Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල හැඩ කරන සොඳුරු සැරසිලි

අවුරුද්දකට වතාවක් උදාවෙන නත්තල කියන්නේ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ඉහළතම සැමරීමක්. එනිසා නත්තල් උත්සවය වඩාත් විචිත්‍රවත් කරන්නට ඔවුන් බොහොමයක් සැරසිලි, චාරිත්‍ර විධි ආදිය යොදාගන්නවා. නත්තල වර්ණ ගන්වන්නට ඔවුන් මෙලෙස යොදාගන්නා අපුරු සැරසිලි කිහිපයක ඉතිහාසය ගැන කතාකරන්න තමයි අද අපේ සුදානම.

නත්තල් ගස

වික්ටෝරියා රැජිනගේ සහ ඇල්බට් කුමරුගේ නත්තල් ගස (telegraph.co.uk)

වික්ටෝරියා රැජිනගේ සහ ඇල්බට් කුමරුගේ නත්තල් ගස (telegraph.co.uk)

මුල් වරට නත්තල් ගස කියන සංකල්පය හඳුන්වා දුන්නේ 16 වැනි සියවසේ විසූ ජර්මානු ජාතිකයින්. ඔවුන් බොහෝ විට ස්පෘෘස්, පයින් හෝ ෆර් වැනි සදාහරිත ශාකයන් නිවෙස් තුළට ගෙනැවිත් ඇපල්, දොඩම්, බදරිය ගෙඩි සහ ඉටි පහන් යොදා ගනිමින් ඒවා සැරසීම සිදු කළා. කාලයත් සමගම යුරෝපය දක්වා පැතිරී ගිය මේ සාම්ප්‍රදාය වඩාත් ජනප්‍රිය වුණේ එවකට මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජිනගේ ස්වාමි පුරුෂයා වන ඇල්බට් කුමරු විසින් 1841 දී වින්ඩ්සර් මාලිගයේ තිබුණු නත්තල් ගස, මුතු මැණික් මෙන්ම ඉටි පහන්, රස කැවිලි, පලතුරු සහ ඉඟුරු පාන් යොදා ගනිමින් සැරසූ පසුවයි.

ඉන් අනතුරුව ඉංග්‍රීසි ජාතිකයන් අතර නත්තල් ගස සැරසීමේ සාම්ප්‍රදාය පැතිරී ගියේ ඉතාමත් ශීඝ්‍රයෙන්. චාල්ස් ඩිකන්ස් ඔහුගේ පොත්වල සඳහන් කරන ආකාරයට 19 වැනි සියවසේ මැද වනවිට බ්‍රිතාන්‍ය ජාතිකයන් නත්තල් ගස සැරසීම සඳහා සුරතල් බෝනික්කියන්, කුඩා ගෘහභාණ්ඩ, විසිතුරු ආභරණ, පුංචි සංගීත භාණ්ඩ‍, සෙල්ලම් පිස්තෝල, රස කැවිලි සහ පලතුරු යොදා ගෙන තිබෙනවා.

ඇමෙරිකාවට මුල් වරට නත්තල් ගස හඳුන්වා දුන්නේ 19 වැනි සියවසේදී පෙන්සිල්වේනියා ජනපදයට පැමිණි ජර්මානු ජාතිකයන් විසින්. ඔවුන් නත්තල් ගස් යොදා ගත්තේ පල්ලියේ ප්‍රදර්ශනයට තබා පුණ්‍යකටයුතු සඳහා ආධාර එක්රැස් කිරීමටයි. නමුත් 19 වැනි සියවසේ අවසන් කාලය වන විට ඇමෙරිකානු ජාතිකයන් අතරද නත්තල් සාම්ප්‍රදායක් ලෙස නත්තල් ගස සැරසීම ප්‍රචලිත වුණා. ඒ සඳහා ඔවුන් බොහෝ විට යොදා ගත්තේ නිවසේ සැකසූ සැරසිලියි.

2016 නත්තල වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ ඇති නත්තල් ගස (dailymail.co.uk)

2016 නත්තල වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ ඇති නත්තල් ගස (dailymail.co.uk)

නත්තල් ගස සැරසීම සඳහා විදුලි පහන් යොදා ගැනීම මුල් වරට සිදු කළේ 1882 වසරේ දී එඩිසන් විදුලි පහන් සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළ එඩ්වඩ් එච්. ජොන්සන් විසින්. ඒ නිව්යෝක්හි පිහිටි ඔහුගේ නිවසේ තිබුණු නත්තල් ගස සැරසීම සඳහායි. මේ කාලයේදීම සදාහරිත ගස් වෙනුවට කෘතිම නත්තල් ගස් භාවිතය ඇරඹුණා. එයට හේතු වුණේ වන විනාශය අවම කිරීමයි.

මුල් කාලයේ දී කෘතිම නත්තල් ගස් නිර්මාණය සඳහා හරිත පැහැයෙන් වර්ණ ගන්වන ලද පාත්ත පිහාටු යොදා ගත්තත් පසු ව ඒ සඳහා ප්ලාස්ටික් යොදා ගැනීම සිදු වුණා. නමුත් නැවතත් පරිසර දූෂණය සම්බන්ධ ප්‍රශ්න මතුවූ නිසා වර්තමානයේදී බොහෝ රටවල් නත්තල් ගස් සඳහා යොදා ගැනීමේ අරමුණෙන්ම සදාහරිත ශාක ගොවිපොළවල් පවත්වාගෙන යාම සිදු කරනවා.

හෝලි කිනිති

හිම පියලි රැඳි හෝලි කිනිති (keyword-suggestions.com)

හිම පියලි රැඳි හෝලි කිනිති (keyword-suggestions.com)

දැති සහිත දීප්තිමත් හරිත පැහැයෙන් යුතු පත්‍ර සහ රතු පැහැ ගෙඩි සහිත හෝලි කිනිති මගින් සංකේතවත් කරන්නේ සාමය සහ සතුටයි. ඒ නිසා බොහෝ අය තමන්ගේ ආරවුල් විසඳා ගැනීම හෝලි කිනිති යට ඉඳිමින් සිදු කරනවා. හෝලි කිනිති මගින් මායාකාරියන් බිය ගන්වන බව සහ විදුලි කෙටීම්වලින් නිවෙස් ආරක්ෂා කර ගත හැකි බව පුරාණයේ දී මිනිසුන් විශ්වාස කළා.

හෝලි කිනිති හා බැඳුණු විශ්වාසයන් අප්‍රමාණයි. තරුණ ගැහැනු ළමුන්ගේ ඇඳ වටා හෝලි කිනිති රැඳවීම මගින් ඔවුන්ව දුෂ්ඨ පිශාචයින්ගේ කරදරවලින් බේරා ගත හැකි බව බටහර එංගලන්තයේ පවතින විශ්වාසයක්. එසේම බ්‍රිතාන්‍ය ජාතික ගොවියන් තම මී මැසි පෙට්ටි ආශ්‍රිතව හෝලි ගස් සිටුවීම සිදුකරනවා. ඔවුන් විශ්වාස කරන්නේ නත්තල් සමයේ පළමු දිනයේදී මී මැස්සන් නගන ගුමුගුමුව ජේසු බිලිඳාට උපහාර පිණිස සිදු කරන බවයි.

වර්තමානයේ දී හෝලි කිනිත්තේ ඇති දැති සහිත පත්‍ර මගින් ජේසුතුමා හිස පැලඳූ කටු සහිත ඔටුන්නද, රතු පැහැ ගෙඩි මගින් ගැලවීමේ මාර්ගයක් සොයාගනු පිණිස එතුමා විසින් වැගිරූ රුධිරයද සංකේතවත් කරන අතර පත්‍රයක ඇති ගිනි සිළුවක හැඩය මගින් මිනිසුන් කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ දැවෙන ස්නේහය පෙන්නුම් කරන බව කියවෙනවා.

නත්තල් සීනු

නත්තල් සීයාගේ පිනි මුවන් රංචුව සංකේතවත් කරන නත්තල් සීනු. (glanzbild.blogspot.com)

නත්තල් සීයාගේ පිනි මුවන් රංචුව සංකේතවත් කරන නත්තල් සීනු. (glanzbild.blogspot.com)

අතීතයේ මිනිසුන් විශ්වාස කළේ සීනු හැඬවීම මගින් නපුරු ආත්මයන් පලවා හැරිය හැකි බවයි. ඒ නිසා අස්වනු සමය අවසන් වී ශීත සෘතුව එළැඹෙන විට අස්වැන්න ආරක්ෂා කර ගැනීමටත්, නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂා වීමටත් සීනු හැඬවීම ඔවුන් පුරුද්දක් කර ගත්තා. කාලයත් සමග නත්තල් සාම්ප්‍රදායක් බවට පත්වූ මෙය පසුව යොදා ගත්තේ නපුරු ආත්මයන් පලවා හැරීම වෙනුවට සතුට පෙන්නුම් කිරීම සඳහායි.

ඉන් පසුව නත්තල් දිනයේදී ජේසු බිලිඳාගේ උපත සනිටුහන් කිරීම සඳහා පල්ලියේ සීනුව නාද කිරීම ඇරඹුණා. ‘සීනුවක් හැඬවෙන හැම වරෙකම සුරදූතයෙක්ට පියාපත් ලැබේ’ යන කියමනට පාදක වූයේ එයයි. වර්තමානයේදී නත්තල සමය තුළ සීනුවලට ලැබී ඇත්තේ වැදගත් ස්ථානයක්. කිංකිණි හඬ නංවන මිහිරි සීනු නාදය මගින් නත්තල් සීයාගේ පිනි මුවන් රංචුව සංකේතවත් කරනවා.

සූකිරි සැරයටි

සූකිරි සැරයටි යොදා ගනිමින් සැකසූ රස කැවිලි. (staging101.musely.org)

සූකිරි සැරයටි යොදා ගනිමින් සැකසූ රස කැවිලි. (staging101.musely.org)

සියවස් දෙකහමාරකට පමණ පෙර සූකිරි සැරයටි ලොවට හඳුන්වා දුන්නේ ජර්මානු ජාතිකයන් විසිනි. මුල් කාලයේදී ඒවා සැරයටියක හැඩය ගත්තේ නැහැ. පෙපර්මින්ට් සහ සීනි යොදා ගනිමින් සැකසූ ඒවා සෘජු කෝටුවක හැඩයෙන් යුතු වුණා.

19 වැනි සියවස අවසන් වන විට එඬේරෙකුගේ සැරයටිය මෙන් පෙනෙන ආකාරයට ඉංග්‍රීසි ‘ජේ’ අකුරේ හැඩයෙන් යුතුව සූකිරි සැරයටි නිපදවීම ආරම්භ කළා. එයින් ජේසු බිලිඳා උපත ලැබූ පසු ඔහුව දැකීමට පැමිණි එඬේරුන්ව සංකේතවත් කරනවා.

මුල් කාලයේදී සුදෝසුදු පැහැයෙන් යුතු වූ සූකිරි සැරයටිවලට රතු පැහැය මුසු වුණේ 20 වැනි සියවසේදීයි. සුදු පැහැයෙන් ජේසුතුමාගේ නිර්මල බවද, රතු පැහැයෙන් එතුමාගේ රුධිරයද පෙන්නුම් කරනවා. පෙපර්මින්ට් රසය මගින් සංකේතවත් වන්නේ බයිබලයේ සඳහන් සුපිරිසිදු කිරීමේ ගුණයෙන් යුතු හිසොප් නම් පැළැටියයි.

ඉඟුරු පාන්

විවිධ හැඩයන්ට සැකසූ ඉඟුරු පාන් (vp.donetsk.ua)

විවිධ හැඩයන්ට සැකසූ ඉඟුරු පාන් (vp.donetsk.ua)

ඉඟුරු පාන්වල මූලාරම්භය ඉතාමත් ඈත කාලයක් දක්වා දිව යනවා. කාලයත් සමග ඉඟුරු පාන් සැකසීම සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය වගේම වට්ටෝරුත් සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා. මුල් කාලයේ දී ඉඟුරු පාන් කැවිලි සෑදීම සඳහා මූලික වශයෙන් ම භාවිතා කර තිබුණේ ඉඟුරු, පාන් කැබලි සහ මී පැණියි. නමුත් 15 වැනි සියවස වන විට පාන් කැබලි වෙනුවට පාන් පිටිද, මී පැණි වෙනුවට උක් පැණිද, භාවිතා කිරීම ඇරඹුණා. එසේ ම ඉඟුරු පාන් කැබැල්ල වඩාත් සැහැල්ලු ස්වභාවයක් ගත්තා.

මුල් වරට මිනිසුන්ගේ හැඩයෙන් යුතු ඉඟුරු පාන් සැකසීම සිදු කළේ එංගලන්තයේ පළමු වැනි එළිසබෙත් රැජිනයි. ඇය රාජ සභාවේ සිටි අමාත්‍යවරුන්ගේ හැඩයෙන් යුතු ඉඟුරු පාන් සැකසූ බවයි ජනකතාවල සඳහන් වන්නේ. වර්තමානයේ දී නත්තල සැමරීමේ දී ඉඟුරු පාන් මිනිසුන්ට අමතර ව ඉඟුරු පාන් නිවෙස් පවා සකස් කරනවා.

ඔබේ පහසුව සඳහා නිවසේ දී ම වැඩි කරදරයකින් තොර ව හිම පියලි හැඩැති රසවත් ඉඟුරු පාන් සකස් කර ගැනීමට හැකි වට්ටෝරුවක් මේ දිගුව මගින් එකතු කර තිබෙනවා.

නත්තල් ඉටි පහන්

සාමය සහ නිර්මල බව සංකේතවත් කරන සුදු පැහැ ඉටි පහන් (mytechref.com)

සාමය සහ නිර්මල බව සංකේතවත් කරන සුදු පැහැ ඉටි පහන් (mytechref.com)

නත්තල් සැරසිල්ලක් ලෙස මුල් වරට ඉටි පහන් යොදා ගත් බව සඳහන් වන්නේ මධ්‍යතන යුගයේදීයි. ඒ මගින් ජේසු බිලිඳා උපත ලැබූ වේලාවේ බෙත්ලෙහෙමට ඉහළ අහසේ පෑයූ තරුව සංකේතවත් කළා. එසේම ජේසුතුමා ‘ලෝකයේ ආලෝකය’ බව පෙන්නුම් කිරීම සඳහාද නත්තල් ඉටි පහන් යොදා ගන්නවා.

වර්තමානයේදී බොහෝ විට කැරොල් ගී සේවාවන් අලෝකමත් කිරීම සඳහා ඉටි පහන් භාවිතා කරනවා. අතීතයේදී නත්තල් ගස සැරසීම සඳහා විවිධ වර්ණවල නත්තල් ඉටි පහන් යොදා ගත්තත් මේ වන විට ඉටි පහන්වලට හිමි තැන සොරාගෙන ඇත්තේ විදුලි බුබුළු මගින්.

සුදු පැහැ ඉටි පහන් මගින් සාමය, නිර්මල බව සහ නපුරු බලවේග පරාජය කිරීමද රතු පැහැ ඉටි පහන් මගින් මිත්‍රත්වය, ආදරය සහ සතුටද සංකේතවත් කරනවා.

මිස්ටල්ටෝ

මිස්ටල්ටෝ කිනිත්තක් යට හිඳ සිප ගැනීම මගින් සංකේතවත් කරන්නේ විවාහ පොරොන්දුවක් සහ සතුටු පිරුණු අනාගතයක් (pinterest.com)

මිස්ටල්ටෝ කිනිත්තක් යට හිඳ සිප ගැනීම මගින් සංකේතවත් කරන්නේ විවාහ පොරොන්දුවක් සහ සතුටු පිරුණු අනාගතයක් (pinterest.com)

ඈත කාලයේ සිට ම මිස්ටල්ටෝ සැලකුවේ විෂ නසා ජීවන ගෙන දිය හැකි ශාකයක් ලෙසයි. ඒ නිසා මධ්‍යතන යුගය ඇරඹීමටත් පෙර සිටම නත්තල් සැරසිල්ලක් ලෙස මිස්ටල්ටෝ භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. පසු කලෙක නපුරු බලවේග නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා දොර ඉදිරියේ මිස්ටල්ටෝ අත්තක් එල්ලීම සාම්ප්‍රදායක් බවට පත් වුණා.

වර්තමානයේ දී මිස්ටල්ටෝ අත්තක් යට හිඳ සිප ගැනීම ජනප්‍රිය නත්තල් සාම්ප්‍රදායක් බවට පත් වී තිබෙනවා. ඒ මගින් විවාහක යුවළකට ඉක්මනින් දරුවෙකු ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා. අවිවාහක දෙදෙනෙක් මිස්ටල්ටෝ කිනිත්තක් යට හිඳ සිප ගැනීම මගින් විවාහ පොරොන්දුවක් සහ සතුටු පිරුණු අනාගතයක් සංකේතවත් කරනවා.

කවරයේ පින්තූරය: නිවසේ සැකසූ නත්තල් සැරසිලි (pinterest.com)

මූලාශ්‍ර: en.wikipedia.org, theholidayspot.com

Related Articles