදේශ – මියන්මාර් දේශ සීමාව ආසන්නයේ තිබුණු  චින් කියන    මියන්මාරයට අයත් ප්‍රදේශයේ තමයි මේ විදියට හැම තනිකඩ තරුණ කාන්තාවකගේම මුහුණේ පච්ච කොටන්න පටන් අරන් තියෙන්නේ.

මේවා නිකම්ම නිකම් පච්ච නෙවෙයි. සංකීර්ණ රටාවන් සහිතව, මුළු මුහුණම ආවරණය වෙන විදියට, තද තීන්ත වර්ගයක් පාවිච්චි කරලයි මේ පච්ච ඇන්දේ. ඒ ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ මුහුණේ අදින රටාවන් එකිනෙකට වෙනස් වුණා. ඒ නිසා යම් කාන්තාවකගේ මුහුණේ තියෙන රටාවන් දැක්කම ඇය කොයි ප්‍රදේශයෙන් එන කෙනෙක්ද කියලා හොයා ගන්න පුළුවන් වුණු බවයි මියන්මාර් වැසියන් කියන්නේ.

ඔවුන් එහෙම කරේ ඇයි කියලා ඔබට කුතුහලයක් ඇති.

මේ ප්‍රදේශවල ගැහැණු ළමුන් වයස අවුරුදු 8, 9 පහුවෙද්දීමයි ඔවුන්ගේ මුහුණේ මේ විදියට රුප කොටන්න තීරණය කෙරුණේ. වයස සම්පුර්ණ වෙද්දීම පරණ චාරිත්‍රයක් ඉටු කරනවා වගේ ගැහැණු දරුවන්ගේ මුහුණු පුරා මේ පච්ච රටා අඳින වැඩේ මේ වැඩිහිටියෝ නම් මොනම හේතුවක් නිසාවත් අමතක කළේ නැහැ.

අකමැත්තෙන් හෝ ඔවුන්ට ඒ විදියට මුහුණ පුරා පච්ච රටා අදින්න සිදු වුණේ එකල ආධිපත්‍යය පතුරුවාගෙන හිටපු රාජකීයන් නිසාවෙන්. ඒ කාලේ රාජකීයන්ට තමන් කැමති ඕනෑම තරුණියක ඕනෑම මොහොතක රැගෙන යන්නට අවසර තිබුණා. එතැන දී තරුණියන්ගේ කැමැත්ත අකැමත්ත ඔවුන්ට වැදගත් උනේ නැහැ. ඔවුන් ඒ ගැන හිතුවෙත් නැහැ.

එක පාර පෙනී සිටින රජකුමාරයෙක් විසින් ඔවුන්ගේ ඊලඟ සහකාරිය කුදලන් යන්නේ අඩු තරමේ ඒ තරුණියගේ දෙමව්පියන්ටවත් නොකියා. අඩු තරමේ තරුණියට සිතා ගන්න ට වත් වෙලාවක් ලැබුණේ නැහැ.

මේ විදියට නාඳුනන මංකොල්ලකරුවන් වගේ රාජකීය කුමාරවරු ඇවිත් තමන්ගේ දුවරු පැහැරගෙන යන එක ඒ කාලේ අම්මලාට දරා ගන්න පුළුවන් උනේ නැහැ.  සමහර වෙලාවට රාජකීය වෙස් අරගෙන වෙනත් කවුරුන් හරි ඇවිත් තමන්ගේ දරුවන් කුදලන් යනවා ද කියලාවත් මේ දෙමව්පියන්ට දැන ගන්න බැරි වුණා. ඒ වගේම මේ රාජකීයන්ට එරෙහි වෙන්නවත්, මේ අකටයුත්තට එරෙහිව සටන් කරන්නවත් කාටවත් පුළුවන් වුණේ නැහැ. රාජකීයයන්ම හදා ගත් බලතලවලට හිස නමාගෙන ඉන්නයි සිද්ධ වුණේ.

(http://www.dailymail.co.uk)

නිදා ගන්නවත් බැරි තරම් වේදනාකාරී අත්දැකීමක්

ඉතින් ඒ හින්දාම ඒ ප්‍රදේශයේ වැඩිහිටියන් ට සිදු වුණා තමන්ගේ දුවරුන්ව ආරක්ෂා කරන්න වෙනත් විකල්පයක් හොයා ගන්න. ඉතින් විසඳුමක් විදියට මේ චින් ප්‍රදේශවාසින්ට අපුරු අදහසක් පහළ වුණා. ඒ තමයි තමන්ගේ තරුණ දුවරුන්ගේ මුහුණේ රූප අඳින එක.

නමුත් දුවරුන්ගේ රූමත් මුහුණු ආවරණය වන විදියට මුහුණ පුරාවටම පච්ච කොටන එක ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නම් නැහැ. දවසකටත් වැඩි කාලයක් ගත කරලා සිදු කළ මේ රූප ඇඳිල්ල අතිශය වේදනාකාරී අත්දැකීමක් වෙලා තියෙනවා. විශේෂයෙන් ශරීරයේ ඉතා සංවේදී ප්‍රදේශයක් වන ඇහිපිය ආශ්‍රිත රූප ඇඳීම දරා ගන්නම අමාරු වුණා කියල තමයි ඒ අත්දැකීමට මුහුණ දුන්න අය කියන්නේ. මේ පච්ච කෙටීමේදී ඇති වන වේදනාව නිසා දවස් ගාණක් යනතුරු ආහාර ගන්න තියා නිදා ගන්නවත් බැරි වුණාලු.

මේ පච්ච ඇඳීමට යොදාගෙන තියෙන්නේ ඌරු මේදය ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ලද තීන්ත වර්ගයක්. එයට දැලි, ඖෂධ පැළෑටි වගේ දේවලුත් එකතු කරලා තියෙනවා.

(http://www.scmp.com)

කොහොම නමුත් ආරක්ෂාව වෙනුවෙන් පටන් ගත්ත මේ රටා ඇඳිල්ල කාලයක් ගත වෙද්දී පරම්පරාවෙන් පවත්වාගෙන ආව පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා.

මේ විදියට ගැහැණුන්ගේ මුහුණ පුරා රටා ඇදීමේ ප්‍රතිපලයක් විදියට ඒ විදියට මුහුණේ පච්ච රටා සහිත ගැහැණුන් අප්‍රසන්න කොටසක් විදියට හිතපු රාජකීයන් ඊට පස්සේ ඔවුන් මග හැර යන්න පටන් අරන්. කිසිම රජෙක් කැමති වෙලා නැහැ මේ විදියට පච්ච කොටපු ගැහැණුන් ව වහලියක් විදියටවත් තමන් අසල තියා ගන්න. මේ නිසාවෙන් දෙමව්පියන්ට තමන්ගේ දුවරුන් ආරක්ෂා කර ගන්න  පුළුවන් වෙලා තියෙනවා.

(http://www.dailymail.co.uk)

සුන්දරත්වයේ සලකුණක් වූ වියැකී යන සම්ප්‍රදාය

වර්තමානය වෙද්දී මේ විදියට මුහුණ පුරා පච්ච කොටපු චින් ගැහැනුන් සුන්දරත්වයේ සලකුණක් ලෙසින් සලකන්නත් මියන්මාර් වැසියන් පුරුදු වෙලා තියෙනවා. එක අතකින් මියන්මාර් කාන්තාවන්ගේ අනන්‍යතාවයක් වන මේ මුහුණ පුරා රූප ඇඳීම මේ වන විට නම් වියැකී යන සම්ප්‍රදායක් බවට පත් වෙලා.

දැන් ඉන්න තරුණ ළමයින් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ තමන්ගේ රූප සොභාව මේ පච්ච රටාවන්ගෙන් වසා ගන්න.

(http://www.dailymail.co.uk )

මියන්මාර් රජය මේ පච්ච  කෙටීම තහනම් කරලා තිබුණත් සමහර තරුණියන් නම් තමන්ගේ සම්ප්‍රදායට ගරු කරන්න කියලා මේ විදියට මුහුණේ පච්ච කොටපු අවස්ථාත් තියෙනවා. කොහොම නමුත් මේ වෙද්දී රජයෙන් පච්ච කොටනවාට දාපු තහනමටත් වඩා අද කාලේ මියන්මාර තරුණියන්ට මේ විදියට පච්ච කෙටීමේ අවශ්‍යතාවයක් මතු නොවෙන එක පච්ච කෙටීම අභාවයට යන්න හේතු වෙලා.

ඒ වගේම මේ වෙද්දී කවුරුන් හෝ රජයට පිටුපාලා මේ විදියට පච්ච කෙටුවොත් ඔවුන්ට සිද්ධ වෙනවා මියන්මාර් නීති රීති වලට පිටුපෑම හේතුවෙන් දඩ ගෙවන්න වගේම බරපතල දඩුවම්වලට යටත් වෙන්නත්.

ඉතින් ඒ නිසා දැනට ඉන්න වයසක පරම්පරාව මිය යන විට ඔවුන් සමගින් මේ පච්ච කෙටීමේ සම්ප්‍රදාය ත් වියැකී යනවා. මේ වෙද්දී මියන්මාරයේ සීතල කඳු පන්ති පාමුල ජිවත්ව ඉන්නේ මුහුණ පුරා රටා ඇඳපු අවසන් පරම්පරාවයි.

ඒ වගේම නිතර බුලත් විට හපමින් ඉන්න මේ චීන් ගෝත්‍රයේ ගැහැණුන්  අතර තවත් අපුරු පුරුදු තියෙනවා. නිවසේ සියලුම වැඩ ගැහැණුන් කරන අතරම මේ ගෝත්‍රයේ පිරිමියෙකු වැරැදිලාවත් නිවසේ කටයුතු වැඩ කටයුතුවලට දායක උනොත් එයින් ගෝත්‍රයටම නපුරක් ගෙන එනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම මේ චින් ගැහැණුන් නාසය උපයෝගී කරගෙන බට නලා පිඹින්නත් දක්ෂයි. ඒ විතරක් තවත් බොහෝ අපුරු පුරුදු, මති මතාන්තර ඔවුන් අතර තියෙනවා.

හැබැයි ඒ කොහොම වුණත් දවසින් දවස දියුණු වන ලෝකෙත් එක්ක චින් ගෝත්‍රයටම අාවේණික වුණ මේ අපුරු පුරුදුත් දවසින් දවස ඔවුන් අතරින් වියැකිලා යන්න පටන් අරන්.

(http://www.dailymail.co.uk)

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්