Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල වෙසක් සිරි

බුද්ධ වර්ෂ 2493 (ක්‍රිස්තු වර්ෂ 1950) දී පාලි භාෂාව පිළිබඳ විද්වතෙකු වූ ආචාර්ය ගුණපාල මළලසේකර මහතාගේ අදහසකට අනුව ලොව පුරා බෞද්ධ රටවල් 27 ක් නියෝජනය කරමින් නියෝජිතයන් 129 දෙනෙකු ලෝක බෞද්ධ මිත්‍රත්වය (World Fellowship of Buddhists) පිහිටුවමින් මැයි 25 – ජූනි 6 දක්වා කොළඹ දී රැස් වන්නේ සියවස් ගණනාවක් තිස්සේ රට රටවල බෞද්ධයන් විසින් සමරන ලද වෙසක් උළෙල විධිමත් කිරීමේ අරමුණ ඇති ව යි.

1950 වසරේ කොළඹ දී පැවැත්වූ මුල් ම ලෝක බෞද්ධ මිත්‍රත්ව සමුළුව  (wfbhq.org)

එහි දී වෙසක් පොහොය දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ මහ රජුට ස්තූතිය පුද කරන ලද අතර, ලෝක සාමය සඳහා ඉමහත් මෙහෙයක් ඉටු කළ බුදුන් වහන්සේට සිදු කරන ගෞරවයක් ලෙස වෙසක් පොහොය දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙස සෑම රටක ම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටීම ද සිදු කෙරුණා. 1999 දී ජාත්‍යන්තර වශයෙන් වෙසක් පොහොය සැමරීම සංකේතවත් කරමින් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ප්‍රථම වරට වෙසක් උත්සවයක් සංවිධානය කර තිබුණා.

2010 වසරේ කොළඹ දී පැවැත් වූ 25 වැනි ලෝක බෞද්ධ මිත්‍රත්ව මහා සභාව සහ එහි 60 වැනි සංවත්සරය (wfbhq.org)

හින්දු දින දර්ශනයේ අප්‍රේල්-මැයි කාලය අතරතුර ගත වන චන්ද්‍ර මාසයට අනුව නම් කරන ලද වෙසක් උත්සවයේ දී ලොව පුරා බෞද්ධයින් සමරන්නේ බුදු වහන්සේගේ උපත, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යි. දඹදිව් තලයෙන් ඔබ්බට බුදු දහම ව්‍යාප්ත වී ගිය අවධියේ පටන් ම සැමරීම ඇරඹුණු වෙසක් උත්සවය විවිධ රටවල දී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන අතර එය සමරන ආකාරය රටින් රටට වෙනස් වෙනවා. ශ්‍රී ලංකාව හැරුණු විට අනෙකුත් බෞද්ධ රටවල දී වෙසක් උළෙල සමරන ආකාරය ගැන තොරතුරු යි මේ.

ජපානය

(keywordsuggest.org)

සකුරා මල් පිපෙන සමයේ දී සමරනු ලබන ජපන් වෙසක් උත්සවය ඇතැම් අවස්ථාවල දී ‘හනා-මත්සුරි’ (මල් උත්සවය) ලෙස ද හඳුන්වනු ලබනවා. ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අප්‍රේල් 8 වැනි දින ඒ සඳහා වෙන් කර ඇති අතර බුදු වහන්සේගේ උපන් දිනය දා අහසෙන් මතු වූ මකරෙකු උන් වහන්සේ ව හඳුනා නොගත් පැළෑටියක් නිස්සාරණයෙන් ලබා ගන්නා යුෂ මගින් සැකසූ ‘සෝම’ නම් පානයෙන් නහවන ලද බවට ඇති පුරාවෘත්තයක් මත එය පදනම් වී තිබෙනවා.

(tokyocheapo.com)

අනෙකුත් ජපන් උත්සව හා සසඳන කල නිහඬ උත්සවයක් වන වෙසක් දිනයේ දී සෑම පන්සලක් ඉදිරිපිට ම බුදු රුවක් සහිත පුදසුනක් දක්නට ලැබෙන අතර බැතිමතුන් විසින් එය නොයෙකු පැහැයෙන් යුතු මලින් සරසනු ලබනවා. එසේ ම බිළිඳු සිදුහත් කුමරුගේ ප්‍රතිමාවක් ‘අමාචා’ නමින් හඳුන්වන හයිඩ්‍රේන්ජියා පැළෑටියෙන් නිපදවන ඖෂධීය තේ පානයෙන් නැහැවීම ද, සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත් දින ඇය සිහිනෙන් දුටු සුදු ඇත් පැටියා ව සංකේතවත් කරනු පිණිස මංගල රථයක් මත සුදෝසුදු හස්ති රාජයෙකුගේ අනුරුවක් ඉදි කිරීම ද ජපනුන් සිදු කරනවා.

නේපාලය

ස්වායම්භු විහාරස්ථානය (justgiving.com)

‘බුද්ධ ජයන්ති’ යනුවෙන් හඳුන්වනු ලබන නේපාලයේ වෙසක් උත්සවය අතිශය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන්නේ බුදුන් උපන් ස්ථානය වන ලුම්බිණියේ දී සහ නේපාලයේ ඇති ශුද්ධ වූ පන්සලක් වන ස්වායම්භු නම් විහාරස්ථානයේ දී යි. නේපාලයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන වෙසක් පොහොය දිනයේ දී බොහෝමයක් බැතිමතුන් කත්මණ්ඩු නිම්නයේ පිහිටි ස්වායම්භු විහාරයට එක් රැස් වන අතර, එම විහාරයේ ප්‍රධාන දොරටුව විවෘත කරනු ලබන එක ම දිනය වන්නේ ද වෙසක් පොහොය දිනය යි.

නේපාලයේ වෙසක් උළෙල ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක ස්වරූපය ගන්නේ බෞද්ධයින් නොවන අනෙකුත් ආගමිකයන් ද එය සැමරීම නිසාවෙන්. සෑම දෙනෙක් ම පාහේ උදෑසනින් ම පන්සලට ගොස් පහන්, සහල්, මුදල් සහ මල් පූජා කරන අතර ම දිනය පුරාවට ම පන්සල්වල දී නොයෙක් ආකාරයේ ආශිර්වාද පූජාවන් පැවැත්වෙනවා.

දකුණු කොරියාව

නෙළුම් පහන් කූඩු උත්සවයේ අවස්ථාවක් (en.wikipedia.org)

දකුණු කොරියාවේ දී බුදුන් වහන්සේගේ උපන් දිනය යන අරුතින් වෙසක් උත්සවය හඳුන්වනු ලබන්නේ ‘සොග්ගයා තන්ෂින්’ යන නාමයෙන්. කොරියානු චන්ද්‍ර දින දර්ශනයේ 8 වැනි දිනට යෙදී ඇති එය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

දකුණු කොරියාවේ දී දක්නට ලැබෙන විශාලත ම සංස්කෘතික උත්සවය වන වෙසක් උළෙලේ වැදගත් ම අංගය ලෙස සැලකෙන්නේ නෙළුම් පහන් කූඩු උත්සවය (Lotus Lantern Festival) යි. මෙම චාරිත්‍රය ඇරඹී ඇත්තේ අදින් වසර 1,500 කට පමණ පෙර දී යි. මෙහි දී සෑම නිවෙසක ම පාහේ නිවසේ සිටින සාමාජිකයන් ගණනට සමාන වන ලෙස පහන් කූඩු සකස් කිරීම සිදු කරනු ලබනවා. සවස් යාමය වන විට පහන් කූඩු ආලෝකමත් කිරීම සිදු කරන අතර බොහෝමයක් දෙනා පහන් කූඩු රැගෙන යන පෙරහැර සඳහා එකතු වන අයුරු ද දක්නට හැකි යි.

(thoughtco.com)

වෙසක් පොහොය දිනයේ දකුණු කොරියාවේ පන්සල් බොහෝමයක් මගින් තම බැතිමතුන්ට උදෑසන සහ දහවල් ආහාරය සපයනු ලබනවා. මෙහි දී මූලික වශයෙන් පිළි ගන්වනු ලබන ආහාර වන්නේ ජිංටික්කු (බුබුළක හැඩය ගන්නා සහල් කේක්), හ්වාජොං (අසේලියා මල් යොදා ගනිමින් බඳින ලද සහල්වලින් සැකසූ කේක්), ඔච්චා (මාළු, බිත්තර සහ ළූණු යොදා ගනිමින් සකසන ව්‍යංජනයක්), ඔ-මංඩු (මස් යොදා පුරවන ලද මාළු තැම්බීමෙන් සකසන ව්‍යංජනයක්) සහ මිනැරිගෙගෝ (ගම්මිරිස්, සුදු ළූණු සහ ළූණු සමග උයන ලද පාස්ලි සමග මුසු කරන ලද අමු මාළු) යනාදිය යි.

හ්වාජොං (en.wikipedia.org)

ඉන්දුනීසියාව

‘වෛසාක්’ නමින් හඳුන්වන ඉන්දුනීසියානු වෙසක් පොහොය දිනය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන්නේ ජාවා හි බෝරෝබුදුර් විහාරස්ථානයේ දී යි. එහි දී දහස් ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක් රැස් වී පිරිත් සජ්ඣායනය කිරීම සහ භාවනා කිරීම සිදු කරන අතර විහාරය වටා සක්මන් කරමින් ‘ප්‍රදක්ෂිණ’ යනුවෙන් හඳුන්වන චාරිත්‍රයක යෙදෙන අයුරු ද දැක ගැනීමට ලැබෙනවා.

බෝරෝබුදුර් හි වෙසක් සැමරුම් (en.wikipedia.org)

මීට අමතර භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ නිහතමානී බව සංකේතවත් කරමින් පිරිත් පැන් බඳුන්වලට පිරවීම ද, සිදුහත් තවුසන් බුද්ධත්වයට පත් වීම සංකේතවත් කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගිනි දැල් රැගෙන යාම ද සිදු කරනවා. එසේ ම වෙසක් දිනයේ දී භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම ද ඉන්දුනීසියාවේ දී සුලබ යි. 1983 වසරේ සිට වෙසක් දිනය ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා.

සිංගප්පූරුව

(bustle.com)

බොදු බැතිමතුන් හිමිදිරියේ ම විහාරස්ථානවලට එක් රැස් වීමෙන් ඇරඹෙන සිංගප්පූරු වෙසක් උත්සවයේ මුල් ම අංගය වන්නේ පන්සිල් සමාදන් වීම සහ පිරිත් සජ්ඣායනය යි. ඉන් අනතුරු ව බෞද්ධ කොඩිය එසවීම සිදු කරනු ලබනවා.

විහාරස්ථාන කරා පැමිණෙන බැතිමතුන් බුදුන් සඳහා මල්, ඉටි පහන්, හඳුන්කූරු පූජා කරන අතර ඉන් නිරූපණය කරන්නේ සෑම දෙයක් මෙන් ම අවසානයේ දී ජීවිතය ද කෙළවර වන බව යි. මීට අමතර ව ලේ දන් දීම, දුප්පතුන් සඳහා ආහාර (දකුණු කොරියාවේ දී මෙන් නොව සිංගප්පූරුවේ දී වෙසක් ආහාර සියල්ල ම නිර්මාංශ යි) ලබා දීම සහ කූඩු කරන ලද සතුන් මුදා හැරීම සිදු කරනවා. සවස් යාමයේ දී වීදි සියල්ලක් ම පාහේ දල්වන ලද ඉටි පහන් මගින් අලෝකමත් කරනු ලැබීම ද සිංගප්පූරුවේ දී දක්නට හැකි යි.

(gloholiday.com)

සිංගප්පූරු වෙසක් උත්සවයේ වැදගත් ම චාරිත්‍රය වන්නේ බුදුන් වහන්සේ ව නෑවීම යි. මෙය තරමක් දුරට ජපන් චාරිත්‍රය හා සමාන වුවත් මෙහි දී බුද්ධ ප්‍රතිමාව නෑවීම සිදු කරන්නේ පිරිසිදු ජලයෙන්. එසේ ම බුදු පිළිමය තබා ඇති දිය පොකුණ මලින් සැරසීම සිංගප්පූරුවේ දී සුලබ යි.

කවරයේ පින්තූරය: Nazly Ahmed

මූලාශ්‍ර:

  1. en.wikipedia.org
  2. jnto.go.jp
  3. tokyocheapo.com
  4. imnepal.com
  5. lifeinkorea.com
  6. english.visitseoul.net
  7. thekoreanway.wordpress.com
  8. lonelyplanet.com
  9. yoursingapore.com

Related Articles